|
සම්මාන එකක් දෙකක් නම් කමක් නැහැ නවයක්ම ලැබුණා
සුමිත් රත්නායක
මෙම වසරේ පැවැත් වූ රයිගම් සම්මාන උලෙළේ හොඳම අධ්යක්ෂවරයා රත්නායක කෙනෙකි. හේ ලලිත් රත්නායකය. ඔහු සම්මාන දිනුවේ තනි අතට යන පාරටය. පසුගියදා නිමාව දුටු සුමති සම්මාන උලෙළේදී ලලිත්ට එලෙස සම්මානනීය වන්නට නොහැකි වුවත් එහිදී ද රත්නායක නාමය හොඳම තැන දිනීය. එම තැනැත්තා සුමිත් රත්නායක විය. අනේක විධ දුෂ්කරතා ඔස්සේ අනුරාධපුර සිට කොළඹට සම්ප්‍රාප්ත වී නළුවකු ලෙසට ස්ථාවර වූ හෙතෙම මෙවර සුමති සම්මාන උලෙළේ හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේය. ඒ මද්දහන නමැති ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කිරීම හේතුවෙනි. සුමිත්, ශාන්ති දිසානායකගේ හිරුමඬල නවකතාව ඇසුරෙනුයි ඔබ මද්දහන පුංචි තිරයට ගේන්නේ. ශාන්තිගේ හිරුමඬල ඔබේ මද්දහන කර ගත්තේ කෙසේද? මම ගමක හැදුණ වැඩුණ කෙනෙක්. ඒ ගැමි සුන්දරත්වය මගේ සිතේ හැමදාම තිබුණා. ඒක මා දුටුවා ශාන්තිගේ හිරුමඬල නවකතාවේ. මේ කාලයේ ටෙලි නාට්‍ය ගැන අමුතුවෙන් කතා කරන්න ඕන නැහැනෙ. නිල් මැණික් යට යනවා. ගොමරිටි මතු වෙනවා. නමුත් මැණිකේ ඔපය මකන්න බැහැ. කෙදිනක හෝ එහි දිස්නය ලෝකය දකිනවා. මද්දහනටත් වුණේ එහෙම දෙයක්. හිරුමඬලේ සුන්දරත්වය නොඅඩුව මද්දහනට මං ගෙනාවා. හොඳට කාලය අරගෙන තිරපිටපත සකස් කළා. නළු නිළියන් සොයාගෙන ගිහිල්ලා ඔවුන්ගේ අතට පිටපත දීලයි මං මද්දහනට ඔවුනට ආරාධනා කළේ. එතකොට ඒ අය දන්නවා තමන් මේ රඟපාන්නේ මුලක් මැදක් සහ අගක් ඇති නාට්‍යයක කියලා. සාමාන්‍යයෙන් ශාන්ති දිසානායකගේ නවකතා ඇසුරෙන් තැනුණු නාට්‍ය බොහොමයක් සම්මානනීය වුණා. ඔබත් ඇයගේ නවකතාවක් තෝර ගත්තේ ඒ පදනමෙන් වෙන්න ඇති කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්? ඔව්. ඒකට බැහැ කියන්න බැහැනෙ. ඕන කෙනෙකුට සිතීමේ අයිතියක් තියෙනවා. හැබැයි මං හිරුමඬල නවකතාව තෝර ගත්තේ අහම්බෙන්. මට අවැසි කතා වස්තුව එතැන තිබුණා. මද්දහන මගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. සුමති සම්මාන නවයක් ඊට ලැබුණා. ඒක මං හිතපු දෙයක් නෙවෙයි. සම්මාන එකක් දෙකක් නම් කමක් නැහැ. මේකට නවයක්ම ලැබුණනෙ. එහෙම වුුණේ නාට්‍ය ගුණාත්මක නිසානේ. ඔබ කියන්නේ මද්දහන විශිෂ්ට නාට්‍යයක් කියලද? මම ඒක නෙවෙයි කිව්වේ. නමුත් මං හොඳම අධ්යක්ෂ වුණා. එක්තරා සම්මාන උලෙළකදී මගේ නාට්‍ය රිජෙක්ට් වුණා. මේකෙ සම්මාන ලැබුවා. විනිශ්චය මණ්ඩලයන් එකිනෙකට වෙනස්. ඔවුන්ගේ තීරණය තමයි අවසාන තීරණය. ඒකට හිස නමන්න වෙනවා. ඔබ ඔය පවසන්නේ පසුගිය රයිගම් සම්මාන උලෙළ ගැනනේ? මං එහෙම නම් වශයෙන් සඳහන් කරන්න කැමැති නැහැ. ඔබ නළුවකු ලෙසට ක්ෂේත්රයට ආ කෙනෙක්. අද හොඳම අධ්යක්ෂවරයා බවට පත්වෙලා තියෙනවා? සාමාන්‍යයෙන් අපේ රටේ නළුවකු අධ්යක්ෂවරයකු වුණාම නළුවට වැඩ නැති වෙනවා? මට එහෙම සිදු වුණේ නැහැ. නමුත් මං මට ලැබුණු නිර්මාණ බොහොමයක් ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව මට ඒ චරිත තුළ රඟපාන්න දෙයක් නැහැ. මං විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ ආත්ම තෘප්තිය නැතිනම් චරිතයක් රඟපාලා වැඩක් නැහැ කියන එක. වෘත්තීමය කලාකරුවකු වුණත් මම යන්නේ මට රඟපාන්න පුළුවන් චරිතවලට පමණයි. මෙගා නාට්‍යවලට නම් කොහෙත්ම යන්නේ නැහැ. අප රටේ වෘත්තීය කලාකරුවකුට එහෙම තෝරා බේරාගෙන රඟපාන්න බැහැ කියලා ප්‍රවීණ නළුවකු පවසලා තිබුණා? මං හිතන්නේ ඒක වැරැදියි. නළුවකු වුණාම ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. හැම දේටම යන්න හොඳ නැහැ. මුදල් උපයනවා නම් වෙන දේවල් කළ යුතුයි. හැබැයි අප ඇත්ත දැනගෙනයි මේ ක්ෂේත්රයේ ඉන්න ඕන. මං කියන දේවල් හැමෝටම කරන්න බැහැ. ඉවසීම දරා ගැනීම තිබිය යුතුයි. එහෙම වුණාම ගරුත්වය රැකගෙන ක්ෂේත්රයේ ඉන්න පුළුවන්. මද්දහන ඔබ අධ්‍යක්ෂණය කළායින් පසුව ඒක විකාශය කරගන්න යෑමේදී ඔබ අපහසුතාවයට පත්වුයේ නැතිද? මං හිතන්නේ ඒ අතින් මං වාසනාවන්තයි. මම ස්වාධීන රූපවාහිනි ආයතනයට මද්දහන බාර දෙද්දී එහි සභාපති වුණේ ධම්මික ගංගනාත් දිසානායක. ඔහු නාට්‍යයෙහි කොටස් කිහිපයක් නරඹලා තිබුණා. අයි. ටී. එන්. එකේ නාට්‍ය මණ්ඩලයෙන් හොඳම ලකුණු ප්‍රමාණයක් ලැබුණා. මං එක් එපිසෝඩ් එකකට ඉල්ලුව මුදලත් ලැබුණා. කේවල් කළේ නැහැ. මේ වෙලාවේ මද්දහන නිෂ්පාදක මහින්ද රණතුංගවත් මතක් කළ යුතුමයි. ඔහුගේ සහාය නොසෑහෙන්න ලැබුණා. ඒ වගේම නිදහසත් එහෙමයි. ඔබගේ ඊළඟ පියවර මොකක්ද? සාමාන්‍යයෙන් ටෙලියකින් පසුව බොහෝ අධ්යක්ෂවරුන් සිනමාවට පිවිසෙනවා? මමත් සිනමාවට ආවා. මං රං කොල්ලා නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එහි වැඩ කටයුතු ඉවරයි. එය ලබන වසරේ තිරගතවීමට නියමිතයි.
|