වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ශාන්ත මේ රෑ යාමේ එදා අමරදේවයන්ට පිදූ පේ‍්‍රමය

ශාන්ත මේ රෑ යාමේ එදා අමරදේවයන්ට පිදූ පේ‍්‍රමය

විමලා අමරදේව සිහිපත් කරයි

“ ශාන්ත මේ රෑ යාමේ දේ
කුමුදු මලේ සිරියා
සඳ කාන්ති වැදී සෞම්‍යා......”

මේ ගීතය හා බැඳුණු ස්වරයේ අමුතු ලතාවක් වේ යැයි මගේ සිතට සිතුණේ ඉබේම ය. වෙනදා අසා නැති ඒ මියුරු ස්වරය කාගේ දෝයි මා කල්පනා කළේ මෙතෙක් එවැනි ස්වරයක් සරල ගී වැඩසටහනෙන් නොඇසුණු බැවිනි. ගීතය අවසානයේ ගීතය ගැයූ ඔහුගේ නාමය නිවේදකයා විසින් පවසන ලද්දේ මා මෙලෙස කල්පනා සයුරේ ගිලෙමින් සිටින අතරතුරදී ය. එදින ඇල්බට් පෙරේරා යන ඒ නාමය මා හදවතේ සටහන් වූයේ කිසිදිනෙක අමතක නොවන අයුරෙනි. වැඩසටහන අවසන් වූ පසුව ද මගේ මුවඟ රැඳුණේ ඒ ගීතයයි. සෙමෙන් සෙමෙන් මේ ගීතය මිමිණූ මගේ හදවතට හැඟුණේ එහි කුමක් හෝ තම යොවුන් සිත වසඟ කර ගන්නා ස්වරයක් ගැබ් වී ඇති බවකි. සිතේ පහළ වූ සිතුවිල්ල හදවත පතුලේ සඟවා ගත් මා ඊළඟ දිනයෙත් සරල ගී වැඩසටහනට සවන් දුන්නේ ඔබගේ ස්වරය අසන්නට බලාපොරොත්තුවෙනි. වරින්වර ගුවන්විදුලි යන්ත්‍රයෙන් ඇසෙන ඔබගේ කටහඬට සවන් දුන් මා ඊට පෙම් බැන්දේ කාටත් හොරෙනි.

මේ අතර අපේ නිවෙසට නිතර නිතර ආව ගිය කෙනෙක් සිටියේ ය. මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු, තාත්තාගේ ගජ මිතුරෙකි. ඔවුන් දෙදෙනා අතර මේ මිතුරුකම වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් ම හේතුවූයේ වාමාංශික දේශපාලනයයි. ඒ දේශපාලනය නිසා ම පවුල් දෙක අතර ඇති වී තිබුණේ දැඩි හිතවත්කමකි. මේ නිසා ම මගේ නර්තන හා ගායන දස්කම් පිළිබඳ තාත්තාගේ යහළුවා ද සිටියේ දැනුම්වත් බවකිනි. ඒ දැනුම්වත් බව ඔබගේ හමුවීම සඳහා වූ පරිසරය සෙමෙන් සෙමෙන් නිර්මාණය කළේ නිතැතිනි. එනම් දිනක් අහම්බයෙන් මෙන් උත්සවයක් සඳහා නර්තනයකට ආරාධනා ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. ඉන් කියැවුණේ අපූරු කතාවකි. ඒ වැඩිදුර අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ලැබී ඉන්දියාවට යන ඇල්බට් නම් තරුණයෙකු වෙනුවෙන් ඔවුන්ගේ පාසලෙන් උත්සවයක් පැවැත්වෙන බව ය. මට නටන්න ආරාධනා ලැබුණේ ද ඒ වෙනුවෙනි. එක්වරම මගේ සිතට පිවිසියේ ගුවන්විදුලියේ දී ඇසුණු කන්කළු ස්වරයයි. “මේ ඔහු ම දැ”යි නිතර ම සිත ප්‍රශ්න කළේ මගෙනි. කෙසේ නමුදු ඒ උත්සවයට ශාලාවේ විශාල පිරිසක් රැස්වී සිටියහ. එදින මා යෙදුණේ ‘මංගලම්’ කියන නර්තනයයි. ඒ උත්සවයට චන්ද්‍රරත්න මානවසිංහ, ප්‍රේම කුමාර එපිටවෙළ වැනි ප්‍රවීණ ශිල්පීන් පවා පැමිණ සිටි බව ද මගේ මතකයේ ලියැ වී තිබේ. උත්සවය අවසන් ව ඇල්බට්ගේ නිවෙසෙන් ආහාර ගත් පසුව තාත්තාගේ යහළුවා මාව රථයකට නංවා නිවෙසට එව්වේ ය. එහෙත් මට ඔබ සමඟ කතාබහ කිරීමට අවස්ථාවක් නොලැබිණි.

ඇල්බට් පෙරේරා යන නාමයෙන් එකල හැඳීන් වූ ඔබගේ නාමය ඉන්දියාවට යනවිට අමරදේව ලෙස වෙනස් වී තිබුණි. මේ වෙනස සිදුකළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. ඊට පසුවත් මම යළිත් යළිත් ඔබගේ ගී ස්වරයට ම පෙම් බැන්ඳෙමි. දිනෙන් දින ම හදවතේ මෝරා වැඩුණු ප්‍රේමය නිසා මම විවිධ වූ සිතුවිලිවලින් පීඬා වින්ඳෙමි.

“ අනේ හොරෙන් ගිහින් මට මේ වගේ කෙනෙකුට කන්න උයලා තියලා, රෙදි හෝදලා එන්න තියෙනවා නම් ”

යැයි මම සිහින මැව්වෙමි.

ඒ සිහිනය සැබෑවෙන ලකුණු පහළ වන්නේ ඊට ටික කලකට පසුව ය. ඔබ මෙන් මම ද මේ වනවිට කලා ලොවේ බොහෝදෙනා අතර ජනප්‍රියත්වය ලබා සිටි යුවතියක වීමට වාසනාව ලද්දෙමි. ඒ කවි ගැයීමටත්, නර්තනයටත් උපන් හපනියක ලෙසිනි. දිනක් කලා භවන අසලින් ගමන් කරමින් සිටි එක්වර ම ඔබගේ දෙසවන ගැටුණේ මියුරු ජන ගී ගායනයක යෙදී සිටි මගේ ස්වරයයි.

“ගිරා මලිත්තෝ පැදුරේ බට වියනා....”

ඒ ජන ගීයට සවන් යොමුකළ ඔබට තමා සොයන අපේකම රැදුණු ස්වරය එහි ගැබ්ව තිබෙනවා නොවේදැයි සිතුණේ ඉබේම ය. මෙතෙක් අපේ දේශීයත්වයට හුරු වූ සංගීතයක් පිළිබඳ සිහින මවමින් උන් ඔබට, මගේ ජන ගී ස්වරයෙන් ලද්දේ අමුතු ප්‍රාණයකි. ඒ ස්වරය ඔබගේ සංගීත ඥානය වෙනස් මගකට යොමු කරද්දී, දේශීය ස්වරයකට උරුමකම් කියූ මා ගුවන්විදුලියේ කටහඬ පරීක්ෂණයෙන් සමත් වන්නේ විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක ලෙස ය. මගේ දක්ෂතාව දුටු එකල ගුවන්විදුලියේ ප්‍රවීණ ගේයපද රචකයෙකු මෙන්ම නවකතාකරුවකු ලෙස ප්‍රකට මඩවල එස්. රත්නායකයන්, ඔහු මෙහෙය වූ ජන ගී වැඩසටහනට මාව සහභාගි කර ගැනීමට දෙවරක් සිතුවේ නැත. මා සහභාගි වූ මේ වැඩසටහනට තවත් අමුත්තකුව ද මඩවල එස්. රත්නායකයන් කැඳවා ගෙන තිබුණි. ඒ සංගීතයට නැවුම් අර්ථයක් දෙන්නට ඉදිරිපත්ව සිටි අමරදේව නම් ඔබ ය. මගේ හිසේ මල් පිපුනි. මීට පෙර දැක තිබුණා ද අප දෙදෙනා අතර සෙනෙහස වර්ධනය වන්නට බලපෑවේ මේ හමුවීම ය. එමෙන්ම ඒ සෙනෙහස ලියලා වැඩෙන්නට බලපෑ අනෙක් හේතුව උදාවූයේ අහම්බයෙනි. ඒ ඉන්දියාවට ගිය ගමන ය. ඉන්දියාවට යන මේ ගමනට මකුලොළුව මහතා මාවත් තෝරාගෙන තිබුණි. අප දෙදෙනාගේ ම සිතේ තිබුණු ප්‍රේමය කාටත් හොරා මෝරා වැඩුණේ මේ කාලයේදී ය.

පෙම් කරන කාලයේ වුවද අප දෙදෙනා පිළිබඳ තිබුණේ මනා වැටහීමකි. ඒ නිසා ම අප දෙදෙනා අතර අඩදබරවලට පවරා තිබුණේ තහනම් කලාපයකි. ඒ වගට අපූරු උදාහරණය නම් ‘නල - දමයන්ති’ මුද්‍රා නාටකය වේදිකා ගතවූ සමයයි. සිය දක්ෂතාව විදහා දක්වන එක් අවස්ථාවක් වූ නල - දමයන්ති වේදිකාවට නැඟෙන මොහොත ඔබගේ ජීවිතයේ සොඳුරු ම අවස්ථාවකි. ඒ සුවිශේෂී වූ බව විඳීමටට ඔබ මට ද ආරාධනා කළේ ය. නාට්‍ය අවසන් වූ පසුව ඔබටත් නොපවසා ම මම බස් රථයට නැඟුනෙමි. ඒ නාට්‍යය ඔස්සේ විඳී රසය ඔබ දුටුවහොත් වෙනස් වන්නට ඉඩ තිබුණු බැවිනි. ඔබ මා පැමිණෙනතුරු බලාගෙන සිටින්නේ නොඉවසිල්ලෙන් බව ම මා දන්නෙහි ය. එනමුදු එදින ඔබ හමුවීමට මගේ සිත මට ඉඩ නුදුන්නා ය. එසේ සොඳුරු අයුරින් ගලා ගිය ඒ බැඳී හාදකම අවසන් කිරීමට කාලය උදාවූයේ නොසිතූ මොහොතක ය.

“ මම ආව ගමන් විවාහ වෙන්න සුදානම් වෙන්න. ”

ඒ වරක් ඔබ විදේශ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට ගිය සමයේ දී මට එවූ ලිපියේ ලියා තිබූ කියුමකි. ගහෙන් ගෙඩි එන්නා සේ ඔබ කළ යෝජනාව දුටු මගේ සිතට එක්වර ම ඇතිවූයේ බියකි. එහෙත් ඒ වනවිටත් ඔබ නියැළෙන කලා කටයුතුවලට මගේ උපරිම සහයෝගය ලබාදීමට මම තීරණය කර හමාර ය. ඒ මඟ ඔස්සේ ඔබ බොහෝදුර ගමනක් යන කෙනෙකු වග මා දත්තේ එකල ම ය. ඒ අනුව ඉන්දියන් කපු සාරියකින් සැරැසී සිටි මාත්, සුපුරුදු ලෙස ජාතික ඇඳුමෙන් සැරැසී සිටි ඔබත් 1963 වසරේ අගෝස්තු 27 වැනිදා අතිනත ගත්තේ කලා ලොවේ පතාක යෝධයන් දෙදෙනෙකුගේ ඉදිරිපස ය. ඒ අන්කවුරුත් නොව එච්.එම්. ගුණසේකර හා මහගමසේකර යන දෙදෙනායි.

එදා පටන් ම අපි සෙමෙන් සෙමෙන් ජීවිතය ගොඩනඟා ගන්නට ගත් වෙහෙස අපමණ ය. ලොකුදුව ප්‍රියංවදා අපේ කැදැල්ලට සපැමිණෙන්නේ බත්තරමුල්ල නිවහනේදී ය. රත්මලාන නිවහනේදී සුභානි දුවත්, රංජන පුතාත් අපගේ කැදැල්ලට ආලෝකය රැගෙන පැමිණියහ. අප අපේ ම නිවසක සිහිනය සැබෑකර ගන්නේ නුගේගොඩ චැපල් ලේන් එකේ කුළියට සිටි අවස්ථාවේදී ය. නාවින්නේ මේ නිවහන මහන්සියෙන් ඔබ හම්බ කළ මුදලින් ගොඩනැඟිණි. නර්තන ගුරුවරියක ලෙස සේවය කළ මා නිවෙසේ සම්පූර්ණ බර කරට ගත්තේ ධෛර්යයෙනි. නිවෙසේ කිසිදු බරක් ඔබට නොදුන් මම ඔබට, ඔබගේ නිර්මාණවල නිදහසේ නියැළීමට අවශ්‍ය පරිසරය සකසා දුන්නෙමි. නිර්මාණ කටයුතු සඳහා පාන්දර දෙකට අවදි වන ඔබ, එසේ අවදි වී තනන තනු වයන්නේ උදෑසන අවදි වන මට ඇසෙන්නට ය. එලෙස ඔබ ගීත ගැයුවේත්, ගීතවලට තනු යෙදුවේත්, මියුරු සංගීත ඛණ්ඩ තැනුවේත් නිසල පරිසරයක හිඳීමිනි.

නිතර ම මෙන් කලා ලොවේ අයගෙන් අපේ නිවෙස පිරී ඉතිර තිබුණි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් නිතර ආගිය අයුරු මට අද ද සිහිපත් වෙයි. එච්.එම්. ගුණසේකර, මහගම සේකර ඇතුළු බොහෝදෙනෙකු මධුවිත බොමින්, ගී ගයමින්, ගීතය, සංගීතය ගැන පමණක් නොව සාහිත්‍යයේ විවිධ ඉසව් පිළිබඳ ද, කතා කරන්නට හෝරා ගණන් ගත කළහ. ඒ නිසා ම එදවස් බොහොම සුන්දරව ගතවුණි.

සුමියුරු ස්වරයෙන් ලෝකයක් සනහන ගායකයෙකු වූ ඔබට, මේ කුමන කාර්යයක නිරත වුවද ඔබගේ ලෝකය වූයේ සිය නිවෙස බව මම දනිමි. නිතරම ගමන් බිමන් යෑමට කැමැත්තක් දැක් වූ ඔබ සිය දරුවන් සමඟ නිතර ම මුහුදු වෙරළට යෑමට ප්‍රිය කළේ ය. ඔබ අසීමිත ලෙස සතුටු වූයේ දරුවන් හා මා හා ගෙවූ හෝරා කිහිපයේදී වග මම දනිමි. නිරන්තරයෙන් ම ඔබ දරුවන්ට සොඳුරු පියෙක් විය. මට ආදරබර සැමියකු ද වූ බව නොරහසකි.

එහෙත් අද ඉතිරිව ඇත්තේ ඔබ සමඟ ගෙවූ ඒ සොඳුරු මතක පමණකි. ඔබ මා තනිකර යන්න ම යන්නට ගොසිනි. හාත්පස වසා ගනිමින් සෙමෙන් සෙමෙන් ගලා එන්නේ සැදෑ අඳුරයි. මම ඒ සැදෑ අඳුර අතර සැඟවෙමි.

“මළහිරු බසිනා සැන්දෑයාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟ වී
ඔබගෙන් වෙන්වී මම යන්නම්”