|
සාවද්‍ය තොරතුරු ගැන කනගාටුයි
‘පරසතු මල්’ චිත්‍රපටයට වසර පනහක් පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් 22 දින සරසවිය සිනමා පුවත්පතේ පළ වී තිබීම සිනමා කලාව වෙත දැක් වූ ගෞරවයක් සේ අගය කරමි. එහෙත් සමස්තයක් සේ ගත් කළ එහි වූ තොරතුරුවලින් ගම්‍ය වන්නේ සිනමා සිත්තමේ අනගිභාවයට වඩා නිෂ්පාදක යයි කියන චිත්‍ර බාලසුරිය මහතාගේ වර්ණනාව වීම ප්‍රමාණවත් නොවන නිසා ඊට ඌනපූර්ණයක් එකතු කිරීමට අදහස් කළෙමි. ලාංකේය සිනමා වංශ කථාවේ හැටේ දශකයේදී එක්වන ‘පරසතු මල්’ පොදු මහත් සිනමා ලෝලීන් අතර අමතක නොවන සටහනක් තැබූ චිත්‍රපටයකි. චිත්‍රපටයක ආදායම් වාර්තා ගැන සලකා බලනවාටත් වඩා එහි වූ සෞන්දර්යාත්මක තොරතුරු සාහිත්‍යාත්මක වටිනාකම්, සමාජ තොරතුරු හා ඓතිහාසික තොරතුරු වැනි අංග ගැන ද සාකච්ඡා කිරීම අවුරුදු පනහක් සම්පූර්ණ වූ තැනදී සලකා බැලීම අගය කළ යුතු වෙයි. වර්තමානයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා සිසු සිසුවියන් සිනමාකරණය හා ජනසන්නිවේදනය ගැන හැටේ දශකය, හැත්තෑවේ දශකය හා අසූව දශකයන්ගේ සිනමා තොරතුරු ඒ ඒ අයගේ නිබන්ධනයන් ලිවීම සඳහා කරුණු සෙවීමට මා හමුවීමට ද පැමිණෙති. එබැවින් පරසතු මල් චිත්‍රපටය ගැන වකවානුව හා බොහෝ තොරතුරු සුලමුල මම හොඳින්ම දන්නෙමි. මෙවැනි අවස්ථාවක චිත්‍ර බාලසූරිය මහතා පුවත්පතට ලිපි ලියූ ලේඛකයන්ට සාවද්‍ය තෙරතුරු සැපයීම ගැන කනගාටුවෙමි. ඒ මන්ද නූතන යුගයේ සිනමාව ගැන උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයින් මෙන්ම විචාරකයින්ද අපේ සිනමා නළු නිළියන් හා කාර්මික ශිල්පීන් ගැන වැරදි ආකල්ප ඇති කර ගැනීම වැලැක්වීම සඳහාය. පරසතු මල් අපි අගය කරන ලාංකික ගැමි සුවඳ රැගත් සමබර සිනමා සිත්තමක් යයි මම අදහස් කරමි. එය වටිනා ශිල්පීන් මඬුල්ලකගේ අවංක වූ නිර්මාණයක ප්‍රතිඵලයකි. ඒ කිසිවෙකුත් මුදල් පසුපස ගිය පිරිසක් නොවීය. එය ඒ යුගයේ සමාජ තොරතුරකි. නිෂ්පාදකයින්ට ද එය ආශිර්වාදයක් වන්නට ඇතැයි දැන් මට සිතිය හැක. පරසතු මල් කථාව ලියූ පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතා හොඳ ගැමියෙකි. ඔහු ගුරුවරයෙකු හා කවියෙකු ද වූ අතර ගම්බද තොරතුරු මහත් වූ රසයෙන් කථා කරන රසවතෙකි. ගම්බද සිද්ධීන් හා කුදු මහත් චරිත සිරිත් විරිත් කැටි කොට ඉතා රසවත්ව පරසතු මල් සිනමා කථාව ගොනුකර තිබුණි. එහි වූ දෙබස් ගැමි වහර නොසිඳා ව්‍යංග්‍යාර්ථයෙන් විහිළුව සමග ගැටෙන කැපෙන භාවයන්ගෙන් යුතුව රසවත් අයුරින්, ඒ ඒ චරිතයන්ට උච්චාරණය කළ හැකි පරිදි නළුවා සහ නිළිය අතර අධ්‍යයනයක් කර පෙළගස්වා සකස් කර තිබුණි. මෙහි ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා මහතා බොනී මහතාගේ චරිතය ඉතා උත්කෘෂ්ට රංගන කුසලතාවයකින් පූර්ණව රඟ දැක්වීය. සිනමා චක්‍රවර්ති නම් නාමයෙන් හඳුන්වන ගාමිණී ෆොන්සේකා මහතාගේ රූප ශෝභාව හා රංගන කුසලතාවය අබිබවා යාමට මෙතෙක් නළුවෙකු බිහි නොවුණා සේය. පරසතු මල් අධ්‍යක්ෂණය කළ ඔහු රඟපෑමත් අධ්‍යක්ෂණයත් එකවර කිරීම ලේසි පහසු කෙනෙකුට කළ හැකි දෙයක් නොවේ. චිත්‍රපටයේ නාට්‍යාත්මක අවස්ථාවක් ගොඩ නැඟීම හා මෙහෙය වීම ආදී සෑම අංශයක්ම පෙර දිනයක දුටු අත්දැකීම් ඇත්තෙකු සේ එතුමා ගොඩ නඟිමින් දායක වන සියලු දෙනාම සතුටින් හා තෘප්තියෙන් තබා ගැනීමටත් සිනමාවේ ගෞරවය හා විනය ආරක්ෂා කිරීමටත් එතුමා සමත් විය. පරසතු මල් රූගත කළ කැමරා අධ්‍යයක්ෂ සුමිත්ත අමරසිංහ මහතා මෙම චිත්‍රපටයේ අති විශේෂිත බරක් ඉසිලූ වටිනා ශිල්පියෙකි. ඔහුගේ විශිෂ්ටභාවය සෑම රූප රාමුවෙන් රාමුවටම පෙන්නුම් කරයි. සුමිත්ත අමරසිංහයන් ලංකාවේ එදා මෙදාතුර උපන් ආලෝකය හා කැමරාකරණය එකසේ උසස්ම අයුරින් මෙහෙයවීමට හපන්කම් දැක් වූ එකම කැමරා අධ්‍යක්ෂවරයාය. එතුමා අප සැමට ගුරුවරයෙකි. පරසතු මල් සංස්කාරකවරයා ලංකාවේ ඉළින්ම කුසලතා දැක් වූ ටයිටස් තොටවත්ත ශූරින්ය. ප්‍රධාන නිළිය වූ පුණ්‍යා හීන්දෙනිය මහත්මිය ගමේ උපන් ගමේ සංකේතයක් වැනි වූ රූප ශෝභාවක් ඇති එකල රටේ උසස්ම තැන දිනූ නිළියයි. අනුලා කරුණාතිලක මහත්මිය සුකුමාර තරුණ නිළිය වූවාය. ටෝනි රණසිංහ මහතා තාරුණ්‍යයේ හිනිපෙත්තේ සිටි චාම් පෙනුම ඇති දක්ෂ නළුවා විය. ජෝ අබේවික්‍රම. ඩී. ආර්. නානායක්කාර වැනි ජ්‍යෙෂ්ඨ නළුවන් පරසතු මල් ආලෝකමත් කළේය. කමලාගේ තාත්තා මෙන් රඟපෑ ඇස්. ඒ. ජේමිස් මහතා ගැමි සිංහල බෞද්ධ පියාගේ චරිතයට පණ දුන්නේය. සිරිමතී රසාදරී වලව්වේ මෙහෙකාරියකගේ අකීකරු පරිත්‍යාගශීලී චරිතයට බැතිබරවම පණ දුන්නාය. (මට මතක් වෙනවා ඇගේ දෙබසක්) ‘මහත්තයා ඉන්න තැන මට කවදත් නිදිමත නැනේ’. මේ අතර විජේරත්න වරකාගොඩ, ධර්මදාස කුරුප්පු, ෂෙල්ටන් පෙරේරා (ගායක) ඩී. ඒ. බාලසූරිය, ශාන්ති ලේඛා, චිත්‍රා වාකිස්ට, නෙල්සන් කරුණාගම යන රංගධරයන් හා නිහඬව අගනා සටහනක් තැබූ ගම්පහ අග්‍රා නිවාසය ගනේමුල්ලේ ජයකොඩි වලව්ව මේ සියලු දෙනාගේම පරිත්‍යාගශිලී සුසංයෝගයෙන් පරසතු මල් නම් වූ සිනමා සිත්තම ප්‍රේක්ෂක සැම දෙනාගේම මතකයේ සටහනක් බවට පත් කළේය. මේ සියල්ල අතරතුර චිත්‍ර බාලසූරිය මහතා සාවධ්‍ය තොරතුරු පුවත්පතකට ලිපි ලියු ලේඛකයින්ට සපයාදීම ගැන කණගාටු වෙමි. සරසවිය සිනමා පුවත්පතේ පළ කර තිබූ ගාමිණී ෆොන්සේකා මහතාට බාලසූරිය මහතා ගෙයක් අරන් දුන්නා යයි කීම බොරුවකි. සිරිමල් උයනේ ගාමිණී මහතා ගෙයක් ගත්තේ ඊට බොහෝ පෙරදීය. ඒ ගාමිණීගේ මුදල්වලිනි. පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතාට කාර් එකක් අරන් දුන්නේ යයි කීමද බොරුවකි. සෙනෙවිරත්න මහතා ඔහුගේ කලින් තිබූ රෙනෝල්ට් කාර් එක නන්දා මෝටර්ස් වෙත බාර දී ඕපල් රෙකාඩ් 1 ශ්‍රී 4466 කාර් එක ඔහු ගත්තේ මුදල් හුවමාරුවකිනි. පුණ්‍යා හීන්දෙනියට අපහාසයක් කර තිබීම නොකළ යුත්තකි. මේ ලිපිය ලියන දා වෙනත් පුවත්පතක පළ වූ පරසතු මල් චිත්‍රපටයේ කළා අධ්‍යක්ෂ හා සහාය අධ්‍යක්ෂ වන ධර්මසේන හේමපාල ද මියගොස් ඇති බව වැරදි තොරතුරකි. මෙසේ මා සඳහන් කළේ චිත්‍ර බාලසූරිය මහතා පළකර තිබූ සාවධ්‍ය තොරතුරු කීපයක් පමණි. ඔහු බොරුවක් කීමට නොහැකි පුද්ගලයෙකු බව දන්නා බොහෝ පාඨකයන් මේ සියල්ලටම සමාව දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
|