වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




අධි තාක්ෂණික බලැති රොබෝ මකුළුවකුගේ කතාව

අධි තාක්ෂණික බලැති රොබෝ මකුළුවකුගේ කතාව

Spyder

ත්‍රාසජනක ක්‍රියාදාම ඇතුළත් නවතම කතා තේමාවක් රැගත් ඉන්දීය සිනමා නිර්මාණයක් රිදී තිරයේ දැන් දිගහැරී තිබෙනවා. තෙලිඟු සහ දෙමළ භාෂා ද්විත්වයෙන් නිර්මාණය වී ඇති Spyder  නම් මෙම චිත්‍රපටය ජෛව අවි ත්‍රස්තවාදය ගැන කියවෙන්නක්.

පසුගිය 06 වැනිදා පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එකතුව නිකුත් කිරීම සමඟින් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්න Spyder  චිත්‍රපටය සමත් වී ඇති බවයි ඉන්දීය සිනමා තොරතුරු වාර්තා කරන්නේ. අතිශය දරුණු ජෛව අවි ප්‍රහාරයකට එරෙහිව කටයුතු කරන ශිවා නම් රහස් බුද්ධි අංශ නිලධාරියකු වටා මෙහි කතාපුවත ගෙතී පවතිනවා. එසේම අධි තාක්ෂණික බලයෙන් යුතු රොබෝ මකුළුවෙක් ද මෙම කතාපුවත තුළ විශේෂ වෙනවා.

Spyder  චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, Ghajini  (දෙමළ සහ හින්දි චිත්‍රපට ද්විත්වය) අධ්‍යක්ෂණය කළ ඒආර් මුරුගදාස් විසින්. 2014 වසරේදී Kaththi  චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලද ඔහුගේ අනෙකුත් සිනමා අධ්‍යක්ෂණයන් අතරේ Thuppakki, 7am Arivu  වැනි දෙමළ චිත්‍රපට සහ Akira, Holiday   වැනි හින්දි චිත්‍රපටද ඇතුළත්. Spyder  තිරරචනය ද මුරුගදාස්ගේ ය.

Spyder  හි ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවකු වන මහේෂ් බාබු විසිනි. චිත්‍රපට නිෂ්පාදන ආයතනයකද හිමිකරු වන ඔහු ප්‍රවීණ තෙළිඟු චිත්‍රපට නළු ක්‍රිෂ්ණාගේ බාල පුත්‍රයා යි. වයස අවුරුදු 42ක් වුවද ඉතාම ළාබාල පෙනුමැති මහේෂ් බාබු වාර්ෂිකව තමා උපයන මුදලින් සියයට තිහක් ආධාර මුදල් ලෙස වෙන් කර පරිත්‍යාග කිරීමත් ප්‍රසිද්ධයි. 1979 වසරේදී ළමා නළුවකු ලෙසින් ඉන්දීය සිනමාවට පිවිසි ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන පහක් ඇතුළුව සම්මාන රැසකින් පිදුම් ලද නළුවෙක් ද වෙනවා.

තෙළිඟු සිනමාවේ යොවුන් නිළියක වන රකුල් ප්‍රීත් සිං මෙහි ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන අතර 2009 වසරේදී ට්ඪතතඪ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය තෙළිගු චිත්‍රපට සේම දෙමළ සහ හින්දි චිත්‍රපටවලටද දායක වී සිටිනවා. ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, තිරරචකයකු, නළුවකු, සංගීතවේදියකු සහ නිෂ්පාදකවරකුද වන එස්. ජේ. සූර්යා Spyder  චිත්‍රපටයේ දුෂ්ඨ චරිතයට පණ පොවන අතර එහි ඔහු විකෘති මනසිකත්වයෙන් යුතු චරිතයක් නිරූපණය කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එනවා. Spyder  චිත්‍රපට කතාව තුළදී ඔහු හයිද්‍රාබාද්හි ජෛව අවි ප්‍රහාරයකට සැරසෙනවා.

Spyder  චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පිළිබඳව 2015 වසරේදී ප්‍රසිද්ධියට පත් කළ ද ප්‍රධාන රූපගත කිරීම් ආරම්භ වූයේ, පසුගිය 2016 වසරේ ජූලි මාසයේදීයි. ජනප්‍රිය ප්‍රවීණ නිළි ශ්‍රී දේවි මෙහි විශේෂ චරිතයක් නිරූපණය කරන බවට ද මුල් කාලයේ දී රාවයක් පැතිරුණා. ප්‍රධාන කාන්තා චරිතයට මුලින්ම ආරාධනා ලැබුණේ හින්දි නිළි පරිණීති චොප්රා වෙත වුවත් ඇය එම ආරාධනාව ප්‍රතික්ෂේප කළා.

ඊයේ (සැප්තැම්බර් 27) සිට ලොවපුරා තිරගත කිරීම ඇරඹි Spyder  මිනිත්තු 134ක් පුරාවට රිදි තිරයේ දිග හැරෙනවා. සංගීතඥ හැරිස් ජයරාජ්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් යුතුව මෙහි ගීත පහක් ඇතුළත්. අන්තර්ජාලයට මුදාහැරීම සමඟින් පූර්ව ප්‍රචාරක පටය සේම මෙම ගීත ද ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනයට ලක් වී ඇති බවත් ඉන්දීය සිනමා වාර්තා ගෙන එනවා. සටන් ජවනිකා අතින්ද ඉහළ මට්ටමක ඇති බව පැවසෙන Spyder
 චිත්‍රපටය, ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ කිසිදු කැපීමකට ලක් නොවී තිරගත කිරීමට අවසර ලද සිනමා නිර්මාණයක් බවද එම වාර්තා අතරට ඇතුළත්.