වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




නම විමුක්තිකා වුණේ තාත්තාගේ අරගල නිසා

නම විමුක්තිකා වුණේ තාත්තාගේ අරගල නිසා

විමුක්තිකා කාරියවසම්

පසුගිය කාලය පුරාවටම මෙන්න ප්‍රවෘත්ති විශේෂාංගය හරහා ඔබ වෙත ගෙන ආවේ කැමරාව ඉදිරියේ සිටිමින් ඔබව අමතන නිවේදක නිවේදිකාවන්ව. මෙවර අප ඒ සම්ප්‍රදාය මඳකට වෙනස් කරන්නට හිතුවා. ඒ තිරයෙන් පිටුපස සිටිමින් භාරදූර කාර්යභාරයක් සිදු කරන අයකුව මේ විශේෂාංගයට එක්කර ගනිමිනි. ඒ කෙනා කාන්තාවක වීම තවත් විශේෂත්වයක්.

විමුක්තිකා කාරියවසම් කරුණාරත්න. ඇය තමයි වර්තමානයේ ජාතික රූපවාහිනියේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ සිංහල ප්‍රවෘත්ති තනතුර දරන්නේ. ඒ වගේම ඇය සහකාර අධ්‍යක්ෂ ප්‍රාදේශීය පුවත් යන තානාන්තරය ද හොබවනවා. වගකීම් රැසක් තම හිස මත තබාගෙන කටයුතු කරන විමුක්තිකාගේ ජාතික රූපවාහිනි ජීවිතයට වසර දහනවයක් වෙනවා.

මා පළමුව දැනගන්නට කැමැතියි ඔබ ජාතික නාලිකාවට එකතු වූ අන්දම ගැන?

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය හැදෑරුවාට පසු මට ආරංචි වුණා ජාතික රූපවාහිනියට පිරිස බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා කියලා. මම ඊට අයැදුම් කළා. එය තිබුණෙත් කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට පමණයි. මම ඇතුළු හතර දෙනෙක් එම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණා. එදා පටන් මම ජාතික නාලිකාවේ සේවය කරනවා.

කුමන තනතුරට ද ඔබව ජාතික නාලිකාවට බඳවා ගැනෙන්නේ?

පුහුණු නිෂ්පාදක හැටියට. මාස කිහිපයකට පසු නිෂ්පාදිකාවක් ලෙසට වැඩ කරන්නට ලැබුණා.

මොන අංශයේ ද ඔබ එලෙස නිෂ්පාදිකාවක හැටියට කටයුතු කළේ?

විවිධ වැඩසටහන් අංශයේදී දේශපාලන සතිය වගේ වැඩසටහන්වලට නිෂ්පාදනයට සහාය වුණා. ඉන් පසුව දිගින් දිගටම ඉන්න තෝර ගත්තේ ප්‍රවෘත්ති අංශය.

කාලයක් ඔබ නිවේදිකාවක් ලෙසට ද කටයුතු කළා නේද?

ඔව්. කාන්තා වැඩසටහන් තමයි මෙහෙය වූයේ.

ප්‍රවෘත්ති කිව්වේ නැද්ද?

නැහැ. වැඩියෙන්ම ප්‍රිය කළේ ප්‍රවෘත්ති කියනවාට වඩා ප්‍රවෘත්ති ගවේෂණයට.

ඇයි එතරම්ම ඒ විෂයට පෙම් බැන්දේ?

මං ගොඩක් ආසයි ප්‍රවෘත්තියක් හඹා යන්න. එහෙම කරලා ප්‍රවෘත්තියක ඇත්ත නැත්ත හොයලා ජනතාවට ඉදිරිපත් කරන්නට මං බෙහෙවින් ආසයි. මං හිතන්නේ ඒ ගවේෂණය මගේ ඇඟ තුළ තියෙන දෙයක්.

කාන්තාවකට ඒ වගේ ප්‍රවෘත්ති හඹා යද්දී නොයෙක් ගැටලු මතු වෙනවා නේද?

ඇත්තම කිව්වොත් ඔව්. නමුත් මං හරිම ආසයි අභියෝගවලට. ඒවාට සාර්ථකව මුහුණ දීලා මගේ වෘත්තියට මං සාධාරණයක් ඉටු කරනවා. සමහර විට පිරිමියෙක් වගේ වැඩ කරන්න වෙනවා. දැන් මට ඒවා සාමාන්‍යයි.

ඔබ එලෙස හඹාගෙන හෙළිදරව් කළ හොඳම ප්‍රවෘත්තිය මොකක්ද?

පාසල් වෑන් රථ, මං කියන්නේ සෑම පාසල් වෑන් රථයක් නෙවෙයි. ඇතැම් ඒවායේ රියදුරන්ගෙන් පාසල් ළමුන්ට වන අනිසි බලපෑම් ගැන මං කළ හෙළිදරව්ව තමයි මං ගවේෂණය කළ හොඳම ප්‍රවෘත්තිය හැටියට මං දකින්නේ.

ප්‍රවෘත්ති ගවේෂණයට ගිහින් වෙච්ච අමතකම නොවන අත්දැකීම මොකක්ද?

හොඳම අත්දැකීම ලැබෙන්නේ උද්ඝෝෂණවලට ගියාම තමයි. ඒවාවලට මැදිහත් වෙලා ඕන තරම් ගුටි කාලත් තියෙනවා. ඇතැම් ගැටුම් මතක් වෙන කොටත් බයයි.

ඔබේ තනතුරු යුවළ ඔබට බරක් කියලා හිතෙන්නේ නැතිද?

බරක් කියලා හිතෙන්නේ මගේ වෘත්තීය රස්සාවක් කියලා හිතුවොත්නෙ. මම එහෙම හිතන්නේ නැහැ. මේක හුදෙක්ම රස්සාවක් නෙවෙයි. අපි පැය 24 ම වැඩ. නිවාඩු දවස් නැහැ. අලුත් ප්‍රවෘත්තියක් ආව සැනින් අපි ඒක ජනතාවට දිය යුතුයි. සමහරු අහනවා මේ වගේ රස්සාවක් එපා වෙන්නේ නැද්ද කියලා. කොහෙත්ම නැහැ. ඉතාම ආත්ම තෘප්තියෙන් වෘත්තීයේ නියැලෙන්නේ.

ඔබේ සැමියා සහ මාමණ්ඩිය ගැන කතා නොකළොත් මෙතැනට මහත් වූ අඩුවක් වේවි?

මගේ මහත්තයා හර්ෂ කරුණාරත්න. ඔහු ජාතික නාලිකාවේ ප්‍රවෘත්ති කැමරා ඒකකයේ ප්‍රධානියා. ඔහුගේ පියා ගත් කතුවරයකු වන කුමාර කරුණාරත්න.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මගේ පියාව මතක් කරන්න කැමැතියි. ඔහු ජේමිස් කාරියවසම්. කම්කරු නායකයෙක්.

ඔබට විමුක්තිකා කියලා නම තබන්න ඇත්තෙත් ඔහු?

ඔව්. තාත්තා තම අයිතීන් වෙනුවෙන් අරගල කරපු කෙනෙක්. ඔහු අභියෝගයන්ට මුහුණ දෙන අන්දම දැකලයි මමත් අභියෝගවලට කැමැති වුණේ.