වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාවට පෙම්බැඳි සමිල

වේදිකාවට පෙම්බැඳි සමිල

සමිල විදානගේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයකින් දස්කම් දක්වන කලාකරුවෙක්. 2012 වසරේ බස්නාහිර පළාත් කෙටි නාට්‍ය උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය විතරක් නෙවෙයි හොඳම වේදිකා පරිපාලනයට හිමි සම්මානය දිනා ගන්නත් සමිල සමත් වුණා. 2013 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ ඔහු විශිෂ්ටතම ගීත දෘශ්‍යකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේත් සිය දස්කම නිසාමයි.

ලස්සනට දවස් ගෙවෙනවා, බලු වූ මිනිස්සු, Death of a Salesmen, Hand Full of Nails  වැනි වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

සම්ල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කෙහොමද?

මම මුලින්ම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ 2006 වසරේදීයි. මුල්ම වේදිකා නාට්‍ය ‘ලස්සන දවස් ගෙවෙනවා’ නාට්‍යය යි. 2008 වසරේදී ඊට පස්සේ ආචාර්ය හෙන්ඩ්‍රික් ෆෝල්ක් ලංකාවට ඇවිත් නාට්‍යයක් කළා. මමත් අහම්බයෙන් එතනට ගියා. ඒ වෙනකොට ලොකුවට ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැතත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට මගේ තියෙන උනන්දුව කිව්වම The Man How Turn in to a Dog  ඉංග්‍රීසි වේදිකා නාට්‍යයට දායක වෙන්න ලැබුණා. ඊට පසුව ජෙරොම් ද සිල්වාගේ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා.

රංගනයට උනන්දුව ඇති වුණේ පුංචි කාලයේදීම ද?

අපේ තාත්තා වේදිකා නාට්‍යවල පෝස්ටර් ප්‍රින්ට් කළා. වේදිකා නාට්‍ය දර්ශනවලට තාත්තාට ආරාධනා පත්‍ර එහෙමත් ලැබෙනවා. මමත් තාත්තා එක්ක වේදිකා නාට්‍ය බලන්න යනවා. ඒ ඔස්සේ ඇති වුණා ආසාව එක්ක පාසල් අධ්‍යාපනයෙන් පසුව මහේන්ද්‍ර පෙරේරාගේ රංගන වැඩමුළුවලට දායක වුණා. ඒ හැරුණාම අදටත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර තියෙන සෑම නාට්‍ය වැඩමුළුවකටම සහභාගි වෙනවා. නාට්‍ය කලාවට මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර ආසාවක්. ගෞරවයක්.

දැනටත් මම ගොඩක් විදෙස් චිත්‍රපට නරඹනවා. තර්කොව්ස්කිගේ වගේම රෝමන් පොලොන්ස්කිගේ චිත්‍රපටවලටත් මම ගොඩක් ආසයි. මගේ අදහස නළුවෙක් වෙන්න හොඳම ක්‍රමය මිනිසුන් අධ්‍යයනය කිරීමයි. ඒ වෙනුවෙන් මම හවසට පිටකොටුවේ ගුණසේන පිළිරුව අසලට යනවා.

සමිල වේදිකා නාට්‍යවලට විතරමද දායක වෙන්නේ?

එහෙම වෙනසක් නැහැ. ප්‍රථම සිනමා නිර්මාණයට දායක වෙන්නේ මේ අවුරුද්දේ. තවම එයට නමක් නම් යොදා නැහැ. අධ්‍යක්ෂණය කරන්නේ සුපුන් බුද්ධි විසින්. එහි මගේ චරිතය විරහ වේදනාවෙන් සිටින සංගීතඥයෙකුගේ චරිතයක්. අපේ ගෙදර ගිටාර් තිබුණා. ඒ නිසා ගිටාර් වාදනය ඉබේම පුහුණු වුණා. මම කතෝලික නොවුණත් පල්ලි යන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා ගීතිකා ගායනා කිරීමේ හැකියාවත් ලැබුණා. ඒක මේ චරිතයේ සාර්ථකත්වයට ගොඩක් උපකාරී වුණා.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගත්තොත් මා ලද අත්දැකීම් නම් එතරම් හොඳ ඒවා නෙවෙයි. ඒ වුණත් හොඳ පිටපතක් තියෙන ටෙලි නිර්මාණයකට දායක වෙන්න කැමැතියි. නමුත් මෙගා නාට්‍යවලට නම් මගේ කැමැත්තක් නැහැ. නමුත් පොදුවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තියෙන්නේ මගේ ක්‍රමය නෙවෙයි.

කලා ක්ෂේත්‍රයේ මේ දක්වා පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

මේ දක්වා පැමිණි ගමන ගැන සතුටුයි. බොහෝ දෙනා කියන්නේ ඉතා දුර බැහැරින් පැමිණෙන අයට ක්ෂේත්‍රයට ඇතුළත් වෙන්න වගේම සාර්ථක ගමනක් යන එක දුෂ්කර බවයි. නමුත් කොළඹ ඉපදිලා, හැදුණු වැඩුණු මටත් ඒ ගමන දුෂ්කර එකක් වුණා. කොහොම වුණත් මිනිස්සු මිනිස්සුමයි. කැපිලි කෙටිලි බොහෝමයි. මොන බාධක ආවත් අපේ ගමන ජය ගන්න අපි ධෛර්යයෙන් ගොඩක් මහන්සි විය යුතුයි. ඕනෑම ගැටළුවක් ධනාත්මකව දුටුවොත් ඒ ගමන අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. මගේ දැක්මත් එය යි.

සම්ලගේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පවුලේ අම්මා, තාත්තා සමඟින් මට අයියලා තුන්දෙනෙකුයි අක්කා කෙනෙකුයි නිවුන් සහෝදරයෙකුයි ඉන්නවා. නිවුන් වුණත් ඔහු කලා අංශයෙන් මට වඩා වෙනස්. ඔහුගේ නැඹුරුව තියෙන්නේ පරිගණක අංශයටයි. ගෙදර හැමෝම මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා.

රංගනය ඔබේ වෘත්තිය බවට පත් වෙලාද?

මම කලා කටයුතුවලට රංගනයට, සංගීතයට ගොඩක් කැමැතියි. ඒ වෙනුවෙන් මම ලොකු කැපකිරීමකුත් කරනවා. නමුත් වෘත්තියක් විදියට කලාවේ නියැළෙන්නේ නැහැ. ආර්ථික අංශයෙන් මගේ ව්‍යාපාර තියෙනවා.

කලා ජීවිතයේ ඉදිරිය කොහොමද?

කලාව කියන්නේ හැමදාම වෙනස් වන ක්ෂේත්‍රයක්. ඒ තුළ ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. තව අවුරුදු කිහිපයකින් අධ්‍යක්ෂණය ගැනත් අවධානය යොමු කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් දැනට නළුවෙක් වෙන එක හරියට කරන්න මම කැප වෙනවා. අත්දැකීම් අනුව ඉදිරියට යමින් සාර්ථක ගමනක් යන්න අඩිතාලම දැන් සකසා අවසන්. ඒ ඔස්සේ මම ඉදිරියට යනවා.