වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




දුෂ්යන්ත්ගේ අලුත් ගීතය

දුෂ්යන්ත්ගේ අලුත් ගීතය
 

කොන්දොස්තර එක්ක නටපු

මගෙ හැඩකාරි

උඹෙ දත් දොස්තර උපාධියට

අද මගෙ භාරි

දැන් දැන් අපේ සංගීත ලෝලීන් වැඩි දෙනෙක් නව පරපුරේ ගායකයන්ගෙන් ඉල්ලන්නේ අඬන්නේ නැති ගීත. මොකද සමහරුන්ගේ අඬෝවැඩියා අහගෙන ඉඳලා ඉඳලා දැන් ගුවන් විදුලි නාලිකාවක්වත් අහන්නට හිතෙන්නේ නැති හින්දා මේ තත්ත්වය වෙනස් කරන්න ඇතැම් නව පරපුරේ පිරිස උත්සාහයක යෙදෙනවා. අපේ දුෂ්යන්ත් වීරමන් ද එවන් වූ උත්සාහයක යෙදුණා. ඒ ඔමරිලතා හරහා. බයිලා ආරට නිර්මාණය වූ ඔමරිලතා ඇහෙද්දී අපේ පැරැණි බයිලා ගීත මතක් වෙනවා කියලා ඇතැමුන් කියනවා.

දුෂ්යන්ත් ඔමරිලතා කාගේ අදහසක්ද?

ඔමරිලතා ගීතයේ පදමාලාව සමින්ද්‍ර ජෝසෆ්ගේ. මෙලඩියත් හැදුවේ ඔහු. කාලෙන් කාලෙට වෙනස් ආරවල්වල ගීත ගයන්නටයි මං ආස කරන්නේ. මේකත් ඒ අත්හදා බැලීමක්.

කවුද ඔමරිලතා ගීතය සංගීතවත් කළේ?

පසන් ලියනගේ.

දුෂ්යන්ත් හිතනවද ඔබට බයිලා ආර ගැළපෙනවා කියලා?

සික්ස් එයිට් ගීත කිහිපයක්ම මං ගැයුවනෙ. ඒවා මගේ රසික රසිකාවන් ඇලුම් කළා. මේකත් එහෙම වුණා.

දැනට කී දෙනෙක් ඔමරිලතා ගීතය රස විඳලා තියෙනවාද?

යූ ටියුබ් හරහා ලක්ෂ හතකට වඩා වැඩි ප්‍රමාණයක් ගීතය නරඹලා තියෙනවා.

මේකෙ වීඩියෝව කවුද කළේ?

තාල රූප වෙනුවෙන් චමිල් පතිරණ.

වසර කීයකට පසුව ද ඔබ අලුත් ගීතයක් ඉදිරිපත් කළේ?

හරියටම අවුරුද්දකට පසු. අන්තිමයට මං එළි දැක්වූයේ ගෝමර මාලා ගීතය.

ඔමරිලතා ගීතය ඇහෙද්දී පැරැණි බයිලා ගීත මතක් වෙනවා කියලා කවුරුවත් කිව්වේ නැද්ද?

කිව්වා. එක ඉතින් එක එක්කෙනාට දැනෙන අන්දමනෙ.

ඔමරිලතා සඳහා ප්‍රසංග වේදිකාවේදී ඇති ඉල්ලුම කොහොමද?

ඒකට මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. මගේ ඩී ස්ටාර් සංගීත කණ්ඩායම විවිධ අවස්ථාල ප්ලේ කරද්දී මේ වන විට සියයට අනූවක් මේ ගීය ඉල්ලනවා. මං නොගැයුවත් එතැන ඉන්න කවුරු හෝ ඉල්ලනවා.

ඔමරිලතා ගීතයේ වීඩියෝව නිර්මාණය කරන්න ගිහින් වෙච්ච රසවත් සිදුවීම එහෙම නැතිද?

මේක හරිම සිම්පල් වීඩියෝවක්. ඒ හින්දා ලොකු සිදුවීම් වුණේ නැහැ.

ඇයි පියුමි හංසමාලිව වීඩියෝවට යොදා ගත්තේ?

මං හිතනවා එයා තමයි මේ චරිතයට ගැලපෙන්නේ කියලා.

කවුරුවත් කිව්වේ නැද්ද ඇයව වීඩියෝවට ගන්න එපා කියලා?

අනේ නැහැ.

ඔබ භාතිය සන්තුෂ් කණ්ඩායමෙන් කැපිලද?

මං කොහොමත් ඔවුන් එක්ක හිටපු කෙනෙක් නෙවෙයි. මං මගේම ආරක මගේම ගමනක යෙදෙන කෙනෙක්.

ඔබව නර්තන ශිල්පියකු ලෙසින් දැන් වැඩිය දකින්නට නැහැ?

මං නර්ථනයේ පසුපස යන කෙනෙක් නෙවෙයි. එක්තරා වැඩ සටහනකට සහභාගි වීම තුළිනුයි මාව ප්‍රේක්ෂකයා නර්තන ශිල්පියකු ලෙසට හඳුනා ගත්තේ. ඉන් මං දින්නා.

එහෙම දිනලා ලැබුණු වාහනය කෝ?

ඒක මට බරපතල වැඩියි. ඒක හින්දා මං ඒක වික්කා.