වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුමධුර හඬකට උරුමකම් කී විමලා කාන්තා
මෙරට පැරැණිතම රංග ශිල්පි පරම්පරාව සිහිපත් කරන ලිපි මාලාව

සුමධුර හඬකට උරුමකම් කී විමලා කාන්තා

විමලා කාන්තාගේ පියා වූ කලී ජෝන් විලියම් වොල්බියොෆ් නම් බ්‍රිතාන්‍ය ජාතික පොලිස් නිලධාරියෙකි. ඔහු රාජකාරිය සඳහා ලංකාවට ආ විටෙක සිංහල ජාතික කාන්තාවක් වූ 'බැලසත්ත' ආදී නාඩගම්වල ප්‍රධාන චරිතවලට පණ පෙවූ ප්‍රසිද්ධව සිටි රූමත් ජේන් නෝනා හා විවාහ විය. එම දෙපළට ලැබුණු දියණිය ග්ර්ට්රූට් මාග්‍රට් වොල්බියොෆ් පෙරේරාය. මාග්‍රට් සත් හැවිරිදි විය දක්වා ඉතා වාසනාවන්ත ලෙස සිය ළමා කාලය ගත කළාය. එහෙත් ජේන් නෝනා සිය එකම දියණිය තනි කර දමා මෙලොව හැර ගිය පසු හැරියට් නම් කුඩම්මාගේ යටතේ අතිශය දුෂ්කර කාලයක් ගත කළාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුඩම්මාගේ සැලකිලිවලට ලක් වු කුඩා මාග්‍රට් නිරන්තර හිරිහැරවලට ලක් වූවාය. අසල්වාසීන්ගෙන් ලද දයා කරුණාවෙන් මඳ අස්වැසිල්ලක් ලැබුණ ද දෙමටගොඩ මහා විද්‍යාලයේ දෙවෙනි කැලෑසියෙන් පාසැල් ගමන නතර කරන්නට සිදු විය. උත්පත්තියෙන්ම රංගන හැකියාව උරුම කරගත් නිසාදෝ ටවර්හෝල් රඟහලේ කීර්තිධර රංග ශිල්පියෙකුව සිටි පී. එච්. ස්ටැන්ලි පෙරේරා (මාස්ටර්) ගේ පියා වූ ජී. එච්. ලෝරන්ස් පෙරේරාට මුණ ගැසීමෙන් මාග්‍රට්ගේ ජීවිතයේ ගමන් මඟ කලා මාධ්‍යය වෙත යොමු විය. මැයගේ රංගන ගායන දක්ෂතා හඳුනා ගත් ජී. එච්. ලෝරන්ස් පෙරේරා ඇයව ටවර්හෝල් නාට්‍යවලට සම්බන්ධ කළේය. ඒ අනුව 1934 දී 'මානාභරණ' නාට්‍යයෙන් තම වේදිකා රංගන චාරිකාව ආරම්භ කළාය. එහෙත් ගර්ට්රූට් මාග්‍රට් වොල්බියොෆ් පෙරේරා වූ ඇය 'විමලා කාන්තා' ලෙස නම් ලද්දී, ගායනයට සහ රංගනයට සුවිශේෂ දක්ෂතා පෙන්වීම නිසා දිගින් දිගටම රංගනයේ යෙදුණ චරිත අතර 'ශ්‍රී වික්‍රම', 'විධුර', 'හෙලදිව පුරඟන', 'රොඩී කෙල්ල', 'බලගතු කාසිය', 'ලෝකාග්‍ර ආඥාව', 'හත්වෙනි පැය', 'බෞද්ධ සටහන', 'ගවර්නර්ස් කප්', 'මායාදුන්නේ', 'බිහිසුණු ලංකාව', 'සිවම්මා ධනපාල', 'සිරිසඟබෝ', 'රාමායනය', 'සිංහල කොල්ලා' ආදී ගණනින් සිහිපත් නොකළ හැකි තරම් නාට්‍ය ප්‍රමාණයකට දායක වූවාය. නිතිඥ ජෝන් ද සිල්වා ශූරින්, නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්, සිරිසේන විමලවීර, ඕගන් රුද්‍රිගූ , සී. බෙන්ජමින් ප්‍රනාන්දු, ලුවී රුද්‍රිගූ, ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු ආදී නාට්‍ය නිෂ්පාදකවරුන්ගේ නාට්‍යවල රංගනයේ යෙදුණාය.

ඇය ජූලියන් ප්‍රනාන්දු, මෛත්‍රීපාල, සුසිලා ජයසිංහ, ලක්ෂ්මී බායි, සෝමා කාන්තා, කමලා කාන්තා, ඇනී බොතේජු, එන්. රොම්ලස් ද සිල්වා, ටී. විල්බට් පෙරේරා, ටී. ඇන්. පෙරේරා, සරලා බායි, පර්සි පෙරේරා, පී. එච්. පොඩි අප්පුහාමි, එම්. පී. ඩයස් ආදීන් ඇයගේ සමකාලීන ටවර්හෝල් ශිල්පීන්ය. මරදාන හන්දියේ ගමන් ගන්නා මගීන්ට ද ඇසෙන පමණටම ගයන්නට ශක්තිමක් මධුර හඬක් ඇයට හිමි වී තිබුණා. රටක් නළවන ස්වර්ණමය ගායිකාව වූ සුජාතා අත්තනායකගේ මෑණියන් වූ විමලා කාන්තා ඇයගේ සෙසු දරුවන්ට ද එම ගායන හැකියාව ජන්මයෙන් උරුම කර දුන්නාය. විමලා කාන්තාගේ ගායනයන් සඳහා සංගීතය සැපයූ සංගීතඥයන් අතර ටවර් යුගයේ දක්ෂතම සංගීතඥ ගවුස් මාස්ටර්, බී. එඩී ද සිල්වා (එඩී මාස්ටර් - එඩී ජූනියර්ගේ පියා), එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්, සාදිරිස් මාස්ටර් (සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා), එම්. ආර්. චන්ද්‍රසේන ආදී වශයෙන් නූර්ති නාට්‍ය සංගීතය අරභයා අනුපමේය දායකත්වයක් ලබා දුන් සංගීත ඇදුරන් ගණනාවක්ම විය.

විමලාගේ අත ගත්තේ නාඩගම්වල ඉන්නිස ගායනයේ අපූරු දස්කම් පෑ දක්ෂ කඩවසම් නාඩගම් ගායකයෙක් වූ අරනෝලිස් අප්පුහාමිගේ පුත් මුදුන්කොටුව ආරච්චිගේ ධර්මදාස පෙරේරා නම් වූ රංගන ගායන හැකියාවන් දෝතින් තුරුලු කරගෙන උපන් පොලිස් නිලධාරි මහතාය.

ලබන සතියට...