වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




විශිෂ්ට සිනමාකරුවකුගේ සමුගැනීම

විශිෂ්ට සිනමාකරුවකුගේ සමුගැනීම

පෝ ල් කො ක් ස්

සම්මානනීය ඕස්ට්‍රේලියානු සිනමාකරු පෝල් කොක්ස් (1940 - 2016) ජූනි 19 වැනිදා ජීවිතයෙන් සදහටම සමුගත්තේය. ඔහුගේ 'ISLAND' ' (1989) චිත්‍රපටයට ප්‍රවීණ සිනමා නිළි අනෝජා වීරසිංහ රංගනයෙන් ද, ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස් සංගීතයෙන් ද දායක වූහ. පෝල් කොක්ස් මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ භාග්‍යය මට ලැබිණ. 1989 ජූනි 15 වැනිදා එය සරසවිය පුවත්පතේ මුල්වරට පළ විය. වසර 27 කට පසුව ඒ ලිපිය යළිත් මෙහි පළ වනුයේ ඔහුට උපහාරයක් වශයෙනි. ඒ සුළු සංශෝධන කිහිපයක් සහිතවය.

අනෝජා වීරසිංහ රජත මයුර සම්මානයෙන් පුද ලැබීමෙන් අනතුරුව ඇය පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගත් සිනමා කරුවන් අතරින් පෝල් කොක්ස්  (PAUL COX) නම් ඕස්ට්‍රේලියානු සිනමාකරු ඇය සිය චිත්‍රපටයට දායක කර ගැනීමට පවා යුහුසුලු විය. ඕස්ට්‍රේලියානු සිනමා නවරැල්ල වූ කලී නව සංස්කෘතික ප්‍රවාහයක් විග්‍රහ කරමින් නව රසාස්වාදයක් හෙළිදරව් කරන සිනමා ආවේගයක් බව වත්මන් ලෝකයේ බොහෝ ප්‍රේක්ෂකයෝ දනිති.

මෙරට තිරගත කළ ඕස්ට්‍රේලියානු ච්ත්‍රපට බොහොමයක් හොලිවුඩ් සිනමාව හා ආශ්‍රිතව තැනූ ඒවා බැවින් (මෑඩ් මැක්ස්, ක්‍රොකඩයිල් ඩන්ඩි, රිබෙල්) එහි පැන නැඟුණ නවරැල්ල දැක ගැනීමට මෙරට ප්‍රේක්ෂකයන්ට නොහැකි වී ඇත. පොල් කොක්ස් වූ කලී මෙම නව රැල්ලේ පුරෝගාමියෙකු වෙයි. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු හා විශේෂ සංවාදයකට එළැඹීමට අමෝජා වීරසිංහගේ නිවසේදී මෙරට ජනමාධ්‍ය ශිල්පීන්ට අවස්ථාව ලැබිණි. ජනමාධ්‍ය විශාරද එඩ්වින් ආරියදාස මහතාගේ සුවිශේෂ සහයෙන් පැවති මෙම හමුවට පුවත්පත් කලාවේදින්ට අමතරව සිනමා, රූපවාහිනී හා වේදිකා ශිල්පීන් රැසක් ද සහභාගි වූහ.

කලාකරුවන් සිනමාව සිය මාධ්‍යය කොට ගැනීමට හේතුභූත වූ කරුණු රැසක් ඇති අතර ඒවා එකිනෙකට වෙනස් ගැටලු ගෙන දෙන පිළිතුරු විය හැක. එහෙත් මා චිත්‍රපට හදන්නේ සමාජය කෙරෙහි ඇති ද්වේශය හේතුවෙනි. කෙනෙක් අනිකාගෙන් වෙනස් වන මානුෂීය ගති ලක්ෂණ කවරේද? පුද්ගලිකත්වය යනු කෙබන්දක් ද යන්න සාහිත්‍ය රසාස්වාදයක ගැබ්වෙන අයුරින් විග්‍රහ කිරිම මගේ සිනමාවේ අරමුණයි. මේ සෑම කෘතියකදීම මගේ සිනමා ඥානය පුළුල් කර ගැන්මද මගේ එක් ආසාවකි.

විත්ති චිත්‍රපට

මුල් යුගයේ මා තැනූ ඇතැම් විත්ති චිත්‍රපට (DOCUMENTARY)  බොහොමයක් බොහෝ දෙනා බලන්නට බලාපොරොත්තු වූවා නොවීය. ඒවා බොහොමයක් නිෂ්පාදනයෙන් අනතුරුව රාක්කවල දමා ආරක්ෂා කර තැබුවා විනා වෙනත් සෙතක් නම් වූයේ නැත. ඒවා දුටුවේ ද අතළොස්සකි. එහෙත් එම අතළොස්සගේ විවේචනාත්මක ප්‍රතිචාර ඉතා තියුණු ඒවා විය. මේ මතවාදයන් මා නිරන්තර සංවාදයක යෙදීමට හැකිවීම නිසා මගේ ප්‍රථම වෘත්තාන්තය සිනමාකරණය ඉක්මන් විය. එය එක රටක් අතහැර වෙනත් රටකට සංක්‍රමණය වූ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ වෘත්තාන්තයක් විය. ඔවුන් නවීන දිවි පෙවෙතක රිද්මය ලබා ගැනීමට බැරි වූ දෙදෙනකුගේ කතාවකි. කෙනෙකු සිය නිර්මාණකරණය සඳහා තම පුද්ගල අත්දැකීම් යොදා ගන්නා තරමට එය සාර්ථක වේ යැයි හඟිනු ලැබේ. මා විසින් මෙම 'හුදකලා හදවත' LONELY HEART)  නිර්මාණය කරනු ලැබුවේ මගේ ද ජීවන අත්දැකීම් පාදක කොට ගෙනය. වර්තමාන සිනමාවේ බොහෝ වරට ඇත්තේ ස්වභාවික වීරයන් එලෙසින් මිනිසුන් හමුවට පත් කිරීම නොවේ. සිනමා විරයන් ප්‍රතික්ෂේප කළ මට ඇවැසි වූයේ සැබෑ දිවියේ එදිනෙදා හමුවන මිනිසුන් විරයන් ලෙස දකින්නටත් ඔවුන් වීරයන් කොට චිත්‍රපට තනන්නටත්ය. මේ කැපවීම එක් අතකින් මගේ පවුලේ අඹු දරුවන්ගේ අවශ්‍යතා ගැන නොසලකා නොඑසේ නම් ඔවුන් උගස් කොට කළ යුතු කාර්යයක් විය. එහෙත් වාසනාවකට මෙන් මේ අවස්ථාවේ ප්‍රවීණ නළුවන් දෙදෙනකුගේ සහාය මට ලැබිණ. එමෙන්ම ඉතාම ධනවත් පිරිසකගේ සහාය ද එයට ලැබිණි. එහෙත් නිෂ්පාදන සමාගම් මේ කෘතිය පිළිබඳව දැක්වූවේ අප්‍රමාණ භීතියකි.

ස්වාධීන නිෂ්පාදන

ඔවුහු එය ප්‍රදර්ශනය කිරීම ප්‍රතික්ෂේප කළහ. අනතුරුව ඔවුන්ගෙ චිත්‍රපට ආයතනයක එය තැන්පත් කෙරිණි. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව බඳු රටක ස්වාධීන නිෂ්පාදන හා ඇති ප්‍රබලම ගැටලුව වනුයේ මෙම සමාගම්වල ඇති ආධිපත්‍ය ස්වභාවයයි. ප්‍රබල ලෙස ස්වාධීන කලාවක් ලෙස සිනමාව ගොඩ නැඟීමෙහිලා ඇති බාධක ද එයයි. එහෙත් නිෂ්පාදන සමාගම් කෙලෙස තීරණය කළ ද මගේ මුළු අධ්‍යාත්මයෙන්ම හිතාගත් කාරණයක් වූයේ 'කෘති සාර්ථක හෝ අසාර්ථක වේවා මට හොඳ නිසා මම එය කෙරුවෙම්' යන්නය. එම මතය මත පිහිටි මම චිත්‍රපටය සඟවා තිබූ ආයතනයේ නිලධාරියකුට අල්ලසක් දී එය සොරකම් කොට සිනමා සම්මාන උළෙලක් වෙත යැවුවෙමි. ජනප්‍රිය චිත්‍රපට 50 ක් පමණ පරදවා එය එම වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.

එදා මගේ චින්තනය බොහෝ දුරට වෙනස් වූවා යයි හඟිමි. එය මා සිනමාව කෙරෙහි වඩාත්ම කැප කළ අවස්ථාව විය. එපමණක් ද නොව ඉක්බිති මා හැදූ සෑම චිත්‍රපටයක්ම කාගෙත් සැලකිල්ලටත් ගෞරවයටත් පාත්‍ර විණි. ආදායම් අතින් ද සාර්ථක විණි.

උදාහරණය

හොලිවුඩ් සංකල්පය අනුව චිත්‍රපට ප්‍රේක්ෂකයෝ සිතන්නේ එය විනෝදාස්වාද මාර්ගයක් ලෙසය. මම එය එක හෙළාම ප්‍රතික්ෂේප කරමි. ප්‍රේක්ෂකයෝ බහුලව අනුමත කරන්නේ පුද්ගලික මට්ටමෙන් තමන්ගේ සන්තානයට අත පෙවීමක් චිත්‍රපටයෙන් සිදු වෙනවා නම්ය. මේ පිළිබඳව හොඳම උදහරණය වින්සන්ට් වැන්ඩ්හොට් ගේ ජීවිතය හා මරණය නම් මා තැනූ චිත්‍රපටයයි. පැරිසියේ වාසය තිත්ත වී හයිටි දිවයින බලා ගිය සුප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ වැන්ඩ්හොට් ගේ චිත්‍ර ප්‍රදර්ශනය කළ හැකි තත්ත්වයක වෙතැයි බොහෝ දෙනා සිතුවේ නැත. ඔහු පැරීසිය අතහැර ගියේ නව සංස්කෘතියට පිටුපා යන ආකාරයෙනි. මේ චිත්‍රපටය තැනුවාට පසු බොහෝ දෙනා තීරණය කළේ ද වැන්ඩ්හොට්ගේ චිත්‍ර මෙන්ම මෙය ද ප්‍රදර්ශනය කළ නොහැකි බවය. ඉතාම දුෂ්කර අවස්ථා කිහිපයකින් පසු ඉතා විශාල මුදලක් ණයට ගෙන මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹණි. එහෙත් එය ඇමරිකාවේ පමණක් වසරකට වැඩි කාලයක් ප්‍රදර්ශනය වී විශාල ආදායමක් ලැබුවේය. පුද්ගල රසාස්වාදනයට සූදානම් වූ ප්‍රේක්ෂකයන් එරට පවා කොපමණ ඇත්දැයි එම චිත්‍රපටය හෙළිදරව් කළේය.

සිනමා කෘතියක් යනු හුදෙක් තමන්ගේ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය ගැන සිතා තැනිය යුතු දෙයක් නොවේ. චිත්‍රපට මාධ්‍යය වූ කලී මුළු ලෝකයම එක්සත් කරන සෑම ජාතිකයකුම පොදු ආශ්වාදයකින් බැඳලිය හැකි රැහැනක් වැන්න. අධ්‍යක්ෂවරයකු ලබන ලොකුම ලාභය වනුයේ මිනිසත් බව අනුනට අවබෝධ කරදී තමාට ද අවබෝධ කරදීමයි. චිත්‍රපටය වූ කලී නිල තානාපතිවරයකුට වඩ රාජ්‍ය එක්සත් කරන රාජ දූතයෙක් බඳුය.

සිනමා කෘති ඉන්දියාව හෝ හොලිවුඩ් පුරය හෝ අනුකරණ කළ යුතු යැයි මම නොකියමි. තම රටේ විත්ති බාහිර ලෝකයට පැවසීමට අවශ්‍ය නම් හොඳම මාධ්‍යය වනුයේද සිනමාවයි. එය තමන්ට තම තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් ලබා දෙනු ඇත.

හොලිවුඩ් පුරය

කාන්තා චරිත පිළිබඳ විශේෂ හැඟීමක්, නැතහොත් සානුකම්පිත බවක් මා තුළ ඇත. මගේ 'ප්‍රථම බිරිඳ' (FIRST WIFE) නම් චිත්‍රපටය හයිද්‍රාබාද්හි ප්‍රදර්ශනය වෙද්දි එහි කාන්තාවන් එම කතාව පිළිබඳව කෙතරම් තෘප්තියට පත් වී ද යනු ඔවුන් වරින් වර දුරකථනයෙන් කතා කොට තම ජිවිත ගැටලුවලට එමඟින් ලත් ආලෝකය කවරේ ද යන්න මට පැහැදිලි කිරීමෙන් තහවරු වේ.

කාන්තාවක් වඩාත් ස්වභාව ධර්මය ළඟ බව ප්‍රකට සත්‍යයකි. එම ස්වභාව ධර්මය ආශ්වාදයෙහිලා පුරුෂයකුට වරප්‍රසාදයක් වනුයේද කාන්තාවයි. එමෙන්ම ප්‍රේමය, ආදරය, කරුණාව වනි හැඟීම් ප්‍රකාශ කරලීමට වඩ හොඳ ප්‍රකාශකයන් වනුයේ ද කාන්තාවන්ය. එහෙත් සමාජික සම්ප්‍රදායන් හේතු කොට ගෙන කාන්තාවන්ගේ අදහස් - උදහස් ප්‍රකාශ කිරීම එක් සීමාවකට කොටු වි ඇත. සිනමා කෘතියකදී මා චරිත නිර්මාණය කරන්නේ එක් එක් මුහුණු සිත්හි මවාගෙනය. අනෝජා විරසිංහට 'දිවයින' (THE ISLAND) නම් චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාවක් ලබාදීම සඳහාම මම එහි තිර නාටකය සැකසූවෙමි.

දි අයිලන්ඩ්

වර්තමාන ලෝක සිනමාවේ ප්‍රවාහයන් ගැන කලකිරුණු සිතින් කටයුතු කරන මට 'දි අයිලන්ඩ්' අනෙක් නිළියන් වූ අයිරින් පාපා ගේ ද අදහස් සමඟ මුසුවීමට හැකි විය. ලෝ පසිඳු නිළියක වූ ඈ තුළ වූයේ මෙම කලකිරිමය. එහෙත් මේ චිත්‍රපටයේ ඇති ප්‍රබලම හා විශිෂ්ටතම රංගනය ගෙන එනුයේ අනෝජා වීරසිංහයි.

මිනිස් දිවිය දෙවෝපගත එකකැයිද එය ඉරණම මඟින් පාලනය කරනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරමි. ඉරණම විසින් මිනිසාට විවිධ මං පෙත් සාදා දෙනු ලබයි. ඒ මං පෙත් නිසා සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මනුෂ්‍යයා විසින් සාදා ගනු ලබයි. වත්මනෙහි මම එක මඟෙක යන්නෙමි. අවශ්‍යතාවයක් තිබේ නම් ඕනෑම මොහොතක හොලිවුඩ් හි අධ්‍යක්ෂවරයකු වන්නට මට බැරිකමත් නැත. ඒ සඳහා ආරාධනා ද ඇත. එහෙත් මගේ දෛවය ඇත්තේ හොලිවුඩ් පුරයේ නොවේ යැයි මට හැඟේ. මරණ මංචකයේදී වහලය දෙස බලා සිටින විට මා මෙපමණ ධනයක් රැස් කළේය යන තෘප්තිය පමණක් ලැබීමේ අදහසක් මා තුළ නොමැත.