වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඔය ළමයා ආවේ තනියමද?

ඔය ළමයා ආවේ තනියමද?

සම්මුඛ පරීක්ෂණ ශාලාවට නොපැමිණි විනෝද් ශාලාව පෙනෙන මායිමේ අතරමගින් නතර විය.රඟපෑම් ඉල්ලා සිය ගණනක් එතැයි ඇය සිතා සිටිය ද පැමිණ සිටියේ තිහකට ආසන්න ගණනකි.

“ඔයා එන්නේ නැද්ද?’

‘බැහැ.ඔය කබල් වලට ගියා කියලා මට ඇති වැඩක් නැහැ.’

විනොද් පැවසුවේ මවා ගත් තරහකින් යුක්තවය.

‘යන්නත් කලින් ඔයා කොහොමද දන්නේ කබල් ද නැද්ද කියලා.

ඇය ඇසූවත් ඔහු උත්තර දුන්නේ නැත.

‘මං යනවට ඔයා අකමැතිද ?’

‘මං මොකටද කාටවත් අකමැති වෙන්නේ.? මොකෝ මං අකමැති වුණයි කියල ද ඔයා වැඩ කරන්නේ ?’

ඔහු පෙරළා ඇසුවේය.මෙතුවක් ක් දුරක් හෝ තනියට ආව එකත් මදැයි සිතුවා විනා බිනරි යළිත් කියන්නට ගියේ නැත

‘මං ඔයා එනකම් ඉන්නම්’

‘කොහෙට වෙලාද ?

ඔහු ගස් සෙවනේ තිබුණ බංකුවක් සොයා ගෙනය. අනතුරුව තම උරහිසේ වූ ගමන් මල්ලේ තිබූ කඩදාසි ගොන්නක් අතට ගත්තේය. මේ රෙදි මල්ලට බිනරි පවසන්නේ නයිමල්ල යනුවෙනි.

‘මට ඩ්‍රාමා එකේ වැඩක් තියෙනවා.මං ඒක කරන්නම්’

ඔහු අනතුරුව පැවසුවේය.

මේ ආකාරයේම උම්මත්තකයෙක් බොරැල්ල හන්දියේ සිටිනු බිනරිට මතකය. ගින්නට දැම්මත් නොපිලිස්සෙන කළු පැහැති ඇඳුමක් ඇඳ ගත් ඔහු අත ලොකු කොළ ගොන්නකි. හිටි ගමන් කොළ මිටිය අතට ගන්නා ඔහු එහි පැන්සල් කොටයකින් ලියා ගෙන ලියා ගෙන යයි.බිනරි ගේ සිතට නැගුණේ ඒ ආකාරයෙන් සිටින විනෝද් ගේ රුවය.විනෝද් දවස් දෙක තුනකින් රැව්ල කපා නැත. අඳීන ඩෙනිම් කලිසම ද එහෙමය.

‘මොකද හිනාවෙන්නේ ?’

‘නෑ නිකං.මං එන්නම්’

ඇය සම්මුඛ පරික්ෂනයට පැමිණ සිටි පිරිසට එක් වූවාය.පරීක්ෂණය සඳහා පෙනි සිටින අයට අංකයක් ලැබිණ. අනතුරුව ඇගේ නම ගම ද ලියා ගැනිණ. බිනරිගේ අංකය විසි හතය. පරීක්ෂණය නිමා කරන ඇතැමෙක් ආපසු යන අයුරු ඇයට පෙනිණ.සමහරු දුර පළාත්වලින් පැමිණි අය වග පැහැදිලිය.

විසි අට වැනියා ද තවත් ගැහැනු ළමයෙකි.

ටික වේලාවකින් ඔවුන් කතාවට වැටිණ.ඇය පැමිණ සිටියේ තංගල්ලෙනි.

‘පාන්දර බස් එකෙන් ආවේ.

ඇය සමග මව ද පැමිණ සිටියාය.

‘මේ ළමයගේ හිතුවක්කාරකම හින්දා එනවා මිසක.මට ළමයගේ තාත්තා ත් බනිනවා’

ඇය ආඩපාළියක ස්වරූපයෙන් කියා සිටියාය.තරුණිය එය ගණන් නොගන්නා ස්වරයෙන් බිනරි දෙස බලා සිනාසුණාය.

‘ඔය ළමයා තනියෙන් ද ආවේ ?

‘ම්හු’.

බිනරි ඈත බංකුවේ වාඩි වී කඩදාසි අතර සිර වී සිටින විනොද් පෙන්වූවාය. ඒ ගැන යළි විමසන්නට ගැහැනිය උත්සුක නොවූවාය. එයින් පසු ඇයට අවශ්‍ය වූයේ බිනරි ඉන්නා තැන දැන ගන්නටය. හදිසියේ කොළඹ පැමිණි වේලාවක නවාතැන් ගන්නට මේ හමුවීම කදිමයැයි ගැහැනිය කීවාය. ගහට ගහක් මොරටුවේ දී මුණ ගැසෙනවායැයි කියන්නේ ඒකටලු ගැහැනිය පැවසුවාය.

බිනරි ගේ නම කතාකළේ එයින් පසුවය.

සම්මුඛ පරීක්ෂණයට සිව් දෙනෙක් සිටියහ. එක් අයෙක් කණ්ණාඩි කාරයෙකි.තවත් එකෙක් රැවුලෙකි. අනිකා ටෙලි නාට්‍යය එකක දෙකක සිටි වග ඇයට යන්තම් මතකය. නම ගම විස්තර ඇසූ ඔවුන් ටිකක් ඇවිදින්නට අණ කළාය.

බිනරිට ලැජ්ජාවක් ඇතිවිණ. සම්මුඛ පරීක්ෂණය මෙතරම් අසීරුයැයි ඇය නොසිතුවාය.

‘මං ඉස්කොලේ යන කොට නාට්‍ය දෙක තුනක් රඟපාලා තියෙනවා’

ඇගේ ස්වරයේ මවා ගත් බොළඳ බවක් ඇති විණ.

‘හොඳයි මේක ෆිල්ම් එකක්.’

කණ්ණාඩිකාරයා ගෙරවූවේය.

ආපු කාරණය හරියන එකක් නොවේයැයි බිනරිට සිතිණ.

“නංගී ඔයා නරක නෑ.එකම දේ අපිට ටිකක් ට්‍රේනිං කරන්න ඕනෑ.”

එහෙම කිවිවේ රැවුල් කාරයාය. ඇය කිසිත් කියන්නට නොහැකිව බලා උන්නාය.විනෝද් සිටියා නම් හොඳය.

එහෙත් ඔහු මුල ඉඳන්ම මෙයට කැමැත්තක් දැක් වූයේ නැත.

‘මට තියෙන්නේ මොන වගේ කැරැක්ටර් එකක්ද ?

ඇය අමාරුවෙන් වචන එකතු කළාය.

‘ඔව් තෝරා ගත්තාට පස්සේ අපි ස්ක්‍රිප්ට් එක දෙන්නම්.’

රැවුල් කාරයාගේ ඇස්දෙක ගිලින්නට වගේ බලා සිටියි.

‘පොඩි කාරණයක් තියෙනවා.මේ වැඩේට ඔයා ව තෝරා ගත්තොත් ඔයාට කොච්චර විතර ගෙවන්න පුළුවන් ද ?

රැවුල්කාරයා අනතුරුව කතාවට බැස්සේය.

‘ඒ කිව්වේ ?’

‘ඔයාට අපි ගෙවනවා.නමුත් මේ වැඩේට ඔයා ට්‍රේන් කරන්න ඕන.ඒක කරන්නේ ලංකාවේ ටොප් ක්ලාස් කට්ටිය දාලා’

ඔහු කතාවට බැස්සේය.

‘මොකද ඔයා මේ වැඩේට අපි හිතන විදියට හොඳයි.අපි හෙව්ව ෆිගර් එක තියෙනවා’

විනෝද්ට ද සල්ලි වුවමනාය. චරිතයක් දෙන්නට ද සල්ලි වුවමනාය. කලකට ඉහත විනෝද් චිත්‍රපටයක් ගැන පැවසූ කතාවක් ඇයට සිහිපක් විය.චිත්‍රපටයේ එක් එක් තැන්වල එක් එක් චරිත ඇති වී මතුවෙයි. ඒ අලුත් නළු නිලියන් අධ්‍යක්ෂකට සල්ලි දෙන හැටියටය.

‘මට දැනට නම් සල්ලි දෙන්ඩ විදියක් නෑ’

තමා චුට්ටං මුදලාලි ගේ දියණියය. තාත්තා ගනුදෙනු කතා කරන අයුරු ඇයට පුරුදුය.

ඇය කෙලින්ම පැවසුවාය.ඔවුන් එකිනෙකා මුහුණු බලා ගත්හ.

‘හරි ප්‍රශ්නයක් නෑ. ඔයාගේ නම්බර් එක තියෙනවා නේ.අපි කෝල් කරන්නම්’

කාලය නාස්ති කරන්නට දෙයක් නැත.කතාව කෙටියෙන් හමාර වූවේය.

ඇය එළියට බැස්සාය. තංගල්ලේ යුවතියට යන්නම් කියන්නට සිතුණත් ඒ හිතවත්කම දුර ගිය හොත් කොළඹ එන විට නවාතැන් ගන්නට ද ඇය ඉල්ලනු ඇත. එබැවින් ඇය නොකියාම මිදුලට බැස්සාය.

ඇය වට පිට බැලුවේ විනෝද් සොයන්නටය.ඇයට අවශ්‍ය ඉක්මනින් එතැනින් යන්නටය. බංකුවේ දැන් අසුන අරක් ගෙන සිටින්නේ යුවළකි. ඔවුන් ආදර බස් තෙපලන්නට තෝරා ගෙන ඇත්තේ එතැනය. ඇය වටපිට බැලුවාය. තමා කොයි අතට යායුතුද යන්නය ගැන ඇයට නිනව්වක් නැතිවිය. පසුපසින් කිසිවකු තට්ටුවක් දමනු දැනී ඇය හැරී බැලුවාය. පසුපසින් තට්ටුව දැමූ විනොද් ඇය ආපසු බලත්ම ඉස්සරහට වී බලා සිටියේය.

‘ අපි යං’

‘මොකද උනේ’

‘උන් සල්ලි ඉල්ලනවා’

විනෝද් ට සිනහ ගියේය.

‘සල්ලි නොඉල්ලුවනම් නේ පුදුමේ’

‘ඇයි’

‘කට්ටිය දැක්කාම හිතා ගත්තැකි. ඔය කට්ටිය හොද ජල්බරි යෝ තමයි’

ඔහු ඇයගේ අතින් අල්ලා ගෙන බෞද්ධාලෝක මාවතට පිවිසියේය.බස් රියකට අත පෑවෙන් එය නතර විය.ඔවුහු එහි නැග ගත්හ. පසු අසුන සම්පූර්ණයෙන් ඔවුන්ට වෙන් කළා වැන්න.

‘බොරැල්ලට දෙකයි’

ප්‍රවේශ පත්‍රයට ගෙවන ලද්දේ විනෝද්ය. ඔහු සිය ගමන් මල්ල දිග හැරියේය.එයින් අතට ගත්තේ කඩදසි මිටියකි.

‘මේක අද ගෙදර ගෙනියන්න. කියවන්න. කැමැතිද කියලා කියන්න’

ඔහු අතැති කඩදාසි මිටිය ඈ අතට දුන්නාය.

‘නැති කරන්න එපා. ඔච්චරමයි තියෙන්නේ. මෙච්චර වෙලාවක් මං ඕක ඉවර කළා’

ඔහු පැවසුවේ බස් රියේ හඩට වඩා හෙමිනි. ඉඳීන් එයට කන් යොමන්නට ඇයට ඔහු වෙතට නැඹුරු වන්නට සිදු විය.

ලබන සතියේ

නාට්‍ය පිටපත කොයිවගේද