|
|
ටයිම්ස් මන්දිරයේ ලිෆ්ට් එක දිගේවිමලේන්ද්ර වතුරේගම සංස්කරණය කළ 'ප්‍රියාවි' පුවත්පතට මා වරින්වර විචිත්‍රාංග
ලිපි ලීවත් එය පළ වූ 'දවස' ආයතනයටත් මගේ ප්‍රියතම පුවත්පත වූ 'සරසවිය' පත්‍රය පළ වූ
ලේක්හවුස් ආයතනයටවත් ගොඩ නොවී මා ටයිම්ස් මන්දිරයට ඇතුළු වූයේ ඇයි ද යන්නට අදටත් මට
නිශ්චිතව පිළිතුරක් දිය නොහැකි ප්‍රශ්නයකි. ප්‍රගතිශිලී පුවත්පත් කලාවේදීන් ගණනාවක්
'ලංකාදීපේ' සේවය කිරීම ඊට හේතුව යැයි අද මම සිතමි. 'ලංකාදීප' කාර්යාලය පිහිටියේ කොටුව ටයිම්ස් මන්දිරයේ හතරවැනි මහලේය. ටයිම්ස් ගොඩනැඟිල්ලේ ඊටම හිමි පැරණිකම විදහා දැක්වෙන ලිෆ්ට් එකක් සවි කර තිබිණි. ජීවිතයේ පළමු වතාවට මා ලිෆ්ට් එකකට නැග්ගේ මෙහිදීය. දිනක් මම 'ලංකාදීප' කාර්යාලයට ගිියෙමි. මට වුවමනා වූයේ ආතර් යූ. අමරසේන සංස්කරණය කළ 'සුරතුර' සිනමා පුවත්පතට ලියන්නටය. 'සුරතුර' කාර්යාලය පවත්වාගෙන ගියේ ලංකාදීප' කර්තෘ මණ්ඩලයට ඇතුළුවන තැන දකුණු පසට වන්ට පිහිටි' කාමරයේය. එක්තරා පුද්ගලයෙක් පත්‍රයේ ඩමිය සකස් කරමින් සිටියේය. මම ආ කාරණය කීමි. ඔහුගේ පිළිතුර මෙවැන්නක් විය. 'අපි ළඟදී 'සිත්සර' කියලා අලුත් සිනමා පත්‍රයක් පටන් ගන්නවා. ඒක ගහන්නේ මල්ටිපැක්ස් ආයතනයෙන්. අමරසේන මහත්තයලා දැනටමත් ගිහින්. මමත් මේ 'සුරතුර' අන්තිම පත්තරේ හදලා මල්ටිපැක්ස් එකට යනවා. ඔයාට ඕනෑ නම් ඒ පත්‍රයට ලියන්න පුළුවන්.'
එසේ කී පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන කිරිවත්තුඩුවය. කෙසේ වෙතත්
මට අවශ්‍ය වූයේ 'සුරතුර'ට ලියන්නටය. ඒත් අවාසනාවකට මෙන් මේ එහි සැකසෙන්නේ අවසාන
කලාපයයි. මාස කීපයකට පසු නැවතත් 'සුරතුර' ආරම්භ වූවේය. ඒ රෝහණ වෙත්තසිංහගේ සංස්කරණයෙනි. මම ටයිම්ස් මන්දිරයේ ලිෆ්ට් එක නැඟ රෝහණ මුණගැසීමි. විශේෂාංග ලිපි කීපයක්ම ලියන්නට ඔහු මට අවස්ථාව සලසා දුන්නේය. ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ චිත්‍රානන්ද අබේසේකර, භද්‍රජී මහින්ද ජයතිලක, 'කැලණි පාලම' නාට්‍යයෙන් දොරට වැඩි ගීතා කාන්ති ජයකොඩි සමඟ සම්මුඛ සාකච්ඡා කොට මා ලියූ ලිපි 'සුරතුරේ' පළ වූයේය. එක ලිපියකට රුපියල් 15 ක මුදලක් ලැබිණි. එය මා පුවත්පතකට ලියා ලද මුල්ම මුදල විය. අසහාය නිළි රුක්මණී දේවි හදිසි අනතුරෙන් මිය ගියේ මා 'සුරතුර'ට ලියන වකවානුවේය. සෙසු පුවත්පත්වල මෙන් 'සුරතුරේ' ද රුක්මණී දේවි විශේෂ කලාපයක් පළ වූයේය. කෙසේ වෙතත් ඊට මාස කීපයකට පසු 'සුරතුර' නවතා දමන ලදී. රෝහණ 'ලංකාදීප' පුවත්පතේ සිනමා කලා පිටුව සංස්කරණය කළේය. එම පිටුවට ලියන්නට ද ඔහු මට මඟ පාදා දුන්නේය. මා වැඩි වශයෙන්ම ලිව්වේ වේදිකා නාට්‍යකරුවන් ගැනය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආර්. ආර්. සමරකෝන්, රන්ජිත් ධර්මකීර්ති, ගාමිණී හත්තොටුවේගම, සෝමලතා සුබසිංහ මා එසේ සම්මුඛ සාකච්ඡා කළ ප්‍රවීණ නාට්‍යකරුවෝ වූහ. මා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මුලින්ම මුණ ගැසුණේ ද 'ලංකාදීප' පත්‍රය වෙනුවෙන් කරන්ට යෙදුණු කථෝපකථනයකදීය. ලෙස්ටර් තම නිවසේදී කිසියම් පුද්ගලයකු මට හඳුන්වා දුන්නේය. ඔහු මනික් සන්ද්‍රසාගරය. මා 'ලංකාදීප' ලේඛකයකු බව දැනගත් ඔහු ඉංග්‍රීසියෙන් ලියැවුණු ලිපි කීපයක් 'ලංකාදීප' කර්තෘ එල්්මෝ ගුණරත්නයන්ට දෙන්නැයි කියා මට භාර දුන්නේය. බස් එකේ යන අතරවාරයේ මේ ලිපි කුමක්දැදයි මඳක් විපරම් කර බැලීමි. ඒවා මත්ද්‍රව්‍ය පිළිබඳ ලියැවුණු ලිපිය. රහස් ආයුධ තොගයක් සඟවාගෙන ඇත්තකු සේ මම බියපත් වීමි. කෙසේ වෙතත් මම මට පැවරුණු රාජකාරිය නිසි පරිදි ඉටු කළෙමි. රෝහණගෙන් පසු 'ලංකාදීප' සිනමා පිටුව තවත් දෙදෙනකු විසින් සංස්කරණය කරන ලදී. එක් කෙනෙක් නිමල් ඩී. ගමගේය. අනික් කෙනා උපාලි කොළඹගේය. (ඔහු ගුවන් විදුලියේ පුරෝගාමී නිවේදක ඩී. ඇම්. කොළඹගේ ගේ පුත්‍රයෙකි). උපාලි පසුව 'රාවය' පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ වූයේය. නිමල් ඩී. ගමගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දැරුවේය. දෙදෙනාම කලකින් මට මුණ ගැසී නැත. මගේ මුල්ම සිනමා විචාරය පළ වූයේ ද ලංකාදීපයේය. ඒ 'ඉන්දුට මල් මිටක්' චිත්‍රපටය ගැනය. මෙම විචාරය කිය වූ සේනාරත්න වීරසිංහ එය හොඳ විචාරයක් යැයි කියා මට ප්‍රශංසා කළේය. මම වරක් ලෙස්ටර්ගේ සිනමාව මාතෘකා කර ආචාර්ය ජේ. උයන්ගොඩ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් රැගත් ලිපියක් ලංකාදීපයට දුනිමි. එය තරමක් දීර්ඝ ලිපියකි. පළමු කොටස පළ වූ අතර ඉතිරි කොටස ලබන සතියේ පළ වන බව සඳහන් විය. එහෙත් ඒ ඉදිරි සතිය වන විට 'ලංකාදීපය' නැවතී තිබිණි. ඩී. බී. ධනපාල එක්දහස් නවසිය හතළිස් ගණන්වල ආරම්භ කළ 'ලංකාදීපයේ' යුගයක අවසානය එසේ සිදු වූයේය.
ලබන සතියේ - සී. ටී. ගේ ගී හඬට වශී වීමි
|




-npr.jpg)