|
|
අජන්තාට දුන් පොරොන්දුව අර්ජුන ඉටු කරයි
කේමදාස මාස්ටර් එදා නව රඟහලේදී පුහුණුව අතර කේන්තියෙන් සියල්ල දමා ගසා වාදක මණ්ඩලය සමඟ ගියාට පසු මාසයකින්වත් මට හමු නොවීය. මා ඉතා සමීපව ඇසුරු කළ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා ඔහු විය. අපේ ඇසුරට වසර 9 ක් සපිරී තිබූ අතර 'සරසවිය' පුවපත්පතේ ඔහු ගැන 1970 වසරේ සිට වැඩිම විශේෂාංග ගණනක් ලිවීමේ අවස්ථාව ද මට හිමි විය. මට කේමදාසයන්ගේ ඈත මතකය යළිත් සිහිපත් විය. ආනන්දයේ අප පන්තියේ සිටි රන්ජිත් ලාල් (නිම්වළල්ල චිත්‍රපටයේ අධ්‍යක්ෂ) කේමදාසයන්ගේ ගෝලයෙකි. කේමදාසයන්ගේ සංගීත වාදක මණ්ඩලයේ එකෝඩියන් වාදකයන් වූයේ හරුන් සභා සහ රන්ජිත්ය. මාස්ටර් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිට අපි මරදානේ සෝමා කැෆේ අවන්හලට ගොස් කජු මාළුව සමග ඉඳිඅප්ප කෑමට පුරුදුව සිටියෙමු.
මරදානේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි කේමදාසයන්ගේ සංගීත මංජරියේදී අපට විවධ කලාකරුවන්
හමුවීමේ අවස්ථාව ලැබිණ. සරත් දසනායක, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, තිලකරත්න
කුරුවිට බණ්ඩාර, සුනිල් ආරියරත්න, විජය කුමාරතුංග, සෝමපාල ලීලානන්ද, එඩ්වඩ් සෝමපාල,
කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මේ අතරින් මට මතකයට එන නම්ය. එකල මාස්ටර් පදිංචිව සිටියේ
නාරාහේන්පිට නිවසකය. සංගීතඥයකු ලෙස ඔහු ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළ ද, ආගන්තුක
සත්කාර කිසි දින අඩුවක් නොකළේය. නැති බැරි මිනිහාට නිර්ලෝභීව උපකාර කළ ඔහුගේ දකුණු
අත දුන් දේ වම් අත නොදැන සිටියේය. මාස්ටර්ගේ ඉහවහ ගිය මානව භක්තිය
ඒ වන විට (1976) අපට ලැබුණු කුලුඳුල් පුතාට (නුවන් නයනජිත් කුමාර) මාස 7 ක් පමණ විය. අපට බලපෑ ලොකුම ප්‍රශ්නය නම් දරුවාට කිිරි පිට ලබාදීමේ දුෂ්කරතාවයයි. ලැක්ටෝජන් ෆුල් ක්‍රීම් පැකට් දෙකක් කාඩ් පතට ලැබෙයි. මේ පැකට් දෙක ලබා ගැනීමට යුද්ධයක් කළ යුතුය. පැකට්ටුවක මිල රු 2 යි ශත 20 කි. කිරි පිටි සොයමින් පුංචි බොරැල්ලේ කඩයක් ගානේ රස්තියාදුවේ ගිය දවසක කාර් එකක් මා අසල තිරිංගය ගසා නතර විය. 'රංජිත් මොනවද හොයන්නේ . . .' ඒ කේමදාස මාස්ටර්ය. 'පුතාට ලැක්ටෝජන් හොයනවා. කාඩ් එකටනේ දෙන්නේ' 'ඒක යකාගේ වැඩක් නේ. දරුවව බඩගින්නේ තියන්න පුළුවන්ද? මොනාවද දෙන කිරි පිටි?' 'ලැක්ටෝජන් ෆුල් ක්‍රීම්' 'මම දැන් ඉ.ඹ්.ඕ.ඛ් ( ගුවන් විදුලි සංස්ථාව) එකට යනවා. හෙට දවල් මාව ගෙදරදී හම්බ වෙනවද?' පුතාට කිරි පිටි තිබුණේ පසුවදාට පමණි. මා පසුවදා බොරැල්ල පැත්තේ රස්තියාදු ගසා රාජගිරියේ කේමදාස මාස්ටර්ගේ නිවසට යන විට දවල් වී තිබුණි. 'ආ රංජිත් දැන් කෙළින්ම ගෙදර ද යන්නේ' 'ඔව්' සරම කැහැපට ගසා ගත් ඔහු ගෙය තුළට ගියේය. ඔහු පැමිණියේ ලැක්ටෝජන්වලින් පිරි ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙනය. 'නෙස්ලේ කොම්පැණියේ මගේ යාළුවෙක් ඉන්නවා. එයාට කියලා අද උදේ ගෙන්න ගත්තේ. ඔක්කෝටම වැඩිය ලොකුයිනේ දරුවගෙ බඩගින්න.' 'මාස්ටර් මේවට සල්ලි' 'විකාර . . . මේක මොකක්ද? දැන්මම ගෙදර ගෙනි යන්න' මම පස්වනස් ප්‍රීතියෙක් ගෙදර ගියෙමි. කේමදාස මාස්ටර් මෙවැනි උපකාර කිරීමට සූරයෙකි . එපමණක් නොව ගෙදරට එන හිතවතුන්ට අමුත්තන්ට ආගන්තුක සත්කාර කිරීමෙන් ද ඔහු සතුටක් ලබයි. තම මුළුතැන්ගෙයට අවශ්‍ය රම්පෙ කරපිංචා ටිකේ සිට අවශ්‍ය බඩු ගෙන ඒමටත්, එහිදී වැඩි මිලට හොඳම දේ නිර්ලෝභී ලෙස මිලට ගැනීමත් ඔහුගේ සිරිතය. රසවත් ආහරයක් හදා මිතුරන්ට සංග්‍රහ කිරීමටත්, එහි රස ගුණ අසා මහා හයියෙන් සිනාසීමටත් ඔහු කැමතිය. එවකට මුළුතැන්ගෙය භාරව සිටි වයෝවෘධ එහෙත් පින්බර මුහුණක් හිමි නිරෝගී පියකරු මොයිසක්කා ගෙදරට එන මාස්ටර්ගේ මිතුරන් සැවොම හඳුනයි. විශේෂයෙන්ම ටී. අර්ජුන, ධර්මසේන පතිරාජ, ලූෂන් බුලත්සිංහල, මු. අරුක්ගොඩ , ඩබ්ලිව්. ජයසිරි, දයා තෙන්නකෝන්, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, අජන්තා රණසිංහ ආදීන්ගේ රුචි අරුචිකම් අනුව කෑම සෑදීමට ඇය ඉවෙන් මෙන් දනී. මම ද එම සංග්‍රහ බොහෝ විට භුකිත් විඳ ඇත්තෙමි. කේමදාස මාස්ටර්ගේ ගජයා වූයේ ටී. අර්ජුනය. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ඔහු රාජකීය විද්‍යාලයේ ඉගෙනීම ලබා පසුව එංගලන්තයට ගොස් ලන්ඩන් ෆිල්ම් ස්කූල්හි දී සිනමාව ගැන හදාරා බෲනයි රජයේ රජ කුමරුගේ ආරාධනයෙන් එම රටේ රජයේ චිත්‍රපට අංශය භාරව කටයුතු කළ කෙනෙකි. මාස්ටර් මිය යන තෙක්ම මේ දෙදෙනා ගහට පොත්ත මෙන් සිටියෝය. දෙදෙනාගේ පොදු ලක්ෂණ තිබුණි. හිතුවක්කාර දඩබ්බර වූ මේ දෙදෙනා කොපමණ පාඩු වුණත් අයුක්තිය වෙනුවෙන් සටන් කළහ. මේ නිසා ඔවුනට පාඩු වන අවස්ථා තිබුණි. අර්ජුන හා මා එකම පළාතේ එනම් කොටහේනට කිට්ටුවම පදිංචිව සිටියහ. මම අප නිවසේ සිට පයින්ම කෙටහේනේ කොලේජ් වීදියේ පිහිටි ඔහුගේ නිවසට සතියට දෙවරක්වත් ගියෙමි. එය නිවසක් පමණක් නොව කලා නිකේතනයකි. එහි නම 'නෘත්‍යයෝදය'ය. අර්ජුනගේ අම්මා එතෙර මෙතෙර නම රැන්ඳූ සුප්‍රකට නාට්‍ය ශිල්පිනියකි. ඇය නමින් රංජනා තංගරාජා නම් වූවාය. එතෙර චිත්‍රපටයක නැටුම් දැක් වූ ප්‍රථම නිළිය ද ඇයයි. ඒ කැරොල් රීඩ්ගේ 'අවුට් කාස්ට් ඔෆ් දි අයිලන්ඩ්' චිත්‍රපටයෙහිය. මා අර්ජුන හමුවීමට යන්නේ ඔහු හාපුරා කියා අධ්‍යක්ෂණය කොට තිරගතවීමට නියමිතව තිබූ 'කලියුග කාලේ' චිත්‍රපටය ගැන 'සරසවිය' පත්‍රයට ලිවීමටය. අපේ බැඳීම පත්තරයෙන් එහාට පැතිර ගියේය. උදෑසන 7 ට පමණ මම කොටහේනේ නිවසට ගිය ප්‍රථමයෙන් දකින්නේ තෙපුල් දෙන වේදිකාවක නැටුම් දක්වන රංජනා තංගරාජා සුප්‍රකට නර්තනවේදිනියයි. මම ආසාවෙන් බලා සිටිමි. අර්ජුනගේ පියා තංගරාජා මහතා 'ඩේලි නිවුස්' පත්තරය ද රැගෙන කන්තෝරු කාමරයට එන්නේ ද මේ වේලාවටය. සුදුම සුදු රැවුලකට උරුමකම් කී මේ ප්‍රසන්න පුරුෂයා මට 'ගුඩ් මෝනිං' කියා අසුනක් පනවා තම පුතා එනතුරු සිටින්නැයි කාරුණිකව කියයි. ඔහු මගෙන් බොහෝ දේ අසයි. දක්ෂ ගුරුවරයකු ලෙස ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සේවය කළ තංගරාජා මහතාගේ ප්‍රියතම ගෝලයන් දෙදෙනා වී ඇත්තේ ඩඩ්ලි සේනානායක (අගමැති) හා සී. පී. ද සිල්වා (අමාත්‍ය) මහතුන්ය. ඉඩ ලැබෙන පරිදි තංගරාජා මහතා මට පැරණි තොරතුරු කියයි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ගැන ගුණදාස ලියනගේ ලියූ චරිතාපදානයෙහි තමාට ඉගෙන ගැනීමට පත පොත සපයා දී උසස් අධ්‍යාපනය ලන්ඩනයේදී කිරීමට මුදල් හදල් දී ඇත්තේ තංගරාජා මහතා බව රාහුල හිමියෝ නිහතමානීව පවසති. තංගරාජා මහතා තම හිතවත් මිත්‍ර ස්වාමීන් වහන්සේලා ගැන ගෞරවයෙන් මා සමඟ කතා කොට තිබුණි. මහාචාර්ය වල්පොල රාහුල, මහාචාර්ය හැවන්පොල රතනසාර, මහචාර්ය සිරි සීවලී, මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස, මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, කළල්ඇල්ලේ ආනන්ද සාගර මේ උගත් ස්වාමීන් වහන්සේලා වූහ. අර්ජුන තමා මීළඟට කරන චිත්‍රපටය් තිර කතාවේ පිටපතක් මට දුන්නේය. 'වසන්තේ දවසක්' නම් ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කේමදාස මාස්ටර්ට භාරදීමට තමා කැමැත්තෙන් සිටින බව ඔහු කී විට මම එය අනුමත කරමින් කතා කළෙමි. මේ අතර මා මිත්‍ර 'දිනමිණ' පුවත්පතේ උප කතුවරයකු වූ අජන්තා රණසිංහ ලියූ ගීත ඇතුළත් ප්‍රසංගයක් 'අජන්තා ගීතාවලිය' නමින් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටියේය. අමරදේව, වික්ටර්, සනත්, අමරා හා දයා ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් ගී ගැයීමට නියමිත මේ ප්‍රසංගය සඳහා නිකුත් කරන සමරු කලාපයට වෙළඳ දැන්වීම් කිහිපයක් ලබා ගැනීමට අජන්තා මගේ සහාය පැතීය. එකල සරසවියේ විශේෂාංග ලිවීම නිසා බොහෝ චිත්‍රපට නිෂ්පාදකයන් දැන සිටියේය. අජන්තාගේ ස්කූටරයේ නැඟී අප මා දන්නා හඳුනන නිෂ්පාදකයන් සොයා ගොස් දැන්වීම් ලබා ගත්තෙමු. කොටහේනේ අර්ජුනගේ නිවසට ගිය අපි කාරණා කිව්වෙමු. 'මම දැන්වීමක් දෙන්නම්. හැබැයි සල්ලි දෙන්නේ මගේ ඊළඟ චිත්‍රපටයේ ඔයා ගීත ලියන කොට. මම ඩබල් ගෙවනවා' තමාට චිත්‍රපටයක ගීත ලිවීමට ලැබීමෙන් දැන්වීමේ මුදල් ලැබීමට වඩා අජන්තා සතුටට පත් විය. අර්ජුනගේ දැන්වීම ද රැගෙන අජන්තා අපේ නිවස බලා ස්කූටරය පැද විය. 'අජන්තා ගීතාවලිය' සමරුව මුද්‍රණය කළේ මගේ පියාගේ මුද්‍රණාලයෙනි. තාත්තා මගේ මිතුරන්ට ඉතා හොඳින් සැලකූ අතර ඔවුන් මට වඩා ඔහුගේ මිතුරන් කර ගත්තේය. ඉතා සහන මිලකට තාත්තා එය ඉටු කර දුන්නේය. මගේ බිරිඳ දමයන්ති ළමා ගායිකාවක ලෙස ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙන් මතු වුණා මිස එකල ප්‍රසිද්ධ වේදිකාවක ගී ගයා නොතිබුණි. දිනක් අජන්තා මගෙන් මෙසේ ඇසීය. 'රන්ජිත් ඔයා මට හුඟාක් උදව් කළා. වෙළඳ දැන්වීම් 10 ක් අරං දුන්නා. සමහරු සමරු කලාපය මුද්‍රණය කරන්න ඉස්සර සල්ලිත් දුන්නා. මම ඔයාට උදව්වක් කරන්න ඕනෑ. මගේ ප්‍රසංගයේ දමයන්තිට ගීතයක් කියන්න දෙමු. මම ගීතය ලියලා කේමදාස මාස්ටර්ට කියලා මෙලඩියක් දාගමු' 'කුල කුමරියනේ දොරට වඩින්' නම් අජන්තා ලියූ ඒ ගීතය දමයන්ති 'අජන්තා ගීතාවලී' ප්‍රසංගයේ ගැයුවාය. ප්‍රසිද්ධ වේදිකාවක තමා මුල්වරට මේ ගීතය ගැයීමට අවස්ථාව දීම ගැන ඇය අජන්තා අයියා ගැන සැමදා කෘතඥතාවයෙන් කතා කළාය. ඉන් පසු අජන්තා ලියූ චිත්‍රපට ගීත කිහිපයක් ඇය ගැයුවාය. ඒ අතරින් 'බිනරි සහ සුදු බණ්ඩා' චිත්‍රපටයට අජන්තා ලියූ 'හිරු දෙවියෝ වඩිනා සේමා' ගිතය ඇගේ ප්‍රියතම චිත්‍රපට ගීතය ලෙස නිතරම සඳහන් කළාය. අද ජීවිතයෙන් සමුගෙන සිටින 'අජන්තා අයියා' ගැන ඇයට සැමදා තිබුණේ ගෞරවාදරයකි. අර්ජුන අජන්තාට වූ පොරෙන්දුව ඉටු කළේය. ඉන් වසර 04 කට පසු 1979 වසරේ තිරගත වූ අර්ජුන අධ්‍යක්ෂණය කළ 'වසන්තේ දවසක්' චිත්‍රපටයට අජන්තාට ගීත රචනා කිරීමට අවස්ථාව දී දෙගුණයක් මුදල් ගෙවීය. 1980 වසරේ පැවති ජනාධිපති සම්මාන උලෙළේදී දක්ෂතම ගීත රචකයාට හිමි ජනාධිපති සම්මානය හිමි වූයේ අජන්තා 'වසන්තයේ දවසක්' චිත්‍රපටයට ලියූ සනත් හා ලතා ගැයූ 'දේදුන්නෙන් එන සමනලුනේ' ගීතයටය. කේමදාසයන් දක්ෂතම සංගීත අධ්‍යක්ෂ ලෙස සම්මානනීය විය. අර්ජුනට ජනාධිපති සම්මානය නොලැබුණ ද ඔහුගේ 'වසන්තේ දවසක්' චිත්‍රපටයට ජනාධිපති සම්මාන 8 ක් හිමි විය. ජනාධිපති සම්මාන උලෙළින් පසු අර්ජුන සම්මානලාභී තම ගජ මිතුරා ප්‍රේමසිරි කේමදාසයන්ට අපූරු තෑග්ගක් ප්‍රදානය කළේය. එනම් යමහා පියානෝවකි. අද කේමදාසයන් අප අතර නැතත් රාජගිරියේ ඔහුගේ නිවසේ මේ පියානෝව අභිමානයෙන් වැජඹෙයි. අද එය වයන්නී කේමදාසයන්ගේ දියණියන් දෙදෙනා වූ අනූපා හා ගයත්‍රිය. මේ දෙදෙනා ද තම පියාගේ පියානෝවෙන් සංගීතය නිර්මාණය කොට 'තණ්හා රතී රඟා' චිත්‍රපටය සඳහා සම්මාන හිමි කර ගත්හ. |



පිළිබිඹු කළ
පුද්ගලික සිද්ධියක් මා මෙහි සඳහන් කරන්නේ අද අප අතර නැති ඔහුව කෘතගුණ පූර්වකව මතක්
කරමිනි.