වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ‘මොරාල්’ එක මට තියෙන බව ඔවුන් දන්නවා

ඒ ‘මොරාල්’ එක මට තියෙන බව ඔවුන් දන්නවා

‘හොරා පොලිස්’ කෙනෙහිළිකම් ගැන සුරංග ද අල්විස් කෙළින් කතා කරයි

රටේ හදවත පොලීසියයි. ඒ පොලීසියට එක දවසක් නිවාඩු දුන්නොත් කොහොමට හිටීද? ඒක අදාළ නෑනේ කියලා ඔබ කියයි. හැබැයි වැඩේ අදාළ ද නැද්ද කියලා දැනගන්න ඔබට එක දෙයක් කරන්න වෙනවා. ඒ තමයි මේ දැන්මම ළඟම තියෙන ෆිල්ම් හෝල් එකට ගිහින් ‘හොරා පොලිස්’ චිත්‍රපටය නරඹන එක. ෂුවර් එකට ෆිල්ම් එක බලනකොට උඹලට සිද්ධ වෙන එක දෙයක් කියන්නද? එක්කො ඕනෑ නෑ. කමක් නෑ කියලම දාන්නම්කී. මේ චිත්‍රපටය බලනකොට උඹලට හිනා නොවී ඉන්න බැරි වෙනවා. සාජන්ට් සුවඳරත්න ඇතුළු පොලිස් බුවාලා ටික අපට දෙන ආතල් එක ඒ තරම් මරු බං.

‘හොරා පොලිස්’ සුරංග ද අල්විස්ගේ තෙවැනි සිනමා නිර්මාණය. ලිපිය ආරම්භයේදී පොඩ්ඩක් කොමඩි විදිහට ලිව්වට ඇත්තටම සුරංග එක්ක මේ කරන කතබහ ෆුල් සීරියස්. සිනමා කර්මාන්තය වෙනුවෙන් ලොකු කැපවීමක් කරන්න ඉන්න සුරංග වගේ තරුණයකුට මේ වගේ ප්‍රශ්න ආපුවාම ඔහුට සිනමාව එපා වෙන එක පුදුමයක් නෙවේ. අද හුඟ දෙනකුට වෙලා තියෙනෙත් ඒ සන්තෑසියනේ.

අභියෝග ගොඩක් මැද්දේ ඔබ ‘හොරා පොලිස්’ චිත්‍රපටය රිලීස් කළේ. කොහොමද මේ වෙන කොට තත්ත්වය?

මේ වෙනකොට හොඳ වගේම නරක මිශ්‍ර වූ ප්‍රතිචාර මට ලැබෙනවා. ඒ කියන්නේ හොඳ සහ නරක දෙකම. මම ඒ හැම දේම බාර ගන්නේ සතුටෙන්. චිත්‍රපට හැටකට ආසන්න ප්‍රමාණයක් තිරගත කිරීමට නොහැකිව තිබෙන පසුබිමක මා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට තුනම ප්‍රදර්ශනය වෙනවා. ඒ ගැන තව පැත්තකින් සතුටු වෙනවා. ඒකට හේතුව තමයි මම කරන මොන මට්ටමක චිත්‍රපටයක් වුණත් එය මණ්ඩලයක් විසින් ප්‍රදර්ශනය සඳහා තෝරා ගන්න නිර්මාණයක් වීම.

ඒ කියන්නේ චිත්‍රපටයක ඉරණම තීන්දු කරන්නේ ප්‍රදර්ශන මණ්ඩලය?

ඔව්. ප්‍රදර්ශන මණ්ඩලය තමයි මුලින්ම තීන්දු කරන්නේ මේ චිත්‍රපටය දුවනවාද,නැද්ද කියලා. මණ්ඩලයට ඕනෑ නම් පුළුවන් චිත්‍රපටය ඉස්සරහට ගන්නත්, පස්සට දාන්නත්. ගිය වසරේ මැයි මාසේ රූගත කිරීම් ආරම්භ කරපු ‘හොරා පොලිස්’ මේ වෙන කොට ප්‍රදර්ශනයට මුදා හැර තිබෙන්නේ ඒ මණ්ඩලය චිත්‍රපටයට මුල් තැනක් දුන් නිසයි. මැයි මාසේ 21 වැනිදා ‘හොරා පොලිස්’ රූගත කිරිම් ආරම්භ කරන කොට ඇත්තටම ‘මයි නේම් ඉස් බන්දු’ ප්‍රදර්ශනය වෙලත් නෑ. ඒක රිලිස් වුණේ නොවැම්බර් මාසේ. එතකොට චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරලා අවුරුද්දක් ඇතුළත තමයි ‘හොරා පොලිස්’ ප්‍රදර්ශනයට එක්වන්නේ.

එය නිෂ්පාදකයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් හැටියට ඔබ ලැබූ සුවිශේෂ වරප්‍රසාදයක්?

අද මේ මණ්ඩලවල චිත්‍රපට තෝරන පිරිස බලාපොරොත්තු වන මසාල ටයිප් සිනමාව නිර්මාණය කරන්න පුළුවන් ‘මොරාල්’ එක මට තිබෙන බව ඔවුන් දන්නවා. තවමත් සාම්ප්‍රදායික බයිස්කෝප් සිනමාවට පේ‍්‍රක්ෂකයෝ වගේම ඒ අයත් කැමැතියි. ඒකනේ මේ තරම් ඉක්මනට මගේ චිත්‍රපට රිලීස් වෙන්නේ.

පෝළිමේ චිත්‍රපට හැටකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියා ඔබ ප්‍රකාශ කළා?

ඔව්.

එතකොට ඒ චිත්‍රපට අසාර්ථක නිසාද මණ්ඩල විසින් මිලදී නොගන්නේ?

ඒකට කෙටිම උත්තරය මට දෙන්න තියෙන්නේ ‘ඔව්’ තමයි.

ඔබ ඔවුන්ට වඩා සාර්ථක අධ්‍යක්ෂවරයෙක්?

නෑ මම සාර්ථක අධක්ෂවරයයෙක් නෙවේ. හැබැයි සාර්ථක ප්‍රසන්ටර් කෙනෙක්.ඉදිරිපත් කරන්නෙක්. මම හරියට මගේ දේ ඉදිරිපත් කරනවා. මොන දෙයක් කළත් මම ඒක පිළිවෙළකට කරන්න ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි අර චිත්‍රපට පනස් ගාණම අසාර්ථක චිත්‍රපට ද කියලා මගෙන් අහනවාට වඩා මම කැමැතියි ඔය ප්‍රශ්නය මණ්ඩලයෙන් ඇහුවා නම්. එයාලා හරි පිළිතුරක් දෙයි. මගේ චිත්‍රපට තිරගත වුණා. එච්චරයි මම දන්නේ.

ඔබේ චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වුණේ M.P.I.  සහ L.F.D මණ්ඩලවලින් සැදි දෙවැනි ධාරාවේ සිනමාහල්වල. හැබැයි නිෂ්පාදකවරු වඩාත් උනන්දු වන්නේ CEL එහෙම නැතිනම් E.A.P වගේ මණ්ඩලයක තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරවා ගන්න.

ඔව්. එහෙම ප්‍රවණාතාවක් හැමදාම තිබුණනේ.

එතකොට මේ දෙවැනි ධාරාවේ ප්‍රදර්ශනය වෙන්නේ කසි කබල් චිත‍්‍රපට කියලා සමහරුන් තුළ මතයක් ගොඩ නැඟිලා තියෙනවා?

චිත්‍රපට කසිකබල් කියන්නේ ධාරාව කසිකබල් කියන එකනේ. හැබැයි ඔය ධාරාවේ තමයි ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ චිත්‍රපටය දින සියය ඉක්මවා දුවන්නේ. එතකොට ධාරාවේ නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නේ.

එහෙනම්?

ධාරාවට අයත් සිනමා ශාලාවලයි ප්‍රශ්නය තියෙන්නේ. ඒ සිනමා ශාලා අප්ඩේට් කරගත්තේ නෑ. ඒවා වැඩි දියුණු කර ගත්තේ නෑ. සිනමාහල් හිමියෝ අලුත් තාක්ෂණය එක්ක මුසු වුණේ නෑ. නගරබද සිනමා ශාලා වැඩිපුර තිබෙන්නේ L.F.D සහ ර්.ර්‍ථ.ධ් මණ්ඩලවලට. ඒවා වැඩි දියුණු වූවා නම් මම හිතන්නේ නෑ කිසිම මණ්ඩලයකට ඔවුන්ට අභියෝග කරන්න පුළුවන් වෙයි කියලා. මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස ක්‍රියා කරන ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු සහ සුනිල් සිරිවර්ධන යන මහත්වරුන්ට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. නමුත් අනෙක් මණ්ඩල විශේෂයෙන් E.A.P මණ්ඩලය ඒගොල්ලන්ගේ ධාරාව ශක්තිමත් කළා. එහෙම කළාම ඒ ගොල්ලන්ට හොඳ චිත්‍රපට ලැබෙන්න ගත්තා. මට තියනෙ ප්‍රශ්නෙ ඒක නෙවෙයි. ඔය ධාරාවේ චිත්‍රපට දාපු හැම නිෂ්පාදකයෙකුම කල්පනා කරලා බලන්න රෑට ඇඳට ගිහින් තමන්ගේ සාක්කුවට ආපු මුදල කීයද කියලා.

ඊට වැඩිය මුදලක් ඔබේ සාක්කුවට වැටිලා තියෙනවා?

ඔව්, මට ලැබිලා තියෙනවා.

ඔබ ‘හොරා පොලිස්’ චිත්‍රපටය මම හිතන්නේ මුලින් E.A.P මණ්ඩලයට ඉදිරිපත් කළා?

ඒක අමූලික බොරුවක්. හැබැයි රාවයක් ගියා E.A.P මණ්ඩලයට මම මේ චිත්‍රපටය පෙන්නලා ඒක රිජෙක්ට් වුණා කියලා. එක්තරා පුද්ගලයෙක් එහෙම ප්‍රචාරයක් යවලා තිබ්බා. ඒක මට මණ්ඩලයෙන් ආරංචි වුණා.

සිනමාවට සම්බන්ධ කෙනෙක්ද?

ඔව් . . . ඔව් . . . සිනමාවට සම්බන්ධ කෙනෙක්.

ඒ කියන්නේ අධ්‍යක්ෂවරයෙක්ද?

නිෂ්පාදකයෙක්. මේ නිෂ්පාදකවරයා කියලා තිබුණා මගේ චිත්‍රපටය රිජෙක්ට් වෙලා ඇවිත් තියෙන්නේ කියලා. හැබැයි මට ඔබට කියන්න දෙයක් තියෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නෙත් නෑ ඒක. අදාල මණ්ඩලය විසින් මේ චිත‍්‍රපටය නැරැඹුවේ එදා මංගල දර්ශනය දවසේ. ලංකාවේ සියලුම මණ්ඩල චිත්‍රපට බලලා තමයි තීරණය කරන්නේ එය මුදා හරිනවද නැතිද කියන එක. හැබැයි එහෙම බලලා තීරණය කරලා ගත්ත පට්ට කසිකබල් චිත්‍රපට ලංකාවේ තියෙනවා. ඒවා මුං බැලුවද කියලත් හිතෙනවා. හැබැයි L.F.D වගේම ර්.ර්‍ථ.ධ් මණ්ඩලවල නිලධාරින් ‘හොරා පොලිස්’ දැක්කේ හරියටම මංගල දර්ශනය දවසේ.

ඒ කියන්නේ ඔබ ගැන ඔවුන්ගේ තිබෙන විශ්වාසය සහ තක්ස්රුව?

මම හිතන්නේ. දැන් අපි හිතමු උදයකාන්ත වර්ණසූරිය කියලා. ඔහුගේ චිත්‍රපට බලන්න ඕනෑ නැහැ. ඔහු ඒ නම හදාගෙන තියනවා. සමහර විට රූගන්වන අතරතුරේ ඒ චිත්‍රපටයට ඉල්ලුමක් එන්න පුළුවන්. ඒ වගේම අශෝක හඳගමටත් ඒ වගේ ඉල්ලුමක් එන්න පුළුවන්. ඒ හා සමාන ඉල්ලුමක් මේ වෙනකොට ගිරිරාජ් කෞෂල්‍යයටත් තියෙන්න පුළුවන් අලුත් ෆිල්ම් එකක් එනකොට. සමහර විට මටත් එහෙම ඉල්ලුමක් ඇති.

 ‘හොරා පොලිස්’ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ කොපියක් කියලා රාවයක් ගියා. සමහරු කිව්වා මේක ඒකේ දෙක කියලා. ඇත්ත දන්නේ ඔබ?

‘හොරා පොලිස්’ රූගත කරද්දී යම් පුද්ගලයෙක් ගින්නක් දීලා තියෙනවා උදයකාන්තට අන්න මහේන්ද්‍ර පොලිස් ඇඳුමක් ඇඳගෙන පුඤ්ඤසෝම චරිතය රඟපානවා කියලා. ඔය රාවේ ගියා. අපේ කලාකරුවෝ හරි කුහකයිනේ. කිසි දෙයක් සුබවාදීව බලන්නේ නෑ. සමහර විට උදයකාන්තගේ හිතේ තියෙන්න ඇති මම කරන්නෙත් කොස්තාපල් පුඤ්ඤසෝම කොපියක් කියලා.

හැබැයි’ ඔබ ‘හොරා පොලිස්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාර කටයුතුවලදී ‘අපේ කාලයේ පුඤ්ඤසෝමලාගේ කතාව‘ කියා භාවිතා කළා?

ඔව්. මම ට්‍රේලර් එකට ඒ ටොපික් එක පාවිච්චි කළා.

ඇයි ඔබ එහෙම කළේ?

දැන් ඕනෑම දේක ජනප්‍රිය චරිතවලට අපි කැමැතියි. සමහර විට ඒ ස්ට්‍රක්චර් එක තවත් නිර්මාණයකට යොදා ගන්නවා. මම ඔය කොස්තාපල් පුඤ්ඤාසෝමට පුද්ගලිකව ඹ්ධමඥ කරන කෙනෙක්. ඒ නමට මම කැමැතියි. පුඤ්ඤසෝම මගේ හිතට මෙච්චර වදියි කියලා මම හිතුවේ නෑ. ‘මයි නේම් ඉස් බන්දු’ චිත්‍රපටයේ පොලීසිය එනකොට බන්දු සමරසිංහ කියනවා ‘අප්පට සිරි පුඤ්ඤසෝමලා ඇවිල්ලානේ’ කියලා. ‘හොරා පොලිස්’ චිත්‍රපටය ඇතුළෙත් මම මේ නම භාවිතා කරනවා. දෙනුවන් සේනාධි කියනවා මහේන්ද්‍රට ‘අම්මා ටයිගර්, ලොකු අයියේ ඔයා පුඤ්ඤසෝම එකේ ඇට් කරන්න ගියාද’ කියලා. ඒ මම ඒකට තියෙන ආදරය සහ කැමැත්ත.

සාමාන්‍ය ප්‍රේක්ෂකයකුට වුණත් මෙහෙම ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්නේ. ඇයි ඔබ මහේන්ද්‍ර පෙරේරාවම අරගෙන පුඤ්ඤසෝමට සමාන මේකප් එකක් දාපු පොලිස් චරිතයක්ම යොදාගෙන මේ චිත්‍රපටය කළේ කියලා. පුඤ්ඤසෝමගේ පානෙන් එලිය බලන්න තමයි ඔබ හැදුවේ?

ඕනෑ කෙනකුට ඔය චිත්‍රපට දෙකම බලන්න කියන්නකෝ. මගේ චැලෙන්ජ් එක ඒකයි. මේක ඒකේ කෑල්ලක්ද? එහෙම නැත්නම් ඒකෙ කොයි කෑල්ලද මම අරගෙන තියෙන්නේ කියලා තීරණය කරන්න අපි ප්‍රේක්ෂකයාටම ඉඩ දෙන්න ඕනෑ.

එතකොට ඇයි ඔබ මේ විදිහේ චිත්‍රපටයක් නිර්මාණය කළේ?

ඇත්තටම මට රහසක් රකින්න වෙනවා මේ මොහොතේ. මේ චිත්‍රපටය ප්‍රදර්ශනයේදී මම සැලසුම් කරපු දින ගානක් තියෙනවා. ඒ දින ගණන සම්පූර්ණ වෙන්න ඕනෑ මට ඒ ප්‍රකාශය කරන්න. ඒක මම, මගේ සහාය අධ්‍යක්ෂවරයා සහ මහේන්ද්‍ර අයියා පමණයි දන්නේ. ඒ නිසා ඒ රහස ඔබ මට දෙන ඊළඟ සාකච්ඡාවේදී සාක්ෂි සහිතව ඔබට කියන්නම්. ඇත්තටම මම මොකද්ද කරන්න හැදුවේ කියන එක එදාට හෙළිවෙයි. දැනට ඒක රහසක්. හැබැයි මම ‘සරසවිය’ටම ඒක ප්‍රකාශ කරනවා.

‘හොරා පොලිස්’ මංගල දර්ශනය දා ඔබ ප්‍රකාශ කළා ‘සමහර විට මේ මම හදන අවසාන චිත්‍රපටය වේවිද දන්නෙත් නෑ’ කියලා. ඒක බොහොම සංවේදී කතාවක්. මින් පෙර ඔබ මා සමඟ ප්‍රකාශ කළා ඔබේ බලාපාරොත්තුව චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කිරීම කියලා. එහෙම කියපු ඇයි ඔබ හිටි ගමන් මේ වගේ බැරෑරුම් ප්‍රකාශයක් කරන්නේ?

ඒකට මූලික හේතුව ‘පත්තිනි’ චිත්‍රපටය. E.A.P මණ්ඩලය හැමදාමත් තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන කොට ඉතාමත් නින්දිත ලෙස අනුන්ගේ සිනමා ශාලා මංකොල්ල කනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා මේ මංකොල්ලය නවත්වන්න සිනමා ශාලා බෙදලා ධාරා තුනක් හැදුවා. ධරා 01, ධාරා 02 සහ ධාරා 03 කියලා. පළමු ධාරාව ජාතික චිත්‍රපට සංස්ථාවේ රිද්ම මණ්ඩලය සහ CEL මණ්ඩලය. දෙවැනි ධාරාව තමයි L.F.D සහ ර්.ර්‍ථ.ධ් මණ්ඩල. එතකොට තුන්වැනි ධාරාව තමයි E.A.P මණ්ඩලය. ඔවුන් තමන්ගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරද්දී සියලුම චිත්‍රපට ඉවත් කරලා තමන්ගේ චිත්‍රපටය මුදා හරිනවා. එතකොට CEL මණ්ඩලයත් එහෙමයි. නමුත් මේ දෙවැනි ධාරාවේ සිනමාහල්වලට මේ ධාරා දෙකෙන්ම කෙනෙහිලිකම් වෙනවා.

ඒ කිව්වේ?

මේ දෙවැනි ධාරාවේ දුවන්න පුළුවන් සිනමා ශාලා ටික මේගොල්ලො ආක්‍රමණය කරනවා. E.A.P මණ්ඩලය හරියට සාධාරණව තමන්ගේ වැඩේ කරගෙන යනවා නම් ඇයි මට ඇටෑක් කරන්නේ. ‘පත්තිනි’ ඔය කියන තරම් ලොකු චිත්‍රපටයක් නම් ඒගොල්ලන්ගේ මණ්ඩලයේ සිනමා ශාලාවල පමණක් දුවන්න එපායැ. ඇයි මට ඇටෑක් කරන්නේ. කොළඹ තියෙන මගේ ධාරාවේ ප්‍රධාන සිනමා ශාලා තුන තමයි රිකී කොටුව, රිට්ස් බොරැල්ල හා කන්ට්‍රාස් දළුගම. මට තියෙන්නේ උදේ දර්ශන වාර දෙක විතරයි. සවස දර්ශන වාර දෙක දුවන්නේ පත්තිනි. එතකොට ව්.ධ්.ඊ රත්නපුර සිනමා ශාලාව මට නෑ. ඉඬර ඹ්ඪඨඩබ මාතර අපේ ධාරාවේ සිනමාහලක්. එතකොට ඒ දෙකේම දුවන්නේ ‘ආදරණීය කතාවක්’. අලුත්ගම ලිබ(ර්)ටි සිනමා ශාලාව මට නෑ. සම්පූර්ණයෙන්ම දුවන්නේ පත්තිනි. මෙට්රෝ නුගේගොඩ 4.15 නෑ. රෝයල් මීගමුව 6.30 දර්ශනය නෑ. මගේ ධාරාවේ ප්‍රධාන සිනමා ශාලා අටක් නවයක් මට නෑ.

එතකොට ඔබේ මාලඹේ sky lights සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වෙන්නෙත් ‘පත්තිනි’ නේද?

ඔව්. හැබැයි මම ඉන්නේ පළමු ධාරාවේ. ඒ කියන්නේ CEL මණ්ඩලයේ. හරි නම් මම මේ වෙලාවේ දුවන්න ඕනෑ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටය. දුවන්නේ නැත්තේ ජාතික චිත්‍රපට සංස්්ථාවට බැරි වෙනවා දෙයි හාමුදුරුවනේ මට මගේ මේ සිනමා ශාලා ටික අරගෙන දෙන්න. ජාතික චිත්‍රපට සංස්ථාවට බැරි වෙනවා සංස්්ථාවේ නීතිය ක්‍රියාත්මක කරන්න. එහෙනම් මොකටද සංස්ථාවක්. සිනමාකරුවන් නිෂ්පාදකයන් එක්ක නෙවෙයි මගේ අවුල තියෙන්නේ. මේ ප්‍රශ්න ඇති කරන අය එක්ක E.A.P මණ්ඩලයේ නිලධාරීන් ඇයි මේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ. තමන්ට හොඳ ස(ර්)කිට් එකක් තියෙනවා නම් තමන්ට හොඳ ධාරාවක් තියෙනවා නම් වැදගත් විදිහට වැඩේ කරන්න එපැයි. ඇයි අනුන්ගේ ගෑනුන්ගේ ඇඟේ එල්ලෙන්නේ. තමන්ගේ ගෑනිත් එක්ක පවුල් කන්න.

එතකොට ඔබේ මේ චෝදනාවට මුළුමනින්ම වගකිව යුතු වන්නේ චිත්‍රපට සංස්ථාව සහ E.A.P මණ්ඩලය?

E.A.P මණ්ඩලය මෙහෙම අත්තමෝමතික විදිහට ක්‍රියා කරන්නේ චිත්‍රපට සංස්ථාවේ තියෙන අඩුපාඩු නිසා. මේක වල්බූරු නිදහසක්. කැලෑ නීතිය තමයි මේකෙ රජ කරන්නේ. එහෙම බෑනේ. මගේ චිත්‍රපටයට දැන් මේ ඉරණම අත් වෙලා ඉවරයි. ඇත්තටම අද රටේ තියෙන තත්ත්වය අනුව 10.30, 1.30 ෆිල්ම්ස් ලොකුවට දුවන්න බෑ. මොකද ෆැමිලිස් පිටින් එන්නේ 6.30 දර්ශනය නරඹන්න. දැන් අපි දන්නවා ‘පත්තිනි’’ බලන්න ළමයි එන්නේ නෑ. ‘ආදරණීය කතාවක්’ තියෙන්නෙත් වෙන තැනක. නමුත් මගේ චිත්‍රපටය පවුලේ චිත්‍රපටයක්. එතකොට මේ පවුල එකට එකතු වෙන්නේ හවසට. ඒත් එනකොට ‘හොරා පොලිස්’ නෙවෙයි තියෙන්නේ. මට මේක දරාගන්න පුළුවන්. ඒ චිත්‍රපටය මගේ නිසා. නමුත් ඊළඟට එන්න තියෙන චිත්‍රපටවලට මේ දේ වුණොත් ඒ නිෂ්පාදකවරු කොහොමද මේකට මුහුණ දෙන්නේ.

‘පත්තනි’, ‘හොරා පොලිස්’, ‘ආදරණීය කතාවක්’ සිංහල සිනමාවේ අලුත්ම තුන් කොන් සටන. කෙනෙකුට එහෙමත් හිතෙන්න පුළුවන්?

ඔව්. එහෙම හිතෙන්න පුළුවන්. මම කියන්නේ නෑ මගේ චිත්‍රපටය මහ ලොකු නිර්මාණයක් කියලා. ඒත් මේ චිත්‍රපට තුන එකිනෙකට වෙනස්. චිත්‍රපට බලන එවුන් තරම් සෙනසුරාදාට, ඉරිදාට අසරණ වෙන උන් ජාතියක් නෑ මේ වෙලාවේ. අරක බලනවද නැතිනම් මේ ෆිල්ම් එක බලනවද. හෙන ගැටලුව. මොකද මිනිහෙකුට බලන්න පුළුවන් එක චිත්‍රපටයයි. මේ වෙලාවේ මට කරන්න තිබුණේ උඹලා දෙන්නා හැප්පියල්ලා කියලා මම පස්සට යන එක තමයි. හැබැයි මගේ මණ්ඩලයෙන් ඒකටත් අවසරයක් ලැබුණේ නෑ. මේ වෙලාවේ ඔයාගේ චිත්‍රපටය රිලීස් කරන්න. බයවෙන්න එපා කියලා තමයි කිව්වේ. නමුත් අවංකවම මණ්ඩලයට යුතුකමක් තියෙනවා තමන්ගේ මණ්ඩලයට ආපු චිත්‍රපට ටික රැක ගන්න.

මේ අර්බුදයට පිළියමක් හැටියට ඔබේ යම් යෝජනාවක් තියෙනවාද?

ඔබත් එක්කම මීට ප්‍රථම මම පැවැත්වූ සාකච්ඡාවේදී මම ඒ විසඳුම් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒවා පිළිගන්න කවුරුත් ඉන්න බවක් පේන්න නෑ. සිංහල සිනමාවේ අනාගතය අවිනිශ්චිතයි. අපේ සිනමාව ලොකු අර්බුදයක තියෙන්නේ. අපි එය තේරුම් ගත යුතුයි. හැමෝම උත්සාහ කළ යුත්තේ ඒවාට විසඳුම් සොයන්නයි.