|
අමර සුරතින් ගෙතුණු පදවැල්
සිය මුල්ම ගී සංකල්පනාව ඇල්බට් (අමරදේවයන්) ගේ හද සන්තානයේ පිළිසිඳ ගෙන ඇත්තේ එතුමා කළුතර විද්‍යාලයේ සිප් සතර හදාරමින් සිටියදීය. ඒ පාසලට යනෙන ගමනේදී උතුරු කළුතර සහ දකුණු කළුතර අතර දුම්රියෙන් ගමන් කරමින් කළු ගඟ හා කළුතර බෝධීන් වහන්සේ දැකීමෙන් සිතේ ඇති වූ සිතුවිලි අකුරු කරමින්ය. 'පීනමුකෝ කළු ගඟේ' එම ගී සංකල්පනාවයි.
පීනමුකෝ කළු ගඟේ
සුනිල් දියේ සඳ කැලුම් වැදීලා
ඕළු නෙළුම් මල්දෝත පුරාගෙන
බුදු හිමියාණන් මෙලෝ දිනුවේ
අමරදේවයන් මල්ලිකා නම් ගායිකාවක සමඟ ගැයූ 'පීනමුකෝ කළු ගඟේ' ගීතය සංගීතවත් කළේ බී. ඇස්. පෙරේරා විසින්ය. ග්‍රැමෆෝන් ගීතයක් ලෙස 1940 දශකයේ දී ගීත ලෝලීන්ට මුලින්ම රසවිඳින්නට ලැබුණු 'පීනමුකෝ කළු ගඟේ' ගීතය ඇතුළත් වූ තැටියේ අංකය H.M.V/WN 77 වේ. පාසල් වියේ සිටියදී වුවද අමරදේවයන් තුළ පැවති කවීත්වය මෙම ගී පදමාලාවෙන් එතුමා අපූර්ව ලෙස පෙන්නුම් කිරීම අපේ අවධානයට යොමු විය යුතුය. 'ශාන්ත මේ රෑ යාමේ' අමරදේවයන් විසින් රචිත දෙවෙනි ගී පදමාලාවය. මෙය එතුමා නිර්මාණය කර ඇත්තේ 'සුනේත්‍රා' නම් නාට්‍යයකටය. ඇතැම් අවස්ථාවලදී තමා විසින් මුලින්ම පද රචනය කර සංගීතවත් කර ගැයූ ගීය ලෙස 'ශාන්ත මේ රෑ යාමේ' ගීතය අමරදේවයන් විසින් සඳහන් කළත් එතුමා විසින් රචිත දෙවෙනි ගී පදමාලාව ලෙස සැළකෙන්නේ මෙයයි. 'ශාන්ත රෑ යාමේ' ගීතය ද අමරදේවයන් ගායනා කළේ මල්ලිකා නම් ගායිකාව සමඟින්ය.
ශාන්ත මේ රෑ යාමේ
එයි නැඟී ප්‍රේම තරංගා
නෙක තුරුලිය නැළවෙන්නේ
හා ඇසේ වන කෝකිල ගීතේ
මේ රැයේ ගීත ගයාලා
අපි නැළවෙමු පෙම් දහරේ
ග්‍රැමෆෝන් ගීතයක් වන 'ශාන්ත මේ රෑ යාමේ තැටි අංකය ද එව් 77 ය. ගුවන් විදුලියේ ප. 267 තැටියේ ද මේ ගීතය ඇතුළත්ය. 1940 දශකයේදී මුලින්ම ශ්‍රවණය කිරීමට ලැබුණු 'පීනමුකෝ කළු ගඟේ' සහ 'ශාන්ත මේ රෑ යාමේ' ගීත දෙක මෙන්ම අමරදේවයන් විසින් රචිත 'වඳිමු සුගත ශාක්‍ය සිංහ' නම් ප්‍රකට බෞද්ධ ගීතය ද එවකට මෙන්ම වර්තමානයේදී බොදු ගීත ශ්‍රාවකයන්ගේ ආදරය දිනූ ගීතයක් වීම විශේෂයකි. ගුවන් විදුලි ගීතයක් වන 'වඳිමු සුගත ශාක්‍ය සිංහ' ගීතයේ පද රචනය, තනුව, සංගීතය සහ ගායනය අමරදේවයන් ගේම වීම ද තවත් විශේෂයකි.
වඳිමු සුගත ශාක්‍ය සිංහ
සම්බුදු මාගේ සමිඳා
'වඳිමු සුගත ශාක්‍ය සිංහ' ගීතය නිර්මාණය කළ වකාවනුවේදී අමරදේවයන් නවාතැන් ගෙන සිටියේ චිත්‍රසේන කලායතනයේ බව පැවසේ. මෙම ගීතය ඇතුළත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැටි අංක LS 12/2545 සහ LS 12/67601 වේ. බොදු බැතියෙන් එම අපූර්ව ගී සංකල්පනාව පහළ වූ අමරදේවයන්ගේ සිත් සෞන්දර්ය තේමා කර ගත් 'සීගිරියේ සිතුවම් රමණී' ගීතයේ සංකල්පනාව ද ජනිත වීමත් මෙම සංකල්පනාව ද එතුමා උචිත ලෙස පද රචනය කිරීමත් නිසාවෙන් ගී පද රචනයට එතුමාගේ වූ විශිෂ්ට කුසලතාවය තවදුරටත් මැනවින් පැහැදිලි වන්නේමය.
සීගිරියේ සිතුවම් රමණී
මහා ගලේ සැදි ලෙන තුළෙහී
ලෝ තුළෙහි කීර්තිය පෑ
'සීගිරියේ සිතුවම් රමණී' ගීතය ද අමරදේවයන් විසින් ද රචනය මෙන්ම තනු නිර්මාණය ද කර ගායන කර ඇත්තේ චිත්‍රසේන කලායතනය ඇසුරේදීමය. සෝමා නම් ගායිකාව සමඟ ගැයූ එහ ගීතය ඇතුළත් තැටි අංකය එව් 145 වේ. කුමාරතුංග මුනිදාසයන්ගේ ආභාසයෙන් අමරදේවයන් පද රචනය කළ 'හඳපානේ වැලි තලා' ගීතය ද මෙහිදිී අපට අමතක කළ නොහැකිය. පද රචනය මෙන්ම තනු නිර්මාණය කර සංගීතවත් කරමින් සෝමා නම් ගායිකාව සමඟ අමරදේවයන් ගැයු 'හඳපානේ වැලිතලා' ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්්ථාවේ අංක LS7991, 16/119,12034 තැටිවල අඩංගුය. මේ ගීතය ශ්‍රවණය කරන විට අද ද අපගේ සිත් අමන්දානන්දයට පත්වනු නොඅනුමානය.
හඳපානේ වැලිතලා
කුමුදු සමන් පෙළ සෑදී
සඳ කැලුමෙන් තෙමි තෙමී
ස්වකීය තනු නිර්මාණයන්ට මෙන්ම අමරදේවයන් බෙංගාලි තනු අනුව ද ගී පද රචනය කළ අවස්ථා දෙකක් වේ. ගුවන් විදුලියේ LS 1004 අංකය දරණ තැටියේ අඩංගු 'මහ රෑ යාමේ මේ වනන්තරේ' ගීතය අමරදේවයන් බෙංගාලි තනුවකට පද රචනය කළ ගීතයකි. ශීලා නම් ගායිකාවක සමඟ ගයා ඇති 'දෝස තේරී මේ සංසාරේ' ගීතයේ පද රචනය ද අමරදේවයන් විසින් බෙංගාලි තනුවකට නිර්මාණය කරන ලද්දකි. 'සුවඳ දේය මේ උදයේ' - 'දේ සවන පිනන ගී රාවේ - මාල පලඳිමු දෝත නඟාලා' (කුමාරතුංග මුනිදාස සමරු ගීතයකි) 'දෙති ගී නද තුරු මත' - 'මුකුලිත පියුමෝ ඇයි නිදි' යනුවෙන් ඇරඹෙන අමරදේවයන් ගයා ඇති ගීත කිහිපයේ ද පද රචනා එතුමන්ගේ වන අතර එම ගීත අතරින් සමහරක් අංක L S 12034, Ls 16/1004, LS 10446 තැටිවල ඇතුළත්ව ඇත. සිය සෞන්දර්ය චාරිකාවේ මුල් භාගයේදී අමරදේවයන් විසින්ම පද රචනය හා තනු නිර්මාණය කරගෙන ගීත 12 ක් පමණ ගායනා කළ නුමුදු පසුව ගීපද රචනයට එතුමා යොමු වූ බවක් අප අසා නැත. ගීපද රචක අමරදේවයන් පිළිබඳව මෙම සටහනට මහාචර්ය ජේ. බී. දිසානායකයන් පළ කළ අදහසකින් විරාමය තබමු. 'අමරදේවයන් මුල් අවදියෙහි ගායනා කළ 'වඳිමු සුගත ශාක්‍ය සිංහ' 'සීගිරියේ සිතුවම් රමණී' 'ශාන්ත මේ රෑ යාමේ 'හඳපානේ වැලි තලා' 'පීනමුකෝ කළු ගඟේ' වැනි ගීත ඔහුගේම ස්වාධීන නිර්මාණ සේ හැඳින්විය හැකිය. මේ ගීත අද ද රසිකයින් කුල්මත් කිරීමට සමත් වෙයි. මීට හේතුව වී ඇත්තේ එම ගීතවලින් නැගෙන ශබ්ද මාධූර්යය පමණක් නොව එම ගීතවලට පාදක වූ පද ලාලිත්‍යය ද බව සැලකිය යුතුය. ගීත රචනයෙහි අමරදේවයන් දක්වා ඇති කුසලතාව ඔහු සතු වාදන හා ගායන කෞශල්‍යය තරම්ම විශිෂ්ට යැයි කිව හැකිය'. (මෙම ලිපිය සකස් කිරීමේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'නූතන ගේය කාව්‍ය සංහිතා' සහ ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ 'අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ' ග්‍රන්ථ ඇසුරු කර ගත් බව සලකන්න). .
|