වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ

ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ

සිග්නීස් ශ්‍රී ලංකා සභාපති ලාල් පුෂ්පදේව ගරු පියතුමා

සිග්නීස් උත්තමාචාර උලෙළ 12 වැනිදා

සාමාන්‍යයෙන් සම්මාන උලෙළකට ටෙලි නාට්‍ය ගන්නේ නීර්ණයන් කිහිපයක් අනුව. අපෙත් එහෙමයි. අපි මෙහිදී බලපු ප්‍රධාන කාරණා දෙකක් තමයි එම ටෙලි නාට්‍ය ස්වතන්ත්‍ර වෙන්න ඕනෑ. ඒ වගේම ඒවා කොටස් සියයට අඩු වෙන්න ඕනෑ. හැබැයි මේ කාරණා හින්දා නෙවෙයි බහුතරයක් ටෙලි නාට්‍ය හැලුණේ.

අන්තර් ජාතික කතෝලික සිනමා පර්ෂදය මඟින් වසරක් පාසා සංවිධානය කරනු ලබන සිග්නීස් උත්තමාචාර සම්මාන උලෙළ මෙම මස 12 වැනිදා එනම් හෙට සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙවර දිගහැරෙනුයේ එහි තිස් නව වැනි අදියරයි. සිග්නීස් ශ්‍රී ලංකා වත්මන් සභාපති ලෙස කටයුතු කරනුයේ ගරු ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා. එතුමාණන් මෙරට කතෝලික ජනසන්නිවේදන ජාතික අධ්‍යක්ෂවරයා ද වේ. සිග්නීස් උත්තමාචාර උලෙළේ මෙවර හැඩය පිළිබඳ ලාල් පුෂ්පදේව පියතුමා සමඟ අපි මෙසේ සාකච්ඡා කළෙමු.

කොහොමද ෆාදර් සිග්නීස් උත්තමාචාර උලෙළ පිළිබඳ ක්ෂේත්‍රයේ අය දක්වන උනන්දුව?

ඇත්තටම ඉතාමත් ඉහළයි. අපි සම්මාන උලෙළ ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් එකක්. එහෙයින් සිග්නීස් සම්මානයක් ගත් කෙනෙකුට විදෙස් රටකදී වුණත් හොඳ පිළිගැනීමක් තියෙනවා. අනික මෙතෙක් අඛණ්ඩව අපි සිග්නීස් උත්තමාචාර උලෙළ පැවැත්වූවා. ඒ වගේම සිග්නීස් කියලා කියන්නේ හුදු වාණිජ අරමුණකින් තොරව පවත්වන සම්මාන උලෙළක්. එහෙයින් අපේ අගය තවත් වැඩියි.

මෙවර උලෙළට පසුගිය වසරේ තිරගත හා විකාශය වූ සිනමා, ටෙලි නිර්මාණ දෙකම වලංගු වෙනවා නේද?

ඔව්.

එවන් වූ නිර්මාණ කීයක් උලෙළ නියෝජනය කරනවාද?

පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට විසිතුනම උළෙලට ඇතුළත්. ඒ වුණාට ටෙලි නාට්‍ය දහයයි තියෙන්නේ.

ඇයි ටෙලි නාට්‍ය අඩු වුණේ? අපේ රටේ වැඩියෙන්ම නිර්මාණය වන්නේ ටෙලි නාට්‍යනේ?

සාමාන්‍යයෙන් සම්මාන උලෙළකට ටෙලි නාට්‍ය ගන්නේ නීර්ණයන් කිහිපයක් අනුව. අපෙත් එහෙමයි. අපි මෙහිදී බලපු ප්‍රධාන කාරණා දෙකක් තමයි එම ටෙලි නාට්‍ය ස්වතන්ත්‍ර වෙන්න ඕනෑ. ඒ වගේම ඒවා කොටස් සියයට අඩු වෙන්න ඕනෑ. හැබැයි මේ කාරණා හින්දා නෙවෙයි බහුතරයක් ටෙලි නාට්‍ය හැලුණේ.

එහෙනම්?

බහුතරයක් ටෙලි නාට්‍යවල නිශ්චිත අවසානයක් නැහැ. ඒවා මඟදී හිතුමතේ නවත්තලා.

කොතරම් හොඳට ටෙලි නාට්‍ය කළත් ඒකේ අවසානය හරි නැතිනම් අප එය ඉවත් කළා. ඒකයි ටෙලි නාට්‍ය අඩු වුණේ.

ඔබතුමන්ට සිග්නීස් ශ්‍රී ලංකා සභාපති පුටුව අලුත්. කොහොමද එය දැනෙන්නේ?

ඇත්තටම මේක මගේ පළමු සම්මන උලෙළ. නමුත් මං කලක් තිස්සේ කලාවේ රැඳිලා හිටියා. දෙදහස් පහළොවේ පාප් වහන්සේ ලංකාවට එද්දී එම අවස්ථාව සියලු ටෙලිවිෂන් හරහා හැන්ඩ්ල් කළේ මම. ඒක පුදුමාකාර අත්දැකීමක්. ඒ වගේම මං ආචාර්ය සාලමන් ෆොන්සේකා සූරින් යටතේ රංග කලාව හැදෑරුවා. මහේන්ද්‍ර පෙරේරා මගේ සමකාලීනයෙක්. මං සිනමාව පිළිබඳ අචාර්ය උපාධිය හදාරන්නට සූදානම් වෙද්දී තමයි මට මේ තනතුර බාර දුන්නේ. මෙය හැම පැත්තෙන්ම මට අභියෝගයක්. කෙසේ වෙතත් මං මෙතෙන්දි සෘජු තීරණ ගන්නවා. මේ මගේ කුලුඳුල් සම්මාන උලෙළ වුණාට මේ ගැන මට අත්දැකීම් නැති වුණාට මං ගන්න තීරණ හැමෝටම සාධාරණයි. මගේ මතයට අනුව කෙනෙකුට සාධාරණ තිරණ ගන්න අත්දැකීම් අවශ්‍ය නැහැ.

මොන දේ වුණත් ෆාදර් මේ වගේ වැඩකදී කොපමණ හොඳ තීරණ ගත්තත් බැනුමක් දෙකක් අහන්නම වෙනවා?

ඔව්. ඒක මම දන්නවා. මගේ කාමරයේ ගහලා තියෙනවා අනගාරික ධර්මපාලතුමා කියපු ශ්‍රේෂ්ඨ වදනක්. ඒ ජනතාවට වැඩ කරනවා නම් බැනුම් අසන්නට බලාගෙන එය කළ යුතුයි කියලා. මං දන්නවා මට බැනුම් අසන්නට වේවි. නමුත් කරන්න දෙයක් නැහැ.

තිස් නවවැනි සිග්නීස් සම්මාන උලෙළේ තේමාව වන්නේ 'අභිමන් හැටක අභීත මිනිසුන්ගේ අඬහැරය' යන්නයි. ඒ ගැන පැහැදිලි කිරිමක් කළොත්?

මේ වසර කාරණා කිහිපයකටම සුවිශේෂයි. ඒ ගැන මං මෙහෙම පැහැදිලි කරන්නම්. මෙරට සිනමාෙවි එක්තරා යුගයක සුපැහැදිලි වෙනසක් කළේ රේඛාව සිනමාපටයයි. එය එතෙක් චිත්‍රපට නිර්මාණය වූ වට්ටෝරු සිනමාවේ රැල්ල බින්දා. රේඛාව නිර්මාණය වී මේ වසරට හැට වසරයි. ඒ වගේම අප වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට බිහි වූ අග්‍රගණ්‍ය නිර්මාණය වන එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයට හැට වසරයි. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විරාගය රචනා කොට හැට වසරයි. එය අප රටෙහි බිහි වූ විශිෂ්ටතම නවකතාවක්. ඕසීඅයිසී උලෙළ මෙරට ආරම්භ කළ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා පූජා ප්‍රසාදිවරයකු වුණේත් අදින් හැට වසරකට එපිටදී. එපමණක් ද නොව ඕ. සි. අයි. සී සිග්නීස් උත්තමාචාර උලෙළ ලෝකයේ සම්මාන ප්‍රදානය ආරම්භ කොට ද හැට වසරයි. මේ සුවිසෙස් කරුණු කාරණා මත මම මෙවර උලෙළෙහි හැට කියන සංකේතය නියෝජනය කළා.

ඔබතුමා සිග්නීස් ශ්‍රී ලංකා සභාපති වී වැඩි කලක් නැහැ. මේ කාලය අතරතුරදී මොන වගේ අධ්‍යයනයක් ද කළේ උලෙළ ගැන?

මං මේ පුටුවේ වාඩි වී මාස දෙකයි. මේ කෙටි කාලය තුළදී මං ජාත්‍යන්තර සම්මාන උලෙළවල් කිහිපක්ම අන්තර්ජාලය හරහා නැරැඹුවා. ඒවායේ ගතයුතු තැන් මං අධ්‍යයනය කළා. මොන දේ වුණත් හොඳට ක්‍රමවත්වනේ උලෙළක් තියන්නට ඕනෑ. ඒ වගේම මෙවර සම්මාන උලෙළක් මට වගේම සෙසු සියලු දෙනාටත් විශේෂයි. ඒ එක් කාරණයක් නිසා.

ඒ මොකක්ද?

උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මීට පෙර කිසිම සිග්නීස් සම්මාන උලෙළකදී රටේ ප්‍රධාන පුරවැසියා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඇවිත් නැහැ. මේ ප්‍රථම අවස්ථාව එහෙම එන.

සාමාන්‍යයෙන් සම්මාන උලෙළකදී ආරාධනා පත් ක්‍රමවත්ව බෙදෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා?

නිසැකවම ඔය චෝදනාව මටත් ඒවි. අපි මෙහිදී බලන්නේ ශාලාවේ ඇති ආසන ගණනට අනුව ආරාධිතයන් ගෙන්වන්නේ. එතකොට අපට සිදු වෙනවා මෙම උලෙළ නියෝජනය කරන නිර්මාණවල නිර්මාණකරුවන්ට වැඩි ඉඩක් වෙන් කරන්න. එහෙම කරනකොට ඇතැම් විට සමහර අය හැලෙන්නට පුළුවන්. හැබැයි අප හිතාමතාම කරන දෙයක් නෙවෙයි.

මෙවර සම්මාන කීයක් නිර්මාණකරුවන් වෙනුවෙන් වෙන්වෙලා තියෙනවාද?

තිහකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම සුපුරුදු පරිදි ජීවිතයට එක්වරක් පමණක් පිදෙන සිග්නීස් උත්තමාචාර සම්මානයෙන් අප කලාකරුවකු පිදුම් ලැබීමට නියමිතයි. නමුත් මෙවර සිරිල් බී. පෙරේරා සම්මානය නැහැ. ඒ වගේම ආධුනිකයන් වෙනුවෙන් විවෘත වූ චිත්‍රපට විචාරකයක් ඔස්සේ ලබාදෙන ජයවිලාල් විලේගොඩ සම්මානයත් අපිට අත හරින්නට සිදු වුණා. ඒ සම්මානයන් දෙන්න තරම් විචාරයක් අපට ලැබුණේ නැති නිසා.

ඒ අතරට තව සම්මාන යුගලයන් එකතු වනවා නේද?

ඔව්. ඒ තමයි නිර්මාණශීලී වර්ණ වින්‍යාසය සහ නිර්මාණශීලී සජීවිකරණය චිත්‍රපට සඳහා තමයි ඒ සම්මාන වෙන් වන්නේ.

ඒ වගේම ලබන වසරේ හතලිස් වැනි සිග්නිස් උත්තමාචාර උලෙළ වෙනුවෙන් මං චිත්‍රපට උලෙළක් සංවිධානය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විදෙස් රටවල විශිෂ්ට නිර්මාණකරුවන් ගෙන්වන්න හිතාගෙන ඉන්නවා.

සේයාරුව - නිශ්ශංක විජේරත්න