වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




සසර වසන තුරු ඔබ වාසනාවන් - මිහිර මතක ඇසුර...

සසර වසන තුරු ඔබ වාසනාවන් - මිහිර මතක ඇසුර...

පළමු හමුව ‘මූදු පුත්තු’

රවීන්ද්‍ර රන්දෙණිය

ඒ මා රංගනයට පිවිසුණු ලයනල් වෙන්ඩ්ට් රඟහලයි. ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවැත්වුණු පාඨමාලාව අවසානයේ කළ ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරන්නේ ධම්ම ජාගොඩයන්. එහි සංගීත අධ්‍යක්ෂණ කළේ අමරදේවයන් විසින්. ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පොවන්නට අවස්ථාව ලැබුණු ඒ කාලයේ මා සිටියේ කලා ලොවේ දොරකඩ අබියසයි. එලෙස රංගනයට ආධුනිකයකු වූ මගෙත්, අමරදේව නම් සොඳුරු ගාන්ධර්වයාණන්ගේත් පළමු හමුවීම සිදුවන්නේ ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යයෙන්. මෙහි තිබුණු පුහුණු වීම් සිදුවන අවස්ථාවේ එතැනට අමරදේවයන් සමඟ පොඩි කොලු ගැටයෙකුත්, කෙළි පැටික්කියක ද පැමිණි වග මට මතකයි. පසුව ඒ සංගීත ලොවේ ජයකෙහෙළි නැංවූ රෝහණ වීරසිංහ හා මාලනී බුලත්සිංහලයි. මෙහි ගීත ගයන්නට අපට පුරුදු පුහුණු කළ එතුමා පුහුණුව අවසානයේ එහි තිබුණු ආපන ශාලාවේ ගත කළ කාලය තරම් සුන්දර හෝරා කිහිපයක් මගේ මතකයට යළිත් පිවිසෙන්නේ නැතිතරම්.

මුල්වරට තෑග්ගක් දිනුවා

නීලා ක්‍රමසිංහ

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් කියන්නේ අපේ සිංහල සංගීත ක්ෂේත්‍රයේ මුදුන් මුල වගේ. එතුමා අපට මහා වෘක්ෂයක් වුණා. මම එතුමා දකින්න සිහින මැව්වේ පුංචි කාලයේදීමයි. කතා කරන්න අවස්ථාවක් ලැබේවිද කියලා නිතර සිතුවා. එදා මම දුටු සිහිනය සැබෑ වුණේ 1962 වසරේදීයි. ඒ කාලයේ මම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මමත් ජයග්‍රහණය කළ පද්‍ය ගායනා තරගයක ත්‍යාග ප්‍රධානෝත්සවයට පැමිණියේ, පණ්ඩිත් අමරදේවයන්. ඉතින් එදා සියැසින් එතුමා දැකලා එතුමා අතින් ත්‍යාගයක් ලබන්න මම වාසනාවන්ත වුණා.

සර් හිටියේ පත්තරයක් බලමින්

දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

මට මුලින්ම ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් දැක ගන්න ලැබුණේ අනුලා විද්‍යාලයේ බාලාංශයේ ඉඳලා හය වසරට ඇතුළත් වුණාට පසුවයි. එතකොට තමයි දැන ගන්න ලැබුණේ එතුමා ජීවත් වෙන්නේ අපේ ඉස්කෝලෙට එහා පැත්තේ තියෙන නිවසේ කියලා. මගේ ආසාව නිසාම දවසක් ලොකු අක්කා කෙනෙක් අමරදේව සර් පෙන්නන්න මාව එක්කරගෙන ගියා. තට්ටු තුනේ බිල්ඩිමක උඩම තට්ටුවේ ඩෙස්ක් එකක් තියලා මම ඒත උඩට නැඟලා බැලුවා. එදා තමයි මම මුලින්ම ඒ මහා ගාන්ධර්වයා දුටුවේ. එදා අමරදේව සර් මිදුලේ පුටුවක වාඩිවෙලා පත්තරයක් බලමින් හිටියා.

යුග දෙක යා කරන්න බැරිවුණා

නිලාර් එන් කාසිම්

එතුමා සමඟින් නව පරපුරේ ගායක යුගලක් වන භාතිය සන්තුෂ් එක්ව ගීතයක් නිර්මාණය කරන්න තමයි අපි සූදානම් වුණේ. ඒ වෙනුවෙන් පණ්ඩිත් අමරදේවයන් එකඟතාවය පළ කළා. නමුත් යම් යම් කරුණු මත ඒ නිර්මාණ කාර්යය දවසින් දවස කල්ගත වුණා. එතුමා අප අතරින් සමුගන්නා තෙක්ම අපට එය ඉටුකර ගන්න හැකි වුණේ නැහැ. එසේ වූවා නම් එය යුග දෙකක් යාකරන විශේෂ ගීතයක් වේවි.

නොදන්නා අමරදේව

බන්දුල විජේවීර

මගේ මතකයට පිවිසෙන්නේ අමරදේවයන් හා මහගමසේකරයන් සමඟ ගිය ගමනක්. අපත් සමඟ අමරදේවයන්ගේ පුතු රංජනත් ඒ ගමන ගිය වග මට මතකයි. එහිදී එක් අවස්ථාවක අප අතරට එක්වරම දුවගෙන පැමිණියේ රන්ජන පුතුයි.

“තාත්තේ... තාත්තේ....”

“ඇයි ....?”

“අනේ වැඩක් නෑනේ ඔයාව කවුරුවත් දන්නේ නැහැ නේ.”

“ඒ මොක ද එහෙම කියන්නේ?”

“මම අර අයිස්ක්‍රීම් මාමාට ගිහින් කිව්වා මගේ තාත්තා තමයි අමරෙදේව කියලා ඒ වුණා ට මට අයිසික්‍රීම් දුන්නේ නැහැ නේ.”

අමරදේවයන්ගේ මුවඟට නැඟුණේ අපූරු සිනහවක්. ඒ සිදුවීම මට අද වගේ මතකයට නැඟෙන්නේ ඒ එදා සිදුවීමත් සිහිපත් කරමින්.

ශෂිකා කියන්නේ හඳට

ශෂිකා නිසංසලා

හරියට ම මා ඒ දීපිකා ප්‍රියදර්ශනී ගුරුතුමියගෙන් ඉගෙන ගන්න කාලයයි. මට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණු උත්සවයකට මගේ ගුරුතුමියත් සමඟ සහභාගි වීමට අවස්ථාව හිමිවුණේ අහම්බයෙන්. එය අවසන් වී ආපසු පැමිණෙන ගමනේදියි අමරදේවයන් මට මුණ ගැසෙන්නේ. එහිදී එතුමා මගෙන් මුලින් ම විමසුවේ මගේ නම පිළිබඳයි.

“ඔයා දන්නවාද දුව ඔයාගේ නමේ තේරුම?”

සංගීතය පිළිබඳ දත් එවැනි ප්‍රාඥයකු මගෙන් එවැන්නක් විමසාවි යැයි මට කිසිම දිනෙක සිතුණේ නැහැ. ඊට මා පිළිතුරක් ලබාදුන්නත් ඔහු මගේ නම බොහොම ඇගයීමට ලක් කළා.

“ශෂිකා කියන්නේ හඳට. දුවට තියෙන්නේ බොහොම ලස්සන නමක්.”

මා පළමු තැනට තේරුවා

නවරත්න ගමගේ

එතුමාව මට මුණ ගැසෙන්නේ ප්‍රංශ තානාපති කාර්යාලයෙන් පැවැත්වුණු ගායන තරගයේදියි. එතැනදී මගේ හැකියාව දකින අමරදේවයාණෝ මාව පළමු තැනට තෝරන්නේ මා කවුද කියලාවත් නොදැනයි. අවසානයේ මා සංගීතය ඉගෙන ගෙන, සංගීත අධ්‍යක්ෂණය කරන සුමිත්‍රා පීරිස්ගේ ‘යහළුවෝ’ චිත්‍රපටයේ ගීතය ගයන්නේ අමරදේවයන් විසින්. ඒ අතීත මතකය යළි යළිත් මගේ සිතට සිහිපත් වන්නේ මා අද මෙතැන සිටින්නේ එදා ඔහුගෙන් ලැබූ ඒ ඇගයුම නිසයි.

ඊඩිපස් සමඟ

රංජිත් බාලසූරිය

අමරදේව සූරින් මට ඇසුරු කිරීමට ලැබෙන්නේ අතුල පීරිස්ගේ ‘මහා ඊඩිපස්’ වේදිකා නාට්‍යයේදියි. එහි සංගීත අධ්‍යක්ෂණය කළ එතුමා නිසා මගේ සංගීත දැනුම පුළුල් වුණා. ඒ වේදිකා නාට්‍යයේ සංගීතය යොදන විට ඒ ඒ රාග උදාහරණයට ගනිමින්, ඒ ඒ දේවල් ගීතවලට යොදා ගනිමින්, විස්තරාත්මකව කරන කතාබහ මා අසා සිටියේ බොහොම කැමැත්තෙන්.

කොයි කොම්පැනියද

බුද්ධදාස ගලප්පත්ති

අමරදේවයාණන්ව මා හඳුනන්නේ හැටේ දශකයේ අග භාගයේ පටන්. හොඳ මිත්‍රයකු වූ එතුමා බොහෝ මිත්‍ර සමාගම්වලදි නිතර ම මෙන් මට මුණ ගැසුණා. මේ සිදුවීම සිදුවෙද්දි ඒ කාලයේ ජංගම දුරකථන භාවිතය සුලබව නො තිබුණු කාලයක්. මටත් ජංගම දුරකථනය ලබා දී තිබුණේ කාර්යාලයෙන්. එක් දවසක් සිරස ගුවන්විදුලියේ වැඩසටහනකට සහභාගි වී අවසන් ව අප දෙදෙනා රථයක එමින් සිටිද්දී ජංගම දුරකථනයෙන් මා ඇමතුමක් ගත්තා. ඒ බව දුටු එතුමා

“ බුද්ධි, ඔය ෆෝන් එකට බිල ගෙවන්නේ කොම්පැනියෙන් ද?” දැයි මගෙන් විමසුවේ එසැණින්මයි. ටික වේලාවක් ගිය පසුව “ගන්නකෝ ඕකෙන් විමලාට කෝල් එකක්.” යැයි පැවසූ නිසා මා ඔහුට දුරකථන ඇමතුමක් අරගෙන දුන්නා. ඒ වගේ ම මේ සිදුවුණු සිදුවීම යහළුවන් අතරට යන්නත් වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඊට පසුව අතර නිල නොවන අපූරු උපහැරණයකුත් නිර්මාණය වුණා. ඒ “බුද්ධි, අමරදේව සර්ට දෙන්නකෝ ඕන වෙලාවක ෆෝන්එක. කොම්පානියෙන්නේ ගෙවන්නේ.” යනුවෙන්. හැබැයි විහිළුවට වැඩියෙන්ම හිනාවුණේ එතුමා.

මගේ හඬින් ගැයුණු ස්වරය

එඩ්වඩ් ජයකොඩි

හැත්තෑවේ දශකයේ මා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට පිවිසෙන අවධියේ එහි ප්‍රධානියා වී සිටියේ අමරදේවයාණන්. එතුමා පියානෝව වයමින් ගීත නිර්මාණය කරමිනුයි සිටියේ. ඒ වේලෙහි එතුමා ගීතයේ තනුව මුමුනන විට, මමත් ඒ අසලට වී එතුමා වයන තනුව මුමුන මුමුනයි සිටියේ. එක්පැත්තක සිටින වාදක මණ්ඩලයට ස්වර ප්‍රස්තාරය දුන් එතුමා මා දෙසට හැරී පැවසුවේ “එහෙම නම් මේ ගීතය ගයමු බලන්න” යන්නයි. මගේ සිතට ඇතිවුණේ පුදුමයක්. ‘ඔබ රූසිරියෙන් මන්මත් වී මම නොකළෙමි අනුවණකම්....’ ගීතය මගේ ස්වරයෙන් ගැයුණේ ඒ ආකාරයෙන්.

රූපරචනයක පෙනී සිට

චරිතා ප්‍රියදර්ශනී පීරිස්

අමරදේව ගාන්ධර්වයාණන් සමඟ යුග ගීයක් ගැයීම කාලයක පටන් මගේ සිතේ තිබුණු හීනයක්. ඒ හීනය සැබෑ වන්නේ

“සිතුවිලි ඔපලා - දියඇලි සේ සරසා

මවුවරු සිටියා - ඉපනැලි සේ ඉවසා”

ගීතය ගැයීමෙන්. රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ ඒ ගීතය සංගීතවත් කළේත් එතුමාමයි. ඒ ගීතය එතුමා මා සමඟ ගැයුවා පමණක් නොවෙයි. ගීතය ආශ්‍ර යෙන් කළ රූපරචනය සඳහාත් එතුමා පෙනී සිටියේ බොහොම කැමැත්තෙන්. මේ කටයුත්ත සඳහා හෝරා කිහිපයක් ගතවුණත් කිසිම මැසිවිල්ලක් නොනඟා අප සමඟ එතුමා කාලය ගත කළේ බොහොම සතුටෙන්.

ප්‍රංශයේ ගත කළ දවස

ජගත් වික්‍රමසිංහ

ඒ වරක් එතුමාත්, මමත්, රංජනත්, ප්‍රභාත් මල්ලිත් ජර්මනියට පිවිසුණු අවස්ථාවක්. එහි සිටි තානාපතිතුමාගේ රථයෙන් අප සිවුදෙනා ම පැරිසියට පැමිණියේ දවස් එකහමාරක ගමනකින් පසුවයි. එකල එහි තානාපතිනිය වී සිටියේ සුමිත්‍රා පීරිස් මැතිනිය නිසා අප නවාතැන ගත්තේ එතුමියගේ නිවහනෙයි. නිවෙසේ සිටියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා නිසා ඔවුන් දෙදෙනා කරන කතාබහ අප අසා සිටියේ රස ගඟුලක පීහිනමින්. ඒත් සමඟ ම අප පැරීසිය වටා රවුමක් යන්නට ද කතා කරගෙන සිටිය ද අමරදේවයාණන්ට එතැනින් එන්නට නොහැකි වුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සමඟ නියැළුණු කතාබහ නිසයි.

“ඉන්න. මමත් එනවා. මමත් එනවා.” යැයි කිහිපවිටක් එතුමා පැවසුව ද එන්නට නොහැකි වූයෙන් අපට පැරිසිය නැරැඹීමට යන්නට සිදුවුණා. එහෙත් එතැන කතාබහ සිදුවුණත් එතුමාගේ සිත තිබුණේ අප අසලයි.

මගේ පබැඳුම සොයා

යමුනා මාලිනි

දිනක් මට අමරදේවයාණන් මුණ ගැසුණේ පොත් එළිදැක්වීමකදීයි. එහිදී ගීයක් ගයන්නට අමරදේවයාණෝ මගෙන් ගී පද මාලාවක් ඉල්ලූ බැවින් එය මා එතුමාට යැව්වේ බොහොම සතුටෙන් යුතුවයි. කාලය ගෙවී ගයේ සති මාස ගණනක්. හදිසියේ ම දිනක් අමරදේවයාණන් දුරකථනයෙන් මා ඇමතුවේ මේ අතරයි.

“යමුනා මට ඔයා දුන්න පදමාලාව මා ළඟ නැහැ නේ. අයෙමත් එවන්න පුළුවන් ද?”

එතුමා විමසුවේ මටත් අමතකව තිබූ මගේ ගී පදමාලාව ගැනයි. එතුමා ඒ පිළිබඳ කොයිතරම් සිතුවාද කියතොත් ඊට පසුවදා ම මා සේවය කළ ස්ථානයට පැමිණ ඒ ගීපද මාලාව අරගෙන ගියා.

ගීත ගණනක වයලීනය

අමරසිරි පීරිස්

අමරදේවයන් ගැන මට මතකයන් බොහොමයක් තියෙනවා. ඇත්තම කිව්වොත් ඒවා එකක්වත් කෙදිනකදීවත් මගේ සිතින් බැහැරව නොයාවි. මේ වෙලාවේ මට එතුමාණන් පිළිබඳ මසිතහි ඇති සුවිශේෂී අත්දැකීම සඳහන් කරන්නෙම්. අමරදේවයාණන්ගේ ගීතවලින් සියයට අනූවකටම වයලීනයෙන් දායකත්වය සපයන්න මට හැකියාව ලැබුණා. එතකොට මං ගායකයකු නෙවෙයි. එතුමා හා මා අතර තිබුණේ සදා නොවෙනස් වු මිතුදමක්. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ ගීත සඳහා වයිලීනය වැයීම මාවම ඉල්ලලා තිබුණා. මමත් ඒ අවස්ථාවලදී පුළුවන් උපරිමයෙන් එම ගීත සඳහා සාධාරණයක් ඉටු කළා. අද ඒ ගී ඇහෙද්දී මට ලොකු සතුටක් දැනෙණවා ඒ අමරදේවයන්ගේ ගීත සඳහා මට ඒ අන්දමින් හෝ දායකත්වයක් දෙන්නට පුළුවන් වීම ගැන.

මුදිතා ගුණය පැතිරූ

නිහාල් නෙල්සන්

අමරදේවයන්ව මා කලක් ළඟින් ආශ්‍රය කළා. ඒ කාලය අතරතුරදී මං එතුමාණන්ගෙන් ඉගෙන ගත්තේ එක දෙයයි. ඒ මුදිතාව. අමරදේවයාණන් අනුන්ගේ සැපත දැකලා බෙහෙවින් සතුටු වුණ කෙනෙක්. එහෙම අය අද කාලයේ හරිම අඩුයි. වෙන කෙනෙකුගේ සැපතට ඊර්ෂියා කරන අයනේ අද බහුතරයක් ඉන්නේ. නමුත් ඔහු එහෙම නැහැ. මං අමරදේවයාණන්ගෙන් මගේ ජීවිතයට ළඟ කරගත්තු දේ තමයි මුදිතාව.

දෙවැනි පටිගත කිරීම

සුනිල් එදිරිසිංහ

පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී,ඥාණය ඉවහල් වී බියෙන් තොරව හිස කෙළින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ ඒහෙව් නිදහසේ ස්වර්ණ රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැණ පියාණනේ අදටත් මට අදහා ගත නොහැකි කාරණාවක් තියෙනවා. ඒ එම ගීතය ගැයීමට අමරදේවයාණන් මාව එකතු කරගැනීම. එතුමාමයි මට කතා කළේ. ඒක හරිම විස්මය ජනක මොහොතක්. ඔය ගීතය අමරදේවයාණන් පමණක් පෙර ගයා තිබෙනවා. එය තවමත් ගුවන් විදුලියේ තියෙනවා. දෙවැනි පටිගත කිරීමයි අමරදේවයාණන් මාත් සමඟ කළේ. එතුමාණන්ට හිතෙන්නට ඇති එයට මාවත් සම්බන්ධ කරගෙන නැවත ගයන්න. ඇත්තටම මට එතුමාණන් සමඟ ඒ ගීතය පටිගත කළ මොහොත කෙදිනකවත් අමතක වෙන්නේ නැහැ.

සිංහරාජය සිසාරා

ජැක්සන් ඇන්තනී

අමරදේවයන් හරිම කැමැතිියි සංචාරයට. සුනිල් ෆොන්සේකා ප්‍රමුඛ අප මිත්‍ර කණ්ඩායම අමරදේවයන් කැටුව ලංකාවේ නොයෙක් තැන්වල ගියා. ඒ අතරින් සිංහරාජ වනයට ගිය ගමන සදාකාලික මතකයක්. සිංහරාජ වනයේ එක්තරා පැත්තක් තියෙනවා මිනිස් පාදයෙන් අපවිත්‍ර නොවුණු. ඒ හරියට කියන්නේ කන්‍යාවනය කියලා. එතනට අපි ගිය වෙලාවේ අමරදේවයාණන් අවට සිරියට වශීකෘත වුණා. ළඟට ගත්තා සර්පිනාව. එය වයමින් ගැයීමට වටන් ගත්තා. මුළු වනාන්තරයම සිසාරා අමරදේවයාණන්ගේ රන්හඬ පැතිරුණා. එදා ඇසුණු ඒ හඬ මා අමරදේවයාණන්ගේ කිසිදු පටිගත කිරීමකදී අසා නැහැ. එය කිසිම ශබ්ද පරිපාලක උපකරණයකට හසු නොවූ හඬක්. එවන් වූ හඬ අසන්නට මා එදා වාසනාවන්ත වුණා.

ඇසුර භාග්‍යයක්

කුලරත්න ආරියවංශ

මවිසින් ලියා අමරදේවයාණන් ගයා මුල් වතාවට පටිගත කළ ගීතයන් වූයේ සඳ හොරෙන් හොරෙන් සහ පාවෙනා නිල් වලාවේ. එදින මට ඒ සිදුවීම් පෙළ හරියට හීනයක් වගේ. අමරදේවයාණන්ව මං සැලකුවේ දෙවියකුට හා සමානව. ඒ එවන් වූ කෙනෙක් මගේ අතින් ලියවෙච්ච ගීතයක් ගයයි කියලා මං කෙදිනකවත් බලාපොරොත්තු වුණේ නැහැ. පසුකාලීනව මට එතුමා සමඟ කැසට් ක්ෂේත්‍රයේ වැඩ කරන්න ලැබෙනවා. ඒ ඔස්සේ මට තව තවත් එතුමාණන් සමඟ මිතුදමක් ඇතිකර ගන්න පුළුවන් වුණා. අමරදේවයාණන් එක්ක ගත කරපු හැම වෙලාවකදීම මං සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා. අපි කොතරම් භාග්‍යවන්ත ද එතුමා වගේ කෙනෙකුව ඇසුරු කරන්නට.

හීන හතක් මැද

ලතා වල්පොල

අමරදේවයාණන් මට මුලින්ම හමුවන්නේ ඔහු ඉන්දියාවේ යන්නට පෙර. එතකොට මට අවුරුදු පහළොවක් විතර ඇති. මට වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ එතුමාණන් නිසා මං සම්මානයට පාත්‍ර වුණ එක. මට ඔහු හදලා දුන්නා ගීතයක් හීන හතක් මැද නම් වූ එය ගැටවරයෝ චිත්‍රපටයටනේ ඇතුළත් වුණේ. ඒ වෙනුවෙන් තමයි මං මුල් වරට සම්මානයක් ලැබුවේ. මං හිතනවා අමරදේවයාණන්ගේ වාසනා ගුණය බලපාලා තමයි ඒ සම්මානය මට හිමි වුණේ කියලා.

ඒ හෝරා කිහිපය

රත්න ශ්‍රී විජේසිංහ

දිනක් අමරදේවයාණන් මාතර ආවා. ඒ මාතර සරසවි බුක්ෂොප් එකේ ඕපනිං එක වෙනුවෙන්. එදා ඔහුට හොටෙල් එකක විශේෂිත කාමරයක් වෙන් කරලා තිබුණා. සවස අමරදේවයාණන් මට කෝල් එකක් දුන්නා.

රත්නෙ මෙතන තනියම ඉන්න බැහැ. මං එනවා ඔයාලගෙ ගෙදර.

ඔහු එහෙම කිව්වා. එතකොට මං ගාල්ලේ හිටියේ. මං නිවසේ හොඳම කාමරය ලැහැස්ති කළා. එදා එතුමාණන් අප නිවසේ ගත කළ හෝරා කිහිපය කවදාවත් මට අමතක වෙන්නේ නැහැ.

බයිලා ගැයූ දවස

දීපානි සිල්වා

අමරදේවයන් සමඟ ගෙවුණු අතීතයේ එක් දවසකටයි මගේ මතකය දිව යන්නේ. ඒ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යය විකාශය වන සමයයි. වරක් ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් හංවැල්ලේ සංවිධානය කර තිබුණේ එක්තරා වැඩසටහනක්. ඒ සඳහා අපේ කණ්ඩාමත් සමඟ එහි යෑමට පැමිණි දෙපළ දුටුවන ම මගේ සිතට දැනුණේ පුදුමාකාර සතුටක්. මේ දෙපළ අන් කවුරුත් නොවේ ඒ අමරදේවයන් හා නන්දා මාලිනි මහත්මියයි. එදා අමරදේවයන් හා නන්දා මාලිනිය ගැයූ සුමියුරු ගී හඬ තවමත් මගේ මතකයේ ලියැවී තිබෙන බවයි මට මේ අවස්ථාවේ හැඟෙන්නේ. එපමණක් පමණක් නොවෙයි, රසවත් කතා කියමින්, නොයෙක් වචනවලින් හරඹ කරමින් ගිය ඒ ගමන සුන්දර වූයේ ඔවුන් දෙපොළ නිසාමයි. තවත් එහිදී සිදු වූ විශේෂත්වයක් නම් සුනේත්‍රා සරච්චන්ද්‍ර ගේ ආරාධනයෙන් එදින බයිලා ගී ගැයීමයි. මේ අපේ ගාන්ධර්වයාණන් යැයි අපට කිසිම විටෙක නොසිතෙන අයුරෙන් සරල ලෙස එදින අප අතර ගෙවූ ඒ මතකය.

ජනතාව සන්සුන්

සමන් ද සිල්වා

මං මේ කියන සිදුවීම වුණේ 1976. එතකොට මං ක්ෂේත්‍රයට ආව අලුත. මොරටුවේ තිබුණා සංගීත ප්‍රසංගයක්. මටත් ඒ සඳහා ආරාධනා ලැබුණා. ජෝතිපාල, එම්. එස්. ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, මැක්ෂි ලෙනාඩ් ආදී පිරිස ගීත ගයන්නට හිටියා. අද කාලේ වගේ වේග රිද්මේ ගායකයෝ අන්තිමට නෙවෙයි එදා ගී ගැයුවේ. එහෙයින් එම්. එස්. අයියලා කලින් ස්ටේජ් නැංගා. අමරදේව මාස්ටර් ස්ටේජ් නැංගෙ රාත්‍රියේ මැද හරියට වෙන්න. එතකොටත් සෑහෙන පිරිසක් නටලා කරලා ෆුල් ෆෝම් වෙලා හිටියේ. නමුත් අමරදේව මාස්ටර් සිංදු කියන්න පටන් ගත්තා විතරයි අර ෆෝම් වෙච්ච පිරිස සම්පූර්ණයෙන්ම සන්සුන් වුණා. හරියටම භාවනාවකට සම වැදුණා වගේ. එතුමා ගීත කියලා ඉවර වෙනකම් කවුරුවත් හ්ම් කිව්වේ නැහැ. එදා මට හරියට පුදුම හිතුණා. මාස්ටර්ගේ ගීතවලට මිනිසුන් කොතරම් ගරු කරනවාද කියලා.