වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්

මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්

කුසල්ගේ එකම වත්කම දිලිඳුකමයි. ඔහුට සිටින්නේ අම්මා පමණි. පිය උණුසුම කලකට ඉහතදී කුසල්ට අහිමි වූයේ සදාකාලික තනිකමක් ඔහුට ඉතිරි කරමිනි. එතැන් පටන් පුංචි කුසල්ගේ බඩගින්න නිවන්නට අම්මා අප්‍රමාණ වෙහෙසක් දැරුවාය. ඇය ජීවිකාව සොයා ගත්තේ අසල ගමේ ඇති වලව්වක බැල මෙහෙවර කරමිනි.

දිවා රෑ ඇය එහි දාඩිය හෙළමින් උපයා ගත් තුට්ටු දෙකෙන් ඔවුහු කුස ගින්දර නිවා ගත්හ. වලව්වේ හාමු කරුණාවන්තය, විනයගරුකය. එහෙත් ඔහුගේ බිරිය වූ වලව්වේ මැණිකේ මාන්නයෙන් පිරි සැරපරුෂ චරිතයක් වුවාය. ඇය කුසල්ගේ මවගෙන් ගන්න වැඩ ප්‍රමාණය අධික කෙරුවේ කිසිදු අනුකම්පාවකින් තොරවය. එහෙයින් ඇගේ ආයුෂ ද ටිකෙන් ටික කෙටි විය. ඈ රෝගතුර වන්නේ එහෙයිනි. වලව්වේ අයගෙන් ඇයට කිසිදු සැලකිල්ලක් නැත.

බෙහෙතක් හේතක් අරන් දෙන්නට ද කෙනෙකු නොවීය. මේ හේතුවෙන් මව අකාරුණික අන්දමින් අකාලයේ මිය යන්නේය. අවාසනාවන්ත කුසල් මෙලොව තනිවුණේ හිතාගත නොහැකි අන්දමින්ය. මැණිකේ කුසල්ට වලව්වේ වැඩට එන්න යැයි අණ කරයි. පුංචි කුසල් මහ උන්ටත් බැරි කාර්යයන් කෙලෙස කරම්ද? ඔහු තවත් අසරණ වෙයි.

මැණිකේගෙන් අනුකම්පාවක් නොලැබෙන බැව් දැනගන්නා කුසල් කෙනෙහිලිකම් විඳ දරාගෙන එතැන නොසිට වලව්වෙන් පැන එන්නේ බැරිම තැනය. ඒ අතරතුරදී ඔහුට අසන්නට ලැබෙන්නේ මැණිකෙට නයකු දෂ්ට කර ඇති බවය. සිහිසුන්වන මැණිකේ වෙද මහත්තයා ළඟට රැගෙන යති.

වෙදරාල දක්ෂ මන්ත්‍රකරුවෙකු ද වේ. ඒ බලෙන් ඔහු මැණිකේට දෂ්ට කළ නාගයාව අල්ලාගනු ලබයි. එම නාගයාගේ පෙර බවය බලන වෙදරාලට දැනගන්නට ලැබෙන්නේ මේ නාගයා කුසල්ගේ අම්මා බවය. දරු සෙනෙහස හේතුවෙන් නාගයකු වී කුසල් ආරක්ෂා කර ගැනීම පිණිස ඇය මෙලෙස නාග ආත්මයකින් පැමිණ සිටින්නේය. එතැන් පටන් නාගයා උත්සාහ කරනුයේ කුසල්ව ආරක්ෂා කර ගැනීමටයි.

මේ අපූරු කතා පුවත ඇතුළත් වනුයේ අර්ජුන කමලනාත් අධ්‍යක්ෂණය කළ කුසල් ළමා සිනමාපටයටයි. කුල්නෙත් මීඩියා ඉදිරිපත් කිරීමක් වන එය ඉසුරු ෆිල්ම්ස් නිෂ්පාදනයකි.