වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




නිරුවත් චරිත බාර නොගන්නේ මගේ අකමැත්ත නිසා නෙවෙයි

නිරුවත් චරිත බාර නොගන්නේ මගේ අකමැත්ත නිසා නෙවෙයි

KASUNI KAVINDI FERNANDO

 

 

ඔබට කසුනි කියන්නද කාවින්දි කියන්නද?

ඔය නම් දෙකෙන්ම මම යාළුවො අතරේ ප්‍රසිද්ධයි. කැමති විදිහකට කතා කරන්න.

ඔබ ක්ෂේත්‍රයේ පාවිච්චි කරන නම?

කසුනි කාවින්දි ප්‍රනාන්දු.

කසුනි කොළඹ කෙනෙක් නෙවෙයි?

ඔව්. මං රත්නපුරේ.

එහෙ ඉඳන් මෙහෙට ආව හැටි මතක් කළොත්?

පුංචි කාලෙ ඉඳලා මගේ හිතේ තිබුණේ කලාවමයි. කෙදිනක හෝ කලාවෙන් ඉදිරියටම යනවා කියලා හිතුණා. ඉස්කෝලේ යන කාලෙම වේදිකාවට නැංගා. පසුව නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඔය අතරතුරදි මට අවස්ථාව ලැබෙනවා ලිෆ්ට් එක හිර වෙලා කියලා කෙටි නාට්‍යයක රඟපාන්න. ඒ 2012 වසරේ, අනතුරුව දිගින් දිගටම මට වේදිකාවේ රඟපාන්න ලැබුණා. මං එහෙම රඟපෑව චෙරි උයන කියන නාට්‍ය නිසා 2014 යෞවන සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ නාට්‍යයේ චරිතයටම 2015 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළියට නිර්දේශ වුණා.

වේදිකාවෙන් පුංචි තිරයට ආවේ කොහොමද? ඒත් එක්කම රිදී තිරයටත් ආව හැටි මතක් කරමු?

මගේ පළමු ටෙලි නාට්‍ය වුණේ මාද ඔබම විය. ඒක ප්‍රේමකුමාර ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක්. ඊට පසුව සත්‍යා, කූඹියෝ, පැරිසියට යන පාර වගේ නාට්‍යවල රඟපෑවා. ඉක්කා මගේ පළමු චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය වූ අචලාට රඟපෑවා. ලංකාවේ ප්‍රථම 3ච් සිනමාපටය වන ගජමෑන්හි ප්‍රධාන කාන්තා චරිතයට චලන රංගනයෙන් දායක වුණේ මම.

මේ ක්ෂේත්‍රයට ගැහැනු ළමයින් එවන්න බොහෝ මව්පියන් බියවනවා?

ඇයි එහෙම වෙන්නේ. මම නම් කියන්නේ මේක හොඳම හොඳ ක්ෂේත්‍රයක්. ඕනෑම කෙනෙකුට විවෘතයි මේ ක්ෂේත්‍රය.

රංගන ජීවිතයේ ඔබ වඩාත් අමතක නොවන මොහොත මොකක්ද කියලා මං ඇහැව්වොත්?

ප්‍රථම වතාවට මං සම්මානයක් දිනාගත් මොහොත ජීවිතයට අමතක වන්නේ නැහැ.

සුරූපී ඔබට ඇතැම් අධ්‍යක්ෂවරුන්ගෙන් බලපෑම් සිදු වී නැතිද?

ඇත්තටම නැහැ. මට මේ වන තෙක් කතා කරලා තියෙන්නේ හොඳ අධ්‍යක්ෂවරු. ඉදිරියටත් එහෙම වේවි කියලා හිතනවා.

රංගන ශිල්පිනියක විදිහට ඔබ තෘප්තිමත්ද?

ඔව්. මට දැනෙන්නම රඟපාන්න පුළුවන් චරිත ලැබිලා තියෙනවා. ඒකම ඇතිනේ.

සාමාන්‍යයෙන් ඔබ චිත්‍රපට නරඹනවාද?

ඔව්. දෙස් විදෙස් ඕනෑම චිත්‍රපටයක් මා නරඹනවා.

ළඟදී නරඹපු ඔබ වඩාත් සිත් ගත් චිත්‍රපට මොනවාද?

සංජු චිත්‍රපටයට ආසයි. ඒ වගේම ශේප් ඔෆ් වෝටර් චිත්‍රපටයත් මගේ සිත් ගත්තා.

කසුනි කාවින්දි කියන්නේ මොන වගේ චරිතයක්ද?

පොළවේ පය ගහලා ඉන්න සංවේදී චරිතයක්.

ඔබ ඉගෙන ගත් පාසල මතක් කළොත්?

රත්නපුර ෆර්ගසන් බාලිකාව.

ගම රත්නපුර වුණාට වර්තමාන පදිංචිය කොළඹ වෙන්න ඇති?

ඔව් අයියෙ.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට රඟපාන්න කතා කළොත් මොකද කියන්නේ?

ඊට සහභාගි වෙනවා පිටපත බලලා.

නිරුවත් හෝ අඩ නිරුවත් චරිතයකට කතා කළත් එහෙමද?

එතෙන්දි මෙහෙමයි. අපේ රටේ නිළියො ගැන මිනිස්සු හිතාගෙන ඉන්නේ වෙනම විදිහකට. ඒ වගේ චරිතයක් රඟපෑවත් ඒ රංගනයක්ම පමණක් කියලා හිතන අය හරිම අඩුයි. ඒ තත්ත්වය නිසා මං අර වගේ චරිත බාර ගන්නේ නැහැ.