වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ඇලෙක්ස් - ක්‍රිස්ටෝපර් අගරදගුරුතුමන් අතින් සම්මාන ලබති

වාර්ෂිකව පවත්වනු ලබන කිතුණු කලාකරුවන්ගේ නත්තල් සුහද හමුව මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා කොළඹ අගරදගුරු මැදුරේදී පැවැත්විණි. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පනාවකට අනුව උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුහද හමුවේදී කලාකරුවන් යුවළක් කාදිනල්තුමන්ගේ සුරතින් උපහාර තිළිණ ලැබූහ. ඒ රංගධර ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සහ ගායනවේදී ක්‍රිස්ටෝපර් පෝල්ය. කිතුණු කලාකරුවන් රැසක් සහභාගිවූ මෙම අවස්ථාව අජිත් විතානගේ ප්‍රමුඛ සිසිලියන්ස් සංගීත කණ්ඩායමේ මියුරුසරින් හැඩගැන්විණ. ප්‍රියන්ත විජේසිංහ සහ ඩෙන්සිල් නුගේගොඩ කතනයෙන් දායක වු කිතුණු කලාකරුවන් හමුවේදී ලතා වල්පොල, අනිල් භාරතී, රොනී ලීච්, චන්දන ලියනාරච්චි, රොනී ලීච්, ක්‍රිස්ටෝපර් පෝල්, ෆීලික්ස් ඇන්ටන් රොහාන්ද සිල්වා ඇතුළු කලාකරුවන් රැසක් ගායනයෙන් එකතු විය.

උතුරේ රාහුල හිමි යළිත් වේදිකාවට

සුගත් සමරකෝන් සම්මාන 18 ක් දිනාගත් 'උතුරේ රාහුල හිමි' වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙසින් යළි වේදිකා ගත කිරීමට සූදානම් වේ.

80' දශකයේ ජනප්‍රියම වේදිකා නාට්‍යය සම්මානයෙන් ද, දෙවරක් තහනමට ද ලක් වූ 'උතුරේ රාහුල හිමි' නාට්‍ය නිෂ්පාදනයේ මෙවර රංගනයෙන් සහභාගි වන්නේ සුගත් සමරකෝන්, අජිත් ලොකුගේ, මිලින්ද පෙරේරා, අනුර ධර්මසිරිවර්ධන, උපතිස්ස බාලසුරිය, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, සුදත් මොරගහකුඹුර, චන්දු ඉඹුලාන, ප්‍රියන්ත කහපලආරච්චි, විජේසිරි මල්ලිකාරච්චි, ආරියසේන ගමගේ, සුගත් විජේසේකර, සුසිල් පෙරේරා, දයාසිරි හෙට්ටිආරච්චි, සංජය සමරකෝන්, යූ. ධනවංශ, නෝර්බට් පෙරේරා, නීල් ශ්‍රී අබේරත්න, හර්මන් ප්‍රනාන්දු, ප්‍රසන්න මුහන්දිරම්, නුවන් බුද්ධික, ටිරෝන් ඉන්දික, ජී. කේ. ප්‍රියන්ත කුමාර, චාපා සංකලන, හර්ෂ සමරසිංහ, දයාරත්න සුවඳහැන්දිගේ, වසන්ති සෙනරත්, අසංග ජානක, ඉරෝෂා රත්නායක, අශෝක නාරායන, ශෂිකා ගමගේ, නලින් ගුරුගේ සහ හෙළවුඩ් ඇක්ටිං ස්කූල් හි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. මෙය ළඟදී වේදිකා ගත කිරීමට නියමිතය. මේ එහි මුහුරත් උලෙළේ ඡායාරූපයකි.

හාර ලක්සේ ඩි.වී.ඩි.

මෙරට බිහි ව විශිෂ්ටතම සිනමා කෘතියක් වන හාර ලක්ෂය ඩි.වී.ඩි මාධ්‍යයෙන් නිකුත්ව තිබේ. ටයිටස් තොටවත්තයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිම වූ මෙය සත්‍ය කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වූවකි. සුගතදාස මාරසිංහගේ නිෂ්පාදනයක් වූ මෙහි ජෝ අබේවික්‍රම, පියදාස ගුණසේකර, රොබින් ප්‍රනාන්දු, අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ආදිහු රංගනයෙන් දායකත්වය සැපයීය. හාරලක්ෂය සඳහා කිසිඳු නිළිචරිතයක් නොමැති වීම විශේෂත්වයකි. මෙය තිස්ස නාගොඩවිතානය ෆිල්ම්ස් බෙදාහැරීමකි.

වසර අවසානයේ මාරම්බරී දෙතැනක

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගයේ 2017 වසර අවසන් ප්‍රසංග අද 28 මහරගමදී සහ 30 මීරිගම දී පැවැත්විමට කටයුතු යොදා ඇත.

ප්‍රසංගය සංවිධානය කොට ඉදිරිපත් කරන්නේ ඖෂධ විද්‍යා සංගමයයි. 30 වෙනිදා මීරිගමදී පැවැත්වෙන මාරම්බරී ප්‍රසංගය සංවිධානය වනුයේ මීරිගම ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිකිරීමේ අරමුදලට ආධාර පිණිස එම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි.

යුග ගායනයෙන් විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, චන්දිප ජයකොඩි සහ ශාරණ්‍යා ජයකොඩි දායක වෙති. මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවිම ප්‍රවීණ සංගීතවේදී සුසිල් අමරසිංහගෙනි.

කථනය ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක වසන්ත රෝහණ සහ සමිත ප්‍රසන්න ආරච්චි යි.

අමෙරිකානු ආසියානු උලෙළේ සම්මානිත අනෝමාට නිළි රැජන අතින් සම්මාන පිදේ - උත්සවය 30 දා

මේ සමඟ ඇය මාලිනී, ස්වර්ණා, අනෝජා බඳු සුපිරි නිළි තත්ත්වයට පත්වෙයි - නන්දන වීරරත්න

සම්මානනීය රංගනවේදිනී අනෝමා ජනාදරීගේ රංගන ජීවිතය අගයමින් ඇය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උපහාර උලෙළක් මෙම මස 30 වැනිදා එනම් එන සෙනසුරාදා සවස බත්තරමුල්ල දියත උයනේ වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වේ. සිනමානෝමා ලෙසට නම තබා ඇති එම උලෙළේ තේමාව පුරුෂ ප්‍රචණ්ඩත්වයෙන් යට නොකළ හැකි සිනමා චාරිකාවලෝකනය නම් වෙයි. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත් වූ ආසියානු ලෝක සිනමා උලෙළේ දී හොඳම නිළිය වශයෙන් අනෝමා ලද සම්මානය මෙදින හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා අතින් යළි අනෝමා වෙතට පිරිනමනු ඇත. මෙම උත්සව සභාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් රන්ජන් රාමනායක සහභාගි වනු ඇත. විශේෂ දෙසුම විචාරක ගුණසිරි සිල්වාගෙනි. මෙහිදී අනෝමා රඟපෑ යශෝධා කෙටි චිත්‍රපටයද තිරගත වීම සිදු වේ.

සිනමානෝමා වෙනුවෙන් සකස් කළ ආරාධනා පත්‍රයේ ප්‍රකට විචාරකයකු වන නන්දන වීරරත්න අනෝමා පිළිබඳ මෙලෙස පවසා තිබේ.

'ඇගේ විශේෂත්වය වන්නේ චරිතයේ මෙන්ම කෘතියේ අන්තර්ගත තේමාවට එකඟව නග්න ජවනිකා නොපැකිළ කුසලතා පූර්ණව ප්‍රසංග කිරීමෙහි සමත් එකම ශ්‍රී ලාංකීය නිළිය වීමය. මේ මොහොතේ අනෝමා සංජීව පුෂ්පකුමාර සහ දැවෙන විහඟුන් චිත්‍රපටයට කළ එකතු කිරීමට අමෙරිකානු ආසියානු සිනමා උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා සිටින්නීය. මෙය ලාංකික නිළියක් ලද ඉහළම සම්මානයකි. මෙම සම්මානයත් සමඟ අමෝමා ජනාදරී, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහට පමණක් සීමා වූ ලාංකික සුපිරි නිළි සාමාජිකත්වය ලබන්නීය.

ජැක්සන් රඟන ‘ලක්නව්’ ඇරඹේ

පියුමි හංසමාලි ප්‍රධාන චරිතයට

ජැක්සන් ඇන්තනි කේරළ සිනමාවට පා තැබීමට නියමිත බැව් පළමුවරට අපි සරසවිය ඔස්සේ ඔබවෙත ගෙන ආවෙමු. එම සිනමා පටයේ මුහුරත් උළෙල ඉකුත්දා ඉන්දියාවේදී පවත්වන ලදි. ජැක්සන් කේරළයට කැඳවමින් නිර්මාණය වන එම සිනමාපටය නම්කොට ඇත්තේ ලක්නව් ලෙසටයි. එය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර් විසිනි. මෙම සිනමාපටයේ රංගන දායකත්වය ලබාදෙමින් මෙරට පුවත් මවන්නියක් ඉන්දීය සිනමාවට එකතුවේ. ඇය පියුමි හංසමාලියි. බොහෝ දෙනෙකුගේ විමතියට බඳුන්වෙමින් පියුමි මෙලෙස කේරළ සිනමාවට එකතුවන්නේ සමාජජාලා හරහා වැඩිම ප්‍රතිචාර ලැබූ නිළිය ලෙසටයි. ලක්නව් සිනමාපටය බීනා උනික්‍රිෂ්නන්ගේ නිෂ්පාදනයකි.

රන්ජන් ගේ රුවට මල්මාලා ඩොක්ටර් නවරියන් ඉදිරියට

සුපිරි නළු රන්ජන් රාමනායකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඔහු ප්‍රධාන චරිතය මවන ඩොක්ටර් නවරියන් සිනමාපටය ඉහළ ප්‍රතිචාර මධ්‍යයේ තිරගතවන වග සරසවියට වාර්තාවිය. ඉන් ඇතැම් සිනමාශාලාවන්හි තිබෙන රන්ජන්ගේ දැවැන්ත සේයාරුවට ප්‍රේක්ෂකයෝ මල්මාලා දමා ඇති බවටද සිනමාශාලා හිමියන් දැන්විය.

සාමාන්‍යයෙන් ඉන්දියානු සිනමා ශාලාවල එය සුලබ කරුණක් වුවත් මෙරට එම අයුරින් කටවුට් සැරසෙන්නේ මුල් වතාවටය.

රන්ජන් සමග රුවන්ගි රත්නායක, ශ්‍රිමාල් වෙඩිසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, සරත් චන්ද්‍රසිරි ඇතුළු නළු නිළියන් රැසක් ඩොක්ටර් නවරියන් රංගනයෙන් හැඩගන්වති.