|
ගාමිණී 13 යි
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙලොවින් සමුගෙන වසර 13 ක් සපිරෙනුයේ මේ මස තිස් වැනි දිනටය. ගාමිණී ෆොන්සේකා යනු සිංහල සිනමාව සිය අසාහාය රංගන කෞශල්‍යයෙන් සහ පෞරුෂයෙන් සැරසූ දැවැන්තයෙකි. දේශීය සිනමාවේ නළු නිළියන් හා කාර්මික ශිල්පීන් බහුතරයක් අත් විඳීන අයිතිවාසිකම් වැඩි හරියක් ගාමිණී ගේ අප්‍රතිහත ධෛර්යය නිසා සිනමාවට ලැබුණු දායාද බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත් ගාමිණී ෆොන්සේකා විසින් ලබා දුන් අයිතින් කවර ප්‍රමාණයක් හෝ අද අත්විඳීන්නේද යන්න විමසා බලනු වටී.ඒ බහුතරයක් තමන් විසින්ම ආපසු කැප කොට ඇත.ලද දෙයක් කා දුක් විඳ පසුව නිෂ්පාදක ලුණුයි බතුයි දුන්නේයැයි චෝදනා කරන පිරිස අද ද සිටිති.එසේ නොකොට තම වෘත්තිය ගෞරුත්වය ආරක්ෂා කළ යුතු අන්දම ඔහු අප සිනමාවට පහදා දුන්නේ අතීතයේය. ගාමිණී ෆොන්සේකා රංගනය ඉස් මතු වී මුල් බැස ගනුයේ හැට දශකය ආරම්භයේය. එනම් මුල්ම කථානාද චිත්‍රපටය තිර ගත කොට දස වසරකටත් පසුවය.ඒ වන විට මෙරට මුල් බැස ගත්තේ දකුණු ඉන්දීය රංගනය ගුරු කොට ගත් සිනමා රංගනයයි. ලැඩී රණසිංහ, ආනන්ද ජයරත්න, ඩොමී ජයවර්ධන, ඩී.ආර්.නානායක්කාර, ඩේවිඩ් ධර්මකීර්ති වැනි රංගන පෞරුෂයන් පිරි එමෙන්ම ප්‍රතිභාපූර්ණ නළුවන් කිහිප දෙනෙකුම ඒ වන විටත් සිනමාවේ සිටිය ද ඔවුන්ගේ රංගනය දකුණු ඉන්දීය හා එයින් උගත් සිනමාකරුවන් අත ඉදිරිපත් වූයේ සීමා සහිත වපසරියකය. පෙම්වතාට අනිවාරයෙන්ම ගිනි කූරු රැවුලක් තිබිණ. ඔහු ඉස්මතු වූයේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුක්තවය.හැටේ දශකය ආරම්භයේ ම අපේ සිනමා රසිකයන් අමන්දානන්දයට පත් කළ ප්‍රතිභාපූර්ණ සිනමාකරුවන් පිරිසක් ප්‍රධන ප්‍රවාහයේ මෙන්ම කලාත්මක සිනමාවේ ද කැපී පෙනිණ.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සන්දේශයේ සිට එළැඹෙන ගාමිණීගේ සිනමා රැල්ල හදා වඩා ගන්නට මුලින් උත්සුක වන සිනමාකරුවන් බහුතරය සිනමාව ගැන දන්නා පිරිසක් වීම විශේෂයකි. මයික් විල්සන්, ටයිටස් තොටවත්ත, එම්.මස්තාන්, තිස්ස ලියනසූරිය මේ අතර කැපී පෙනෙති. කවර තරමේ දුර්වල කෘතියක් වුව ගාමිණීගේ මුල්ම චරිතාංගරංගය ඇතුළත් දෛවයෝගය පවා නිර්මාණය කරන ලද එස්.කේ.ඕජා ද එහි කැමරාව මෙහෙයවන ලද කේකි මිශ්ට්‍රි ද ඒ වන විට බොලිවුඩ් සිනමාවේ නම් දිනූ සිනමාකරුවන් විය. අනතුරුව කාර්මික ශිල්පියෙකු ලෙස ගාමිණී දායක වන බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි සිනමා කෘතියේ ඔහුට ඇසුරු කරන්නට ලැබෙන්නේ ඩේවිඩ් ලීන් වැනි ලෝක සිනමාවේ මහා දැවැන්තයන්ය. ගාමිණී විසින් අධ්‍යක්ෂණය කරන ලද බොහෝ චිත්‍රපටවල එමගින් තමා උගත් දෙය භාවිතයේ යොදවන අයුරු හොඳීන් නිරීක්ෂණය කළ හැකිය. සිනමාකරුවකු ලෙස ද ගාමිණී ගේ භාවිතය ඉහළ එකක්යැයි හැඟෙනුයේ අවුරුදු විසි හයක් වැනි වයසේ දී පරසතු මල් වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමෙහිලා දැක්වූ ප්‍රතිභාව පමණක් සිත් හි තබා ගෙන නොවේ.මේ අවදියේ මෙරට සිනමා නළු නිළියන් බොහෝ විට රඟපාන ලද්දේ ප්‍රතිරූප ගත වන චරිතයන්ය. පෙම්වතිය නම් අහිංසක පෙම්වතියක්මය.මේ ප්‍රතිරූපය ඉක්මවා යෑම නළු නිළියන් පමණක් නොව සිනමා විචාරකයන් ද සලකන ලද්දේ සියතින් ගෙල සිඳ ගැනීමක් ලෙසය. ඒ වන විට ගාමිණී සිනමාවේ පෙම්වතා ද වීරයා ද ලෙස නමක් දිනා ගෙන ඉදිරියට එමින් සිටින යුගයයි.එහිදී ගාමිණී රඟපාන බොනී මහත්තයා වූ කලී සාමාන්‍යයෙන් සම්මත සිනමාවේ ප්‍රතිවීර චරිතයකි . එබඳු චරිතයක් රඟපාමින් එයට ප්‍රේක්ෂක ආදරය ද දිනා ගැනීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. පසු කලක ප්‍රතිවීර චරිත සිනමාවේ මවමින් විශිෂ්ට රංග ප්‍රතිභාවන් පළ කළ ඊළඟ පරම්පරාවට පූර්වාදර්ශය වනුයේ පරසතු මල් බව පෙනෙන්නකි. එයට වසර කිහිපයකට පෙර නළඟන චිත්‍රපටය තිර ගත වූ අවදියේ එය අරබයා පළ වූ සිනමා විචාර පිළිබඳ සලකා බැලීම වටින්නකි. නළඟන චිත්‍රපටය මුලින් රැඟුම් පාලක මණ්ඩලය මඟින් තහනම් කරන ලද්දේ එය මෙරට සංස්කෘතියට නොගැළපෙතැයි යන තර්කය මතය. මේ පිළිබඳ ලිපියක් ලියන මහ ගත් කරු මාර්ටින් වික්‍රමසිංහයන් පෙන්වා දෙනු ලබනුයේ මෙරට රසිකයන්ගේ ප්‍රතිරූපයක් වූ රුක්මණී සාමාන්‍ය කාන්තාවන් විසින් අනුකරණය ලබන්නියකි. සෙසු කාන්තාවන් නළඟන චිත්‍රපටයේ රුක්මණීගේ විලාසිතා හා හැසිරීම අනුකරණය කළ හොත් යන පටු තර්කයයි. එමගින්ම රුක්මණියට ඇය රඟපෑ යුතු චරිත මොනවාදැයි රසිකයන් හා සිනමා විචාරකයන් විසින් සීමා පනවා ඇත්තේය. නළු නිළියන් ගේ විලාසිතාවන් අනුකරණය කිරිම ලෝක සිනමා ඉතිහාසය පුරා සිදූවූවකි. එහෙයින් බොහේ නළුවන් අද පවා සිය චරිතයේ ගති ස්වභාවයට වඩා තමන්ට ලැබෙන ජනප්‍රියත්වය වෙනුවෙන් හොඳ චරිත ප්‍රතික්ෂේප කරති. එහෙත් ගාමිණී තමන්ගේම අධ්‍යක්ෂණයෙහිලා එවන් ප්‍රතිවීර චරිතයක් මැවීම යුගයේ හැටියට විශ්මයජනක වනවා පමණක් නොව වඩා අභියෝගාත්මක ද වන්නකි. කෙසේ වෙතත් ගාමිණි හැත්තෑව දශකයේ බිහි වන සිනමාකරුවන් සමග එක් නිහඬ අරගලයක යෙදීම පොදුවේ ඔහුගේ රංගනයටත් සමස්ත සිනමාවේ රංගන ඉතිහාසයටත් කර ගන්නා ලද හානියක් ලෙස සැලකිය හැක. විශේෂයෙන් දේශපාලන මතවාද දෙකක පිරිසක් අතර ඇති වන මේ හිත් බිඳීම නිසා එම දශකයේ බිහි වූ කලාත්මක ප්‍රවාහයේ සිනමාකරුවන් අතට ගාමිණි පත් වනුයේ මද වශයෙනි. එක් අතකින් ඒ වන විට ගාමිණී ගොඩනගා ගත් ප්‍රතිරූපයේ පරිමාව අදාළ සිනමාකරුවන්ට සමීප වන්නට ද නොහැකි විය. පසුකලක මේ සිනමාකරුවන් හා ගාමිණී ෆොන්සේකා සමග පෞද්ගලික සම්බන්ධතාවය ක් ගොඩ නගා ගත්ත ද එය හරහා සිනමා නිර්මාණ බිහි වන්ට තරම් කාලයක් තිබුණේ නැත. ගාමිණී විසින්ම ගොඩනගා ගන්නා ලද හුදකලාවීම ද ඔහුගේ සිනමා රංගනයෙන් දුරස්ථවීමට හේතු විය. එහෙත් ඔහු ගේ සිනමාව ගැන උනන්දුව ඉහළ එකක් විය. ඔහුගේ අවසන් සමය වන විට අලුත් සිනමා පරම්පරාවක් බිහි වෙමින් පැවති යුගයකි. සෙලියුලොයිඩ් පරම්පරාවේ අවසන් පරපුර වන ඔවුන් ගැන ගාමිණීට තිබුණේ ඉහළ දැක්මකි. පුදුමය නම් එම පරම්පරාවේ නිර්මාණකරුවන් ගැන ඔහුගේ සොයා බැලීමය. මෙහිලා පෞද්ගලික අත්දැකීම් දෙකක් සඳහන් කරන්නට කැමැත්තෙමි. එකක් අද ප්‍රකට සිනමා හා ටෙලි නාට්‍යකරුවකු වන සරත් ධර්මසිරි ගැනය. ඒ වන විට සරත් නමක් දිනා සිටියේ විශිෂ්ට නවකතාකරුවකු හැටියටය. සැබැවින්ම මා සරත් ධර්මසිරි නම් නිර්මාණශීලී ලේඛකයා දැන ගත්තේ ගාමිණී ෆොන්සේකා නම් මහා සිනමාකරුවා හරහාය. වරක් කතා බහක දී අලුත් ලේඛකයකු වූ සරත් ධර්මසිරි ගේ කෘතින් ගැන ඔහු දීර්ඝ විවරණයක යෙදුණේ යාවත්කාලින නොවූ මගේ දැනුම උපහාසයට ලක් කරමිනි. තවත් වරක සිනමාවේදී ප්‍රසන්න විතානගේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට හමුවුණ මුල්ම අවස්ථාවය. ඒ වන විට ප්‍රසන්න ජාත්‍යන්තර සිනමා කේෂ්ත්‍රයේ නමක් දිනා සිටිමින් සිටි යුගයයි. එම හමුවීම අවසන තරුණ සිනමාකරුවා ගේ අත ගත් ගාමිණී ෆොන්සේකා නම් රංගධරයාණන් පවැසුවේ ඉලන්දාරියා මං තමුන්නාන්සෙගේ ෆිල්ම් එකක ඇට් කරන්න කැමැතියි යන්නය. කෙසේ වෙතත් එම සිහිනය සැබෑ වන්නට ප්‍රථම එතුමන් සමු ගත්තේය.මේ කාරණා දෙක මා හුවා දක්වන්නේ තමා විසින්ම තනා ගත් සීමාවක ව සිටිය ද ඔහු දිනපතා යාවත්වූයේය යන කාරණය එළිදරව් කිරීමටය. ගාමිණී ෆොන්සේකා නම් මහා සිනමා රංග වේදියාණන් අප අතර නැත. එයින් ද ගත වූ දස වසරක් මුළුල්ලේ ඔහු සිනමා නිර්මාණයකට දායක වූයේ නැත. අවසන් වරට ඔහු දායක වූයේ අන්තිම රැය චිත්‍රපටයටය. එය තිර ගතවූයේ 1998 වසෙර්ය. දැන් නෙගටිව් පටයේ චිත්‍රපටයද නැත. ඔහු ගැන දන්නා හඳුනන හා ඔහුගේ සමකාලිනයන්ගෙන් බැහැර අලුත් පරපරක් සිනමාවට බිහිව ඇත්තේය. ඔවුනට අවශ්‍ය නම් ගාමිණි ෆොන්සේකා ගැන දැන ගත හැක්කේ පුරාවෘත්තයකට ඔබින කතාන්දරයක් ලෙසය. වර්තමාන පරම්පරාව සිය මුල් ගුරු පරම්පරාවන් හා වැඩි පුර ආශ්‍රයක් නැත්තෝය. එමෙන්ම මෙරට සිනමාවේ වැදගත් බොහෝ නිර්මාණ අද පරපුර අතරින් දකින්නට කැමැත්තෝ එහෙමත් එකෙකි. සිනමා විද්‍යාර්ථින් ද බොහොමයක් එම චිත්‍රපට නරඹා නැත. එබැවින් වර්තමාන යේ සිදුවනුයේ හුදකලා නැගී සිටීමකි. ඇත්ත නම් බහුතරය අතීතය ට වඩා වර්තමානයේ ජිවත් වන්නෝය. ඔවුන්ගේ සිනමා රූප ඥානය පෙර පරම්පරාවේ බොහොමයකට වඩා හොඳය. ගාමිණී ෆොන්සේකා වැනි මහා මිනිසුන්ගේ දැවැන්ත කාර්යය එබැවින් සුරක්ෂා කොට තැබිය යුතුය.ඒ අතීතය ගැන පාරම්බාන්නට නොව වර්තමානයේ සිනමා ශිල්පීන් භුක්ති විඳීන වරප්‍රසාද රැක ගත යුතු හෙයිනි. අනික නිර්මාණ ශීලී අභියෝගයන් බාර ගැනීම පිළිබඳ පූර්වාදර්ශය ඔහු සපයා ඇති හෙයිනි. ගාමිණී යනු සිනමාවේ පුරාවෘත්තයක් වන හෙයිනි. |