වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඉරෙන් හඳෙන් එළිය අරන් දැන් හර්ෂණ තරුණයෙක්!

ඉරෙන් හඳෙන් එළිය අරන් දැන් හර්ෂණ තරුණයෙක්!

ඒක පුද්ගල ගී ප්‍රසංගය හෙට

විශාරද හර්ෂණ දිසානායක. මේ නම කිසිවකුටත් නුපුරුදු නමක් නම් නොවෙයි. ‘ඉරෙන් හඳෙන්...’, ‘මේක සොඳුරු ලෝකයක්...’, ‘අත්තම්මා නිවං ගිහින්...’ ඇතුළු ගීත රැසක් ගයමින් ඔබ හමුවට පැමිණි පුංචි හර්ෂණ මේ වනවිට තරුණයෙක්. ඒ තරුණයා මේ සූදානම් වෙන්නේ ඔහුගේ පළමු ඒකපුද්ගල ගී ප්‍රසංගය පවත්වන්නයි. මේ ඔහුගේ අලුත් ම කාර්යය ගැනත්, සංගීත කටයුතු ගැනත්, ජීවිතය ගැනත් හර්ෂණ තරුණයා බොහෝ දේ අප සමඟ හෙළි කළා.

පළමුව ඔබගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයේ විස්තර කියමුද?

මගේ සංවිධායකත්වයෙන් යුතුව කිසිම දවසක ඒකපුද්ගල ගී ප්‍රසංගයක් මා පවත්වා නැහැ. ඒ කාර්යයි මා පළමු වරට පවත්වන්නේ හෙට (29 වැනිදා) දිනයේයි. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සවස 6.30ටයි. ප්‍රාසංගිකව පවත්වන මේ ඒක පුද්ගල ගී ප්‍රසංගය මා නම් කරලා තිබෙන්නේ ‘ඉරෙන් හඳෙන්’ හර්ෂණ දිසානායක නමින්. ඒ වගේ ම මේ කාර්යයට අමතරව මා ගී ගැයූ අලුත් සංගත තැටියකුත්, මා ගැයූ පැරැණි ගීත ඇතුළත් සංගත තැටි තුනකුත් එදිනට එළිදැක්වීමට නියමිතයි. මගේ පැරැණි හා අලුත් ගීත දෙකම අහන්න කැමැති යම් අයකුට එකම ස්ථානයකින් ඒ සංගත තැටි දෙක ම මිලදී ගත හැකියි.

මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න සිතුවේ ඇයි?

අද ළමයින්ට ළමා ගී අහන්නට අවස්ථාවක් ඇත්තේ නැහැ. ඔවුන් ජීවත් වන්නේ අතරමංවන අතරමං කරන පරිසරයකයි. එවැනි අයට ගීත රස විඳීන්න දිය යුතු යැයි කියන අදහසේ මා සිටියා. ඒ නිසා ඔවුන්ට යළිත් මගේ ගීත අසන්නටත්, ඒ ගීත යළිත් මතකයට නැඟීමටත් ප්‍රසංගය හරහා මා බලාපොරොත්තු වුණා. මේ නිසා ‘ඉරෙන් හඳෙන්’ ප්‍රසංගය පුංචි දරුවන් හා තරුණයන් ප්‍රධාන වුණු, ඔවුන්ට එකට එක්ව අසුන්ගෙන නැරැඹිය හැකි ප්‍රසංගයක් බවට පත්වේවි.

‘ඉරෙන් හඳෙන්’ ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වෙන්නේ කුමන ආකාරයටද?

එදිනට මා මගේ කුඩා කාලයේ ගායනා කළ ගීත, චිත්‍රපට පසුබිම් ගීත, අලුත් ගීත කිහිපයකුත් ඇතුළුව ගීත විසිතුනක් පමණ ගයන්නට නියමිතයි. මේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ සර් ඇතුළු දිවයිනේ ප්‍රමුඛතම වාදක මණ්ඩලයක් සහභාගි වේවි. එදිනට නර්තනයෙන් චන්දන වික්‍රමසිංහ නර්තන ආයතනය හා රසික කොතලාවල නර්තන ආයතනයි මට සහයෝගය දක්වන්නේ. ඒ වගේ ම මට තනිවම මෙවැනි කටයුත්ත කිරීමට නොහැකි නිසා මුල ඉඳලා ම මගේ පවුලේ අයයි මේ සඳහා උපරිම සහයෝගය දැක්වූයේ. මගේ මහප්පා ආචාර්ය සෝමරත්න දිසානායක හා බාප්පා ආචාර්ය සෝමතිලක දිසානායක, ලොකු අම්මා රේණුකා බාලසූරියගේ යන තිදෙනාගේ අනුදැනුමත් සමඟ අනෙක් පවුලේ සමාජිකයන් හා මගේ වටපිටාවේ සිටින මිතු - මිතුරියන් සම්බන්ධ කර ගනිමිනුයි මේ කටයුතු කරගෙන යන්නේ.

මේ ප්‍රසංගයේදී යුග ගායනා කිහිපයකුත් ඉදිරිපත් වනවා. ඒ සඳහා සහය වන්නේ කවුද?

නෙලූ අධිකාරී, ශෂිකා නිසංසලා, ශානිකා සුමනසේකර, ලක්ෂණා ලක්මිණී, අමන්ද්‍යා උත්පලී කියන ශිල්පිනියන් කිහිපදෙනායි මට එදිනට යුග ගායනයෙන් සහය වන්නේ. ඒ ගයන ගීතත් අලුත්.

ප්‍රසංගයේදී ඔබ කුඩා කාලයේ ගැයූ ගීතත් ගයනවා. එහෙත් ඒ කාලයේ ස්වරයත්, තරුණයකු වූ ඔබගේ ස්වරයත් මේ වනවිට බොහොම වෙනස් නේද?

මගේ පුංචි කාලයේ හඬත්, තරුණයකු වූ පසුව මගේ දැන් හඬත් හාත්පසින්ම වෙනස් බව ඇත්තක්. ඒ නිසයි මේ ප්‍රසංගයේදී පුංචි කාලයේ මා ගැයූ තෝරාගත් ගීත කිහිපයක් පමණක් ගයන්නේ. ඒ කියන්නේ වර්තමානයේ හඬට ඔබින විදියටයි ඒ ගීත තෝරා ගැනීම සිදුවුණේ. ‘ඉරෙන් හඳෙන්’, ‘හී සර වැදී ලා’, ‘පොළොවෙන් මතුවන’, ‘ටැංටු කරත්තෙන්’, ‘මේක සොඳුරු ලෝකයක්’, ‘සරා සිත් සයුරු’ ආදී ජනප්‍රිය ගීත හා චිත්‍රපට පසුබිම් ගීත සියල්ලම හා මාව මිනිස්සු හඳුනා ගත් ගීත සියල්ලම මෙහිදි ගැයීමට නියමිතයි.

ඔබගේ රසිකයන් ඔබව මීට පෙර දැක්කේ කුඩා කාලයේදියි. වසර කිහිපයකට පසුව ඔවුන් ඔබව හඳුනා ගනීවිද?

ප්‍රසංගය පවත්වන්නටත් එක් හේතුවක් එයයි. වසර ගණනකින් මා මගේ රසිකයන් අතරට ගිහින් නැහැ. ඊට හේතුව නම් මගේ අධ්‍යාපන කටයුතු විශ්වවිද්‍යාලය දක්වා එක දිගට පෙළ ගැසීමයි. මේ වනවිට විශ්වවිද්‍යාල කටයුතු අවසන්. ඒ නිසා මා යළිත් ඔවුන්ට මගේ මතකය නැවත මතක් කර දිය යුතුයි. මොකද මගේ ස්වරූපය මේ වනවිට හොඳටම වෙනස්. හඬත් වෙනස්. ඒ නිසා ඒ සියල්ල ඔවුන්ට දැන ගැනීම සඳහාත් සමඟයි මේ ප්‍රසංගය පැවැත් වෙන්නේ.

ඔබ ගී ගයන්නේ කුඩා කාලයේ පටන්මද?

කුඩා කාලයේ ගයන්නට හැකියාව තිබුණත් මම ගයන්න කම්මැළි කෙනෙක්. ඒ නිසා මාව ගීයක් ගයන්න අල්ලා ගන්න අපහසුයි. ඒත් මාව අල්ලලා වේදිකාවේ තිබ්බොත් මා ගයනවා.

ඔබ ඒ කුඩා කාලයේ ගායනා කළ ගීත මොනවාද?

ඒ වේදිකාවලදි ‘අද වෙස්සන්තර රාජ පුතා...’ වගේ නාට්‍ය ගීතයි මා ගායනා කළේ. සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වැනි ප්‍රවීණයන්ගේ ගීතයි මා ගයන්නට කැමැත්තක් දැක්වූයේ. එවැනි ගීත ගයන්නට, අසන්නට මගේ සිතේ කැමැත්තක් ඇතිවුණු හේතුවක් තිබුණා.

ඒ හේතුව මොකක්ද?

ඊට හේතුව වුණේ මගේ අයියායි. ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විට මා සිටියේ ප්‍රාථමික අධ්‍යාපනය ලබමින්. ඔහු නිතරම කොළඹ සිට නිවෙසට එන විට අපට අහන්නට අරගෙන ආවේ මා කලින් කියන ලද ප්‍රවීණයන් ගැයූ කැසට්පටයි. ඒ කැසට්පටවල ගීත අයියා රස විඳීන විට මමත්, තාත්තාත් ඒවා රස වින්ඳා. ඒ කාලයේ ඒ ගීත හරහා වින්ඳ රසය වන්නට ඇති පසු කාලයේ මාව එවැනි ප්‍රවීණයන්ගේ ගීත ගයන්නට හුරු කළේ. ඊට ස්තුති විය යුත්තේ අයියාටයි.

ඔබේ රස වින්ඳනය ඔබ පාසල් බස් රථයටත් අරගෙන යනවා

මා මුලින් ම අධ්‍යාපනය ලබන්නේ මගේ ගමේ පාසල වුණු දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ. එහි මා පාසල් ගියේ පාසල් සේවයේයි. ඒ රථයේ යන කාලය ඇතුළත මා කළේ නිවෙසේදී ඇසූ කැසට් රථයේ සිටින අයටත් අසන්නට සැලැස්වීමයි. එවැනි දඩබ්බර, දඟකාර පාසල් කාලයක් මට තිබුණා. පාඩම් වැඩ පාඩු කරගෙන ගීත ඇසුව කාලයක් මගේ ජීවිතයේ තිබුණා.

ඔබගේ පවුල් පරිසරයත් කලාවට බොහොම හිතැත්තන් සිටි පරිසරයක්. ඔබගේ ජීවිතයට ඒ පරිසරයේ බලපෑම බලපෑවේ කුමන විදියටද?

සෑම අවුරුද්දකම මහප්පා හා බාප්පාගේ මූලිකත්වයෙන් අප්‍රේල් 14 හෝ 15 යන දවස් දෙකෙන් එක දවසක අපේ මහගෙදරට පවුලේ හැමෝම එකතු වෙනවා. ඒ එකතු වෙලා හැමෝම සාජ්ජයක් දමනවා. ඒ වෙලාවලදි මටත් ගීතයක් ගයන්නට අවස්ථාවක් ලැබෙනවා. බාප්පාට, අපේ තාත්තාට හා අම්මාට හොඳට ගී ගයන්න පුළුවන්. ඒ වගේ ම වාදන භාණ්ඩ වයන්නත් පුළුවන්. ඒ විදියට රැස්වුණු එක්දවසකදියි බාප්පත්, මහප්පත් මට කියලා ගීතයක් ගැයිය යුතු බව පවසන්නේ. මේ වනවිටත් ‘අත්තම්මා නිවං ගිහිං’ කියන ගීතය තාත්තාගේ සංගීතයට, තනුවකට මා ගයමිනුයි සිටියේ. ඒ ගීතයයි රෝහණ වීරසිංහයන්ගේ නව සංගීත සංයෝජනයෙන් ගුවන්විදුලියේ ගීතයක් බවට පත්වන්නේ.

ඔබට චිත්‍රපට පසුබිම් සංගීතයට ඉඩහසර ලැබෙන්නේ ඒ ගැයුමෙන් පසුවද?

ඇත්තටම ‘සූරිය අරණ’ චිත්‍රපටයට ‘ඉරෙන් හඳෙන්...’ ගීතය ගයන්නට මට ආරාධනා කරන්නේ රෝහණ වීරසිංහ මාමා. මහප්පා චිත්‍රපටය නිර්මාණය කළත් ඔහු නොවෙයි මට මේ ගීතය ගයන්නට කියන්නේ. ඒ ගීතය නිසා මා ජනප්‍රියත්වයට පත්වීමට තරම් වාසනාවන්ත වෙනවා. ඒ වගේ ම එකම වසරකදි සරසවිය, ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසක්ම හිමිකර ගන්න හොඳම ළමා ගායකයා බවට වාර්තාවක් තබන්නටත් මට හැකිවෙනවා.

සංගීතය විෂයයක් විදියට හදාරන්නට ඔබ යොමුවන්නේ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පසලේදියි

එහි මගේ සංගීත ගුරුතුමා වන්නේ සුනිල් දයානන්ද කෝනාරයි. ඔහු මේ වනවිට ජීවතුන් අතර නැහැ. ඔහු උත්තම ගණයේ මනුස්සයෙක්. ඔහු වගේ ගුරුවරයෙක් මා තවමත් දැකලා නැහැ. මම වාසනාවන්තයි එතුමාගේ ගෝලයෙක් විදියට මේ ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ නියැළෙන්නට. ඒ පාසලේ සිටිද්දියි මා සංගත තැටි තුනකට ගී ගයන්නේ. එහිදියි මා භාත්ඛණ්ඩේ විභාගයේ විශාරද විභාගය දක්වා අධ්‍යාපනය ලබන්නේ. ඊට පසුව උසස් පෙළ හැදෑරීමට ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන මා ඉන්පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වනවා. මේ සෑම තැනකදිම මා සංගීතය විෂයයක් විදියට හැදෑරුවා.

ඔබ ඉදිරියේදී රසිකයන් හමුවට පැමිණෙන්නේ ගායකයකු විදියට පමණක් නොවෙයි

මේ වනවිට මා ප්‍රවීණයන්ගේ හා නවකයන්ගේ ගීත කිහිපයකට ම සංගීතය අධ්‍යක්ෂණය, තනු නිර්මාණය කරලා තිබෙනවා. ගායකයකු වගේම සංගීතඥයකු විදියටත් රසිකයන් හමුවට පැමිණීමට මා කැමැතියි. චිත්‍රපට පසුබිම් සංගීතයට බෙහෙවින් ඇල්මක් දක්වන නිසා ඒ ගැන හැදෑරිය යුතුයි. ඉදිරියේදි මගේ පශ්චාත් උපාධිය හැදෑරීමටත් මා අදහස් කරගෙන ඉන්නවා. මහප්පා වගේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණීමටත් මා කැමැතියි. ඔහුගේ චිත්‍රපටවලට මා පෙරේතයි. මගේ ජීවිතයේ බලකනු හයක් ඉන්නවා. ඉන් දෙදෙනෙක් මගේ අම්මා හා තාත්තා. තෙවැන්නා මගේ සංගීත සර්. සිව්වැන්නා මහප්පා. පස්වැන්නා බාප්පා. සයවැන්නා රෝහණ වීරසිංහ සර්. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය අපමණයි.

මේ සියලු කටයුතුවලට ඔබට ළඟින්ම ඉඳීමින් සහයදෙන යුවතිය ඔබගේ ප්‍රේමවන්තියද?

ඔව්. ඈ මගේ කටයුතුවලට බොහෝ සහයෝගය දක්වනවා. ඉදිරියේදි ඈ කවුදැයි ඔබට දැන ගැනීමට ලැබේවි. නම කියනවාට ඈ අකැමැතියි. හැබැයි ඈට ගී ගයන්න පුළුවන්.