වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

ඈෂ්ලි රත්නවිභූෂණට ප්‍රණාමය

රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේ පැවැත්වෙන ආසියා - පැසිපික් සිනමාව පිළිබඳ වූ පහළොස් වැනි 'පැසිපික් මෙරීඩියන්' සිනමා උලෙළේ නෙට්පැක් ජූරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම සඳහා ඈෂ්ලි රත්නවිභූෂණ සහභාගි වීම පිළිබඳ ලක්වැසි අපගේ ප්‍රණාමය.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල

********

විවිධ චරිත මැවූ වාස්

'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි වින්සන්ට් වාස් පුරා දශක පහක් පුරා සිංහල සිනමාවේ චරිත මැවූ දක්ෂ නළුවෙකි. 'සූරයා', 'සන්දේශය', 'රන්මුතු දූව', 'ගැටවරයෝ', 'සසරක හැටි', 'උතුමාණෙනි', 'බඹරු ඇවිත්' වැනි සිනමා නිර්මාණ ඔහුගේ සිනමා දිවියේ සලකුණු වේ. "නාදේ නාදේ සාධු නාදේ", "මල් උයනේ නිමල ශ්‍රී" ඔහු ගැයූ ගීතයන්ය. දැයෙන් සමුගෙන කලක් ගත වුණත් මතකය අප සතුව පවතී.

ආනන්ද වික්‍රමාරච්චි

ඉහළ තල්දූව

********

රටට කීර්තිය ගෙන ආ අනෝජා

තිරගත වූ චිත්‍රපට රැසකින්ම ඉතාමත්ම දක්ෂ ලෙස විවිධ චරිත නිරූපණය කරමින් ප්‍රවීණ නිළි අනෝජා වීරසිංහ අප රටට ඉතා වටිනා සම්මාන පිට සම්මාන විදේශ රටවලින්ද දිනා ගනිමින් සිංහල සිනමාව දිග්විජය කළ ඔබගේ පැරණි සිනමා රංගනයන් රූපවාහිනියෙන් ද දකින්න ලැබීම වාසනාවකි.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව

********

අපේ දක්ෂ නිළිය - පුණ්‍යා

මීරිගම නම් සුන්දර ගැමි පරිසරයක හැදී වැඩුණු පුන්‍යා හීන්දෙණිය එකල සිනමාවේ අපට සිටි දක්ෂ නිළියකි. ඇය රඟපෑ 'කුරුළු බැද්ද', 'සිකුරු තරුව', 'ගම්පෙරලිය', 'පරසතුමල්', 'රන්සළු' ඇයගේ සිනමා ජීවිතයේ නොමැකෙන සලකුණු කිහිපයකි.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල

********

වීරයන් ගැන කියන මුතු කුඩ

අපේ මව්බිම ඉංග්‍රීසින්ට නතු වී සිංහලයා තම මව්බිම බේරා ගැනීම සඳහා සටන් කරන සමයේ විසූ වීර සිංහලයන්ගේ චරිතාපදාන මැනවින් විදහා දක්වන 'මුතු කුඩ' ටෙලි වෘතාන්තය දෙරණ නාලිකාවෙන් විකාශය කෙරෙන වටිනා ටෙලි නිර්මාණයකි. සියලුම ශිල්පීන් ශිල්පිනියන් එහි චරිත තුළ සැබෑ ලෙසම ජීවත් වන බව කිව යුතුයි.

අයිලීන් සෝවීස්

වැලිසර

රාගම

********

අමතක නැති මැණික්

'හන්තානේ කතාව' චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිස විවිධ සිනමා නිර්මාණ තුළින් ජනප්‍රිය නළුවන් සමඟින් පෙම්වතියගේ චරිතය නිරූපණය කළ මැණික් කුරුකුලසූරිය ඔබ අපට අමතක නැහැ. 'නොම්මර 17', 'අහස් ගව්ව', 'රජ වැඩකාරයෝ', 'වජිරා', 'වන බඹරා', 'ආදර කතාව' වැනි චිත්‍රපට තුළින් ඔබ කළ විශිෂ්ට රංගනයන් යළිත් දකින්න නැවතත් සිනමාවට එන්න.

පාලක සමන් පෙරේරා

අල්විස් ටවුම

හැඳල

********

සුමිත් බිබිලේ වෙනුවෙන්

ජනප්‍රිය සිනමා රංගවේදිනි සනෝජා බිබිලේගේ ආදරණීය පියා සුමිත් බිබිලේ අභාවය වෙනුවෙන් රසික අප සැමගේ කනගාටුව ප්‍රකාශකර සිටිමු.

අතුල රම්‍යසිරි

පානදුර

********

කුමාරි මානෙල් නික්මයාම

'මා ආලය කළ තරුණිය' චිත්‍රපටයෙන් සිනමා දිවියේ අත්පොත් තැබූ කුමාරි මානෙල් 'වනමල', 'වීදුරු ගෙවල්', 'දෙව්දුව', 'සීතල ගිනිකඳු', 'චායා' වැනි චිත්‍රපට තුළින් අප හමුවට පැමිණි මතකය සුන්දරය. ඇයගේ වියෝව පැරණි චිත්‍රපට ප්‍රිය කරන්නන්හට ඉමහත් ශෝකයකි.

චන්ද්‍රකාන්ති පියතුංග

දළුගම

කැලණිය

********

සිංහල රැම්බෝ

සිංහල සිනමාවේ රැම්බෝ ලෙස හඳුන්වන්නේ, තිලක් ජයවීර යි. පසුගියදා ඔහු මුහුණ දුන් හදිසි අනතුර අප වෙත ගෙන ආවේ මහත් කනගාටුවකි. ඔහුට නිරෝගි සුව පතමි.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකන්ඩිය

********

හිත ළඟ 7 මල් 7 යි

ජාතික රූපවාහිනිය ඔස්සේ සතියේ දිනවල රාත්‍රී හතට විකාශය කෙරෙන 'හිත ළඟ 7' විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ඉතා අගනා වැඩසටහනකි. දැනුම, විනෝදය කැටිකර ගත් මෙම වැඩසටහන නැවුම් අත්දැකීම් රැසක් ගෙන දෙයි. ඉදිරියටත් නව අංග සමඟින් සිත් පිනවන බුද්ධියේ නිම් වළලු පුළුල් කරමින් අප වෙත සමීප වීමට 'හිත ළඟ 7' ට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.

විරාජ් හර්ෂනාථ බණ්ඩාර

හුළුගල්ල පාර

නිකවැරටිය

********

ඔබ නැතිවීම දුකක්

60- 70 දශකයේ රසික රසිකාවන්ට සතුට ගෙන ආ ලිලියන් එදිරිසිංහ 'අක්ක නගෝ', 'දරු දුක', 'චණ්ඩි ශ්‍යාමා' අමතක නොවේ. සිනහ ගෙන ආ 'පාරාදීසේ' චිත්‍රපටයේ රංගන මතකය අගේය. ඔබේ රංගන ප්‍රතිභාව පෙන්වීමට දැන් ඔබ අප අතර නැති වීම දුකකි.

ඊ දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව

********

සිහින ලොවින් පැමිණි කුමරු

"මලට බඹරෙකු සේ" සංගීත ලෝකයට පිවිස කණ්ඩායම් සංගීතයේ නව වෙනසක් ඇති කර අපූරු ගීත රැසක් රසික කැල වෙත තිළිණ කර 'අපේක්ෂා', 'සිකුරුලියා' වැනි චිත්‍රපට රැසකට සංගීතයෙන් දායක වී ගී ලොව දිග්විජය කළ සිහින ලොවින් පැමිණි කුමරු ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවේදියාණෙනි අද ඔබ වීමට බොහෝ දෙනෙක් උත්සාහ කළද පියඹා ඔබ ආකාශයේ වෙන්ව ගිය පසු එතැන් කිසිවෙකුට නොහැකිය.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

මීරිගම පාර

පස්යාල

********

ධර්මසිරි ගමගේ සමරමු

රසඳුන පුවත්පතින් බොහෝ ආධුනික ලේඛක ලේඛිකාවන්ට කවියන්ට නොමසුරුව අතහිත දුන්නේ එහි මුල් කතුවරයා ලෙසිනි. එතුමා සම්මානනීය ගීත රචකයෙකි. පුවත්පත් කලාවේදියෙකි, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි ( යස ඉසුරු - 1983, පූජා - 1987). සාහිත්‍යධරයෙකි. එතුමා රූපවාහිනියේ විශේෂ ප්‍රභූ සම්මුඛ සාකච්ඡා මෙහෙයවූ අයුරු අපූරු ය. තිරකතා රචකයකු ලෙසින්ද ප්‍රසිද්ධියක් ඉසුලූ පරිසර හිතවතෙකි. 2004 වසරේ සැප්තැම්බර් 19 වැනිදා මේ ආදරණීය සොඳුරු මිනිසා අපෙන් වූයේය.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව

********

එදා - මෙදා

කෙතරම් කලා ලොවට සේවය කළත් එයින් වෙන් වී ගියදාට ඔවුන් අසරණ වෙනවා. එදිනට අනුකම්පා කරන්න කිසිවෙකුත් ළඟ රැඳෙන්නේ නැත.

ආරියදාස පිංදෙණිය

බටවල

පාදුක්ක

********

ප්‍රවීණ නිවේදිකා ඇග්නස් සිරිසේන

ගුවන්විදුලි මහගෙදරින් බිහි වූ ප්‍රවීණ නිවේදිකාවක් හඩ කැවීම් ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් වූ තමන්ටම ආවේනික වූ හඬක් හිමි ඇග්නස් සිරිසේන පිළිබඳ මතකය තවමත් අප මතකයේ ඇත. 60 - 70 දශකයේ විකාශය වූ 'වජිරා' ගුවන්විදුලි නාට්‍යයේ වජිරාගේ මවට හඬ දුන් අයුරු අතිවිශිෂ්ටය. ඔබතුමියගේ අඩි පාරේ යන පුතු කමල් දේශප්‍රියට ද අපේ උත්තමාචාරය.

එස්. ඒ ප්‍රේමලතා

රැක්ගහතොටුපොල

බණ්ඩාරගම

********

නිවේදන කලාවේ උන්නතිය උදෙසා

දශක කිහිපයක් පුරා ඉතාම ගෞරවාන්විතව පැවත ආ නිවේදන කලාව වර්තමානයේ තරමක් ව්‍යාකූල බවට පත්ව ඇති බව පෙනේ. විවිධ ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකාවල ඇතැම් නිවේදක නිවේදිකාවන් හෙළ බස හසුරුවන අයුරු කනගාටුදායකය. හෙළ බස විකෘති නොකර නිවේදන කලාව ඉදිරියට ගෙන යාමට අදාල බලධාරින්ගේ වග කිව යුතුමය. මන්දයත් අනාගතයේදී ක්ෂේත්‍රයට පිවිසෙන්න සිටින ආධුනිකයන්ට වර්තමානය පූර්වාදර්ශයක් වන බැවිනි.

අනුර කුලවර්ධන

රදාවාන

********

පැලඳීය යුතු අභරණ

ජනප්‍රියත්වය ආභරණයක් ලෙස පළඳනවා මිස එය ආයුධයක් කර නොගත යුතුය යනුවෙන් 50 දශකයේ සුපිරි තරුව ප්‍රේම්ජයන්ත් වරක ප්‍රකාශ කළා. එහෙත් වර්තමානයේ කලාකරුවන් ජනප්‍රියත්වය ආයුධයක් කරගෙන ඇති බවයි පෙනෙන්නේ. එයින් නොදැනුවත්වම රසික ආදරය ගෞරවය ගිලිහි යන බව ඔවුන් නොදන්නවා විය යුතුය.

කේ. ඩී කරුණාරත්න

නැදිමාල

දෙහිවල

********

මියුරු හඬින් ගැයූ කල්හාරි

දශක ගණනක් ගායනය තුළින් සුවිශේෂ දක්ෂතා දැක්වූ චම්පා කල්හාරි භාෂා කිහිපයකින්ම ඉතා මියුරු හඬින් ගැයූ ගී අපූරුය. තවත් කාලයක් සංගීත ලොවේ ජනප්‍රියව රැඳී සිටීමට වරම් ලැබේවායි පතමි.

නිමල් කුලසේකර

අඟුලාන