|
මා මොන තරම් පින් කළා දැයි මට හිතෙනවාඋමාරියා සිංහවංශ
උමාරියා සිංහවංශ කියන්නේ වර්තමාන යොවුන් ගායන පරපුරේ කැපී පෙනෙන ගායිකාවක්. ගායන ක්ෂේත්‍රයේ නව මාවතක යෙදෙන ඇය විවිධ සංගීත ශෛලීන් සමඟින් සිය ප්‍රතිභාව පෙන්වන්නේ ජාත්‍යන්තරය ජය ගැනීමේ අරමුණැතිව බව නොරහසක්. පසුගියදා දිවි සැරියෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟින් යුග ගීතයක් ගායනා කරන්නද වාසනාව ඇය සතුවීම විශේෂත්වයක්. යුග ගණනාවක් පුරා මෙරට ප්‍රවීණ ගායිකාවන් රැසක් සමඟින් යුග ගී ගැයු එතුමාණන් සමඟින් අවසන් වරට යුග ගීයක් ගායනා කළ ගායිකාව වන්නේ උමාරියා. කවදත් නව පරපුරේ දක්ෂතා අගයමින් නවකයන්ට අත දුන් ඒ මහා ඇදැරුතුමා සමඟින් ඇය එදා “හන්තාන සිහිනේ” ගීතය ගායනා කළා.
“හන්තාන සිහිනේ” කිියන්නේ ඔබේ ගායන දිවියේ සැබෑ වූ සිහිනයක්?
ආචාර්ය පණ්ඩිත් අමරදේවන් සමඟින් යුග ගීතයක් ගායනා කරන්න ලැබීම මගේ ජීවිතයේ ලොකු
භාග්‍යයක්. එය මගේ සංගීත ජීවිතයේ ආරම්භය සමඟින් ලද වටිනා අවස්ථාවක්. පණ්ඩිත්
අමරදේවයන් කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රය නම් මහා වෘක්ෂය දරා සිටින මුදුන් මුලක්.
මටත් පුංචි කාලයේ පටන්ම එතුමාගේ ගීත අසන්නට අවස්ථාව ලැබුණා. ඒ මගේ අම්මා නිසා. මගේ
අම්මා පණ්ඩිත් අමරදේවයන්ගේ රසිකාවක්. එතුමා වගේ ශ්‍රේෂ්ඨ සංගීතඥයකු සමඟින් මම හරි
මගේ අක්කා හරි ගීතයක් ගායනා කරනවා දැකීම අම්මාගේ හීනයක් වුණා. "හන්තාන සිහිනේ"
විදියට සැබෑ වුණේ කාලයක පටන් මගේ අම්මා දැකපු හීනයක්. එය මා මගේ සංගීත දිවියේ ලද
වටිනාම අවස්ථාවක්.
පුංචි කාලේ පටන් ඇසූ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත අතරේ විශේෂ වූ ගීත එහෙමත් ඇති? එතුමා අපි වෙනුවෙන් මොනතරම් නම් ගීත ගයා තියෙනවාද? ඒ අර්ථාන්විත ගීතවල වටිනාකම කියලා නිම කරන්න බැහැ. මම පුංචි කාලයේ පටන්ම මාස්ටර් ගායනා කළ “රත්නදීප ජන්ම භූමි” ගීතය අහනවා. ඒ වගේම “නිම් හිම් සෙව්වා මා සසරේ” ගීතයත් මම වැඩියෙන්ම කැමැති ගීතයක්. “ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ” ගීතයත් එතුමාගේ ගීත අතරේ මම ඉතා ආසාවෙන් ශ්‍රවනය කරනවා. ඒ ගීතයට මම මොනතරම් කැමැතිද කියනවා නම් මාස්ටර්ට ගෞරවයක් වෙනුවෙන් මම ඒ ගීතය ගායනා කරලා අන්තර්ජාලයට ඇතුළත් කළා. මොකද එතුමන්ගේ වියෝව සිදුවන විට මම හිටියේ විදෙස්ගත වෙලා. ඇත්තටම මට ඒ දුක දරා ගන්න බැරි වුණා. ඒ අවස්ථාවට සහභාගි වෙන්න නොලැබීම ගැන මම ගොඩක් දුක් වුණා. “හන්තාන සිහිනේ” ගීතය මට ගොඩක් සුවිශේෂි ගීතයක්. මගේ සංගීත දිවියටත් සුවිශේෂි වූ “හන්තාන සිහිනේ” ගීතයත් තනිව ගායනා කර අන්තර්ජාලයට ඇතුළත් කළේ එතුමාට උපහාර පිණිසම විතරයි. ඒ හැර වෙනත් කිසිම අරමුණක් නැහැ.
එදා පණ්ඩිත් අමරදේවයන් සමඟින් ගීතයක් ගායනා කරන්න ආරාධනා ලැබුණාම මොකද හිතුනේ? ඇත්තටම ඒ ආරාධනාව ගෙන ආ දුරකථන ඇමතුම බොරුවක්දෝ කියලත් මට මුලින්ම හිතුණා. මොකද ඒ වගේ දැවැන්තයෙක් සමඟින් ගීයක් ගයන්න මම වගේ කෙනෙකුට අවස්ථාවක් ලැබේවි කියලා එක පාරටම හිතා ගන්න බැරි වුණා. මට මුලින්ම කතා කළේ අමරදේව මාස්ටර්ගේ පුතා රන්ජන අමරදේව. ඒ නිසා ඒක ඇත්තක් බව දැනුණා. පසුව ගීතය සංගීතවත් කළ අරුණ ගුණවර්ධනත් කතා කළා. මාස්ටර් වගේ ජ්‍යෙෂ්ඨයෙක් සමඟින් ගීතයක් ගයන්න මං වගේ තරුණ ගායිකාවට අවස්ථාවක් ලැබීම වචනයෙන් විස්තර කරන්නත් අපහසුයි.
උමාරියා ඔබේ සංගීත භාවිතාව මේ ගීතය වෙනුවෙන් ගලපාගත්තේ කොහොමද? මම වැඩි වශයෙන් බටහිර සංගීත ශෛලියට අනුව ගායනා කළත් විවිධ සංගීත ශෛලීන් ඇසුරු කිරීමේ හුරුව මට තියෙනවා. ඒ අතරේ ශාස්ත්‍රීය සංගීතය සුවිශේෂයි. ඒ වෙනුවෙන් පුහුණුව මා සතුයි. එය "හන්තාන සිහිනේ" ගීතය ගායනා කරන්න මට ලොකු ශක්තියක් වුණා. ඔවුන් මට මේ වෙනුවෙන් ආරාධනා කරන්න ඇත්තේ මා සතු ඕනෑම ගීතයන් ගායන කිරීමේ හැකියාව හඳුනාගෙන වෙන්න ඇති. ඒ වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා.
එදා ඒ මහා ගාන්ධර්වයා සමඟින් “හන්තාන සිහිනේ” ගීතය පටිගත කළ ආකාරය අද යළිත් සිහිපත් කරමු? එදා “හන්තාන සිහිනේ” ගීතය පටිගත කරනවිට පණ්ඩිත් අමරදේවයන් ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියේ. හැබැයි එතුමා ගීතය පටිගත කරන්න ඒක බාධාවක් කර ගත්තේ නැහැ. එතුමා ගීතය ගායන කරන ආකාරය මම බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. එතුමා එදා මටත් ලොකු පාඩමක් කියා දුන්නේ. ජ්‍යෙෂ්ඨයෙක් වුණත් එතුමා අසනීප තත්ත්වය පවා නොසලකමින් පටිගත කිරීම අපූරුවට ඉටු කළා. ඒ වගේම එතුමාගේ නිරහංකාරකමත් අපට වටිනා ආදර්ශයක්. මෑතකදි මම ගීත ගායනා කළ ප්‍රසංගයකට එතුමා සහ බිරිය විමලා අමරදේව මහත්මිය පැමිණි සිටියා. එතුමා බොහොම සතුටෙන් මගේ ගීතයට සවන් දෙනවා මම දුටුවා. එතුමා කවදත් අලුත් දේ අගය කළ ජ්‍යෙෂ්ඨයෙක්. අපට අපේ හැකියාවන් තවත් වර්ධනය කරගන්න ඉදිරියට යන්න ඒ ඇදුරු උපදෙස් ගොඩක් වටිනවා. මීට පෙරත් අවස්ථා කිහිපයකදීම පණ්ඩිත් අමරදේවයන් මගේ ගීත අගයා සාර්ථකව ඉදිරියට යන්න ආශිර්වාද කරලා තියෙනවා.
පණ්ඩිත් අමරදේවයන් සමඟින් යුග ගී ගැයූ අවසන් ගායිකාව වෙන්නේ ඔබ. ඒ ගැන මොකද හිතෙන්නේ? ඒ ගැන නම් සතුටක් වගේම දුකකුත් මගේ හිතේ තියෙනවා. එතුමා වගේ ජ්‍යෙෂ්ඨයෙන් සමඟින් ගීතයක් ගායනා කරන්න ලැබීම මට මගේ සංගීත දිවියේ විශාල භාග්‍යයක්. ඒ වගේ අවස්ථාවක් මගේ සංගීත දිවියට ලැබෙන්න මං මොන තරම් පින් කරලා තියෙන්න ඇතිද කියලා නිතරම හිතෙනවා. නමුත් ඒ අවසන් අවස්ථාව වීම ගැන නම් සතුටක් නැහැ. ඇත්තටම එතුමාගේ මහා නිර්මාණ ගොන්නෙන් අපි අසා තියෙන්නේ ටිකයි. එතුමා අපට දායාද කළ තවත් නිර්මාණ මොනතරම් නම් අහන්න තියෙනවාද? ඒ ගීත අපට අපේ අනාගතයට ආදර්ශයක්. එතුමා අපෙන් සමු අරගෙන ගියත් යුග යුග ගණනාවක් ඒ සොඳුරු නිර්මාණ අමරණීය ලෙසින් ගීතවත් වේවි.
|