වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.

හද තිරයේ රැඳී රැඟුම්

රුක්මණී දේවි, ෆ්ලොරිඩා ජයලත්, කාන්ති ගුණතුංග, ලීනා ද සිල්වා, මේබල් බ්ලයිට්, රවීන්ද්‍ර රූපසේන, ප්‍රේම් ජයන්ත්, හර්බි සෙනෙවිරත්න, අශෝක පොන්නම්පෙරුම, අශෝකා පොන්නම්පෙරුම, එඩී ජයමාන්න වැනි නළු නිළියන් රඟපෑ චරිත අදටත් මහද තිරයේ නිබඳ දිස් වෙනවා.

ආරියදාස පිංදෙණිය

බටවල

පාදුක්ක


ස්වර්ණාට උපහාර

ස්වර්ණා මල්ලවාරච්චි, ඔබ ආවාට ගියාට චිත්‍රපටවල රඟපැවේ නැත. ඉතා පරෙස්සමෙන් චරිත තෝරා බේරා ගෙන සම්භාව්‍ය ගණයට වැටෙනා චිත්‍රපට රැසක රඟ පා සම්මානයට පාත්‍ර විය. තවද 'අංජානා' වැනි වාණිජ චිත්‍රපටවලද ඔබට රඟ පෑ හැකි බව ඉතා අපූරුවට කියා දුන්නාය. අති දක්ෂ ස්වර්ණා ඔබට අපගේ උපහාරය.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

මීරිගම පාර

පස්යාල


රැව් පිළිරැව් දෙන සුජාතා හඩ

සුජාතා එදා ඔබ සිංහල සංගීත ක්ෂේත්‍රයට පැමිණ ගැයූ ගී තවමත් අප මතකයේ සුන්දර ලෙසින් තැන්පත් වී ඇත. එම චිත්‍රපට අතරින් 'සත පනහ', 'පරසතුමල්', 'සූර චෞරයා', 'ධීවරයෝ', 'ස්වීප් ටිකට්' වැනි චිත්‍රපට විශේෂ තැනක් ගෙන ඇත. ඉදිරියටත් එලෙසින්ම ඔබේ හඬ රැව් පිළි රැව් දේවා යි පතමි.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


රන් අකුරෙන් ලියූ නාමය

දශක පහකට වැඩි කාලයක් හාස්‍ය රංගනයෙන් සුවහසක් රසික රසිකාවන් පිනවූ බර්ටි ගුණතිලක කලාකරුවාණන් සෙසු ශිල්පීන් අතර පෙරමුණේ සිටී. කලා ලොවේ ඔහුගේ නාමය රන් අකුරින් ලිය වී ඇත. බර්ටි ගුණතිලක කලාකරුවාණෙනි ඔබට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ පතමි.

අතුල රම්‍යසිරි

පානදුර


ශලනි තාරකාට

දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් මෙන්ම අති දක්ෂ නර්තන ශිල්පිනියකද වන ඔබ මේ දක්වා පෙන්වූ ප්‍රතිභාව අගෙයි. නමුත් ඔබට යා හැකි දුර වටහා ගෙන තව තවත් උසස් නිර්මාණවල ඉහල දස්කම් දක්වන්නට ලැබේවායි පතමි.

නිමල් කුලසේකර

අඟුලාන


මේ ජීවන ගමන සංසාරේ

එදා ප්‍රේම් ජයන්ත් සහ ෆ්ලොරිඩා ජයලත් මේ ජීවන ගමන සංසාරේ ගීතයට රඟපාමින් 'සුජාතා' චිත්‍රපටයට එක් කළ රසාස්වාදය සදා මතකයේ රැඳෙන්නකි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ


පුංචි තිරයේ විකට රජු

සුනිල් හෙට්ටිආරච්චි සිනමාවට වඩා ජනප්‍රිය වූයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුලය. 'ළා හිරු දහසක්', 'පළිඟු මැණිකේ', 'බෝඩිම', 'කීටයා', 'හොටෙල් ඩී කලබල', 'නිවටයා', 'ගිරය' ආදි ටෙලි නිර්මාණ රැසක රඟමින් පුංචි තිරයේ විකට රජු විය. 'මදර් තෙරේසා' හි දර්ශන ශ්‍රී ලංකාවේ රූ ගැන්වෙන විටදී චාලි චැප්ලින්ගේ දියණිය සමඟ රඟපෑමට සුනිල් වාසනාවන්ත විය. 'සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා'හි රංගනයෙන් ර්‍ණඛ්ධ්ඛ් සහ සරසවිය සම්මානයට ද පාත්‍ර විය. රටක් සිනහ සයුරේ ගිල්වූ සුනිල් හෙට්ටිආරච්චි 2015 දෙසැම්බර් 03 වැනිදා අපෙන් සමුගෙන අප හැඬවූවා.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


වර්තමානයේ සිනමා සංගම්

හරවත්, ගුණාත්මක දේශීය සිනමාවක් ගොඩ නැංවීමේ කාර්යයේදී සිනමා සංගම් වැදගත් කාර්යභාරයක් සිදු කරන බව නොකිවමනාය. කොළඹ සිනමා සංගමය, සොළොස්මාන සිනමා කුණ්ඩලිය වැනි සිනමා සංගම් මගින් එකල දේශීය සිනමාවේ ප්‍රගතිය සදහා වැදගත් මෙහෙවරක් ඉටු කරන ලදී. නමුත් අද දක්නට ලැබෙන්නේ කණගාටුදායක තත්ත්වයකි. සිනමාව කෙරෙහි ඇල්මක් විශේෂයෙන්ම යොවුන් පරපුර තුල ජනිත කරවීම සදහා සිනමා සංගම් විසින් ලබා දෙන දායකත්වය වැදගත්‍ වේ. චිත්‍රපට සංස්ථාව මැදිහත් වී හෝ මෙම කටයුත්තට මුල පුරන්නේ නම් මැනවි.

රුවින්ද කොල්ලුරේ

හයිලෙවල් පාර

මීගොඩ


ඉන්ද්‍රසිරි සුරවීර ඔබට ජය ශ්‍රී

සුවහසක් වූ රසික රසිකාවන් ඉමහත් සෙනෙහසින් වැළඳගත් 'සංහිඳ', 'ශනිදා සාදය' වැනි වැඩසටහන් ඉදිරිපත් කරමින් රසික ආදරය ලද ඉන්ද්‍රසිරි සුරවීර සුවිශේෂි සන්නිවේදකයෙකි. ඔබගේ රසවින්දනාත්මක නිවේදන කලාව අප ඉතා අගය කොට සලකමු. ඔබට ජය ශ්‍රී.

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


සංගීත වේදිකාවට නැතුවම බැරි හඬ

දශක තුනකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රයට අපූරු ගීත රැසක් දායාද කළ රූකාන්ත ගුණතිලක සංගීත වේදිකාවට අද නැතුවම බැරි ගායකයෙකි. 'උකුලට නාවත් එදා වගේ', 'සඳ පිනිදියේ', 'දේදුනු පාටයි', 'මිදුලේ අතන නංගෝ', 'දවසක් දා' වැනි මියුරු ගීත සේම තවත් අලුත් ගීත රැගෙන එන්න ඔබට ආරාධනා.

එස්. එල්. වික්‍රමසිංහ

වැඩිහිටි නිවාසය

රංවල

කෑගල්ල


ශ්‍රියාණි දිසානායකට ප්‍රණාමය

බොහෝ කාලයක සිට නිළි රැජන රුක්මණී දේවිය සමරමින් එතුමියගේ ජන්ම දිනයට උත්සව සංවිධානය කරමින් වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන එමින් අසරණ කලාකරුවන්ට මුල්‍ය සහ ද්‍රව්‍යමය ආධාර කරමින් අසහාය රංගන ශිල්පිනිය ගීත කෝකිලාවියගේ ගුණ වැයුමෙන් ගායනයෙන් ශ්‍රියාණි දිසානායක ඔබ කරනා මෙහෙයට, නිහඬ සේවයට අපගේ ප්‍රණාමය.

චන්ද්‍රකාන්ති පියතුංග

දළුගම කැලණිය


මාතර අයියා

චිත්‍රපට, ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වූ මාතර අයියා නමින් ප්‍රකට රංගන ශිල්පී ජී. කේ විජේසිරි රංගන ශිල්පියාගේ රංගයන් විශේෂයි. ඔහු ඉදිරිපත් කරන්නා වූ ඔහුටම ආවේණික රංගන ශෛලිය අගයමි. ඔහු අපට ආඩම්බරයකි. ඔහුගේ රංගනයන් දැකීමට කැමැත්තෙන් සිටිමි.

මනහර මහින්ද

බෙලිගල


චන්න ගෙන ආ පූජා

චන්න පෙරේරා විසින් සිංහල සිනමාවට හඳුන්වා දුන් පූජා උමාශංකර් නම් සුරූපි රංගන ශිල්පිනිය සිංහල සිනමා නිර්මාණ කිහිපයකම දක්ෂ ලෙසින් රංගනයේ යෙදුණද මේ දක්වා ඇය ඇගයීමට ලක් නොවීම ප්‍රේක්ෂක කුතුහලයට කරුණකි. අපේ රටට උරුමකම් කියන පසුබිමක් හිමි ඇයට නිසි ඇගයීමක් හිමි විය යුතුය.

අයිලීන් සෝවීස්

වැලිසර

රාගම


රසික ඇගයුම ලද ගායන ශිල්පිනිය

දශක කිහිපයක්ම ශ්‍රාවක මතකයේ රැඳෙමින් රසබර ගීත රැසක් තිළිණ කළ රූපා ඉන්දුමතී ගායන ශිල්පිනිය රසික ඇගයීමට පාත්‍ර වන කලාකාරිණියකි. ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පිනියක වන රූපා චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසික්ද සිය දක්ෂතා ප්‍රකට කළ අවස්ථා බොහෝය. 'එක ගඟක ඉවුරු දෙක කවදා', 'සිහිලැල් බුදු ගුණ ගඟුලේ', 'අද ඇති දේ හෙට නැති වෙනවා' වැනි ගීත රසික මතකයේ නොමැකෙන ගීතයන් වේ.

අනුර කුලවර්ධන

රදාවාන


ආදර්ශයක් දුන් ටෙලියක්

ජාතික රූපවාහිනිය ඔස්සේ සතියේ දින පහ තුළ විකාශය කළ 'චුට්ටේ' ටෙලි නාට්‍ය අවසන් වූ ආකාරය අගෙයි. ත්‍රාසය, කතුහලය කැටි කොටගත් එම නාට්‍යයේ රංගනයෙන් දායක වූ නළු නිළි පිරිසද නිර්මාණයට දුන් දායකත්වය අගයමි. ඒ ඔස්සේ දුන් ආදර්ශයද වර්තමානයට වටිනා ආදර්ශයක් බව කිව යුතුමය.

දිනේෂ් ගුණසේකර

නූපේ

මාතර


ප්‍රසංගයකට ආරාධනා

ඉන්ද්‍රාණි බෝගොඩ අපේ කලා ක්ෂේත්‍රයේ දක්ෂ ගායිකාවකි. ඔබ ගැයූ 'සීත දිය රැල්', 'පෙම් කළ වරදට', 'මා ප්‍රිය හිමියනි', 'සිහින මාළිගේ', 'නොතැවෙන් සූරියකාන්තා' ඉතාම ජනප්‍රිය ගීත වේ. ඔබේ එම ගීත ප්‍රසංගයකින් රස විඳීන්න ආසාවෙන් සිටිමි.

ජයන්ත අමරතුංග

චන්දන පොකුණ

පොළොන්නරුව


ටෝනි මහා නළු නමට හරසර

අපේ කට්ටිය ගෙනා බෝඩිංකාරයෝ සිරිසෝම වන්නේ
ඔපේකර වේදිකා රන්බිම කලා ලොවට පිය මැන්නේ
පෙළහරින් රන් තෝඩු රංගන ටෝනි පෙරමුණටමයි එන්නේ
එදා තට්ටු ගෙවල් දිවියේ අරුත රඟමින් මිහිර දෙන්නේ

ගම්පෙරළියේ බලදාසව රිදී තිරයටත් ආවා
දෙලොවක් අතර නිශ්ශංකට හිමි තැන ඔබ පෑවා
රන් සළු සුටු සිරිල් එදා හරියට කම්පිත වූවා
පරසතු මල් සිරිසේනත් රස රහසක් මට කීවා

මැව් පෙම් ලොව බිඳී ගියෙන් අහසින් පොලවට එන්නේ
සරත් ඔබයි පෑ රැඟුමන් නෑ මතකෙන් පැන යන්නේ
පොලිස් පරීක්ෂක රෑ මනමාලිට අත හිත දෙන්නේ
දාබරේලු සප්ත කන්‍යා මොණර කිරිල්ලියො දන්නේ

හතේ වසම සුවඳ කැකුළු මතකය නිති රැව් දෙන්නේ
රයිගම් යාළුවෝ රැඟුම් අසිරිය හද සනසන්නේ
ටෝනි මහා නළු කිවියර පන්හිඳ අත ලෙළවන්නේ
දිලිප් කුමාර් චරිතය පුස්තක ලෝකෙට පුදමින්නේ

විරාජ් හර්ෂනාථ බණ්ඩාර

හුළුගල්ල පාර

නිකවැරටිය


උරේෂා රවිහාරි සොයුරියට

යන්නට හැකිය රසිකයො ඇත මහ ඉහළයි
සුමියුරු මිහිරි ගීතය අප සිත් සනසයි
ගැයු ගී වලින් අප දහවත් පුබුදු කරයි
ඔබගේ ගමන් මඟ නිරතුරු මල් පිබිදෙයි

ගීතයේ රූප රාමුවෙ රැඟුමන් ඉහළයි
පතනෙමි සරස්වති දේවියගේ පිහිටයි
සංදර්ශන වේදිකාවම ආලෝක කරයි
ගී පද සංගීතයේ ඔබ සංයෝජනය යි

අරුතින් රසය පිරි ගීතය ඔබ ගැයුවයි
ඕනිම ගීතයක් ගැයුමට නුඹ හපනියි
මේ ආ ගමන් මඟ මට නම් නිති පැහැදෙයි
ඔබ හඬ නිසා ගමනට නම් ජය නියතයි

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල