|
දස්සා
අනේ පොඩි දස්සා... මරණය කුරිරු යැයි සිතුණේ නැද්ද උඹ වෙනුවෙන් හඬන්නට කවුරුන් හෝ මෙලොව ඇතැයි සිතුණේම නැතිද? හැඩ වැඩ, ආදරය, ඉගෙනුම අඩුවක්වීද, ජීවිතය ගෙවෙද්දී, කොතැනද රිදුණේ, හදවතට දරාගන්නට නොහැකි තරම්...
දසුන් යන නාමය ඇති රංගන ශිල්පීහු දෙදෙනකු අප ක්ෂේත්රයේ වෙති. එක් අයකු දසුන් පතිරණය. අනෙකා දසුන් නිශාන්ය. මේ දෙදෙනාටම ආදරයට අමතන්නේ දස්සා කියාය. දෙන්නාම දස්සලා නිසා ඇතැමුන් දසුන් පතිරණට ලොකු දස්සා කීවෝය. එහෙයින් දසුන් නිශාන් නිතරඟයෙන්ම පොඩි දස්සා විය. ඒ හෙයින් මේ දස්සලාව කාටවත් පැටලුණේ නැත. අභාග්‍යයකට ඔවුන් අතරින් පොඩි දස්සා මේ වන විට අප අතර නැත. ඉකුත් සඳු දින මද්දහන උදාවී හෝරාවක් ගතවන්නට මත්තෙන් බොහෝ දෙනෙකු පොඩි දස්සා ගැන අපගෙන් විමසීමක් කළේය. "ඒ අර දසුන් නිශාන් ගැන නරක ආරංචියක් යනවා, ඇත්තද මචං . . .' එලෙස ඇසුවෝ අප ද තුෂ්ණිම්භූත කළහ. එන්න එන්න ඒ පැනය අසන්නන් සංඛ්‍යාව වැඩි විය. එහෙයින් යම්කිසි අසුබ දෙයක් ඇති වී ඇතිවග අපට ද දැනුණ හෙයින් පොඩි දස්සා ගැන වගකිවයුතු පිරිසගෙන් තතු විමසුවෙමු. ඒ කතාව සැබෑය. ඒ වන විටත් පොඩි දස්සා අප අතරින් සමුගෙන මලවුන්ගේ ලොවට පියඹා ගොසිනි. පන්නිපිටියේ තම නවාතැන් පොළහි විදුලි පංකාවක එල්ලී ඔහු දිවි තොර කරගෙන තිබුණි. මෑතකදී ටෙලිවිෂනයේ දිග හැරුණු නාට්‍ය බොහොමයක කොල්ලා වූයේ දසුන්ය. අපේක්ෂා නාට්‍යයේ භූමි ලෙසට ඔහු වඩාත් ජනප්‍රිය වුණේ තව තවත් ටෙලි සිතුවම්වලට ද ආරාධනා ලබමිනි. සිතට වහල් වීමි, කවුරුන්ද ඔබ මගේ, රතු පිච්ච, පැහැසරා ආදී ටෙලි සිතුවම් රැසකින් පොඩි දස්සා තම රංගන දස්කම් විදහාලීය. නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේදී උපත ලද දසුන් පවුලේ වැඩිමහල් පිරිමි දරුවාය. ඔහුට බාල සහෝදරයෙක් සිටියි. මව්පියන් ද උගතුන්ය. එමෙන්ම දසුන් ද කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු එම අංශයෙන් රැකියාවක ද නියැලුණි. මෝස්තර නිරූපණයට එක්ව පසුව රංගනයට පිවිසීමත් සමඟ රැකියාවට ආයුබෝවන් කියූ හෙතෙම ඉන් පසුව වෘත්තීමය කලාකරුවකු විය. ගම අතහැර ඔහු පන්නිපිටියට පදිංචියට එන්නේ රංගන කටයුතුවලට පහසුවක් වීම හේතුවෙනි. ක්‍රම ක්‍රමයෙන් ක්ෂේත්රය තුළ ස්ථවාර වන දසුන් ඉතාම ජනප්‍රිය මියුසික් වීඩියෝ කිහිපයකට ද රංගනයෙන් දායක විය. එහෙයින් ජනප්‍රියත්වය ද නොඅඩුව ලැබිණ. දැන උගත් අයකු වූ පොඩි දස්සාගේ මරණය සිදු වූයේ කිසිවකු නොසිතූ අන්දමිනි. ක්ෂේත්රය තුළ හිත හොඳ අයකු ලෙස කාගේත් හිත් දිනාගත් හෙතෙම ඉතාම විශාල මිතුරු සමාජයක සාමාජිකයකු ද විය. නව පරපුරේ සියල්ලන්ගේම පාහේ පොඩි දස්සා මිතුරෙකි. එහෙයින් දසුන්ගේ යහළුවෝ මේ මොහොතේදී සිටින්නේ මහත් වූ කම්පනයෙනි. සංවේගයෙනි. පන්නිපිටියේ බෝඩිමේ දසුන්ගේ අවසාන පැය කිහිපය ගෙවී තිබුණි. එදින ඔහුට රූගත කිරීමක් තිබුණ ද එම කාර්යය ඔහු මඟහැර ඇත්තේ තදබල හිසේ කැක්කුමක් වැළඳී ඇතිවග පවසමිනි. පොඩි දස්සා තම අවසාන මොහොතේ සංවේගයෙන් යුතුව ලිපියක් ද ලියා තිබුණි. එමෙන්ම ඔහු ගෙල වැලලා ගන්නා ආකාරය වීඩියෝ වන ලෙසට ඔහු මිය ගොස් තිබුණි. දසුන්ගේ වියෝව ගැන නොයෙක් දෙනා නොයෙක් දේ කියති. ඇතැමුන් පවසන්නේ මෙය ප්‍රේම පලහිලව්වක කෙළවරක් කියාය. ඒ කිසිවක් හෝ අවශ්‍ය නැත. ඔහු අප අතහැර ගොසිනි. වෙනදා සෙම්නසින් ඇවිද ගිය මාවත ඔස්සේ ඔහු වෙන අයවලුන්ගේ කරමතින් අවසන් ගමන් යන්නට සූදානම් වේ. වසර විසි නවයක් වැනි කෙටි කලක් තුළදී ඔහු කළ කීදැ ඉමහත්ය. එනමුදු ඒ සියල්ල අදින් අවසන් වේ. තිහාරිය මල්වත්ත සුසාන භූමියේදී පොඩි දස්සා සදාකාලිකව සැතපෙනු ඇත. මින් මතු රඟපාන දසුන් කෙනෙකු ගැන කතාවක් ඇති වුණොත් ඒ කතා කරන්නේ ලොකු දස්සා ගැන ද පොඩි දස්සා ගැන ද කියා කවුරුවත් නොවිමසනු ඇත.
|