වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

සර් ඔය පින්තූරෙට බොහොම කැමතියි

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

‘මට මේ දේවල් මොකවත් එපා. මට සර් බොහොම දේවල් ජීවිතේ ඉගැන්නුවා. ඒ ටික මට ලොකේ ලොකුම යුනිවර්සිටි එකකට ගිහින්වත් ඉගෙන ගන්න බෑ

මානවී කතා කළේ ඉවත බලා ගෙනය. ඇයගේ ඇස අග උපන් කඳුළක් එයින් පිටත යන්නට නොදී නතර ව තිබිණ. මානවී ගේ සුකුමාල මුහුණ යටින් හිතුවක්කාර ගැහැනියක සිටිතැයි තමා දුටු මතින් අනුමාන කළ අයුරු ගැන නයනතාරා සෑහීමකට පත්වූවාය.

‘මං දන්නවා අපේ සීයා ගැන.’

නයනතාරා වචන උච්චාරණය කරන ලද්දේ සිංහල නුහුරු ගානටය.නයනතාරා උපන්නාට පසු ලංකාවට පැමිණ තිබුනේ සිව් වතාවකි.

‘ඔයා දන්නවද මානවී. මං අපේ සීයාට හරි ආදරෙයි. සීයා හරි ලොකු චරිතයක්’

නයනතාරා සිය හැඟීම් පිට කරන්නට වචන සෙව්වාය. මානවී කෙලින්ම ඇගේ මුහුණ බැලුවාය.නයනතාරා පියකරුය.ඇය තමන්ගේ වයසේම වන්නට ඇතැයි මානවී අනුමාන කළාය.භාෂාව පාලමක් කර ගන්නා අන්දම වීරප්පෙරුම මානවීට කියා දී තිබිණ. බ්‍රිතාන්‍ය කවුන්සලයේ ඉංග්‍රීසි පාඨමාලවේ බර පැණ දැරුවේ ද ඔහුය. වීරප්පෙරුම ගේ වාහනයෙන් එයට යන්නට ඇය අදි මදි කළාය. මානවී නයනතාරාට පහසුවක් වන්නට තමා උගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්නට කතා බහේ දී සිතුවාය.

‘ඔයා කොහෙන් ද මෙච්චර හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තේ’

මානවී සිනහවූවේ උත්තරය සිතා ගන්නට ඉඩ දෙමිනි. අනතුරුව ඇය මොහොතක් නිහඬ වූවාය.

‘මම කොළඹ එන කොට හිතා ගෙන හිටියේ ඉංග්‍රීසි කියන්නේ ඒබීසීඩී විතරයි කියලා’

මානවී ගේ එබසට නයනතාරා ට සිනහ ගියාය. නයනතාරා වීරප්පෙරුම ගේ මිනිබිරියයි. වීරප්පෙරුම ගේ නිවහනේ බිත්තිය සැරසූ කෙලි ලොල් දැරිය ගේ ඡායාරූපය ඇය ගේය. එම මුහුණේ ත් වර්තමානයෙත් වැඩි වෙනසක් නැත. වීරප්පෙරුම ගේ දියනිය පැමිණි තිබුණේ තනිව නොවේ. ඇගේ සොහොයුරා ගේ දියණිය ද කැටුවය. ඇය නතර වූයේ කොළඹ තරු පහේ හෝටලයකය. තාත්තා ගේ සුව දුක් බැලුවද වැඩි දවසක් මෙරට රැඳී සිටින්නට දියනියට නොහැකිය. ඇගේ ඉංග්‍රීසි ජාතික සැමියා ඇය එනතුරු බලා සිටිය. ඇය සේවය කරන විශ්වවිද්‍යාලයේ නිවාඩු ගැන්ම අපහසුය. නයනතාරා තවත් සති කිහිපයක් ලංකාවේ රැඳී සිටින්නට තීරණය කළාය.

‘තාරා මේ අමෙරිකාව නෙවෙයි’

නැන්දනිය ඇයට දැඩි අවවාදයක් කළාය.වීරප්පපෙරුම ගේ දියණිය උපුලී ට මානවී දැක ගන්නට ලැබුණේ අහම්බයකිනි. හෝටලයට ගොස් ආපසු පැමිණි ඇයට තම පියා ළඟ බෙහෙවින් කුලුපගව උවැටන් කරන යුවතිය පෙනුණි.

‘මේ ළමයා තමා මගේ දුක සැප බැලුවේ පුතා’

වීරප්පෙරුම ගේ ස්වරයේ තිබුණේ කෙදිරිලි හඬකි. ඔහු දිනෙන් දින දුර්වල ව ඇතැයි උපුලී ට සිතිණ. සුවිසල් රටක ට වී සිටින තමාත් සොහොයුරාත් පියා ගැන මෙයට වඩා උනන්දු වූයේ නම් මැනවැයැයි උපුලී ට සිතිණ. මානවී ගේ සිනහව සිත් ගන්නා සුලු විය.

උපුලී ට පිටුපසින් සිටි තරුණ යුවතිය මානවී ගේ නෙත ගැටුණේ පසුවය. උපැස් යුවලක් පැළද සිටි යුවතිය ඩෙනිම් කමිසයකින් සහ කලිසමකින් සැරසී සිටියාය. ඇය නයනතාරා විය යුතුය. මානවීට සිතිණ. බොහෝ වට වීරප්පෙරුම ඇය ගැන නිතර කියන්නීය. මානවී ඇය දෙස බලත්ම ඇය සිනාසුනාය.

‘නයනතාරා මගේ මිනිබිරී’

මේ මහළු මිනිසා දැන් ජීවිතයේ අග්ගිස්ට පැමිණ ඇත.ඔහු තමාට පෙන්වන්නේ උරුමය පිළිබඳ වය.නයනතාරා මානවී වෙතට පැමිනියාය. මේ හමුවට තමන්ගේ කිසිදු පැහැදීමක් නැති වග උපුලී ගේ ඉරියව් තුළින් පෙනිණ.

‘ඔය ළමයා මොකද කරන්නේ’

උපුලී විමසුවාය. ඇය ආඩම්බරකාරියකි යන හැඟිම මානවීට ඇති විය.

‘මම ටීවී ප්‍රසන්ට කෙනෙක්. ඇට් කරනවා.ප්‍රෙඩියුස් කරනවා’

මානවී පැවසුවේ තමා කිසිවිටෙකත් ඔවුන්ට දෙවෙන්නියකැයි නොවන වග හඟවමිනි. උපුලී ගේ මුහුනේ තිබුනේ වීරප්පෙරුම ගේ තුරුණු වියමය. ඇයට ඇවැසි වූයේ තමන් ගැන පරීක්ෂණයක් පවත්වන්න බව මානවීට වැටහිණ. ඇය එයට මුහුණ දුන්නේ ඉවසීමෙනි.

නයනතාරා සිය මුත්තනුවන්ට සුප් කොප්පයක් පොවමින් සිටියේ මානවී පසුවදා එහි යන විටය.නයනතාරා මානවීට කෝප්පය දුන්නාය.මානවී වීරප්පෙරුම ට සුප් කෝප්පය පොවන්නට උත්සාහ කළාය.

‘මගේ මිණිබිරි බලෙන් පොවනවා. මානවී. මට තනියම බොන්න ඇහැකි’

ඔහු සිනාසෙන්නට උත්සාහ කළේය.

‘මගේ දුවට එහෙ වැඩලු.ඉතින් එයා අද ගියානේ.කමක් නෑ මිනිබිරී හිටිය නේ’

වීරප්පෙරුම පශ්චත්තාප වන්නේ යැයි මානවී ට සිතිණ.තනිකම යනු ජීවිතය වෙලා ගන්නා වඩා බිහිසුණු රකුසෙකුය.

‘ඔයා ප්‍රසන්ට් කරන ප්‍රෝගෑම් එක මම බැලුවා. සීයා තමා කිව්වේ’

නයනතාරා පැවසුවේ හදිසියේ මතක් වූ ආකාරයෙනි. මානවී ගේ සිතට ආඩම්බරයක් ඉපැදිණි. වෙනදාට වඩා බොහෝ වේලාවක් වීරප්පෙරුම කතා කරන්නට පටන් ගත්තේය. සිය මිණිබිරියට බොහෝ දේ කියා දෙන්නට ඔහුට ඇවැසි වුණ හැඩයි. වීරප්පෙරුම ගේ කතා රසවත්ය. මානවීට සිහිපත් වූයේ අත්තාය. කුඩා කල අත්තා ද තමාට බෙහෙවින් මෙබඳු කතා කියාපෑවේය. නයනතාරාට සිය උගත් මුත්තනුවන්ගෙන් කතා අසන්නට ඉඩ ලැබෙනුයේ දැන්ය. රැය බෝ වෙමින් තිබිණ. වීරප්පෙරුමට විවේකයක් ඇවැසිය. මානවී එබැවින් නැගිට යන්නට සැරසුණාය. විදුලි කොටන අයුරු ජනේලයෙන් එපිට දිස්විණ.

‘අද වහිනවා කිව්වා’

වීරප්පෙරුම පැවසුවේ පරිස්සම් වන්නට යැයි නොකියා කියමිනි.

‘මාත් යනවා. සීයා.’

‘මානවී ඔයා ආවේ කොහොමද ?’

නයනතාරා ඇසුවාය.

‘කාර් එකෙන්’

‘මට ඩ්‍රොප් එකක් දෙතෑකි ද?’

නයනතාරා කොළඹ තරු හෝටලයක නමක් පැවසුවාය. මානවී සිනහ වී ඇයට එකඟතාවය පළ කළාය. ඔවුන් රථ ගාලෙන් මහ පාරට වදින විටම මහ හඬින් අකුණක් පුපුරා ගියේය.

මානවී රථය හරවන්නට ගියේ නයනතාරා නවාතැන් ගෙන සිටි හෝටලය පැත්තටය.

‘නැහැ මට ආසයි සීයා ගේ ගෙදරට යන්න’

නයනතාරා සියල්ල දැන ගෙන ඇත්තීය. සඟවන්නට තරම් ජීවිතයක් තමන්ට නැත. මුහුණ දිය යුතු වග මානවීට වැටහිණ. එබැවින් ඇය නයනතාරා ගේ ඉල්ලීමට කන් දුන්නාය.

නිවසට ගිය නයනතාරා මොහොතක් නිහඬව බලා උන්නේ ගෙයි බිත්තිය සැරසූ තම රුව දෙසය.

‘සර් ඔය පින්තූර ට බොහොම කැමතියි.’

මානවී බැල්කනිය වෙතට ගමන් කළාය.කොළඹම වැස්සෙන් තෙමෙන්නට පටන් ගත්තේ මේ ටික වේලාවටය.

‘අද මම මෙහෙ ඉන්නවා’

නයනතාරා පැවසුවාය.

‘ඉන්න මම මොනව හරි කන්න හදන්නම්’

‘ඉන්න මාත් එන්නම්’

ජීවිතය දෙයාකාරයකින් විඳී යුවතියන් දෙදෙනෙකුට සිය ජීවිත බෙදා ගන්නට ඇවැසි ව තිබිණ. එහෙත් දෙදෙනාම එකිනෙකාට හොර ගල් අහුලමින් සිටියහ. අන්තිමට නයනතාරා ම කතාව පටන් ගත්තාය.

‘මට අපේ සීයාව තේරුම් ගන්න පුළුවන්.ඒත් අපේ අප්පච්චිටත් නැන්දටත් කවදාවත් ඒක තේරුම් ගන්න කැමැති නෑ. ඒ අය ඔක්කොම ඇමරිකන් ස්ටයිල් කොපි කළත් අන්තිමට හිතන්නේ අපේ රටේ විදියට’

නයනතාරා පැවසුවාය.

‘ඇයි තාරා එහෙම හිතන්නේ. ඒක තමා සම්ප්‍රදාය’

‘ලංකාවේ සිරිත නම් අම්මා තාත්තා ළග ඉන්න ඕන නේද? හැබැයි ඒ අය එහාට වෙලා ඉඳලා කවුරු හරි ළං වුනොත් විතරක් ඒ ගැන කම්පා වෙනවා’

‘ඒ ඇයි?’

‘ඒකට සීයා කියන්නේ තණ්හාව කියලා’

නයනතාරා මහ හඬින් සිනාසුනාය.

‘මට මේ දේවල් මොකුත් එපා’

මානවී එවර පැවසුවේ තරමක වේගයකිනි.නයනතාරා ඇගේ විලාසය වෙනස් කළාය. ඇය බැල්කනියේ වසා තිබුණ දොර විවර කළාය. සීතල සුළඟ සමග වැසි ජලය ගෙතුළට ආවේය. මානවී ගියේ එය වසා දමන්නටය.

‘ඔයා ව තේරුම් ගන්න මට පුළුවන් මානවී. ඔයා අපි කරන්න ඕන දෙයක් ඔයා කළා.මගේ සීයා ට අපේ ආච්චි විතරක් නෙවෙයි හිටියේ.හැබැයි එයා ජීවිතේ විඳීනවා.විදවනවා නෙවේ.එයා හරි සුන්දර මනුෂ්‍යයෙක්.’

‘නැහැ. තාරා ඒ ඔයාට පේන විධිය. ඔයා හිතන විධියට තමා අපි හම්බු වෙන්නේ. මට හංගන්න ඕන නෑ. හැබැයි එයා පස්සෙන් පහු මා ගැන කම්පා වුනා. සර් මට ආදරේ කළේ ඔයා වගේ කියලා හිතලා.ඔයා ගේ නැන්දා වගේ හිතලා. මම තමයි ඒ නැති වෙච්ච ජීවිතේ ගෙනත් දුන්නේ’

අකුණක් පුපුරනු ඇය දුටුවාය.මහ වැස්සේ කදුළු නොපෙනෙනතුරු හඬන්නට ඇයට වුවමනා විය. සියල්ල අනාවරණය කොට හමාරය. තඩා වැටුණ වැස්ස ඇය තෙත බරියම් කරන්නට පටන් ගත්තේ නිමේශයකිනි. නයනතාරා වහා දිව ඇවිත් වැළඳ හිස සිප ගන්නා තුරුම මානවී හැඬුවාය. අනතුරුව යුවතියන් දෙදෙනාම වැස්සේ රිසි ලෙස තෙමෙන්නට විය.

අවසාන කොටස ලබන සතියේ...