වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




චංගුමී රූපවාහිනියේ තියා අතුල ගෙදර යයි

චංගුමී රූපවාහිනියේ තියා අතුල ගෙදර යයි

හඬකැවීම් කලාව ලංකාවේ රූපවාහිනි නරඹන්නන්ට අතර මේ තරම් ජනප්‍රිය වීමට මුල්වූයේ රටම ආදරය කරන ගුරෙකු හා ගෝලයකු නිසාය. ගුරා ටයිටස් තොටවත්ත ය. ගෝලයා අතුල රන්සිරිලාල් ය. මේ වනවිට ගුරුතුමා මොලොව හැර ගොස් ය. ඔහුගෙන් පසුව හඬ කැවීම් අංශය භාර වූ ගෝලයාටද වයසය. වයස යැයි අප පැවසුවේ හදවතින් තරුණ මේ ගෝලයාගේ හඬකැවීම් කලාවේ සේවා කාලයේ වයස පිළිබඳ ය. එය වසර තිස්හතරකි. ඒ කාලයත්, රූපවාහිනියේ ගතකළ කාලයත් මුසු කරමින් හතළිස් වසරක කාලයක් ඇතුළත ඔහු ලැබූ අත්දැකීම් හා හඬ කැවීම් කලාව පිළිබඳ දැන උගත් දෑ ඇසුරු කර ගනිමින් ලැබූ අත්දැකීම් හා දැනුම් සම්භාරයේ ඇවෑමෙන් පසුගිය දිනවල අපූරු කටයුත්තකට ඔහු මුල පුරා තිබිණි. ඒ අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණෙන් හඬ කැවීම් කලාව කෘතියක් බවට පරිවර්තනය වීම ය. ඒ සොඳුරු වෑයම පසුගියදා (22 වැනිදා) ජනගතවූයේ හඬ කැවීම් කලාව ගැන උගැන්මට ආසාවක් දක්වන දුවා දරුවන් ඇතුළු විද්‍යාර්ථීන් වෙනුවෙනි.

එවැනි කෘතියක අවශ්‍යතාව ඔහුට සිහිපත් කළේ සිය මිතුරු කරූ ය . ඒ එකල පටන් ඔහු සමඟ එකට වැඩ කළ මිත්‍රයා කරූ අන්කවුරුත් නොව ඔබ හා මා හොදින් දන්නා වූ කරුණාරත්න අමරසිංහ ය.

“රේඩියෝ, ටෙලිවිෂන් සුළඟේ යනවා. ලියූ දේ තමා ඉතිරි.”

දිනක් කරූ සිය සඟයාට පැවසුවේ බොහෝ දේ සිතන්නට ඉඩ තබමිනි. කියන්නන් වාලේ කිසිවක් නොදොඩවන සිය මිතුරා කියූ අදහස ගැන අතුල කල්පනා කළේ නිවිහැනහිල්ලේ සිටින දිනක ය. ඔහු පැවසුවේ සිතට ගන්නට තරම් වචන මාලාවකි.

“මේ තරම් කාලයක් හඬකැවීම් හා උපසිරැසි ගැන පොතක් ලියැවිලා නැහැ. මගේ සේවා කාලයේ අත්දැකීම් එකතු කරගෙන ලියන්න ඕන පොතක්.”

සිය සඟයාගේ ඔවදනින් ඔහුගේ සිතට දහිරියක් ලැබිණි. ඒ අනුව අතුල ටයි මහත්තයා සමඟ පිටපත් ලිවීමේ සිට විවිධ දේ ඒ කෘතියේ අන්තර්ගත කළේ ය. අප මේ පවසන්නට යන්නේ ඒ කෘතිය ගැන නම් නොවේ. අතුල රන්සිරිලාල්ගේ වසර තිස්හතරක ජීවිතයේ ටයිටස් තොටවත්තයන් හා ගෙවුණු කාලයේත් ඊට පසුවත්, ජාතික රූපවාහිනියේ ඔහු ලද අත්දැකීම් පිළිබඳ ගෙවුණු මතක සටහන් පිළිබඳයි. ඒ අතීත මතකය පිළිබඳ සිදුවීම් රැසක් ඔහු අප හා ‍ගෙනහැර පෑවේ මුහුණට නැඟුණු සෝපාහාස සිනාරැල්ලත් සමඟ ය.

අතුල රන්සිරිලාල් තරුණයා ටයිටස් තොටවත්තයන්ගේ ගෝලයකු බවට පත්වීම ආරම්භ වන්නේ 1985 වසරේදී ය. එහි ප්‍රතිඵලයක් ලෙස එතුමා යටතේ බොහෝ දැනුම් සම්භාරයක් ලැබීමට අතුල තරුණයාට හැකිවන්නේ ය. පිටපත් ලියන්නට පමණක් නොව සංස්කරණය ආදී බොහෝ දේ ඒ අතර විය. ඒ සියල්ලටම පෙර ඔහු සිය ගුරුතුමාගෙන් ලැබූ පළමු පාඩම වූයේ වෙලාවට වැඩ කිරීම හා උදෙන්ම රැකියා ස්ථානයට පිවිසීම ය.

ටයි මහත්තයා වැඩ පටන් ගත්තේ උදෑසන පහට ය. ඒ වනවිට ගෝලයාද එහි පිවිසී සිටිය යුතුය. රාත්‍රි 10 තෙක් වැඩකර පසුදා පාන්දර 5.00 වනවිට එහි පිවිසීම පහසු කටයුත්තක් නොවේ. අතුල පදිංචිව සිටියේ කළුබෝවිල ය. කළුබෝවිල සිට ගාලුපාරට බස් පටන් ගන්නේ උදෑසන 5.00ට පසුවය. ඒ බසයේ පැමිණියහොත් අතුලට කිසිදිනෙක රූපවාහිනියේ පැත්ත පළාතකටවත් පැමිණිය හැකි නොවේ. ඒ නිසා හඬකැවීම් අංශයේ රැකියාවට බෙහෙවින් ආදරය කළ මේ තරුණයා තම උදෑසන ගමන ආරම්භ කරන්නේ හතරට පමණ ය. කළුබෝවිල සිය ගම් ප්‍රදේශයේ සිට පා ගමනින්ම ගාලුපාරට පිවිසෙන ඔහු බම්බලපිටිය බසයට ගොඩවීම පුරුද්දක් කර ගත්තේ ය. බම්බලපිටියෙන් බැස යළිත් පා ගමනින් ජාතික රූපවාහිනි පරිශ්‍රයට පිවිසෙන අතුල සිය රැකියා අංශයට පිවිසෙන්නේ සියලු දේ ඒ ඒ තැන්වල තිබේදැයි බලමිනි. එහි පිවිසි පසුව ඔහු සිය කාර්යාලය පිහිටි පෙදෙස අස්පස් කරමින් ඒ කටයුතු අවසන් කරන්නේ ටයි මහත්තයා එහි පිවිසෙන්නට පෙර ය. එසේ නොවුණහොත් ඔහුට උදයෙන්ම හොඳ පදෙන් අසාගන්නට ඔහුට සිදුවන බව නම් සත්‍යයකි.

එහෙත් ඔහු ටයි මහත්තයා හා වැඩ කිරීමට පෙර මුලින් ම ජාතික රූපවාහිනියට පිවිසෙන්නේ 1983 වසරේ ඔක්තෝබර් මාසයේය. කාලයක පටන් රූපවාහිනියට පැමිණීමේ දැඩි ආසාවකින් පෙළෙන අතුල තරුණයාට සිය සිහිනය සැබෑ කර ගැනීමට උදවු කරන්නේ වෙද මහත්තයකු වූ සිය පියා ළඟ සිටින රත්නසිරි නමැති මහතෙකි. පාසල් කාලයේ පටන් කලාවට හිතැති අතුලගේ කලා හිත ගැන දත් රත්නසිරි මහතා පුවත්පතක පළ වූ දැන්වීමක් ඔහු අත තැබුවේ ඔහුට එය ප්‍ර යෝජනවත් වනු ඇතැයි සිතා ය. එය එලෙසම ඔහුගේ ජීවිත ගමනේ සංදිස්ථානයක් ම විය.

ඒ දැන්වීමට අනුව රූපවාහිනියට පිවිස ඔහුව මුලින්ම භාර වන්නේ ප්‍රවීණ ලේඛකයකු වන මඩවල එස්. රත්නායකයන් යටතට ය. ඔහු අසලට වැටුණු බව ඇසුණු අතුට දැනුණේ දිව්‍ය ලෝකයේ ගියා වැනි වූ හැඟීමකි. ඒ එහි පැමිණෙන්නට පෙර අතුල ඔහු ලියන ලද ‘අක්කර පහ’, අක්කයි මායි’, ‘පාහන නිව්වා කටින් පිඹලා’ ආදි ඔහුගේ නවකතා, කෙටිකතා කියවා තිබුණා පමණක් නොව ගීතද අසා තිබුණි. ඉන් බොහෝ සේ තෘප්තියට පත්ව ඔහුගේ රසිකයකුව සිටි ඔහුට මඩවල එස්. රත්නායක යටතේ ආධුනිකයකු සේ කටයුතු කිරීමට පැවරීම හිසේ මල්පිපුණා සේ ය.

අතුල තමා ඉදිරිපස සිටින ඔහු දෙසම බලා සිටියේ ය. ඔහුගේ සිතට එක්වරම පිවිසියේ බියකි. තමාට වැඩ කිරීමට සිදුවී තිබෙන්නේ මෙවැනි ප්‍රවීණයකු සමඟ ය.

“ඔය ළමයාගේ නම මොකක්ද?”

ඔළුව උස්සා තමා දෙසම කටබලියාගෙන සිටින කොලු ගැටයා දෙසට විමසුම් සහගත බැල්මක් හෙළූ මඩවල එස්. රත්නායකයන් අතුලගෙන් විමසුවේ සිනහවෙමිනි.

“අතුල”

අලුත පැමිණි කොලු ගැටයා පැවසුවේ පුදුමයට පත්ව ය.

“ආ...උඹ අතුල නේ. මම මඩවල. උඹෙත් ල යන්න. මගෙත් ල යන්න. හූම්... වැඩකරපන්.”

ඔහු මේ අලුත පැමිණි කොලු ගැටයාට පැවසුවේ ඔහුගේ සිතේ තිබුණු බිය පිළිබඳ හැඳීන ගත් පරිද්දෙනි. අතුලගේ ඒ පළමු දවස බොහොම සොඳුරු දවසක් බවට පත්වූයේ එලෙස ය. ඔහුගෙන් පසුව අතුලට වැඩ කිරීමට ලැබෙන්නේ චන්ද්‍රසෝම විතානගේ සමඟිනි. එකල අතු ඇතුළු පිරිසව සේවය කරන්නේ ආධුනික නිෂ්පාදක සහකාරකවරු වශයෙනි. ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු පඩිය රුපියල් පන්සීයකි. රූපවාහිනියේ නිෂ්පාදකවරුන් ලෙස බඳවාගත් පළමු කණ්ඩායම වූ ඔවුන් කිහිපදෙනෙකුම ඒ කණ්ඩායමට ඇතුළත් විය. ඒ කණ්ඩායම අතුලත් සමඟ අනෝමා වත්තලදෙණිය, බර්ටම් නිහාල්, සුසිල් සුරවීර ආදී කිහිපදෙනෙකුගෙන් සමන්විත වූ පිරිසකි.

අතුලට ටයි මහත්තයා පළමු වරට මුණ ගැසෙන්නේ මඩවල එස්. රත්නායකයන් හමුවේ සිටිද්දී ය. ඔහු ඒ අසලට පැමිණෙන වග දැන ගැනීමට කිසිවකුටත් අවශ්‍ය නොවේ. ඒ එතැනට පැමිණෙන සෑම මොහොතක කෑ ගසාගෙන පැමිණීම ටයි මහත්තයාට පුරුද්දක් වී තිබුණු බැවිනි. එසේ කෑ කසාගෙන පැමිණෙන ඔහු සමඟ සිටින අනෙක් පුද්ගලයා වන්නේ අනුර මාධව ජයසේකර ය. එක් දිනෙක එහි පැමිණි ටයි මහත්තයා අතුල තරුණයා ඇමතුවේ අලුත් පණිවුඩයක්ද සමඟිනි.

“පූසෝ...හොයලා දියන් ළමයි ටිකක්.”

ටයි මහත්තයාගේ වදනින් සතුටට පත්වන අතුල තරුණයා ඒ වනවිට කළුබෝවිල ශ්‍රී සංඝබෝධි දහම් පාසලේ ළමයින්ගේ බාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරයා බවට පත්ව සිටියේ ය. එහි සිටිද්දී ඔහු දක්ෂ විවාද කණ්ඩායමක් නිර්මාණය කර තිබිණි. අනෙක් දහම් පාසල්වලට තරගයක් දෙමින් නිතරම පළමු තැන ගන්නා මේ කණ්ඩායමේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, රසාදරී පීරිස්, කේ.ඩබ්ලිව්. ජනරංජන, රවීන්ද්‍ර මුණසිංහ, ජයන්ත මුණසිංහ ඇතුළු පිරිසක් සිටියහ. ඔවුන්ව විලේගොඩත් සමඟ හොඳ හිත කණ්ඩායම විදියට ටයි මහත්තයාට බද්ධ කරන්නේ අතුල ය. හොඳ හිත කණ්ඩායම ලා තණකොළ පෙත්තාස් කණ්ඩායම බවට පත්වන්නේ ඊට පසුව ය. ඒ අතුලගේ දහම් පාසලේ ළමයින් පිරිසයි. ටික කලක් ගිය පසුව ටයි මහත්තයා අතුලට ගෙනෙන්නේ අපූරු යෝජනාවකි.

“ඒයි පූසෝ. උඹ මාව අඳුන ගත්තා. වරෙන්කෝ මාත් එක්ක වැඩ කරන්න.”

අතුල තවත් වරක් පුදුමයට පත්වෙයි. ඔහු අසල සිටි ගාමිණී මාතරආරච්චි හා අනෙක් සඟයාගෙන් ඒ ගැන විමසන අතුලට ලැබෙන්නේ ඔහුව උනන්දු කරන පිළිතුරකි.

“ටයි මහත්තයා ළඟ වැඩ කළොත් කවදාවත් වරදින්නේ නැහැ.”

ඔවුන්ගෙන් ලැබුණු අදහස පිළිගනිමින් කිසිවකුත් වැඩ කිරිමට අකැමැති ටයි මහත්තයා ළඟ අතුල රන්සිරිලාල් තරුණයා සේවයට යන්නේ එලෙසිනි. ටයි මහත්තයා විශ්වවිද්‍යාලයකි. ඔහු කිසිදිනෙක පිටපත් ලියන්නට ඉගැන්වූයේ නැත. එහෙත් ඔහුගේ පිටපත් අධ්‍යයනය කළ ඔහු පිටපත් ලියන්නට ඉගෙන ගත්තේ ය. සංස්කරණය කරන අයුරු ඉගෙන ගත්තේ ය. පිටපතක අකුරක වැරැද්දක්වත් නොතිබිණි. ඒ දවසේ පිටපත පිළිබඳ හෝ ඒ කරන කාර්යය පිළිබඳ ඔහුට තිබුණේ පුදුම දැනුමකි. ඔහුට පිටපත අකුරක් පාසා මතකයේ ලියැවී තිබිණි. සමහර විට ඔහු ඔවුන්ගේ විමසන්නේ ඊළඟ සීන් එක පිළිබඳ ය. එවිට ඔවුන් ඉක්මනින් පොත පෙරලන්නේ ඒ ගැන කියනු පිණිස ය.

“පූසෝ. බූරුවෝ, බලපිය හතරවැනි පිට.”

ඔහු පවසන එවදන හරයටම නිවැරැදිය. කලක් අතුල මේ ශාස්ත්‍රය අධ්‍යයනය කළේ ය. එවර ඔහුට වැටහී ගියේ ටයි මහත්තයි පාන්දර හතරට නැඟිට පිටපත කියවා පිටපත මතකයේ තබාගෙන රූගත කිරීම්වලට පැමිණෙන බව ය. සිය ගුරුගේ ඒ අභ්‍යාසය ගෝලයා අකුරටම පිළිපැද්දේ ය.

ටයි මහත්තයා සමුගෙන ගිය පසුවද අතුල රන්සිරිලාල් ඒ සියලු දේ අකුරටම පිළිපැදීම අමතක නොකළේ ය. සිය ගුරුතුමා හඳුන්වාදුන් හඬකැවීම් කලාව ඔස්සේ ඔහු අපේ නරඹන්නන්ට විවිධ නිර්මාණ රැගෙන ආවේ ය. ඒ අතර ‘සුජාත දියණිය’ ‍ටෙලි නාට්‍ය මාලාව විශේෂිත ය. ඒ හරහා ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා සවස 6.30ට කොහේ ගියද ‘සුජාත දියණිය නැරැඹීමට නිවෙසට පැමිණීමට තරම් උත්සුක වූහ. එමෙන්ම ඒ ටෙලි නාට්‍ය මාලාව පස්වරු 6.30ට විකාශය වීමත් සමඟ බොහෝ නාලිකාවලට තම වැඩසටහන් සංශෝධනය කිරීමටද සිදුවිය. එතැනින් නොනැවතුණු ඔහු ‘සිරිමැටි සිත්තරාවී’, ‘ඉසිවර වෙදැදුරු’, ‘අභීත දියණිය’ ආදී ටෙලි කතා මාලාවක් රූපවාහිනි නරඹන්නාට තිළිණ කළේ ය. සිය ගුරුවරයා හඬකැවීම් කළේ විදේශ කාටුන්වලට වුවද ඔහු ඒ සියලු නිර්මාණ රූපවාහිනි නරඹන්නන් වෙත ඉදිරිපත් කරන ලද්දේ අපේ පොළොවේ උපන් නිර්මාණ මෙනි. ඒ නිර්මාණ මේ පොළොවේ පැළවුණු නිර්මාණ ලෙස අපට දැනුණේ ඒවා හඬකැවීමේ දී භාවිත කළ බොහොම සුන්දර වචන මාලාව නිසා ය. සිය ගුරුතුමා මෙන්ම අතුල රන්සිරිලාල්ද එවැනි වචන කිහිපයක්ම අපේ සිංහල ජන සමාජයට හඳුන්වා දුන්නේ ය. ඒ අතර සිරිමැටි යන වචනය ප්‍රධාන වෙයි. සිරිමැටි යනු සෙරමික් වෙයි. එය සොයා ගැනීමට ඔහුට උදව් කරන්නේ චම්පිකා දීපානි රණසිංහ ය.

ඊට අමතරව ටයි මහත්තයා නිර්මාණය කරන ලද හඬකැවීම් මැදිරිය ද්විමාන, ත්‍රිමාණ මැදිරියක් බවට පත්විය. හඬකැවීම් ඒකකය රූපවාහිනියේ හදවත බඳු ය. ඒ හදවත බඳු වූ ජාතික රූපවාහිනියට ඔහු පසුගිය දිනෙක ආයුබෝවන් කිව්වේ ය. එහෙත් ජාතික රූපවාහිනියේ ටයිටස් තොටවත්තයන් නැති හඬකැවීම් මැදිරියක් පිළිබඳ කතා නොකළ හැකි සේ ම අතුල රන්සිරිලාල් නොමැති රූපවාහිනි හඬකැවීම් මැදිරියක් පිළිබඳ ද අපට කතා කළ නොහැකිය.