වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ආශීර්වාදය තරම් වටිනා දෙයක් තවත් නැහැ

ඒ ආශීර්වාදය තරම් වටිනා දෙයක් තවත් නැහැ

නන්දා මාලිනී

කොටහේන ප්‍රදේශයෙන් ගුවන්විදුලියේ ළමා මණ්ඩපයට ආව නන්දා මාලිනී කියන්නේ බොහොම හුරුබුහුටි දැරිවියකි. ඒ වනවිටත් ‘බුදුසාදු...’ ගීතය ගයා බොහොම ජනප්‍රිය වී සිටි මේ දැරිවියගේ දක්ෂතාව ගැන පණ්ඩිත් අමරදේවයන්ගේ සිතේ තිබුණේ ද පැහැදීමකි. කාලය ගෙවී ගියේ ය. ඒ ‘රන්මුතු දූව’ චිත්‍රපටයට ගීතයක් ගැයීමට අලුත් කටහඬක් සොයමින් සිටි අවධියයි. පණ්ඩිත් අමරදේවයන්ගේ සිතට පිවිසියේ නන්දා මාලිනී නම් හුරුබුහුටි දැරිවිය පිළිබඳ මතකයයි. ඔහු ළමා මණ්ඩපයට පිවිසියේ ඒ දැරිවියට කතාබහ කරන අදහසෙනි. කොණ්ඩකරල් දෙකක් ගොතා, මල් මල් වැටුණු චීත්ත ගවුමකින් සැරැසී ගීයක් පුරුදු පුහුණු වෙමින් සිටි නන්දා දුටුවන ම පණ්ඩිත් අමරදේවයන්ගේ හිසේ මල් පිපුණි. ඒ සිය අදහසට ගැළපෙන අපූරු දැරිවිය ඔහුට මුණ ගැසුණු නිසා ය. ඈට කතාකළ පණ්ඩිත් අමරදේවයන් විගසින් නිවෙසට යන්නට සැරසෙන්නැයි පැවසුවේ ය. පුංචි නන්දාට කිසිවක් සිතාගත නොහැකිය. ඒ වනවිටත් බොහෝදෙනාගේ පැසසුමට ලක්ව සිටි, සැමදෙනාගේ ම ගෞරවයට පාත්‍රව සිටි අමරදේව වැනි විශිෂ්ටයකු තමාගේ නිවෙසට පැමිණීම ඇයට අදහාගත නොහැකි වූ කාරණයකි.

“ඇත්තට ම එදා අමරදේව සර් මගේ නිවෙසට යනබව කිව්වට පස්සේ මට අදහගන්න බැරිවුණා. එතුමා මාත් සමඟ අපේ නිවෙසට ගියේ පාරේ බස් එකේමයි. ඒ ගිහින් අපේ තාත්තාත් එක්ක බොහොම හොඳට කතාබහ කළා. ඒ මා දස්කම්වලින් පරිපූර්ණ දරුවකු බවත්, ඉදිරියේදී මට හොඳ අනාගතයක් තිබෙන බවත් පැවසුව අමරදේව සර් චිත්‍රපට ගීතයක් ගයන්නට මා තෝරාගත් බවත් දැනුම් දුන්නා. ඉන් පස්සේ මාවත් එක්කගෙන යළිත් බස්රථයකට ගොඩවැදුණු එතුමා ආපසු ආවේ රාජගිරියේ මාදින්නාගොඩ පාරේ කඳුගැටයක පිහිටලා තිබුණු ශේෂා පලිහක්කාර මහත්තයාගේ නිවෙසටයි.”

එතැන සිටියේ තිදෙනෙකි. ඉන් එක් අයකු සුදු මහතෙකි. හේ මයික් විල්සන් ය. අනෙක් තැනැත්තා ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන තිස්ස ලියනසූරියයි. තුන්වැන්නා ප්‍රවීණ නර්තන ශිල්පියකු මෙන්ම නළුවකු ද අධ්‍යක්ෂවරයකු ද වන ශේෂා පලිහක්කාර ය. ඉන් නිපද වූ ‘රන්මුතුදූව’ චිත්‍රපටයේ ‘ගලන ගඟකි ජීවිතේ......’ ගීතයේ පුහුණු වීම් සිදුවූයේ ඒ ස්ථානයේ ය. අද බොහෝදෙනාගේ ආදරය දිනාගත් නන්දා මාලිනී සිය ඉරණමේ ආකාරයට චිත්‍රපට ගීත ගැයීම අරඹන්නේ එලෙස ය.

“මේ ස්ථානයේදී පුහුණු වුණේ ගීත දෙකක්. ඒ ‘බුද්ධ දිවාකරයාණෝ ...’ හා ‘ගලන ගඟකි ජීවිතේ...’ කියන ගීත දෙකයි. දවස් කිහිපයක පුහුණුවීම්වලින් පස්සේ පටිගත කිරීම් සිදුවුණේ කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේ. ඒ 1962 වසරයි. එහි පටිගත කිරීම් කළේ ඒ කාල‍යේ ශබ්දපරිපාලකවරයකුව සිටි මර්වින් රොඩ්රිගු මහත්තයා. ඒ ගීත පටිගත කිරීම මට අලුත් ම අත්දැකීමක් වුණා. වරින්වර නවත්වමින් සිදුකළ පටිගත කිරීම පිළිබඳ අවබෝධයක් මට එහිදි තිබුණේ නැහැ. ඒ ගැන දැන් හිතෙන විටයි දැනෙන්නේ කොයිතරම් දුෂ්කර විදියට ද එදා ගීත පටිගත කිරීම් සිද්ධ වුණේ කියලා. නමුත් මේ සියල්ල අප සිදුකළේ බොහොම සන්තෝෂයෙන්. ”

වරෙක ගීතය පටිගත කිරීම නැවතුණේ කුරුල්ලකුගේ නාදයක් නිසා ය. තවත් වරෙක වෙනත් හේතුවක් ඊට බාධා කළේ ය. නමුත් ඒ සියලු බාධක මැඩගෙන නන්දා චිත්‍රපට ගීතය ගයන්නට සැරසුණා ය. මයික්‍රොෆෝනය අසලට පැමිණි මේ දැරිවිය දුටු සැණෙන් ම එතැන සිටි සියල්ලන්ගේ ම මුවට නැඟුණේ සිනහවකි.

“මිස්ටර් මර්වින් මේ ළමයට උසක් තිබ්බොත් හොඳයි.”

පණ්ඩිත් අමරදේවයන් පැවසුවේ මයික්‍රොෆෝනයට උස නැති දැරිවියට සරිලන අයුරෙන් කුමක් හෝ තැබීම සුදුසු යැයි හඟිමිනි.

“ඒ වෙලාවේ මගේ උසට සරිලන අයුරෙන් කවුරු හෝ පෙට්ටියක් ගෙනැත් දුන්න බව මට මතකයි. ඒ පෙට්ටියට නැඟලයි මා එදා නාරද දිසාසේකරත් සමඟ ‘ගලන ගඟකි ජීවිතේ... ගායනා කළේ. එය මගේ ආරම්භයයි. මගේ ඒ ආරම්භයේ දි අමරදේවයාණන් නොසිටින්න අද නන්දා මාලිනී කියන චරිතයක් කිසිවකුටත් දකින්නට ලැබෙන්නේ නැහැ. මොකද එදා අපි බොහොම අගහිඟකම්වලින් පීඩා විඳීමින් සිටි පවුලක්. අපේ දෙමව්පියන්ට අපේ දස්කම් අගයන්න, හොයලා බලන්න වෙලාවක් තිබුණේ නැහැ. කටවල් නවයක් බඩගින්නේ නොතියන්න අවශ්‍ය ආර්ථිකය සවිමත් කරන යුද්ධයකයි ඔවුන් නියැළිලා සිටියේ. එවැනි පසුබිමකයි මා චිත්‍රපට ගායිකාවක විදියට චිත්‍රපට පසුබිම් ගීතයට පා නඟන්නේ.”

1963 වසරේ ‘රන්මුතුදූව’ චිත්‍රපටය තිරගත විය. එසැණෙන් ම ‘ගලන ගඟකි ජීවිතේ....’ ගීතය සිනමා රසිකයන් අතර ජනප්‍රිය වූයේ එක රැයෙනි. ගීතයත් සමඟ ගීතය ගැයූ නවක ගායිකාවක වූ නන්දා මාලිනී දැරිවිය ද එක රැයෙන් ජනප්‍රියත්වයට පත්වූයේ ඉබේම ය. පුවත්පත්වල ඇගේ සාකච්ඡා පළවිණ.

“මම හිතන්නේ ඒ කාලයේ ‘ගලන ගඟකි ජීවිතේ ..’ ගීතය රසිකයන් වැලඳ ගත්තේ කරුණු රැසක් නිසයි. ඒ ගීතයෙන් ඇසුණේ අලුත් කටහඬක්. අනුකාරකවාදී සංගීතයෙන් පිරුණු චිත්‍රපට ලෝකයේ අලුත් සංගීතයක් ඔවුන්ට අසන්නට ලැබුණා. ඒ නිසා ‘රන්මුතුදූව චිත්‍රපටය සිනමා රසිකයන්ට ආලෝකයක් ගෙනාවා. ඒ කාලයේ මට මතකයි ‘බෙන්තොටට තරුපායන දවස’ කියලා දවස පත්තරයෙන් කළ වැඩසටහනක්. ශ්‍රියා රත්නකාර මූලික වෙලා සංවිධානය කළ ඒ වැඩසටහනට මමත් සහභාගි වුණා. ඊට පස්සේ පැමිණෙන්නේ සරසවිය සම්මාන උලෙළයි. ඒක අපූරු ආකර්ෂණීය සම්මාන උලෙළක් වුණා. මිනිස්සු එකල සිටි නළු නිළියන් දැකගන්න ඇවිත් සිටියේ පොරකමින්. ඒ ගිය රථ පෙරහරේ ප්‍රවීණ නළු නිළියන් සමඟ මටත් නැඟලා යන්න අවස්ථාව ලැබුණා. ඉස් ඉස්සෙල්ලා මම සාරියක් ඇන්දේ එදා. ඒත් එදා මාව කවුරුවත් රසිකයන් හැඳීණ ගත්තේ නැහැ.”

සරසවිය සම්මාන උලෙළේ දී රන්මුතුදූව චිත්‍රපටය සම්මාන රැසක් ම හිමිකර ගත්තේ ය. එහිදී චිත්‍රපට පසුබිම් ගැයූ ගායිකාවටත් සම්මානයක් ලැබිණි. ඒ හොඳම ගායිකාවට හිමි සම්මානයයි. නන්දා සම්මානය පපුවට තුරුලුකර ගත්තේ මහත් සෙනෙහසිනි. ඉන්පසුව ඈ පණ්ඩිත් අමරදේවයන් දෙස බැලුවේ කෘතඥ පූර්වක දෙනෙතිනි.

“මට වගේ ම හොඳ ම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් අමරදේව සර්ටත්, හොඳ ම ගායකයා විදියට නාරද දිසාසේකරටත්, හොඳ ම පදරචකයා විදියට චන්ද්‍රරත්න මානවසිංහයන්ටත් සම්මාන ලැබුණා. එතැන් පටන් බොහෝ ගීත ගයන්නට මට වාසනාව උදාවුණා. අමරදේව සර්ගේ නිර්මාණවලට යළිත් මට ආරාධනා ලැබුණා. ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයේ ‘රුවන් වලා දුහුල් කඩින්....’ගීතය ගයන්නටත් මටයි ආරාධනා ලැබුණේ. ඊට පසුව මා ගැයුවේ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ කවි ගායනායි. එහි වැඩිපුරම තිබුණේ කවි ගායනායි.”

යළිත් වරක් නන්දා මාලිනී යුවතිය ගැයූ ‘සාරවිට’ චිත්‍රපටයේ ගීත සිනමා රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ නිතැතිනි.

‘මේ සිංහල අපගේ රටයි
අප ඉපදෙන මැරෙන රටයි’

මහගමසේකරයාණන් පද බැන්ඳූ මේ ගීතය වර්තමානයේ පරපුර පවා දන්න ගීතයක් බවට පත්වූයේ අමරදේවයන්ගේ සංගීතය නිසාම ය. නන්දා මාලිනියගේ මියුරු ස්වරයෙන් ගැයුණු නිසාම ය.

“ඒ වගේ දීර්ඝ ගමනකුයි අමරදේව සර් සමඟ පැමිණියේ. ඒ දැවැන්ත චරිතය සමඟ අප කටයුතු කළේ බොහොම සැහැල්ලුවෙන්.”

කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේ ගුරුවරුන් එහි සිටි දරු - දැරියන්ගේ තරම දැනගෙන සිටියහ. ඔවුන් තමා කන බත්පත එහි සිටි ළමයින්ට දුන්නේ මේ දරුවන් පිළීබඳ තිබුණු සැබෑ ළෙන්ගතු බව නිසාම ය. නන්දාව ගුවන්විදුලියේ ළමා පිටියට රැගෙන එන්නේ ද ඇගේ පන්තිභාර ගුරුතුමිය මාග්‍රට් ය. එවැනි මඟ පෙන්වීමක් කළ ඈ මෙන්ම අමරදේව ගුරුතුමන්ගෙන් ද, නන්දා ඇතුළු පිරිසට ලැබුණේ අපූරු මඟපෙන්වීමකි. පාසලෙන් ලැබුණු දැනුම ඈ වඩාත් වර්ධනය කරගත්තේ සිය ගුරුතුමාගෙනි.

“අපේ ජීවිතවලට ආලෝකය ලැබුණේ අමරදේව ගුරුතුමාගෙන්. එදා පටන් අද දක්වාම ඒ පැමිණි ගමනේ අද අප යම් තැනක සිටින්නේ නම් ඒ අමරදේව ගුරුතුමන් නිසාම බව මා පැවසිය යුතුමයි. අප අද යම් තැනක ස්ථානගත වීමේ ගෞරවය හිමිවිය යුත්තා එතුමායි. එතුමා අප අතහැර ගියත් තවමත් මට එලෙස සිතෙන්නේ නැහැ. ඔහු තවමත් මා අසල ම සිටින බවයි මට නම් සිතෙන්නේ. ඔහුගේ අහිමිවීම අපට දරාගන්නට බැහැ. අනෙකුත් අයට ජීවිතයේ යථාර්ථය ගැන කොයිතරම් දේ පැවසුවත් එතුමාගේ අතහැර යෑමත් සමඟ අද අප සැවොම ගොළුවෙලා. පසුගියදා අපට අසන්නට ලැබුණේ අහස - පොළොව, ඇළ- දොළ, ගංගා, කුරාකුහුඹුවා පවා නිහඬ කළ ආරංචියකුයි. ”

මේ ගාන්ධර්වයාණන් නිසා ඇතිවුණු හිඩැස පිරවීමට කිසිවකුටත් නොහැකි බව කාටත් නොරහසකි. ඔහු වෙනුවෙන් ආදේශකයක් ඇත්තේ ද නැත. ඉදිරියේ දී බිහිවන්නේ ද නැත.

“එතුමාගේ ඇසුරයි මාව කුසලතා සපිරුණු ගායිකාවක් බවට පත්කළේ. ගීත කිහිපයකට ම සංගීතය නිර්මාණය කිරීමට මා පෙලඹූයේ ඒ ඇසුරයි. කොපමණ වටිනා සම්මාන ලැබූවත් ඒතරම් නිරහංකාර මනුස්සයකු මගේ ජීවිතයේ ම මා දුටුවේ නැහැ. එතුමා සෑම කෙනෙකුට ම අත්පුඩියක් ගැසීමට අත එසැවූ බව මා දන්නවා.”

වරක් අලුත්ගම කන්දේ විහාරයේ පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් පැවැත් වූ උපහාර උලෙළේ ගීතය ගැයුවේ නන්දා මාලිනීයයි. ඊට දින කිහිපයකට පෙර සිදුවූයේ නොසිතූ දෙයකි. ඈ වැටී අත කැඩිණි. එහෙත් ඈ සිය ගුරුතුමන්ගේ උපහාර උලෙළේ උපහාර ගීතය ගැයීමට ගියා ය. ඒ සඳහා අලුත් ඇඳුමක් ද නිර්මාණය විය. ඒ සාරි හැට්ටයෙන් අත දමන්නට නොහැකි වූ නිසා ය.

“මගේ ප්‍රසංගයක් පැවැත්වුවත්, මා විදේශ සංචාරයකට සහභාගි වුණත් ඔහුගෙන් අවසර අරගෙන මිසක් ඒ කිසිවක් කරන්නේ නැති සිරිතක් මේ දක්වා ම තිබුණා. ඒ ඒ අවස්ථෘවල එතුමාගෙන් ලැබෙන ආශිර්වාදය තරම් වටින ආශිර්වාදයක් මට තවත් ඇත්තේ නැහැ.”

නන්දා මාලිනීයගෙන් හෙළුණේ දීර්ඝ සුසුමකි. ඇගේ නෙතඟ නැඟුණු කඳුළු කැට දෙකක් ඔසරිපොට අතර සැඟවිණි. ඒ සිය ගුරුතුමන්ගේ වියෝව දරාගත නුහුනු නිසාම ය.