වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




සහෝදරයා තමන්ගේ ගොඩට දාගන්න ලංකාවේ දේශපාලන පක්ෂවලට බැරිවෙයි

සහෝදරයා තමන්ගේ ගොඩට දාගන්න ලංකාවේ දේශපාලන පක්ෂවලට බැරිවෙයි

සහෝදරයා අධ්‍යක්ෂ නාමල් ජයසිංහ

එක් අතකින් නාමල් ජයසිංහ මුලු මහත් පොදු සමාජයටම කර ඇත්තේ සේවයකි. මන්ද සහෝදරයා යන පදය අද පොදු සංස්කෘතිය තුල භාවිතා නොකරන තරම්ය. ඒ වෙනුවට කදිම ආදේශක වචන ව්‍යවහාරයේ ඕනෑ තරම් ඇත. ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් වේවා එම වචන ඒ වචන අවශ්‍ය පරිදි කෙටි කරගෙන අන්‍යයන් ඇමතීම අද තරුණයා කදිමට සිදුකරයි. සහෝදරයා යන පදය කෙස් පැහුනු වම්මුන්ගෙන් ගලවා ගැනීමට නාමල් දරා ඇත්තේ ප්‍රශස්ත උත්සාහයකි. මේ කර්තව්‍ය සිදු කිරීම ගැන අයෙක් නාමල් ජයසිංහට ලකුණු කිහිපයක් දිය යුත්තේය. යම් වචනයක් ටෙලි නාට්‍යයක් වෙනුවෙන් යොදවන කාර්යය ඉතා පහසුය. නමුත් ඊට අර්ථයක් සැපයීම අද නොවනා තරම්ය. එමෙන්ම මෙයට ආශක්ත වුවන්ට සහෝදරයා යන ආමන්ත්‍රණය යෙදීමට ඔහු ධෛර්ය දී ඇත. නාමල් හට ලකුණු ටිකක් දීම වටින්නේ ඒ අර්ථයෙනි.

ඔහු සහෝදරයා යන පදය නිර්භයව තමන්ගේ පිටපතට යෙදුවද එම වචනය පිටුපස ඇති සාම්ප්‍රදායික සමාජ භාවිතාව කිසිසේත් බැහැර නොකරයි. නාමල්ගේ ඉහත බොහෝ නිර්මාණ බොහෝ විට දේශපාලනයෙන් බැහැර වූයේ නැත. ‘සහෝදරයා’ වුව එසේය. වෙනසකට ඇත්තේ ඔහු කලින් ලියූ පිටපත් සමඟ බැලූ විට සහෝදරයා යම් කිසි සෘජු දේශපාලන ගනුදෙනුවකට අනුගත වී ඇති බව පෙනෙන්නට තිබීමයි. නාමල් ටෙලි නාට්‍ය පිටපත් 6ක් ලියුවෙකි. අවසාන වර ‘බොහිමියානුවා’ වෙනුවෙන් හොඳම තිර නාටකයට හිමි සම්මානය ලබා ගත්තේත් නාමල්ය. තවත් විටෙක ඔහු විද්‍යාර්ථින්ට බොහෝ දෑ උගන්වන කථිකාචාර්යවරයෙකි. එමෙන්ම නළුවෙකි. මෙවර ඔහු කුලුඳුලේම අධ්‍යක්ෂණයට එන්නේත් තමන්ගේ පිටපතක් තුළින්මය.

අද්‍යතන දේශපාලනයත් සුන්දර පවුලකුත් අතර සුසංයෝගයක් ඇති ශක්තිමත් පාදමක් ඇති කතාවක් ලෙස ‘සහෝදරයා’ හැඳීන්විය හැක. රජීව (තුමිඳු දොඩන්තැන්න) හා ඔහුගේ බිරිඳ අතර තිබෙන අපූරු රස විද්‍යාවත් ඔහුත් අජන්ත (රොෂාන් රවීන්ද්‍ර) අතර තිබෙන ප්‍රවාහයට එරෙහි දේශපාලනයත් සහෝදරයා දිගින් දිගටම ගොඩ නගයි. සහෝදරයා යන පදය වඩාත් උචිත වන්නේත් ඔවුනොවුන්ගේ මිත්‍ර කම් වලට ඔවුනොවුන්ම වටිනාකමක් දෙන හෙයිනි. සිදුවන්නේ, වුනේ කුමක්දැයි මෙහි සටහන් කළ යුතු නොවේ. එක්කෝ ඔබ ලබන සතියේ සිට සෙනසුරාදා ඉරිදා රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය බැලිය යුතුය. නැතිනම් ඔබ යූ ටියුබ් ජාලය ඔස්සේ පසුගිය කොටස් නැරඹිය යුතුය. නැතිනම් දෙකම කළ යුතුය.

තවත් අතකින් බැලුවහොත් දේශපාලනය හා කලාව එක මිටට ගැනීමේ උත්සහයක් ලෙස නාමල්ගේ සහෝදරයා හැඳීන්විය හැක. අසීමිත ලෙස බොඳ වූ දෑස් තුළින් දේශපාලනය දෙස බලන සමාජයකට කලාවේ ව්‍යංග්‍යය කෙසේ ගෝචර වනවාදැයි අංශකයට කිව නොහැක. නාමල්ගේ මේ උත්සාහයත් එසේ මිනිසුන්ට ගෝචර නොවන ව්‍යංග්‍යය කඩා බිඳ දැමීමක් බඳුය. ඔහුගේ දෙබස් ඉතා සෘජුය.

රජීව මාධ්‍යවේදියෙකි. අජන්ත යටිබිම් ගත දේශපාලන ක්‍රියාදරයෙකි. නිදියහනේ රොමාන්තික දෙබසක් අවසානයේ රජීව පරම සත්‍යයක් බිරිඳ උත්තරාදේවිට කියයි. මැද පන්තියේ තරුණියන් අසන්නට අකමැති කට කාරවන සත්‍යය ඔහු ඇයට කියයි.

‘දැන් මේ රට අපිට ජිවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයි. යං. අම්මත් අරන් යං.

දැන් මේ තියෙන්නේ මගේ රට නෙවෙයි. ඔයා මේ දකින්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවය නෙවෙයි. මේ තියෙන්නේ දේශපාලන අඳුර...’

විටෙක අජන්ත රජීවට මෙවන් දෙයක් කියයි.

‘ඇයි උඹ ඔච්චර කේන්ති ගන්නේ?

කවුද බං කේන්ති ගන්නේ.

දූෂණ වංචා, ඕව නිකං පපඩම් ඉශූ බං. ඕව හොඳයි බොරුවට මරණ තර්ජන ගෙන්නගන්න.

දැන් උඹ මොකක්ද කියන්නේ?

මේ ජාතින් අතර ප්‍රශ්නය මුන් ආයේ අවුලවනවා. එහෙම නැත්තං අනික් එවුන් අවුස්සනකන් ඉඳලා උන් ඒකෙ වාසිය ගන්නවා. මේ ආණ්ඩු බලය පවත්වගන්නෙ බොහොම දැනුවත්ව මේ සමාජය බෙදල වෙන් කරලා. උඹ හොඳට බලං හිටපන්, මේ යන විදිහට ආයේ බිලි පූජාවක් එනවා. හැබැයි අපි තාම දන්නේ නැහැ මේ පාර තුවක්කු හැරෙන්නේ සිංහල සමාජයටද දෙමළ සමාජයටද කියලා. කාට හැරුණත් ඒ හැරෙන්නේ අපිට කියන අදහස මේ සමාජය ඇතුළේ හදන්න ඕනේ. අපි වැඩ කරනවනං වැඩ කරන්න ඕන ඒකට.’

රජීවට තම මිත්‍රයා ගැන හර්දයාංගම හැඟීමක් ඇති වෙයි. එම රූපය මිනී වලක් කපන මිනිසෙකු දෙසට ඡේදනය වෙයි.

‘මට මුලින්ම ප්‍රතිචාරයක් ලැබුණේ සමාජ ජාල මාධ්‍ය වලින්. විශේෂයෙන්ම ෆේස්බුක් හරහා. සහෝදරයා පිටුවල වගේම මගේ පුද්ගලික ගිනුමේත් යම් යම් අය කමෙන්ට් දාලා තිබුණා. දාපු මුල්ම කමෙන්ට් ටික මට හොඳට මතකයි. සහෝදරයා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය ආරම්භ කළේ නොවැම්බර් 18 වැනිදා. එදා මේ රටේ එක්තරා ප්‍රභුවරයෙක්ගේ උපන් දිනයක්. ස්වාධීන රූපවාහිනිය විකාශයට යොදාගත්ත දිනයයි ඒ ප්‍රභුවරයාගේ උපන් දිනයයි එකම දවසක යෙදුණු නිසා බොහෝ එතුමාට කැමති අය ෆේස්බුක් එකෙන් මගේ ඇඟට ගොඩවෙන්න ගත්තා. ඔවුන් කිව්වේ මම හිතාමතා ප්‍රභුවරයාට මඩ ගහන්න ඒක සැලසුම් කළා කියලා. ඒක හොඳ කුණුහරුප සංග්‍රහයක්. මොකද ඒ වන විටත් සහෝදරයා පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලය පුරා ප්‍රචාරය වෙලා ගොඩක් ප්‍රසිද්ද වෙලා තිබුණේ. විකාශය වෙලා තවත් කොටස් කිහිපයක් යද්දී නාට්‍යයේ එක්තරා තැනක තිබෙනවා පිරිසක් එකතුවෙලා සාලයක් මැද්දේ කලවැද්දෙක් ගැන යාන් එකක් කිය කියා විනෝද වෙන දර්ශනයක්. ඒක අහලා තවත් පිරිසක් ෆේස්බුක් එකෙන් මට කුණුහරුප කියන්න ගත්තා. ඔවුන් කියන්නේ ඔවුන් හමුදාවේ අය කියලා. උඹ ඒ ගැහුවේ අපේ ප්‍රභූවරයෙක්ට අහුවෙන්න එපා උඹට අපි ගේම දෙනවා කියලා ඔවුන් කියන්න ගත්තා.’

එසේ පැවසුවේ නාමල්ය. ඒ සහෝදරයා ගැන ඔහු ලත් කටුක අත්දැකීමක් සිනහවකින් විස්තර කළ ආකාරයයි. ඔහු තවමත් සහෝදරයා වෙනුවෙන් වෙහෙසෙයි. මේ සංවාදය යන්නේත් ඔහුගේ සංවේදීතාව ගැනමය.

නාමල් ඔබ පිටපත ලිව්වේ ඔබම අධ්‍යක්ෂණය කරන්නද?

මම වෙනදා ටෙලි නාට්‍ය සඳහා පිටපත් ලිව්වේ වෙනත් අධ්‍යක්ෂවරුන් සඳහා. එතැනදී මම ගොඩක්ම අනුගත වුණේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේ පිටපතින් මතු කරගැනීම. එතැනින් අදහස් වෙන්නේ නැහැ මම වෙනත් අධ්‍යක්ෂවරුන්ට පිටපත් ලියලා මට හානියක් වුණා කියලා. නමුත් වුණේ මගේ සෘජු අදහස සම්පුර්ණයෙන්ම ඒවායේ දකින්න නොලැබීම. ඒ නිසා මගේ අදහසට ගැළපෙන්න මම පිටපතක් ලිව්වා. මේ කතාව මට උවමනා වුණේ නැහැ වෙනත් අධ්‍යක්ෂවරයෙක්ට දීලා ඔහුව යම් අවධානමකට ලක් කරන්න. ඒ අවධානම මම තනියම බාර ගත්තා. ඒ නිසා මම තීරණය කළා මේ පිටපත මමම අධ්‍යක්ෂණය කරගන්න.

සහෝදරයා අන්තර්ගතයත් එක්ක බලපුවාම මෙය ප්‍රසිද්ද නාලිකාවක විකාශය වීමත් එක්තරා විශ්මයක් නේද?

කෙටියෙන්ම කියනවනම් ඔව්. විශ්මිතයි තමයි. හැබැයි ඕකේ අනික් පැත්ත හරි උපහාසාත්මකයි. ඇයි එහෙම උපහාසාත්මක වෙන්නේ? අපට යම් ලැබිය යුතු අයිතියක් ලැබුණාම ඒක විශ්මිත එකක් වෙන්නේ කොහොමද. ඒක අපේ අයිතියක්නේ. මේ නිර්මාණය පෙන්වීම අපට තිබෙන අයිතියක්. මේක ලංකාවේ ක්‍රමයේම තිබෙන ප්‍රශ්නයක්. අපේ සමාජය තවම පරිණාමය වෙනවා. ඒ නිසයි තවම ලංකාවේ ක්‍රමය අවුලක් කියන දෙය අපට වැටහෙන්නේ නැත්තේ.

ඔබ ඔබේ පිටපත තුළින් මුළුමනින්ම පරාවර්තනය කරන්නේ ක්‍රම විරෝධී වමේ ආකල්පය. නමුත් මේ විරෝධය ලංකාවේ වැඩ කරනවද කියන එක සැකයි?

විවිධ ගැටලු තිබෙනවා. ලංකාව ඇතුලේ කවුරුහරි වම කියලා කියද්දිම ඔළුවට එන්නේ වෙන අර්ථකථනයක්. සමහරු මම වම ගැන කියද්දී ඔවුන් කියනවා මම සියල්ලම එපා කියන අරාජිකවාදියෙක් කියලා. ඒක එහෙම නෙවෙයි. රාජ්‍ය එපා එය වැඩක් නැහැ කියන තැන මම නැහැ. රාජ්‍ය අපට අවශ්‍යයි. අපේ වගේ රටකට රාජ්‍ය කියන දේ පැවතීම අනිවාර්යයි. නමුත් වටහාගන්න අවශ්‍යයි ඒවායින් මර්දන යාන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකි බව. මූලිකම දේ ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නවා වම කියන්නේ නිකං සියල්ල නිකං දෙන සුබසාධන වාදී සංකල්පයක් වගේ එකක් කියලා. ඒක එහෙම එකක් නෙවෙයි. ලංකාවේ වමේ දේශපාලනය කරපු අයටවත් බැරි වුණා මේ වැරැද්ද නිවැරදි කරන්න. ආච්චි කෙනෙකුටත් තේරෙන විදිහට වම මොකක්ද කියලා ඒත්තු ගන්වන්න කාටවත් බැරි වුණා. එක අතකින් ඒ දේවල් එහෙම තමයි සිද්ධ වෙන්නේ. මොකද ලංකාව කියන්නේ අහම්බයෙන් නිදහස ලැබිච්ච රටක්නේ. ඉතින් අපට වැටහීමක් නැහැ දෙයක් තෝරා බේරා ගන්න. ඉතින් කලාවෙයි කියලා මහා ලොකු වෙනසක් නැහැ. ඒකත් අගාධයේ. පිටපතේ දේ මේ දේට එරෙහිව මතය හදන එකක්.

ඔබේ නළු නිළි කැල ඉතාම දක්ෂයි. විවාදයක් නැහැ. ඔවුන්ගේ ප්‍රතිචාරය මොකක්ද මේ වගේ ක්‍රම විරෝධී නිර්මාණයක් කරද්දී?

මම මුලින් තෝරපු එක ශිල්පියෙක් හැරෙන්නට අනික් ශිල්පීන් සියල්ලම මට පුළුවන් වුණා නාට්‍යයට සම්බන්ද කරගන්න. අපි එක මතයක හිටියා. ඒ තමයි ජනතා පරමාධිපත්‍ය තුළින් එන ආණ්ඩු විවේචනය කිරීම. ආණ්ඩු පත් කරගන්නේත් අපි නම් ඒ ආණ්ඩු එළවීම සම්බන්ධයෙනුත් වගකීම තියෙන්නේ අපිට. ඒ සම්බන්ධයෙන් අපිට විවාදයක් තිබුණේ නැහැ.

ඔබ අජන්තව පිටපත තුළ නිර්මාණය කරන්නේ බොහෝ විට යටිබිම් ගතව වැඩ කරන යම් වාමවාදී පටිසෝතගාමී දේශපාලන අදහස් දරන පුද්ගලයන් ඇසුරෙන්. මොකක්ද ඔබේ අදහස?

අජන්ත වගේම පූර්ණ කාලීනව යටිබිම් ගතව වැඩ කරන සහෝදරවරුන් ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. බොහෝ විට ඔවුන්ට පක්ෂ නැහැ. නමුත් ඔවුන්ට වැඩ කරන්න දර්ශනයක් තියෙනවා. ඔවුන් ඒ ගැන විශ්වාස කරනවා. ඔවුන් විශ්වාස කරන ඒ දේ වෙනුවෙන් දිගින් දිගටම වැඩ කරනවා. ඔවුන්ට හෞතික අපේක්ෂාවන් නැහැ. ඔවුන් අද ඉන්නේ එක තැනක, තවත් දවසක තවත් තැනක. දුරකථන ඇමතුමක් සමහරවිට ලැබෙන්නේ නැහැ මාස ගණනකින්. ඒ වගේ දේශපාලනයක් කරන මම දන්නා හඳුනන අය ඉන්නවා. ඒ ආශ්‍රයෙන් තමයි මම මේ චරිතය නිර්මාණය කළේ.

මට අහන්න වැඩියෙන්ම බල කරන දේ තමයි මේ වගේ බරපතල කාරණයක් කලාවක් හැටියට ගෙනෙද්දී ඔබ එහි රකින භාවාත්මක ගතිය. ඒක මෑත කාලෙක දැකපු විශිෂ්ට වැඩක් හැටියටයි මම දකින්නේ. කසුන් කල්හාරගේ සංගීතයත් එයට හවුල්. ඔබ මේ භාවාත්මක රටාව හදන්න භාවිත කරපු සූත්‍රය මොකක්ද?

ඇත්තෙන්ම මම ඔතැනට කාරණා දෙකක් පාවිච්චි කළා. මූලිකම දේ තමයි මෙවැනි කතාවක් තුළ මතු වන පොදු කාරණා ටික ඉස්මතු කර ගැනීම. ඒ මත තමයි අර කාරණා දෙක ගොඩනැගෙන්නේ. එකක් තමයි අද්‍යතන දේශපාලනය ගැන ඉතා සංවේදී චරිත 2ක් ඒ දේශපාලනය ගොඩනැගීම. අනිත් එක තමයි චරිත ගෙදරදී පොදුවේ ජිවත් වෙන විදිහ. මේ දෙක තමයි කාරණා. මේ දෙක උපරිම සමබරතාවකට ගේන්න මම උත්සහ කළා. ඒ නිසයි බොහෝ දෙනාට මෙය දැනෙන්නේ.

නාට්‍යයේ පළමු කොටස් 10 ඇතුළත රජීව සමරසිංහ කියන ගවේෂණාත්මක මාධ්‍යවේදියා අභිරහස් ලෙස ඝාතනයට ලක් වෙනවා. එතැනදී බොහෝ දෙනා කිව්වේ බලය දරන්නන් විසින් මෑත කාලයේ ස්වර්ගස්ථ කළ මාධ්‍යවේදීන්ගේ යම් කතාවක් ඔබ ප්‍රතිනිර්මාණය කලැයි කියන එක. ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

මම ඒ කතාව පිළිගන්නේ නැහැ. ගොඩක් අය ඔය ගැන පාක්ෂික ඇස් වලින් බලන නිසයි එක එක මාධ්‍යවේදීන්ගේ නම් මතක් වෙන්නේ. හරිනම් අපි කියන්න ඕනෑ අසවලා ස්වර්ගස්ථ කිරීම වැරදියි කියන එක නෙවෙයි. සමස්තයක් ලෙස මේ බලය දරන්නන් අහිංසක මිනිසුන්ව ස්වර්ගස්ථ කිරීම ඛේදවාචකයක් හැටියටයි ඔවුන් දකින්න ඕනෑ. අසවල් මාධ්‍යවේදියා ස්වර්ගස්ථ කිරීම වැරදියි නම් ඊට කලින් එක දිගට මාධ්‍යවේදීන් ස්වර්ගස්ථ කරපු එක හරි කියලද ඔවුන් කියන්නේ?

හොඳයි. කතාවේ රිද්මය අපි වෙනස් කරමු. මේ වෙලාවේ ටෙලිවිෂනය කියන්නේ ඔබ වගේ නිර්මාණකාරයන්ට උපායමාර්ගික තැනක්ද?

ඇත්තෙන්ම ඔව්. අපේ වගේ රටක මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය ඉතාම අඩුයි. ටෙලිවිෂන් එක නිකං ලැබෙන නිසා ලංකාවේ ජනතාවගෙන් ලක්ෂ 70ක් 72ක් පමණ රාත්‍රියට ටෙලිවිෂන් බලනවා. එතැනින්ම අපිට හිතාගන්න පුළුවන් මේ ටෙලිවිෂන් එක කොච්චර විශාල එකක්ද කියලා. මේ මාධ්‍ය භාවිතා කරන කොච්චර දියුණු වැඩ කරන්න පුළුවන්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. නමුත් නොවෙන්නෙත් ඒකමයි. රජය මේක ලොකු විෂයක් කියලා පිළිගන්න සුදානමකුත් නැති බවයි පෙනෙන්නේ. ඒ නිසා ටෙලිවිෂනය විශාල ලෙස අවභාවිත වෙනවා. නමුත් ඒ ඉඩ අපි භාවිත කරනවා.

ඔබගේ සිනමා ප්‍රවිෂ්ටය කෙසේ සිද්ධ වේවිද?

මම සිනමාව වෙනුවෙන් රූපවාහිනිය ඇතුලේ අභ්‍යාස කරන්නේ නැහැ. මොකද මට සිනමාව කියන්නේ වෙනම විෂයක්. අපේ පූර්වජයන් එහෙම කළා. නමුත් මට ඒ දේ කරන්න විදිහක් නැහැ. එයට මම වෙනම ප්‍රවිෂ්ට වෙනවා.

සහෝදරයා කොටස් 40කින් යුක්තයි. ඔබට පුළුවන්නම් එහි අවසානය ගැන ඉඟියක් දෙන්න, මොකක්ද ඔබ දෙන ඉඟිය?

මම මෙහෙම කියන්නම්. වැරදීම කියන එක අපි දකින ප්‍රධාන සැලස්මේම කොටසක් හැටියට. බොහෝ විට වෙන්න නියමිත අජන්තගේ දේශපාලනය පරිකල්පන මරණයකට ගොදුරු වෙන එක. එතනින් පස්සේ තමයි සැලැස්මේ විශාල දේශපාලන සාකච්ඡාව එළියට එන්නේ. මොකද සත්‍ය සාකච්ඡාව කෙනෙක්ගේ නැති වීම නිසා යට යන එකක් නෙවෙයි. ඒක යළි යළි මතුවෙනවා. අරන් යන්න කෙනෙක් බිහිවෙනවා. කෙසේවෙතත් ලංකාවේ දේශපාලන පක්ෂ වලට බැරිවෙයි සහෝදරයා තමන්ගේ ගොඩට දාගන්න.

‘ඒත් වැඩක් නැහැ. කොහොමත් එකයි. මරණ වලින් පාඩම් ඉගෙන ගන්න රටක් නෙවෙයි මේක. මේ පළවෙනි මරණේ නෙවෙයිනේ. මේක අන්තිම එකත් නෙවෙයි. මේ හිඟන්නොන්ට මේ රට බාර දීල යන්න තියෙන්නේ. මේ රට පාළු කනත්තක් වෙනකන් මේ රටේ මිනිස්සු මේ රටින් යන්න තියෙන්නේ. එතකොට ඔය හිඟන්නෝ ටික කනත්ත බදාගෙන ඉන්නේ නැතැයි.’

ප්‍රවාහයට විරුද්ධ නොවුණහොත් අත්වන ඉරණම ගැන සහෝදරයා කියා දෙන පාඩම එයයි.