වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




කල්ලිවාදය නිසා මා සිනමාවෙන් ඈත් වුණා

කල්ලිවාදය නිසා මා සිනමාවෙන් ඈත් වුණා

රංග ප්‍රතිභාවෙන් සිංහල  සිනමාව පෝෂණය කළ
ප්‍රවීණ නිළි සුවිනීතා වීරසිංහ

දෙලොවක් අතර (චිත්‍රා), සිකුරුලියා (නාමලී), හුලවාලි (සුබා), සසරක පැතුම් (දොස්තර ශාන්ති), මලට නොඑන බඹරු (ස්්ටෙලා), යුගාන්තය (නාලිකා), වැලිකතර (ගීතා රන්දෙණිය), සුදෝ සුදු (හීන් මැණිකා) ලෙසින් රංගනයෙන් ප්‍රේක්ෂක හදවත්වල නොමැකෙන මතකයන් රැසක් තැබූ සුවිනීතා වීරසිංහ හමුවීමේ අපේක්ෂාවෙන් අපි ගියේ 439/ඊ, විහාර මාවත දෙවන පටුමඟ, කොතලාවල, කඩුවෙල ලිපිනය සඳහන් නිවහන සොයාගෙනය.

ආචාරශීලී පිළිගැනීමකින් අනතුරුව ඇය අපට කතා කළේ තම නිවහන ඇතුළට විත් අසුන් ගන්නා ලෙසය. ඒ ආරාධනයෙන් අප නිවසට ඇතුළු වෙනවාත් සමඟ අපේ ගතට සිතට දැනුණේ පූජනීය ස්ථානයකට ගියාක් මෙන් හැඟීමකි. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙනවාත් සමඟ සාලයේ ඇත්තේ අලංකාරවත් බුදු මැදුරකි. ගෙයි සාලය පුරාවට සඳුන් සුවඳින් පිරී ඇත. එමෙන්ම සාලය පුරා කනට මිහිරි සංගීතයක් දවස පුරා ඇසෙන්නට සලස්වා ඇත. බුදු මදුරේ නොනිමෙන පොල් තෙල් පහන් සිළුවෙන් නැඟෙන ආලෝකයෙන් බුදු කුටිය අඩ අඳුරේ ආලෝකවත් වී තිබෙන්නේ මුළු ගෙදරටම ශාන්තිය විදහාලන අයුරින්ය. අපේ කතාබහට ගෙයි මැද සාලය උචිත නොවූයෙන් අපි සුවිනීතාගේ ආරාධනයෙන් පිය මැන්නේ ගෙයි ඉහළ මාලයේ සඳලුතලය වෙතය. අවට පරිසරය සිසාරා එන සුළං රැලි අතරේ නිස්කලංක වට පිටාවක් තුළ අපි සඳලු තලයේ පනවා තිබූ ආසන මත අසුන් ගත්තේ සුවිනීතා හා කතාබස් කරන්නටය.

60’ දශකයේ සිනමාවට ආ කුසලතා පූර්ණ නිළියන් අතුරින් ඔබට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්?

ඒක මට කාරණා කීපයක් නිසා සුවිශේෂියි. මා තුළ කුඩා අවධියේ පටන් තිබුණේ පරිත්‍යාගශීලීකම. මට අවශ්‍ය වුණේ මිනිසුන් සතුටු කිරීමට, කෙනෙක් සතුටු වෙනවා දැකීම තමයි මම කුඩා කල පටන් ප්‍රිය කළේ. මට ගායනය වගේම නර්තනයත් හොඳට පුළුවන්. පාසලේ වුණත් මම කලා කටයුතුවල නියැළී සිටියා. ඒත් කවදාවත් රංගන ශිල්පිනියක් වීමේ අදහසක් තිබුණේ නැහැ.

රංගන ශිල්පිණියක් වීමේ අදහසක් නොතිබුණත් ඔබ අවසානයේ සුවිශේෂී රංගන ශිල්පිණියක් වුණා?

මම පාසලේ උසස් පෙළ කළාට පස්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. මට අවශ්‍ය වුණේ දේශීය වෛද්‍යවරියක් ලෙසින් හෝ අනුන්ට සේවය කිරීමයි. මගේ පියාණන් මගේ කලා හැකියාව හොඳින් වටහාගෙන තිබුණා. ඔහුට අවශ්‍ය වෙලා තිබුණා මම කවදාක හරි රංගන ශිල්පිණියක් ලෙසින් කටයුතු කරනවා දැකීමට. ඒ අනුව නළු නිළියන් ඉල්ලා පුවත්පතක පළ කර තිබුණු දැන්වීමකට ඉල්ලුම් පත්තරයක් දාලා තිබුණා. ඒ අනුව තමයි මම රොබින් තම්පෝගේ සුදු සඳේ කළුවළා චිත්‍රපටයේ රඟපෑමට මුලින්ම ආවේ.

වෛද්‍යවරියක් වීමේ ආශාව අතහැර ඔබ නිළි වෘත්තිය තෝරා ගත්තා?

රඟපෑම කියන දේ මගේ ඇඟේ තිබුණ දෙයක්. මට ඒ හැකියාව ආයාසයෙන් ගොඩනඟා ගන්න අවශ්‍ය වුණේ නැහැ. රඟපෑමෙන් වගේම වෛද්‍ය වෘත්තියෙන් කරන්නෙත් මිනිසුන් පිනවීම, සුවපත් කිරීම. අවසානයේ මගේ තේරීම වුණේ වෛද්‍ය වෘත්තියට සමු දී නිළි වෘත්තියට අවතීර්ණ වීම.

ඔබගේ බලාපොරොත්තුවට සාධාරණයක් ඉෂ්ට වුණාද?

වෛද්‍යවරියක් ලෙස මම කටයුතු කළා නම් ඒ කරන්නේ කෙනෙකුව කායිකව සුවපත් කිරීමක්. රංගනය තුළින් මම ඒ කටයුත්ත සිද්ධ කළා නම් එහිදී සිදු කරන්නේ රංගනය තුළින් රසිකයාගේ මනස සුවපත් කිරීමයි. මම හිතනවා මේ කොයි අකාරයෙන් සිද්ධ කළත් මගේ අරමුණට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා.

මම හිතන්නේ ඔබ දශක හයක කාලයක පටන් රංගනයේ නියැළෙන කලා ශිල්පිනියක්. ඒ වගේම එදා සිනමාවේ පෙරළිකාර චරිතයක්. අද වෙන කොට ඔබ නිහඬ වෙලාද?

ඒ වකවානුවේ වුණත් මා චිත්‍රපටවල රඟපාලා තියෙන්නේ චිත්‍රපට තෝරා බේරාගෙන. මුලින්ම මා සිනමාවට එනකොට මට මේ පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. ඒකට එක හේතුවක් වුණේ මම බාල අවධියේ සිනමාවට සම්බන්ධ වීම.

රොබින් තම්පෝගේ සුදු සඳේ කළු වලා චිත්‍රපටයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඒ වෙන කොට මගේ වයස අවුරුදු දාහතක් විතර ඇති. ඊට පස්සේ මම වාණිජ චිත්‍රපටවල රඟපෑවත් රොබින් තම්පෝගේ ‘සුදෝ සුදු’ චිත්‍රපටයේ රඟපාමින් මට කලාත්මක සිනමාවට අවතීර්ණ වෙන්න හැකි වුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මාව ‘දෙලොවක් අතර’ චිත්‍රපටයට සම්බන්ධ කර ගැනීමත් සමඟ මම වාණිජ රැල්ලෙන් මිදීමට සිතා ගත්තා.

ඔබේ සිනමාවේ හැරවුම් ලක්ෂය ‘දෙලොවක් අතර’?

ඔව්. මම මෙතනදි අවබෝධ කරගත්තා යථාර්ථවාදී තාත්වික සිනමාව මොකක්ද කියලා. එවැනි චිත්‍රපටවල රඟපෑ යුතු යැයි කියන තීරණයකට මම පැමිණියා. ඒ අනුව මම රංගනයේ දිගටම නියැළියත් විශාල චිත්‍රපට ප්‍රමාණයකට දායක වුණේ නැහැ. සීමිත චිත්‍රපට ප්‍රමාණයක කලාකාරියක් විදියට මගේ නම ගොඩ නඟාගෙන තෝරා බේරාගෙන රඟපෑවා.

මේ තෝරා බේරා ගැනිම නිතරම ඔබට හොඳ අධ්‍යක්ෂවරුන්ගේ හොඳ නිර්මාණ සඳහා ප්‍රවිෂ්ටවීමේ භාග්‍ය ලැබුවා?

වැලිකතර, දෙලොවක් අතර, හුලවාලි, සිකුරුලියා, සති පූජා, යුගාන්තය වගේ චිත්‍රපටවල මට රඟපෑමේ භාග්‍යය උදා වුණා.

රොබින් තම්පෝගේ අධ්‍යක්ෂණයක් වූ සුහද දිවි පිදුම චිත්‍රපටය ඔබේ මුල්ම රංගනය නොවේද?

නැහැ. සමහරු හිතනවා ඒ චිත්‍රපටය මගේ මුල්ම චිත්‍රපටය කියලා. එතනදි වුණේ මේකයි. මට රොබින් තම්පෝගේ සුදු සඳේ කළු වලා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරමින් මගේ සිනමා දිවිය ඇරැඹුවත්, ඒ වෙන කොට රොබින් තම්පෝ ඔහුගේ සුහද දිවි පිදුම චිත්‍රපටයේ වැඩ අවසන් කරමින් සිටියේ. මගෙන් ඔහු ඉල්ලිමක් කළා එයාගේ ඒ චිත්‍රපටයේ සින්දුවකට පෙනී සිටින ලෙස. මට නර්තනය වගේම ගායනයත් හොඳට පුළුවන් නිසා ඒ චිත්‍රපටයේ තිබූ මුහුදු වෙරළක කණ්ඩායමක් නටමින් සින්දු කියන රූගත කිරීමකට මම රංගනයෙන් දායක වුණා. එහිදී බොනිපස් ප්‍රනාන්දු සමඟ මට රඟපාන්න ලැබුණා. ඒ චිත්‍රපට දෙක අතරින් සුහද දිවි පිදුම මුලින්ම තිරගත වුණා.

මවගේ විරෝධය නොතකා ඔබ කලාවට එක් වෙනවා?

මගේ තාත්තාට හොඳ කලාත්මක ඇහැක් තිබුණා. තාත්තා තමයි මාව කලාවට ගෙනාවේ. ඒ ගෞරවය තාත්තාට හිමියි. ඒත් අම්මා මම කලාවට එනවාට තදින්ම විරුද්ධ වුණා. ඇයට ඕනෑ කළේ මම ආයුර්වේද වෛද්‍යවරියක් වෙනවා දකින්න. මම උත්පත්තියෙන්ම ලබලා තිබුණු ඒ සහජ හැකියාව තුළින් මම අපේක්ෂා කළේ කලාව පෝෂණය කිරීම. ඒ දේ මම ඉෂ්ට කළා මිසක් කලාව තුළින් මම පෝෂණය වෙලා නැහැ.

ඔබේ සිනමා චාරිකාවේ කඩඉම ‘දොලොවක් අතර’. ඊට ප්‍රවිශ්ට වීම සිද්ධ වෙන්නේ කොහොමද?

මම රඟපෑ සුදු සඳේ කළු වලා චිත්‍රපටයේ මංගල දර්ශනය බැලීමට ලෙස්ටර් - සුමිත්‍රා යුවල, ගාමිණී ෆොන්සේකා ඔය වගේ බොහෝ දෙනෙක් ඇවිත් හිටියා. ඒ වෙලාවේ මගේ රංගනය දැක්ක ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ දොලොවක් අතර චිත්‍රපටයට මට කතා කළා.

ඉතාම අඩු වයසෙන් සිනමාවට එන ඔබ තෝරා බේරා ගත් නිර්මාණ සඳහා දායක වුණෙත් එක දිගටම නෙවෙයි නේද?

මම අවුරදු දහඅටෙන් දහනමයෙන් විවාහ වෙනවා. මම හිතන්නේ වැලිකතරේ රඟපාන කොට මම දුවල දෙන්නෙක් ඉන්න ළාබාල මවක්. දෙලොවක් අතර රඟපාන කොට තරුණ කෙල්ලක්.

සිනමා නිර්මාණ සඳහා දායක නොවන අවධියේ ඔබේ කාලය ගෙවි ගියේ?

බටහිර, ඉන්දීය චිත්‍රපට මම නිතර නැරැඹුවා. පොත පත පුුදුම විදියට කියෙව්වා. ගෘහණියක්, බිරියක් වශයෙන් ඒ මම ගත කළ කාලය තුල මගේ බුද්ධිය මනස මම දැනුමෙන් වර්ධනය කර ගත්තා.

සිංහල සිනමාවේ දැවැන්තයින් සමඟ ඔබ කරට කර රඟපෑමේ භාග්‍ය ලත් නිළියක්?

ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ වගේම විජය කුමාරතුංග මේ හැම කෙනෙක් සමඟම මට රඟපාන්න ලැබුණා. අතළොස්සක් චිත්‍රපටවල රඟපෑවත් ඒක නිළියකට ලැබෙන භාග්‍යයක්. ඒ වාසනා ගුණයත් මට ලැබුණා.

ඔබ රඟපෑ නිර්මාණත් සමඟ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නියෝජනය කිරීමේ භාග්‍යයත් ඔබට උදා වුණා?

වැලිකතර චිත්‍රපටය අරන් රුසියාවේ ටෂ්කන්ට් අන්තර් ජාතික චිත්‍රපට උලෙළට යන්න, හුලවාලි චිත්‍රපටය අරන් ටෙහෙරාන් අන්තර් ජාතික චිත්‍රපට උලෙළට යන්න මට භාග්‍ය ලැබුණා. ඒ රටවලදී මට ඉහළ පිළිගැනීමක් ලැබුණා. මම ඉපදුණ මගේ රටේවත් මට එහෙම පිළිගැනීමක් අද වෙනකන් ලැබිලා නැහැ.

අද වෙන කොට ඔබ චිත්‍රපටවල රඟපෑම සිමා කරලද?

මම ප්‍රසිද්ධිය පස්සේ දුවන ගැහැනියකුත් නොවෙයි. වාණිජ සිනමාවේ ඕනෑ තරම් චිත්‍රපට මට ලැබුණා. මම ඒ හැම එකකටම ගිය ගැහැනියක් වුණෙත් නැහැ. දැනටත් මම රංගනය නතර කරලා නැහැ. හොඳ චිත්‍රපටවල රඟපානවා කියන මතයේ තමයි මම අදටත් ඉන්නේ. 2010 වසරේ ඉර හඳ යට චිත්‍රපටයේ රඟපෑවට පස්සේ මම ගිය අවුරුද්දේ අවසානයේ රඟපෑවේ උදයකාන්ත වර්ණසූරියගේ බන්ධන චිත්‍රපටයේ. අද නිපදවන බොහෝ චිත්‍රපට වාණිජ රැල්ලේ නිසා මාව බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ.

තවත් කාරණා මේකට හේතු වෙනවා කියලා කියන්නද ඔබ උත්සාහ කළේ?

අද මේ ක්ෂේත්‍රයේ සිටින කොටසක කල්ලි ගැසුණු ස්වභාවයක් දකින්න තියෙනවා. ඒ කල්ලියේ කට්ටිය විතරයි චිත්‍රපටයට ගන්නේ. චරිතයට සුදුසු ද නැද්ද ඒ අයට අදාළ නැහැ. කල්ලිවාදය තුළ චිත්‍රපට නිෂ්පාදනය වගේම අධ්‍යක්ෂණයත් සිද්ධ කරනවා. ඒ කල්ලිවලට මම නැති නිසා සිනමාවෙන් මාවත් ඈත් කරලා, මාත් ඈත් වෙලා ඉන්නවා.

ඔබ ක්ෂේත්‍රය පිළිබඳ බොහෝ කලකිරීමකින් යුතුවයි කතා කරන්නේ කියා මට හැඟෙනවා?

මගේ කලා ජීවිතයේ ආරම්භයේ ඉඳලා මේ දක්වාම මට අසාධාරණකම්වලට ලක්වෙන්න සිද්ධ වුණා.

කාගෙන්ද ඔය වගේ අසාධාරණකම් සිද්ධ වුණේ?

මාධ්‍යවලින්, ක්ෂේත්‍රයේ අයගෙන් මට කැපිලි කෙටිලි ආවා. දුෂ්ටකම් සිද්ධ කළා. මගේ රංගන හැකියාවන් සඳහා පිටරටවල පවා ඇගැයීමක් සිද්ධ කරද්දී උපන් රටේ එහෙම ඇගැයීමක් සිද්ධ කළේ නැහැ. බොහෝ විට මට ගෞරවයක් ගෙන දෙන්න ඕනෑ තැනකදී කළේ අගෞරවයක් වන විදියට වැඩ කිරීම. බුදුන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ දේවල් සිද්ධ වුණා. කුහක දුෂ්ට සමාජයක් තමයි මේ කලාව තුළ තියෙන්නේ. අද තියෙන්නේ කපුටන් පිරිවරාගෙන හංසයෝ ඉගිළෙන යුගයක්. මම හොඳට අටලෝ දහම පිළිබඳ අවබෝධයක් ලබා සිටින නිසා මේ අකෘතඥ සමාජය ගැන පුදුම වෙන්නේ නැහැ.

ඔබ සිනමාවට එන අවධියේ ඔය වගේ කුහක දුෂ්ට සමාජයක් කලාව තුළ තිබුණේ නැද්ද?

මම පිවිසුණු යුගයේ මේ තරම් පිරිහිලා තිබුණේ නැහැ.

අද ඔබ සිටින තැනත් එදා ඔබ පැමිණි මඟත් ගැන ආපසු හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?

බාධාවන් ගොඩක් මැදින් මේ ගමන එන්න ලැබීම ගැන මම තෘප්තිමත් . බොහොම මහන්සි වෙලා කැප කිරීම් කරලා ආපු ගමන දිහා බලන කොට භාව ප්‍රකාශනය තුළින් මම ප්‍රේක්ෂකයන්ට යම් දෙයක් ලබා දී ඔවුන් සතුටට පත් කිරීමට ලැබීම ගැන මම තෘප්තිමත්. මම යම් චරිතයක් රඟපෑවා නම් ඒ චරිතයේ සාර්ථක අසාර්ථක බව විනිශ්චය කරන්නේ ප්‍රේක්ෂකයෝ. එයාලගේ ප්‍රතිචාර තුළින් මම ඒ තෘප්තිය ලබනවා.

ප්‍රවීණ නිළියක් හැටියට අද කලා ක්ෂේත්‍රයට එන පිරිස් ගැන මොකද හිතෙන්නේ?

අද බොහේ විට ඉන්නේ සර්ව පිත්තල කලාකාරයෝ. අඩුම තරමින් ඔවුන් කලාවේ ඉතිහාසයවත් දන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයේ වැඩිහිටි නළු නිළියන් ගැන දන්නේ නැහැ. හැටේ, හැත්තෑවේ, අසූවේ දශකවල හිටිය නිළියන්ට තවමත් ප්‍රේක්ෂකයෝ ගරු කරනවා. කලාව වෙනුවෙන් කැප වූ ආකල්පමය වශයෙන් වෙනස් ප්‍රසිද්ධියට, මුදල් උපයා ගැනීමට නොමැතිව ඔවුන් කලාවට කැප වුණා කියලා මිනිස්සු දන්නවා. නමුත් ඊට වඩා වෙනස් තත්ත්වයක් තමයි අද තියෙන්නේ. අද මුදල, ප්‍රසිද්ධිය මුල් තැන අරන් කලාව පහලට වැටිලා. තමන්ගෙන් විය යුතු කාර්යභාරය ගැන නොසිතා ආත්මාර්ථකාමී බවෙන් වැජඹෙන්න තමයි හදන්නේ. තරුණ පරපුරේ සමහර නිළියන්ගේ ක්‍රියා කලාපය නිසා මුළු නිළි සංහතියම බාල්දු වෙලා. ප්‍රවීණ කලාකරුවෙකුට තියෙන ගෞරවය ඔවුන් දක්වන්නේ නැහැ. ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න අකමැති පිරිසක් අද ඉන්නේ. හරයක් නැති ගැඹුරක් නැති රූකඩ රූප තියෙන අය ප්‍රසිද්ධියට, මුදලට කරන මහා විනාශය මුළු කලා ක්ෂේත්‍රයටම මරු පහරක්. මේ අයගෙන් කලාවට ප්‍රේක්ෂකයාට සෙතක් වෙයිද කියලා උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ.

තිරිවාන ගල් අතරේ මැණික් පවා මතුවෙන අවස්ථා තියෙනවා කියනවා. කලා ක්ෂේත්‍රය තුළ?

බොහෝ දෙනෙක් ඉන්නවා දක්ෂ අය. ඒ වගේ අයත් මට මුණ ගැහිලා තියෙනවා.

සම්මානනීය ඇගැයුම් ගිලිහී ගිය නිළියක් ඔබ?

මට ඔය දෙන සම්මානවලට වඩා රටේ ජනතාව දෙන සම්මානය ඉහළයි. මොන යම් හෝ ආකෘතිමය සම්මානයක් අතට දීලා කරන ඇගැයීම ඒ වෙලාවට විතරයි. ඒත් ජනතා සම්මානය සදාකාලිකයි. මට මෙතෙක් ලැබුණු ඒ සදාකාලික ජනතා සම්මානය අදටත් මට ජනතාවගෙන් ලැබෙනවා. සම්මාන දීම වගේම කලා ක්ෂේත්‍රය පිළිබඳවත් මට තියෙන්නේ ද්වේශයක් නොවෙයි, කලකිරීමක්.

අද වෙන කොට සිනමා නිර්මාණ ඔබට නොලැබීම තුළ ටෙලි නාට්‍ය නිළියක් වෙලාද?

පුද්ගලික හිතවත්කම් කල්ලිවාද මට නැති නිසා ආරාධනාත් අඩුයි. හැබැයි සඳුන් ගහේ සුවඳ හැමදාම තියෙනවා. ඒ කියන්නේ මේ සුවිනීතත් සඳුන් ගහක්. සිනමාවේ තියෙන ගාම්භීරත්ය ටෙලි නාට්‍යයක නැහැ. නමුත් මම හොඳ ටෙලි නාට්‍යවල රඟපානවා. ඒ මුදල් හා ප්‍රසිද්ධිය සඳහා නොවෙයි. මම මුදලක් ගන්නෙත් වෘත්තීය ගරුත්වය රැකගන්න.

ඔබ අද වෙන කොට ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් දක්වනවා කියලා මට හිතෙනවා ගෙදරට ඇතුළු වෙන කොටම?

මම ශාසනයට, දරුවන් තුන් දෙනාට, ඥාතින්ට මගෙන් විය යුතු යුතුකම් හරි ආකාරව ඉෂ්ට කළා කියලා මට සතුටු වෙන්න පුළුවන් තැනක මම ඉන්නේ. ආධ්‍යාත්මික පැත්ත මගේ පාසල් කාලයේ පටන්ම තිබුණු දෙයක්. අද වෙන කොට මට ජීවත් වෙන්න මුදල් හදල්, ගෙවල් දොරවල්, යාන වාහන තියෙනවා. මම යම් මුදලක් රඟපාලා ගන්නවා නම් එය අද වෙන කොට අන් අයගේ සුබසාධනයට තමයි යොද වන්නේ. සුවස කියලා මම සහන පදනමක් පටන් ගත්තා. ඒ පදනම හරහා මම සමාජ සේවයේ බොහෝ දේවල් සිද්ධ කරනවා. වතුර නැති ප්‍රදේශවල මිනිස්සුන්ට ඉතා දුෂ්කර ප්‍රදේශවලට ගිහින් වතුර ටැංකි ප්‍රදානය කළා. පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ප්‍රදානය කළා. මීපෙ ප්‍රදේශයේ මම අරන් තිබුණ ඉඩමක සියලු ගෙවීම් අවසන් කර එය මව අතහැර ගිය දරුවන් සතර දෙනෙකු ඉන්න පියකුට පරිත්‍යාග කරලා තව කීප දෙනෙකුගේ උදව් ඇතිව නිවසක් පවා ඉදි කරලා දුන්නා. මේ වගේ බොහෝ සමාජ සේවා කටයුතු මම සිද්ධ කරනවා මගේ පදනම හරහා. ඒ වෙනුවෙන් මගේ ස්වාමියා නන්දලාල් මාලගොඩ පුදුම සහයෝගයක් ලබා දෙනවා. මේ වගේ වැඩ කිරීමෙන් රංගනයේදී මම කෙනෙකුගේ මනස සුවපත් කරනවා වගේ මමත් මෙයින් අසීමිත තෘප්තියක් ලබනවා.

අද වෙන තුරුත් ඔබේ රූ සපුව මෙලෙසින් රැක ගැනීමේ රහස මොකක්ද?

මගේ ඇඟේ අනවශ්‍ය ලෙස මේකප් තැවරීමක් නැහැ. ඉස්සර මට දිග කොණ්ඩයක් තිබුණා. පියරු ටිකක් මුහුණේ ගා ගන්නවා ඇරෙන්න විශේෂ මේකප් තැවරිමක් නැහැ. හැබැයි මම හැමදාම උදේට රෑට පැයක් භාවනා කරනවා. උදේට සවසට තුන් සූත්‍රය කියනවා. මම නිවසේ වෙසෙන සෑම දිනකම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැය විසි හතර පුරා දැල්වෙන පොල් තෙල් පහනක් දල්වනවා.

අද ඔබට එකම පිහිට ආධ්‍යාත්මික සුවය?

අටලෝ දහම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම තුළ මම සමාජයෙන් ඉගෙන ගත් දේ බොහොමයි. මම උදව් කරපු ඕනෑ තරම් අය මේ සමාජයේ ඉන්නවා. ඒත් මට පෙරලා උපකාර කරන්න ඒ කිසිවෙක් අද වෙනකන් ඉදිරිපත් වෙලා නැහැ. දුෂ්කර කර්කෂ දිවි පෙවෙතක් පසු කරගෙන ආපු මම අද වෙන කොට ජිවිතයේ ගැඹුර හොඳින් වටහා ගෙනයි ඉන්නේ. පරාර්ථකාමිත්වය තුළින් අනුන්ට දන්දීමෙන් ලබන මානසික සුවය ගුණමකු මිනිසුන්ගේ අධම ක්‍රියාවන් යටපත් කොට මගේ සිතට ගෙන දෙන්නේ මහත් වූ සිසිලසක්.