|
මුල්වරට හොඳම ගායකයා ලෙස සම්මාන දිනූ ප්‍රතිපත්තිගරුක ධර්මදාස වල්පොල
කෙළින් වැඩ කළ, ගීත හා චිත්‍රපට ගීත ඉල්ලා කිසිවකු පසුපස නොගිය ඔහු ඉඳහිට ලැබෙන චිත්‍රපට ගීතයක් දෙකක් ගයා සෑහීමකට පත්ව එයින් උපරිම තෘප්තියක් ලැබූවකි. කිසිදු පිළිගත් සම්මාන උලෙළකින් සම්මානයක් අගය කිරීමක් නොලැබූ එකම ගායකයා ඔහුය. ඒ කිසිවකින් නොසැලී ප්‍රතිපත්ති පාවා නුදුන් ඔහු වසර 35 ක් පමණ කාලයක් තුළ සිංහල චිත්‍රපට ගීතාවලියට ගජ මුතු වැනි ගීත, ඒකල ගීත, යුග ගීත රැසක් ඉතිරි කොට තබා මීට වසර 35 කට පමණ පෙර සීතල නත්තල් සමයේ සමු ගත්තේය. ඔහු වල්පොල කංකානමගේ ධර්මදාස පෙරේරා නොහොත් ධර්මදාස වල්පොලය. ඔහු උපන්නේ 1927 වසරේ නොවැම්බර් 27 වෙනිදා මහනුවර දෙයියන්නේවෙලය. පියා පෑලිස් පෙරේරාය. ඇඳුම් මැසීමට මෙන්ම ඇඳුම් නිර්මාණය කිරීමට ගජ හපනෙකු වූ ඔහුට මහනුවර සිට කොළඹ මාලිගාකන්ද පාරට අවතීරණ වූ පසු මරදානේ ටවර් රංග ශාලාවේ ඇඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබුණි. එපමණක් නොව තංගල්ලේ සිරිසේන විමලවීරයන්ගේ නාට්‍යවල ඇඳුම් නිර්මාණය මෙන්ම වේශ නිරූපණය කිරීමට අවස්ථාව ලැබුණි. නාට්‍යවල අතිරේක නළුවකු ලෙස ද ඔහු දායක විය. තාත්තාගේ කලා රසය පුංචි ධර්මදාසට බලපෑවේය. නළුකමට ඇලුම් කළ ඔහු විමලවීරයන්ගේ නාට්‍යවල රඟපෑ ඩී. ආර්. නානායක්කාර, එන්. ආර්. ඩයස්, මාෂල් පෙරේරා නළුවන් අනුකරණය කළේය. කුඩා ධර්මදාසගේ හැකියාවන් දුටු ඔහුගේ අම්මා කරුණාවතී රත්නායක මාතාව අතිශයින්ම සතුටු වූවාය. ධර්මදාස මුලින් ඉගෙනීම ලැබුවේ දෙයියන්නේවෙල රජයේ පාසලේය. එය අද රණසිංහ දෙව් මහා විද්‍යාලයයි. දෙමාපියන් සමඟ කුප්පියාවත්තට පදිංචියට පැමිණි ධර්මදාස වැඩිදුර ඉගෙනීමට ගියේ මාලිගාකන්ද රජයේ විද්‍යාලයටය. මොහිදීන් බෙග් ගැයූ ග්‍රැමෆෝන් ගී ඇසූ කුඩා ධර්මදාස ඔහුගේ ගීත බටනලාවෙන් ගැයීමෙන් සතුටක් ලැබුවේය. පාසලේ යහළු යෙහෙළියන් සමඟ තරග ලීලාවෙන් ගී ගැයූ ඔහු පාසලේ සිටි උසස්ම ගායකයා ලෙස පිළිගැනීමත් ඔහුගේ ඇල්ම පිළිබඳ සාක්ෂියකි. තලාද් මෙහෙමුඩ්, හේමන්ත් කුමාර්, මුකේෂ් ගැයූ ගීත බටනලාවෙන් මෙන්ම ගායනයෙන් පාසල් සාහිත්‍ය සමිතිය ප්‍රබෝධමත් කළේය. විදුහල්පති යූ. ඩී. පෙරේරා මහතා සංගීතඥයෙකි. ඔහු ධර්මදාසගේ හැකියාවන් දැක උදව් කළේය. ‘මුල්ම සංගීත ගුරුවරයා සංගීතාචාර්ය යූ. ඩී. පෙරේරා මහතා බව කියා ඇති පරිද්දෙන්ම තමාව ප්‍රථමවරට ගුවන් විදුලිය වෙත කැඳවාගෙන ගොස් විවිධ ප්‍රසංගයකට සහභාගි කර ගීයක් ගැයීමට අවස්ථාවක් ලබා දී ඇත්තේ පංචිකාවත්තේ සංගීතාචාර්ය කේ. ලයනල් පෙරේරා මහතා බව ධර්මදාස ‘ලංකා චලන චිත්‍ර’ සිනමා සඟරාවේ කර්තෘ සෝමපාල රණවීරට (1957 සැප්: 15) පවසා තිබුණි. ඒ කතුවරයා ධර්මදාස හඳුන්වා ඇත්තේ ‘සිංහල චිත්‍රපට ගීත රාජ්‍යයේ ඔටුනු පලන් ගීත රාජයා’ නමිනි. 1957 වන විට ධර්මදාස ලංකාවේ අසහාය ගායකයා වී සිටියේය. එදා ගුවන් විදුලියේ ගී ගැයීමෙන් ජනප්‍රසාදයට පත් වූ ධර්මදාස ඉන්පසු එච්. එම්. වී. ගීත තැටි සමාගමේ ස්ථිර ගායකයෙක් ලෙස ස්ථාවර වුයේ ජී. ඇස්. බී. රාණි සමඟ ‘තොටියෝ තොටියෝ’ ගීතය මුල්වරට ගැයීම නිසාය. මේ කාලයේම එකල ජනප්‍රිය ගායිකාවක්ව සිටි විවියන් ද සිල්වා බොරලැස්ස, දක්ෂ බටනලා වාදකයකු ලෙස දැන සිටි ධර්මදාස සමඟ යුග ගීයක් ගැයීමට ඇරැයුම් කළාය. ‘නිදි යහනෙ ඇයි ද සෝක සිතින් කුමුදු රාජණී’ නම් මේ ගීතය ධර්මදාස මුල් වරට ගැයූ (1952) ගුවන් විදුලි ගීතය විය. එය එදා අතිශයින් ජනප්‍රිය වී ඇත. ධර්මදාසට බටනලා වාදනය ගැන ශාස්ත්‍රීය දැනුමක් ලබා දුන්නේ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේනය. චන්ද්‍රසේන සංගීතායතනයෙන් 1949 දී ධර්මදාස ද පසුව සංගීතඥයකු වූ ප්‍රේමසිරි කේමදාස ද බටනලා වාදනය ඉගෙන ගත් බවත් එදා කොට කලිසමකින් සැරසී බටනලා පිඹිමින් සිටි වල්පොල නැමති කොලු ගැටයාගේ ගායන හා වාදන කුසලතාව හඳුනාගත් චන්ද්‍රසේන ඔහු තම නිවසට කැඳවා ගෙන ගුරු හරුකම් දෙන්න පටන් ගත්තේ 1944 පටන් බව මහාචාර්ය සුනිල් අරියරත්නයන් පවසා තිබුණි. ‘ආර්. ඒ. චන්ද්‍රසේන එක් අතකින් මගේ යාළුවෙක් වුණා. සංගීතය පිළිබඳ මගේ හැකියාව ඔප මට්ටම් වුණේ චන්ද්‍රසේන නිසයි.’ ධර්මදාස ‘විසිතුර’ පුවත්පතට 1973 ප්‍රකාශ කොට තිබුණි. චන්ද්‍රසේනයන්, ධර්මදාසට දැනුම ලබා දී සංගීතය ඉගැන්වීමට ‘සංගීත පන්තියක්’ ද ආරම්භ කිරීමට ශක්තිය ධෛර්යය දී ඇත. ගායකයකු වූ වල්පොල සංගීත ප්‍රසංගවලදී හඳුන්වා ඇත්තේ ‘ලංකා තලාද්’ නමිනි. 1952 වසරේ ලංකාවේ ප්‍රථම වරට සිනමා පුවත්පතකින් ඇරඹූ මුල්ම ‘ලංකාවේ හොඳම ගායකයා’ තේරීමේ පාඨක තරගයකින් ජයගත් ප්‍රථම ගායකයා වන්නේ ධර්මදාස වල්පොල බව දන්නේ කීයෙන් කී දෙනාද? මීට වසර 65 කට පෙර 1952 ජූලි 01 වෙනිදා නිකුත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමා පුවත්පත වූ රොබට් ජයවර්ධන සංස්කරණය කළ ‘සිනමා’ හි ‘හොඳම ගායකයා’ තේරීමේ වරම පාඨකයින්ට පවරා තිබුණි. එම තරගයෙන් ජය ලබා ඇත්තේ ධර්මදාස වල්පොලය. ඔහුට හිමි පදක්කම ‘සිනමා’ පුවත්පතේ අයිතිකරුවන් විසින් පිරිනමා ඇත. 1952 ඔක්තෝබර් මාසයේ අවසන් කොට ඇති මේ තරගය උණුසුම් එකක් වූ බව එම පුවත්පත කියවීමෙන් අපට වටහා ගත හැකිය. අවසන් ඡන්ද ප්‍රතිඵල ලේඛනය. 1. ධර්මදාස වල්පොල - 2210, 2. කාන්ති වක්වැල්ල 2048, 3. සුනිල් සාන්ත - 1584, 4. ආර්. ඒ. චන්ද්‍රසේන 1473, 5. සී. ටී. ප්‍රනාන්දු 1320, 6. පී. එල්. ඒ. සෝමපාල 1320, 7. ඇල්බට් පෙරේරා (අමරදේව) 1098, 8. සුසිල් ප්‍රේමරත්න 1049, 9. ආනන්ද සමරකෝන් 1032, 10. රෝහිත ජයසිංහ 987 වැඩි ඡන්ද 162 කින් ධර්මදාස වල්පොල ප්‍රථම ස්ථානයට පත්ව ඇත. ධර්මදාස වල්පොල ගැන අප නොදන්නා එහෙත් අනාවරණය නොවූ තොරතුරු කිහිපයක් 1952 ‘සිනමා’ පුවත්පත එහි කර්තෘ රොබට් ජයවර්ධන ලියා තිබුණේ මේ ශීර්ෂ පාඨය යටතේය. ‘ධර්මදාස ගායකයකු පමණක් නොව ඔහු බලන්නත් හැඬ වූ නළුවෙක්’ ‘මහනුවර ඒබ්‍රියන් පෙරේරා නිෂ්පාදනය කළ ‘ශ්‍රී වික්‍රම’ නාට්‍යය ප්‍රදර්ශනයේ එදා (1936 දී පමණ) ධර්මදාස වල්පොල කුඩා මද්දුම බණ්ඩාර ලෙස රඟපාන හැටි බලා බලන්නන් හඬා ඇත. ඕගන් රුද්‍රිගෝ ‘බලගතු කාසිය’ නාට්‍යයේ කුඩා කෙල්ලක ලෙස රඟපා ඇත. සිරිසේන විමලවීරගේ ‘අම්මා’ වේදිකා නාට්‍යයේ ‘දවසක් ගමයෙක්’ නම් විරිදු පෙළ ද ගයා නරඹන්නන් වශී කොට ඇත.’ ධර්මදාසට මුල් වර චිත්‍රපටයක පසුබිම් ගායකයකු වීමට අවස්ථාව සැලසෙන්නේ ද දෛවයේ සරදමකිනි. ඒ වන විට සුසිල් ප්‍රේමරත්නයන් සමඟ යුග ගී ගයා තිබූ ජෙනිව් ප්‍රනාන්දු (ලතා) ‘එදා රෑ’ චිත්‍රපටයේ ගීත ගයා තිබුණි. ලතා ගැන පැහැදුණු සංගීත අධ්‍යක්ෂ ආර්. මුත්තුසාමි ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයේ ගීත ගැයීමට තෝරා ගෙන තිබුණේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ අරුණ ශාන්ති සමඟය. ඔහු ඒ වන විට රුක්මණී දේවි සමඟ ‘ඕළු මලේ සුදෝ සුදෝ’, ‘හද ආදර ප්‍රේමේ මන්දිරේ, ‘පාපේ මේ ජීවිතේ’ ආදී ගීත ගයා ජනප්‍රියව තිබුණි. තමාට චිත්‍රපටයක ගීතයක් ගැයීමට අවස්ථාව සැලසූ හැටි ධර්මදාස ‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවකදී අපට අනාවරණය කළේ මෙසේය. ‘මගේ හොඳම මිතුරක් එම්. ආරියදාස. ඔහු දක්ෂ තබ්ලා වාදකයෙක්. එදා රාත්‍රියේ ‘ආරි’ මාව සොයා ගෙන ආවේ ලොකු කලබලයකින්. මම කඩිනමින් ලෑස්ති වෙනකොට ‘ආරි’ කතාව කිව්වා. ‘ධර්මේ මේ යුග ගීය කියන්න හිටියේ අරුණ ශාන්ති. මිනිහා ආවා. උගුරේ අමාරුවක් හැදිලා මේ සින්දුව කියා ගන්න බැරි වුණා. දැන් ඔකේස්ට්‍රා එකත් ඇවිල්ලා. ලතා තමයි ඩුවට් එක කියන්න ඇවිත් හිටියේ. මුත්තුසාමි මාස්ටර් තබ්ලා වාදනය කර කර හිටිය මට කතා කළා. ආරියදාස ප්‍රොබ්ලම්, මිස්ටර් නායගම්ටත් කේන්ති. කවුරු හරි හොඳ මිනිහෙක් දැන් ගේන්න’ කිව්වා. නායගම් තමා නිෂ්පාදක. මට උඹව මතක් වුණා. ‘මාස්ටර් ඕකට හොඳම කෙනෙක් ඉන්නවා, ධර්මදාස වල්පොල කියලා’ ‘මම එයා දන්නවා, ගුඩ් මෑන්. ගුඩ් සින්ගර්. දැන්ම යන්න, කාර් එකක් තියෙනවා. යන්න. යන්න’ ‘ඕකයි කතාවේ ආරියදාස එදා වූ සිද්ධිය විස්තර කළා.’ එදා ආරියදාස සමඟ කඳානේ සුන්දර චිත්‍රාගාරයට ගිය ධර්මදාසට මුත්තුසාමි මාස්ටර් ගීතය ගැයීමට අවශ්‍ය උපදෙස් දෙනු ලැබීය. ලතා ධර්මදාස අසලට පැමිණියාය. ‘හොඳම හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ’ ‘ධර්මදාස එක ටේක් එකෙන්ම ඒ ගීතය ගැයුවේය. නායගම් මහත්තයටත්, මුත්තුසාමි මාස්ටර්ටත් හරිම සතුටුයි. මම ධර්මදාස එක්ක මේ ගීතය ගැයුවේ හරිම සතුටුයි. පටිගත කර ඉවරවෙලා මුත්තුසාමි කිව්වේ ‘වන් ටේක් සිගර්’ කියලා. ගීතය ලියපු හියුගෝ මාස්ටර් මට කිව්වා ‘ලතෝ උඹටම හරියන කටහඬ. උඹලා එකට එකතු වුණොත් පන්කාදුයි - මොකද? අනාගතේ උඹලා ගී ලෝකේ බබලවාවි’ කියලා. මම කිව්වා ‘මාස්ටර් මොන විකාර කතා කරනවද?’ කියලා. ලතා එදා කිව් බව ‘සරසවිය’ට කියා තිබුණි. ධර්මදාසව ආරියදාස බදා ගත්තේ ‘මචං උඹ මාගේ නම්බුව රැක දුන්නා’ කියාය. ‘ආරි උඹ නිසා මටත් තැනක් ලැබුණා’ ධර්මදාස ද කියා ඇත. ධර්මදාසට ලැබී තිබුණේ මුල්ම ගීතයේ අඩක් පමණි. ඒ යුග ගීතයක් නිසාය. මුත්තුසාමි තවත් ගීත දෙකක් ධර්මදාසට ලබා දුන්නේ නිෂ්පාදක නායගම්ගේ අනුමැතිය නිසාය. ‘සැපත ස්වර්ගේ හා නිරේ’ (ලතා සමඟ) ගැයූ ධර්මදාස ‘පෙර පළ පව දී මෙලොව ඉපදී’ තනිව ගැයීමට අවස්ථාව ලැබිණි. ධර්මදාස 1953 වසරේම තිරගත වූ ‘සුජාතා’ චිත්‍රපටයේ ඉන්දීය ගායිකා කේ. රාණි සමඟ ‘පෙම් රැල්ල නඟී ගල් තැල්ලෙ වදී - මේ සුන්දර සන්ධ්‍යාවේ’ ධර්මදාස ගැයූ මේ යුග ගීතය එදා අතිශයින්ම ජනප්‍රියව ඇත්තේ චිත්‍රපටයේ ඩොමී ජයවර්ධන හා ශාන්ති ලේඛා යන නළු නිළියන් දෙදෙනා තෙත ඇඳුමින් සැරසී මුහුදු වෙරළේ දී ගැයූ ගීතයක් නිසාය. මුල් යුගයේ (1947 සිට 1953) අපේ සිංහල චිත්‍රපටවල පසුබිම් ගී ගැයූ බොහෝ දෙනා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වීම ද කැපී පෙනුණ ලක්ෂණයකි. එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, හියුගෝ ප්‍රනාන්දු, පීටර් පිරිස්, බර්ට්‍රම් ප්‍රනාන්දු, ක්‍රිස්ටි ද මෙල්, කිංස්ලි ජයසේකර, වින්සන්ට් ද පෝල් පීරිස්, ඩී. ආර්. නානායක්කාර, ඇන්. ආර්. ඩයස්, මාෂල් පෙරේරා ආදීන්ය. මොහිදීන් බෙග් පමණි ඉන් බැහැරව පසුබිම් ගී ගයා ඇත්තේ. ධර්මදාස එතැන් පටන් ලංකාවේ හොඳම පසුබිම් ගායකයා ලෙස අභිශේක ලැබීය. ඔහුගේ ගීත ගායනය අගය කරමින් ‘චලන චිත්‍ර’, ‘ලංකා චලන චිත්‍ර’, ‘කලා’, ‘චිත්‍රවාහිනි’ චිත්‍රපට සඟරා ලිපි පළ කර තිබුණි. දිනමිණ පුවත්පතේ චිත්‍රපට විචාරක ජයවිලාල් විලේගොඩ හා ලංකාදීප විචාරක කරුණාසේන ජයලත් ද කියා තිබුනේ ඉන්දියානු ගොරහැඩි ගායකයන්ට වඩා ධර්මදාසගේ හඬ අපේ සංස්කෘතියට ගැලපෙන බවය. ධර්මදාස හා බෙග් එකල ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයෝ දෙදෙනා වූහ. මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ සිංහල චිත්‍රපට ගීතාවලි (1947 - 1956) කෘතියේ ලියූ සටහනින් ධර්මදාසගේ පසුබිම් ගායක යුග කාර්ය ‘ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග්ට වඩා හාත්පසින්ම වෙනස් හඬකට උරුමකම් කියූ ගායකයෙකි. බෙග් හැරුණු විට ප්‍රථම දශකයෙහි වැඩිම ගීත ප්‍රමාණයක් ගයා ඇත්තේ ද ඔහුය. ඔහුගේ හඬ මෘදු ද සැහැල්ලු ද සරල ද විය. එබැවින් චිත්‍රපට නිෂ්පාදක - අධක්ෂවරුන් ඔහුගේ හඬ වඩාත් භාවිතා කළේ ප්‍රේම ගීත ගායනය සඳහාය. ‘ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ’ (අහංකාර ස්ත්‍රී) ‘මිහිර පෙන්නා දී ආලේ පෑ මා හදේ’ (රදළ පිළිරුව), සුරඟනාවී මාගේ, ප්‍රේම සන්තාපයෙන් (සුරඟණී), සිරින් සරු සර වීලා, පෙම් මාලා ගොතා ගෙලේ (මාතලන්), වාසනාවන්ත කල ලබා (දොස්තර), සැබෑවෙ සිහිනය මාගේ (ඩිංගිරි මැණිකා), මඟ බල බලා ඇතිය මගේ සුදා (රම්‍යලතා), ප්‍රේමේ මෝරන කාලේ, පිටසරහි අගේ, සුරතලී (සුරතලී) වැනි ගීිත ධර්මදාස වල්පොලගේ ප්‍රේමවෘන්ධ ගායනය පිළිබඳ නිදසුන්ය. ධර්මදාසයන් ගැන තවත් බොහෝ දේ ලිවීමට ඇතත් බොහෝ කරුණු ඔබ දැනටමත් දන්නවා ඇත. එහෙත් මෙරට කිසිම පිළිගත් සම්මාන උලෙළකදී ඔහුට උපහාර සම්මාන පිරිනැමී නැත. ඔහුගේ හොඳම ගීත තිබුණු වසරවල සම්මාන උලෙළ නොපැවැත් වීම මෙයට ප්‍රබල හේතුවකි. ඔහු ප්‍රතිපත්ති ගරුක ගායකයෙකි. සිය දින චරියාව අරඹා ඇත්තේ උදේ පාන්දර 4.30 ය. අවදිව නා පිරිසුදුවී ජල ස්නානය කිරීමෙනි. ඉන් පසු සුදු සරමක් හැඳ බුදු මැදුරට යනවිට ගෙදර දූ දරුවෝ සේපාලිකා මල් වට්ටියක්, හඳුන්කූරු සුවඳ දුම් පිළියෙල කර තිබිය යුතුය. පැයක් ඔහු බුදුන් වඳී. දරුවන් තුන් සූත්‍රය සජ්ඣායනා කළ යුතුය. බුදුන් වැඳ පිටතට පැමිණෙන ධර්මදාස යාඩ්ලි හෙයා ක්‍රීම් හිස ගල්වා ගනී. කියුටි කියුරා පියරු මුළු ඇඟේම තවරා ගනී. කෑම කා එකල කොළඹ ආනන්දයට යන අමිත් හා සුනෙත් පුතුන් ධර්මදාස අසන ගණන් චක්‍රය අත්හදා බලයි. කාර් එකේ චක්‍රය අලවා තිබුණත් ඒවා බැලීමට තහනම්ය. දැඩි විනයකින් හා ශික්ෂණයකින් ඔහු දරුවන් හදා ඇත. වේවැල් පාර වැඩිය ලැබෙන්නේ සුනෙත්ට බව දියණිය ධම්මිකා කියන්නීය. දරුවන්ට අකුරු කියවීමට කැඳවා ඇත්තේ බඹරැන්දේ සිරි සීවලි හිමියන්ය. උන් වහන්සේට ධර්මදාස දක්වා ඇත්තේ ගෞරවාදරයකි. මේ ප්‍රතිපත්ති ගරුක ගායකයා අමරණීය චිත්‍රපට ගීත රැසක් ඉතිරි කොට 1983 දෙසැම්බර් 25 වැනි දින අප අතරින් වෙන් විය. |