|
|
එකම දිනයේ නළු නිළියන් 185 ක් මේකප් කළා
සමීර මධු කිඳෙල්පිටිය
සමිර, මා දන්නා පරිදි ඔබේ සැබෑ නමෙහි කිඳෙල්පිටිය කියලා කොටසක් නැහැ. ඔබේ ගම තමයි කිඳෙල්පිටිය? ඔව්. ක්ෂේත්‍රයට ආව මුල් කාලේ මම භාවිත කළේ සමිර මධු කියන නම. එක්තරා දිනක චන්න පෙරේරාත් එක්ක මට යන්න සිදු වුණා අරීසෙන් අහුබුදු සූරීන්ගේ ගෙදර. එහිදී එතුමා මාත් එක්ක කතා කර කර ඉඳලා දිගටම මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ආස ද කියලා ඇහැව්වා. මම ඔව් කියපුවම එතුමා මගේ ලිපිනය ඇතුළු වැඩි විස්තර අහලා නමට කිඳෙල්පිටිය කියන කෑල්ල දැම්මා. ඊට පසුව මගේ නමට යම් දෙයක් එකතු වුණා කියලා දැනුණා. ඒ වගේම ආස හිතුණා. ක්ෂේත්‍රයේ මාව වැඩි දෙනෙකු හඳුන ගත්තේ සහ මාව ඉදිරියටම ගියේ ඒ නමින්. සමිර කොහොමද ක්ෂේත්‍රයට පිවිසෙන්නේ? පාසල් යන කාලේ ඉඳලා යම් කැමැත්තක් තිබුණා මේකප්වලට. පහේ පන්තියේ ඉන්න කොට මං ගුටි කාලත් තියෙනවා ළමයින්ගේ මුහුණුවල පෑනෙන් ලස්සන කරලා. පන්ති බාර සර් අපේ අම්මාව පාසලට ගෙන්වලා කියනවා 'අනෙක් ළමයි පොත්වල ලියද්දී සමීර ලියන්නේ ළමයින්ගේ මුහුණුවල කියලා'. මේවා ගැන කියද්දී අම්මා දැනගෙන හිටියා මං මේකප්වලට යම් කැමැත්තක් තියෙනවා කියලා. කෙසේ වෙතත් අපේ ගෙදර යම් සිදුවීමක් වුණා. අන්න එදා ඉඳලා තමයි මං අංග රචනා ශිල්පියකු වෙනවා කියලා දැඩිව හිතා ගත්තේ. ඒ ගැන කියමු බලන්න? මගේ අක්කගේ වෙඩින් එක දවසේ ඇයව සරසවන්න හිටපු කෙනා ආවේ හුඟක් පරක්කු වෙලා. එහෙම ඇවිත් දඩි බිඩි ගාලා එහෙන් මෙහෙන් අපේ අක්කව හැඩගන්වලා යන්න ගියා. අක්කා හොඳටම ඇඬුවා එදා. මොකද මංගල දින මනාලියක් විදිහට හරි ලස්සනට සැරසී සිටීම තරුණියකගේ දැඩි හීනයක්නේ. නමුත් අක්කට තමන්ට ඕනෑ විදියට ලස්සනට ෆොටෝ එකකටවත් ඉන්න ලැබුණේ නැහැ. අන්තිමේ මම තීරණය කළා වෘත්තීමය අංග රචනා ශිල්පියකු වෙනවා කියලා. එදා ඉඳලා මේ වන තෙක් අපේ නැදෑ පවුල්වල විවාහ වුණු අයව සැරසුවේ මම. ඔබ අංග රචනය පිළිබඳ විධිමත් හැදෑරීමක් කරන්නට ඇති? ඔව්. සරසවිය පුවත්පතහි තිබුණු පුවතකට අනුව අම්මා මාව යොමු කළා ඊබට් විජේසිංහ මහත්මයාගේ වැඩමුළුවකට. එහිදී මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අනතුරුව නාට්‍ය කිහිපයකටම සහාය ශිල්පියකු විදිහට වැඩ කරන්න ලැබුණා. ප්‍රියන්ත පතිරගේ ගේ පෝය නාට්‍යකයි මං මුලින්ම තනියම මේකප් දැම්මේ. ඊට පසුව දිගු නාට්‍යයකට මට මුලින්ම ඇරැයුම් කරන්නේ චන්න අයියා. ඒ ඔහුගේ පුංචි වීරයෝ නාට්‍යය. ඩොනල්ඩ් ජයන්ත තමයි මාව චන්න අයියට හඳුන්වා දුන්නේ. ඊට පසුව ඔබ දායක වූ නිර්මාණ මොනවද තියෙන්නේ? වස්සානේ හිරු ඇවිදින්, සඳ දිය අරණ, මැණික් මාලිගා, පාට වීදුරු, රෝද හතරේ මනමාලයා ඇතුළු නාට්‍ය ගණනාවක මං වැඩ කළා. චිත්‍රපට ගත්තොත් සමාරා, ආදරයේ නාමයෙන්, කුස පබා, මහරජ අජාසත්, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ, පුණ්‍ය භූමි වන්දනා, තානාපතිලාගේ ගෙදර, සරිගමපා, ආදරයට ආදරෙන්, කල්පාන්තේ සිහිනයක් සහ පත්තිනි.
පූජා යම් නිර්මාණයක රඟපානවා නම් එහි අංග රචනා කටයුතු සඳහා මාව ඉල්ලනවා. ඇය ඉන්දියාවේ තමන්ගේ මේකප් ආර්ටිස්ව පවා මෙහෙට ගෙනාවේ නැහැ. ඒ මං ඇයව හැඩගන්වනවා දැකලා. මෙහිදීත් ඇය බල කරලා නෙවෙයි ඉල්ලීමක් කරලා තියෙනවා මාව ගන්න කියලා. නමුත් කෙනෙකු කිව්ව පමණින් මාව ඒකට ගන්න තරම් එහි අධ්‍යක්ෂ සුනිල් සර් කටයුතු කරන්නේ නැහැනෙ. ඔහුත් එක්ක මං කලින් කුස පබා එකේ වැඩ කළා. එහි මං පූජාට පමණයි මේකප් දැම්මේ. සුනිල් සර් මං ගැන දැනගෙන හිටියා. අනික පත්තිනි නරඹපු ගොඩක් අය කිව්වා පූජාට වැඩිය අරුණි ලස්සනට ඉන්නවලු චිත්‍රපටයේ. ඒ මං හැමෝටම සාධාරණයක් කළ නිසා. එහෙනම් මට තිබුණනෙ පූජාවම විතරක් ලස්සන කරන්න. පත්තිනි කියන්නේ ඓතිහාසික කතාවක්. කොහොමද ඔබ එවැනි වූ කතා පුවතකට සරිලන පරිදි අංග රචනය සිදු කළේ? මුලින්ම කියන්න ඕනෑ පත්තිනි හි සංස්කෘතිය අපේ රටේ එකක් නෙවෙයිනෙ. පළමුව එය තේරුම් ගත යුතුයි. සුනිල් සර් කිව්වා ඉන්දියානු චිත්‍රපට නරඹන්න කියලා. විශේෂයෙන්ම අම්බපාලි වගේ ඒවා බැලුවා. මං ඒ සංස්කෘතිය පිළිබඳ හැදෑරුවා. තිලකය තියන තැන ඉඳලා අනෙකුත් සියලුම අංග රචනා විධි අධ්‍යයනය කළා. ස්කින් ටෝන් එක වුණත් එහෙමයි. සාමාන්‍යයෙන් මෙවැනි වැඩකදී මේකප් ටෙස්ට් එකක් තියනවා? අපිත් එහෙම එකක් කළා. ඒ හින්දා මට වැඩේ ලෙහෙසියි. මං සාමාන්‍යයෙන් මේකප් ටෙස්්ට් එකට පෙර චිත්‍රපටයේ චරිත ටික රූපයට නඟනවා. ඒවා අධ්‍යක්ෂවරයාට පෙන්වනවා. ඔහුගේ රුචි අරුචිකම්වලට අනුව ඒවාහි වෙනස්කම් සිදු කරනවා. මෙහිදී ඔය සියල්ලම කළ නිසා සුනිල් සර් මං මේකප් දමන පැත්ත පළාතකවත් අවේ නැහැ. 'පත්තිනි' සිනමාපටයේ අංග රචනය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද? මං මේ වෙලාවේ විශේෂ දෙයක් කියන්න ඕනෑ. මෙතෙක් මං කළ චිත්‍රපට අතරින් සියයට සියයක්ම තෘප්තිමත් වෙන නිර්මාණය තමයි පත්තිනි. අධ්‍යක්ෂවරයාගේ නිදහස ඊට තදින්ම බලපෑවා. අනික මං දර්ශන තලයට ගියේ නිර්මාණය ගැන දැනගෙන. මෙහිදී තව දෙයක් කියන්නට ඕනෑ. අපි මේ චිත්‍රපටය පටන් ගන්නට පෙර පත්තිනි මෑණියන්ට බාරයක් වුණා. ඒ වගේම හැමදාම ෂූටිං පටන් ගන්නට පෙර පත්තිනි මෑණියන්ට පහන තිබ්බා. මාසයක්ම මස් මාළු කෑවේ නැහැ. අපේ ප්‍රඩක්ෂන් එකේ හැමෝම එහෙමයි. ඔබ එක්තරා අවස්ථාවකදී චිත්‍රපටයෙන් ඉවත් වෙන්න හැදුවා කියන්නේ ඇත්තද? ඔව්. එහෙම දෙයක් වුණා. පිටපතට අනුව විනු මහණ වෙන දර්ශනයක් තිබුණා. ඉතින් ඒ සඳහා තට්ටය සහිත විග් එකක් පාවිච්චි කරන්න එපායැ. බොරු කියන්න ඕන නැහැනෙ, මම ඒවා හදන පොස්ටටික් කලාව දැනගෙන හිටියේ නැහැ. මං ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේම මේකප් ආර්ටිස් කෙනෙකුට කතා කළා. ඔහු එන්නම් කියලා අන්තිම මොහොතේ බෑ කිවා. මං පුදුම විදිහට අපහසුතාවයට පත් වුණා. මං සුනිල් සර්ට කිව්වා ඒ වගකීම මට හරියට කරගන්න බැරි වුණ නිසා මං ඉවත් වෙනවා කියලා. නමුත් ඔහු ඊට එකඟ වුණේ නැහැ. අන්තිමේ සුනිල් සර් මං වෙනුවෙන් පිටපත වෙනස් කරලා විනු කොණ්ඩය බඳින තැනට වෙනකම් රූගත කරලා එතනින් කට් කළා. ඔබට වඩා වැඩි නිර්මාණ ප්‍රමාණයක් ලැබෙනවා අනෙක් අංග රචනා ශිල්පින්ට වැඩිය. කොහොමද එහෙම වුණේ? මං අරක්කු සිගරට් බොන්නේ නැහැ. පිළිවෙළ පිරිසිදුකම ඉතාම ඉහළින් සලකන කෙනෙක්. ඕනෑවට වඩා මිනිස්සුත් එක්ක හිතවත් වෙන්නේ නැහැ, තරහා වෙන්නෙත් නැහැ. මේ තත්ත්වය නිසා බොහෝ නිර්මාණකරුවන් මට ආරාධනා කරනවා ඔවුන්ගේ නිර්මාණ සඳහා. පූජා ඇයි ඔබවම ඉල්ලන්නේ? පූජා කැමැති නැහැ තද මේකප්වලට. මේකප් දාන්න වාඩි වුණාම පැයක් විතර එක තැන ඉන්නත් ඇයට බැහැ. නමුත් ඉහත කාරණා දෙකම මම කරන්නේ නැහැ. පූජාත් එක්ක හැමෝටම වැඩ කරන්න බැහැ. ඇය අමුතු ගතිගුණ ඇති කෙනෙක්. නමුත් මං වැඩ කරන පිළිවෙළට ඇය හුඟක් කැමැතියි. ඒක තමයි රහස. කොහොමද නව පරපුරේ අයත් එක්ක වැඩ කරන්න ලැබීම? අලුත් අයට ඕනෑ සුදු වෙන්න පමණයි. අපි සාමාන්‍යයෙන් මේකප් දාන්නේ චරිතයට ගැළපෙන පරිදිනේ. ඒ අයට ඒක වැදගත් නැහැ. මේකප් කිව්වාම ඒ අයට ඕනෑ සුදු වෙන්න. ඇත්තම කිව්වොත් මං වැඩිපුර කැමැති පැරැණි අයත් එක්ක වැඩ කරන්න. ඔවුන් කිසිම කරදරයක් නැතිව මේකප් ටික දාගන්නවා. ඔබ වැඩිපුරම ඓතිහාසික සිනමාපටවල වැඩ කරලා තියෙනවා. මොන නිර්මාණයේද වැඩිපුරම පිරිසක් අංග රචනය කළේ? තානාපතිලාගෙ ගෙදර චිත්‍රපටයේ. මං එක් දිනක් තුළ නළු නිළියන් එකසිය අසූ පස් දෙනෙක් මේකප් කළා. මතක් වෙන කොටත් පුුදුමයි. අද ඔබ ඉන්න තැන ගැන සතුටුද? වෘත්තීය මට්ටමේ මං යම් තැනක ඉන්නවා. නමුත් කියන්න කනගාටුයි නොයෙකුත් අසාධාරණකම් වෙනවා. එක් දිනක් මගේ අනන්‍යතා පත්‍රයක් ගන්න ජාතික චිත්‍රපට සංස්ථාවට කතා කළා. ඔවුන් මගෙන් අහනවා 'ඔයා මෙනවා කරන කෙනෙක්ද' කියලා. අත්තිවාරම් කපන අය මේ ක්ෂේත්‍රයේ නැහැනෙ. අඩුම තරමේ චිත්‍රපටයක්වත් බලපු කෙනෙක් නෙවෙයි එදා මට කතා කළේ. මම අනිත් අතට ෆෝන් එක තිබ්බා. අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ? මට උදව් කළ අම්මා, තාත්තා ඇතුළු පුෂ්පකුමාර බණ්ඩාරගම, චන්න පෙරේරා, පූජාගේ අම්මා සන්ධ්‍යා ඇන්ටි, පූජා, රේණුකා බාලසූරිය සහ සුනිල් සර්ට තුති පුදන්න තමයි තියෙන්නේ. ඔවුන් මට බය නැතුව නිර්මාණ ලබා දුන්නා.
|



කිඳෙල්පිටිය යනු බණ්ඩාරගමට කිට්ටුව ඇති ගමක නමකි. ඒ නාමය වාසගම කොටගත් ජනප්‍රිය
තැනැත්තන් කිහිප දෙනෙක් අප සමාජයේ සිටිති. නමුත් කලා ලොව තුළ සිටින එකම
කිඳෙල්පිටිය, සමීර මධු කිඳෙල්පිටිය වේ. අංග රචනා ශිල්පියකු ලෙස කටයුතු කරන හෙතෙම
ක්ෂේත්‍රයට අවතීර්ණ වී මේ වන විට වසර විස්සකට ආසන්නය. මේ දිනවල තිරගතවන 'පත්තිනි'
සිනමාපටයෙහි අංග රචනා ශිල්පියා ද වන්නේ සමීර වේ. මෙලෙස ලියවෙනුයේ ඒ සමීරගේ පළමුවැනි
පුවත්පත් ලිපියයි.
පත්තිනි සිනමාපයට ඔබව ගන්න කියලා පූජා බල කළ බවට කට කතාවක් පැතිරෙනවා. ඇත්තද ඒක?