වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මගදිගට රසකතා

බිරිය අමතක වෙලා

ඔය දෙනුවන් සේනාධි ඉන්නවා නේද, මිනිහට දැන් පුංචි අමතකවීමේ රෝගයක් තියෙනවා. මොකද දැන් වැඩත් වැඩියිනෙ. දෙනුවන්ව දන්න අය නම් කියන්නේ දෙනුවන්ට කසාද බැන්දට පස්සේ ඔය රෝගය බෝ වුණා කියලා. අපි එහෙම විහිළුවට දෙනුවන්ට කිව්වට ඇත්තටම එක්තරා දෙයක් එක්තරා දිනයකදී දෙනුවන්ට අමතක වුණා. එහෙම අමතක වුණේ එසේ මෙසේ කෙනෙක්ව නෙවෙයි. දෙනුවන්ගේ බිරියව තමයි එහෙම අමතක වුණේ. ඔන්න දවසක් දෙනුවන් චිත්‍රපටයක විශේෂ දර්ශනයකට ආරාධනා ලැබිලා එතනට ගියා. ඒ වැඩේ ඉවර වෙලා යාළුවොත් එක්ක සතුටු සාමිචියේ යෙදිලා ඉන්න කොට ටිකක් වෙලා ගියාට පස්සේ ඔහුට යම් අඩුවක් දැනුණලු. එතකොට තමයි මතක් වුණේ තමන් මෙතනට අද ආවේ බිරියත් එක්ක කියලා. දනි පනිගාලා වටපිට බලද්දී පැත්තකට වෙලා වයිෆ් ඉන්නවලු. දෙනුවන් සාමාන්‍යයෙන් ඇයට කියලා තියෙන්නේ ප්‍රසිද්ධ තැන්වලට ගියාම පූස් පැටියෙක් වගේ ඉන්න කියලා. ඒ හින්දා වයිෆ් එදත් කටවහගෙන හිටියලු.

රැල්ල වෙනස්

මේ දිනවල තියෙන විරහ ගීත රැල්ල දැන් මිනිස්සුන්ට එපා වෙලා. ඉස්සර අපි ගුවන් විදුලි නාළිකාවක ප්‍රචාරය වෙන ගීතයක් අහලා සිත සනසා ගත්තා. ඒත් අද සින්දු අහපුවම සිත කැළඹෙනවා. ලෝකේ කොහේවත් නැතුව ඇති මෙච්චර අඬන සින්දු කියපු ගායකයෝ පිරිසක්. රැල්ලට නොවුණත් නොයෙල් රාජ් ද විරහ ගීත කිහිපයක් ගැයුවා. ඒ අතරතුරදී මව් ගුණ ගීතයක් ද නිර්මාණය කළා. ඔන්න දැන් විරහ ගීත රැල්ල දෙදරලා යන්න නොයෙල් රාජ් බයිලා පාරක් දෙන්න හදන්නේ. දෙපා නැට වෙන්නම මේ දිනවල ඔහු එම ගීතය නිර්මාණය කරමින් සිටිනවාලු. ළඟදී දවසක එය අහන්නට ලැබෙයි.

නාරං කැවුම් වදේ

ධනුෂ්කා ජයරත්න නම් වූ නිළියට මේ දිනවල පාරේ බැහැලා යන්න බැරිලු. නාරං කැවුම් ගැන අහනවලු. මාර කේස් එක. ගමේ ගොඩේ සිදාදියේ, කඩපළේ, බස් හෝල්ට් එකේ කොහේ ගියත් ධනුෂ්කාගෙන් නාරං කැවුම් ඉල්ලන්න බොහෝ දෙනෙක් ඉන්නවලු. ඇයට මේ වදේ විඳින්න වෙලා තියෙන්නේ සුරංග ද අල්විස් ගේ හොරා පොලිස් ෆිල්ම් එක නිසා. ඒකේ ධනුෂ්කා රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරාගේ බිරිය හැටියට. එහි එක දර්ශනයකදී ධනුෂ්කා මහේන්ද්‍රට නාරං කැවුම් දෙනවා. ඒ සිදුවීම ධනුෂ්කා විසින් ඉතාමත් තාත්ත්විකව නිරූපණය කරනවා. එය දැකපු බොහෝ දෙනෙක් ධනුෂ්කාගේ රංගනයෙන් කුල්මත් වෙලාලු නාරං කැවුම් ඉල්ලන්නේ. ඔන්න ධනුෂ්කාට වෙච්ච වැඩේ.

පච්චය නිසා සිදු වූ හදිය

අදින් අවුරුදු පහකට කලින් වෙච්ච එක්තරා සිදුවීමක් නිසා තවමත් විඳවන කෙනෙක් ඉන්නවා. ඒ තමයි රාජසිංහ ලෝලුවාගොඩ. දෙදහස් එකොළහ වසරේදී ලෝලුට ටෙලි නිර්මාණයක් සඳහා ආරාධනාවක් ලැබුණා. ඒකේ චරිතෙට අනුව ඔහුට අත් දෙකෙහි පච්ච දෙකක් ගහන්නට වුණාලු. සාමාන්‍යයෙන් ලෝලු මීට කලින් පච්ච ගහලා නැහැ. ඒ හින්දමද මන්දා ඔහුට වැඩේ වැරදිලා. පච්ච නිසා ලෝලුට අසාත්මිකතාවයක් ඇති වෙලා. ඇඟ කෙට්ටු වෙලා. අදටත් එහි අතුරු ප්‍රතිඵල තියෙනවාලු. ඔහු මේ ගැන මීට කලින් කාටවත්ම කියලා නැහැ. ඒ එම නිිර්මාණයට සම්බන්ධ අයගේ හිත රිදේවි කියාල වෙන්න ඇති. පුංචි කතාබහක් අතරතුරදි තමයි ලෝලු මේ රහස ද හෙළි කළේ.

විශාරදයන් පහක්

අහලා තියනවද විශාරදවරු පස් දෙනෙක් සින්දු කියපු චිත්‍රපටයක් ගැන. සාමාන්‍යයෙන් චිත්‍රපටයකට එක් විශාරදවරයකු හෝ දෙන්නෙක් වගෙයිනේ සම්බන්ධ වන්නේ. නමුත් මේ චිත්‍රපටයට ගෙඩි පිටින්ම විශාරදවරු පස් දෙනෙකු ගී ගයලා. සංගීතයට නිතැතින්ම අදාල වන 'සරිගමපා' යන ස්වරවලින් තමයි චිත්‍රපටයට නම තියලා තියෙන්නේ. සරිගමපා ආචාර්ය සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයක්. මේ සඳහා ගී ගැයූ විශාරදවරු පස් දෙනා තමයි නන්දා මාලිනී, එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා සහ හර්ෂන දිසානායක. කෙහොමද වැඩේ.