|
මට ඕනෑ වුණේ නව සාහිත්‍ය ප්‍රවණතා පාඨකයාට හඳුන්වා දෙන්නයි
ජනක ඉණිමංකඩසාහිත්ය මාසයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමඟ බොහෝ දෙනෙක් තම කාලයෙන් වැඩි කොටසක් පොත් වෙනුවෙන් වෙන් කළා. දැන් ලේඛකයන්, ප්‍රකාශකයන් මීළඟ වසර වෙනුවෙන් තවත් අලුත් පොත් පාඨකයන්ට තිළිණ කරන්න සූදානම් වෙනවා. මේ අතරේ එක් පොත් ප්‍රකාශකයෙක් නම් ලොව පැරණි ශ්‍රේෂ්ඨ කලා කෘති නැරඹීමේ ගමනකටයි සූදානම. ජනක ඉණිමංකඩ. විදර්ශන ප්‍රකාශන ආයතනයේ හිමිකරු ඔහු යි. ව්‍යාපාරිකයකු වුවත්, ඔහුගේ වෑයම ලොව වටිනා සාහිත්‍ය ලක්වාසි රසවතුන්ටද බෙදාදීමයි.
* ඔබ ලෝකේ වටේ ඇවිදින පොත් ප්‍රකාශකයෙක් කීවොත් මා නිවැරදියි නේද? පොත් එක්ක ගත කරන කාලය තමයි ජීවිතේ. ඒ වගේම ලොව ඓතිහාසික වටිනාකම් ඇති නිර්මාණ නැරඹීමත් මගේ ලොකු ආසාවක්. වෙන අය නම් මුදල් ඉපයීම වැඩි වෙන්න කලාව අඩු වුණත් මම උපයන්න, උපයන්න තව තවත් කලාව වැඩි වෙනවා. මොකද මම අවුරුද්දකට දෙවරක් යුරෝපයේ කලා කෘති, සිනමා කෘති, කලාගාර නරඹන්න සති දෙකක් යුරෝපය පුරා ඇවිදිනවා. වසර දහස් ගණන් පැරණි, ලොව ඉහළම වටිනාකමක් ඇති ඒ නිර්මාණ නැරඹීමෙන් ලබන සතුට වචනයෙන් කියන්න බැහැ. * ඔබ ප්‍රකාශන ආයතනයක් ආරම්භ කළේ, ඔබේම පොතක් පළ කිරීමේ අදහසින්? මම පරිවර්තනය කළ ගබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්ගේ නවකතා දෙකක් එක කෘතියක් ලෙසින් පළ කරන්න වුවමනා වුණා. එතකොට මට වයස අවුරුදු විසිපහක් විතර ඇති. මගේ වයස පළපුරුද්ද නිසා ද මන්දා කිසිම ප්‍රකාශකයෙක් මේ පොත පළ කරන්න කැමැති වුණේ නැහැ. මගේ පරිවර්තන පිටපත කියවු සයිමන් නවගත්තේගම මහතා තමයි, මටම මේක පළ කරන්න කියලා යෝජනා කළේ. "ඔයාම ප්‍රකාශන ආයතනයක් පටන් අරන් මේක පළ කරන්න. මමත් ඔයාට පළ කරන්න පොතක් දෙන්නම්" කිව්වා. එය නව සාහිත්‍ය පිළිබඳ සාකච්ඡාවක් රට තුළ ඇති වෙමින් තිබුණු කාලයක්. ලතින් අමෙරිකානු සාහිත්‍ය, නව ප්‍රබන්ධ ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඒ ගැන සාකච්ඡා තිබුණාට කියවන්න ඒ පොත් ලංකාවේ තිබුණේ නැහැ. ඒ නිසාම මේ පොත් ප්‍රකාශයට පත් කරන්න මට ඕනෑකමක් ඇති වුණා. විදර්ශන ප්‍රකාශන ආයතනය බිහි කෙරුණේ ඒ නූතන සාහිත්‍ය ලංකාවට හඳුන්වා දෙන්නයි. * විදර්ශන ප්‍රකාශන ආයතන ආරම්භයේ පටන් නිකුත් කළ කෘතිවල මේ විශේෂත්වය තිබෙනවා? මගේ ප්‍රධානතම අරමුණ වුණේ, නූතන සාහිත්‍ය ප්‍රවණතාවලට ළඟා වෙන්න පුළුවන් අපේ රටේ නිර්මාණකරුවන්ගේ නිර්මාණත් මේ ඔස්සේ පළ කරන්නයි. ඒ වෙනකොට විශාල තරුණ ප්‍රජාවක් විදර්ශනා ප්‍රකාශන ආයතනය ගැන ලොකු පැහැදිමකින් කටයුතු කළා. බොහෝ දෙනෙකුට ළං වෙන්න නොහැකි වූ සාහිත්‍යයක් අපට ඔවුන් වෙත තිළිණ කරන්නට හැකිවීම එයට විශේෂ හේතුවක්. සාමාන්‍ය සම්ප්‍රදාය වෙන්නේ ලේඛකයන් විසින් කෘතියක් පරිවර්තනය කර ප්‍රකාශකයා වෙත ගෙනවිත් භාර දීම වුණත්, නූතන සාහිත්‍ය කෙරෙහි උනන්දුවෙන් මම ඒ කෘති පරිශීලනය කරමින් සිටි නිසාම විදර්ශන ප්‍රකාශන ආයතනය මඟින් ප්‍රකාශයට පත් කළ කෘති අතරින් සියයට අසූවක්ම මා විසින් කියවා පරිවර්තනය කරවා ගත් ඒවා වීමත් විශේෂයි. ඒ වෙනුවෙන් නිර්මාණ හැකියාව තිබෙන දක්ෂ තරුණ පෙළක් එකතු කර ගෙන ඔවුන් උනන්දු කරමින් පරිවර්තන කෘති නිකුත් කළා. මගේ පළමු පොත පළ කරන්න ප්‍රකාශකයෙක් ඉදිරිපත් වුණේ නැතත් මම ප්‍රකාශකයෙක් විදියට හැමදාම දක්ෂයන්ට තැනක් දෙන්න ගොඩක් උත්සාහ කළා. එය සාර්ථකව ඵලදරා තිබීම ගැනත් සතුටුයි. මොකද අද ඒ හැමෝම මෙරට ප්‍රමුඛ පෙළේ ලේඛකයන් බවට පත් වෙලා. ලොව නව සාහිත්‍ය ලංකාව හඳුන්වා දීම මිස කිසිදු ව්‍යාපාරික අරමුණක් එහි තිබුණේ නැහැ. * ව්‍යාපාරික අරමුණක් නැතිව ප්‍රකාශන ආයතනයක් පවත්වා ගැනීම අපහසු කටයුත්තක් නේද? ඒක ඇත්ත. තාත්තා ව්‍යාපාරිකයෙක් නිසා මුදල් අඟහිඟකම් ගෙදර තිබුණේ නැහැ. එය මගේ ප්‍රකාශන ආයතනය කරගෙන යන්න ලොකු පහසුවක් වුණා. හැබැයි ව්‍යාපාරයේ ව්‍යාපාර අරමුණු නැති නිසාම තුන් හතර වතාවක්ම කඩාගෙනත් වැටුණා. ඒ හැම වතාවකම මම නැවත නැවතත් නැඟිට්ටා. මේ වනවිට ලංකාවේ ප්‍රකාශන ආයතන රැසක් තියෙනවා. ඒ අතරේ බොහොමයක් තරුණ ප්‍රකාශකයන් සිටිනවා. එදා මම විදර්ශන ඔස්සේ පළ කළ නව සාහිත්‍යයේ නිර්මාණ වැනි වූ නිර්මාණ අද ඒ අයත් පළ කරනවා. මම ආරම්භ කර දුන් දේ අද ඔවුන් ඉදිරියට රැගෙන යාම ගැන ලොකු සතුටක් දැනෙනවා. * මෙවර ස්වර්ණ පුස්තක සම්මානය පිරිනැමුණෙත් ඔබේ ප්‍රකාශනයක් වෙනුවෙනුයි ? ඔව්. මෙවර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ නිශ්ශංක විජේමාන්න රචනා කර අප විසින් ප්‍රකාශයට පත් කළ තනි තරුවයි හඳ පළුවයි නවකතාව. ඒ ගැන දැනෙන්නේ විශාල සතුටක්. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ තවත් සුවිශේෂි සම්මානයක් මුල්වරට පිරිනැමුවා. එය පිරිනැමුවේ ස්වර්ණ පුස්තක සම්මානය පළ කළ ප්‍රකාශකයා වෙනුවෙන්. ඒ සම්මානය අපේ විදර්ශන ආයතනයට හිමි වුණා. දැවැන්ත ප්‍රකාශකයන් අතරේ කුඩා මට ඒ සම්මානය හිමි වීම ගැනත් නිහතමානි සතුටක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මීට පෙර පිට පිටම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබන්නත් විදර්ශන ප්‍රකාශන ආයතනයට හැකි වෙලා තියෙනවා. ඒක අපේ රටේ ප්‍රකාශකයෙක් ලද වාර්තාවක් කියලාත් කියන්න පුළුවන්. ආරියවංශ රණවීර විසින් පරිවර්තනය කළ වන පෙත අඬගසයි කෘතියත් විදර්ශනා ආරම්භය සමඟින් පළ කළ කෘති ත්‍රිත්වයට ඇතුළත්. ඒ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයකුත් එම පොතට පිරිනැමුණා. * විදර්ශන ප්‍රකාශන වෙනුවෙන් කෘති තෝරා ගන්නත් සීමා මායිම් ඇති ? මේ කාර්යයයේදී නම් මම බොහොම තද කෙනෙක් කියලා කියන්න පුළුවන්. මේ වසරේ නිශ්ශංක විජේමාන්නගේ හඳ පලුව තනි තරුව පොත ස්වර්ණ පුස්තක සම්මානය ලබනකොට ඒ අවුරුද්දේ විදර්ශන ආයතනය පළ කළ එකම නවකතාව වෙන්නෙත් හඳ පලුව තනි තරුව කෘතිය පමණයි. මොකද ඒ වසරේදී මම නවකතා කෘති හයක්ම ප්‍රතික්ෂේප කරලයි තිබුණේ. විදර්ශන ප්‍රකාශන ආයතනය කියන්නේ මගේ ආත්ම තෘප්තිය. මගේ විනෝදාංශය. විදර්ශන ප්‍රකාශන ආයතනයෙන් කෘතියක් පළ කරන්න නම් පළමුව මම තෘප්තිමත් විය යුතුයි. ඒ නිසා මම වසරකට ප්‍රකාශයට පත් කරන්නේ, බොහොම පරෙස්සමට තෝරා ගත් කෘති කිහිපයක් පමණයි. ඒ වගේම එක කෘතියක් වෙනුවෙන් මම විශාල මුදලකුත් වැය කරනවා. මොකද පොතේ ඇතුළාන්තය වගේම පිටතත් බොහොම සුන්දර විය යුතුයි. පොතක් නිකුත් කරනකොට ඒ පොත ලස්සන කරලා හොඳ නිමාවකින් ප්‍රකාශනයට පත් කරන්නත් මට ලොකු වුවමනාවක් තියෙනවා.
* කුඩා වියේදී පොත් සමඟින් ගත කළ කාලය කොහොමද ? ඇත්තම කියනවා නම්, මම උසස් පෙළ පන්තියට එනකල්ම කියවලා තිබුණේ පොත් දෙකයි. එකක් මනුතාපය අනෙක හත් පෙතිමල නම් රුසියානු ළමාකතා පොත. හත් පෙති මල කියවන්න වුණේ දෙක වසරේදි කතා පොතක් ඉස්කෝලෙට අරන් යන්න වුණු නිසා. මනුතාපය කියවන්න වුණෙත් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට ඇතුළත් වුණු නිසා. මම මුලින්ම ඉගෙන ගත්තේ කළුබෝවිල මහා විද්‍යාලයෙන්. ඒ කාලයේ එහි උසස් පෙළ පන්ති තිබුණේ නැති නිසා අපට වෙනත් ඉස්කෝල වලට යන්න සිදු වුණා. පාසලේ හොඳම ළමයි පස් දෙනාට කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වෙන්නත් වරම් ලැබුණා. මටත් ඒ විදියට නාලන්දා විද්‍යාලයට එන්න අවස්ථාව ලැබුණා. උසස් පෙළ මගේ විෂය ධාරාව වුණේ වාණිජ්‍යය. ලොකු ඉස්කෝලයක්. පොඩි බයකුත් තිබුණා. මොකද අලුත් ඉස්කෝලේ රැග් එක එහෙමත් අඩුවක් වුණේ නැහැ. ඒ නිසා ගුරුවරයෙක් නැති වෙලාවක් එහෙම වුණොත් මම ඉක්මනට පුස්තකාලයට දුවනවා. එක දවසක් මම පුස්තකාලයට යනකොට වෙන කවුරු හරි කියවපු පොතක් මේසයක් උඩ තිබුණා. මම නිකමට වගේ ඒ පොත පෙරළලා බැලුවා. ඒ. වී. සුරවීර මහත්තයාගේ නිර්මාණය සහ අවබෝධය පොත. එහි උදාහරණත් සමඟින් නවකතා වර්ග, නවකතාවක් රස විඳීන්නේ කොහොමද වගේම නවකතාවක් ලියන්නේ කොහොමද කියලත් තිබුණා. මම ඒ පොත ලියලා තිබුණු විදියට ගොඩක් ආසා වුණා. ඉන් පසුව සුරවීර සර් එහි උදාහරණ විදියට කියලා තිබුණු සේරම පොත් හොයා ගෙන කියවන්න පටන් ගත්තා. එදා පටන් මගේ ප්‍රධාන රාජකාරිය වුණේ පොත් කියවීම විතරයි. විශ්වවිද්‍යාලයට යන්න එක ලකුණක් අඩු වුණත් නැවත විභාගයකට උනන්දු වෙන්නෙත් නැතුවම පොත් කියවන්නයි ලියන්නයි පටන් ගත්තා. ඒ කාලයේ පොත් කියවලා මගේ අදහස් විචාර විදියට ලේඛකයන්ටත් තැපැල් කළා. ඒ ඔස්සේ ඔවුන්ගෙන් ලද දිරිමත් කිරීමත් විශාලයි. * ඔබ අතින් ප්‍රථම කෘතිය රචනා වුණෙත් මේ කාලයේදී ද? එය සිදු වුණේ , 1999 වසරේදී හොඳම තරුණ කෙටිකතාකරුවා වෙන්න මට හැකි වීමත් සමඟින්. ඒ නිසා ජයතිලක කම්මැල්ලවීර සහ පියසිරි කුලරත්න මහත්වරුන් සමඟින් ඉන්දියාවේ සංචාරය කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ සංචාරයේදී මම හයිද්‍රාබාද්හි පොත් සාප්පුවකටත් ගියා. කුඩා වුණත් එහි බොහොම පිළිවෙලට අසුරන ලද පොත් ගොඩක් තිබුණා. මං වගේ ළාබාල කෙනෙක් එයින් පොත් තෝරා ගත් ආකාරයට එහි හිමිකරු ගොඩක් පැහැදුණා. ඒ නිසාම ඔහු මට තවත් පොත් දෙකක් තෑගි දුන්නා. එයින් එක පොතක් තමයි මම මුලින්ම පළ කළ ගබ්‍රියෙල් ගාර්ෂියා මරේකේස් ගේ නවකතා පොත. ඇත්තටම මා ලේඛකයෙක් වගේම ප්‍රකාශකයෙක් බවට පත් කළේ හයිද්‍රාබාද්හි කුඩා පොත් සාප්පුවේ හිමිකරු සහ මට පොත් කියවන්න අවකාශය සැලසූ නාලන්දා විද්‍යාලයේ පුස්තකාලය යි. * පොත් හැරුණාම අනෙකුත් කලා අංශ සමඟින් ඔබේ බැඳීම කොහොමද? මා වේදිකා නාට්‍ය නිර්මාණ වගේම අති විශාල වශයෙන් සිනමාව නරඹන්නෙක්. විශාල සිනමා නිර්මාණ එකතුවකුත් මා සතුයි. ඒ වගේම මම අනූව දශකයේ පටන් ලංකාවේ පැවති සියලුම සිනමා උලෙළවල් නැරඹූ කෙනෙක්. ඉන්දීය සිනමා උලෙළ, ඉංග්මාර් බර්ග්මාන් සිනමා උලෙළ, රිත්වික් ඝටක් සිනමා උලෙළ වගේම යුරෝපිය සිනමා උලෙළත් ආරම්භයේ පටන් මේ දක්වාම නරඹන අතළොස්සෙන් කෙනෙක්. සිනමා උලෙළක් තුළ මම එක චිත්‍රපටයක්වත් අතහරින්නේ නැහැ. ඒක හරිම සෞන්දර්යාත්මක අත්දැකීමක්. ඒ වගේම අනාගතයේදී සිනමා නිර්මාණයක් නිෂ්පාදනය කරන්න බලාපොරොතුවක් තියෙනවා. * නැවතත් කෘතියක් එළිදක්වන්න අදහසක් නැතිද? මොකද නැත්තේ. දැන් නවකතා කෘතියක් ලියන්නත් සූදානම් වෙනවා.
|