වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ගීත සියයක් Pen Drive

ගීත සියයක් Pen Drive

Nilar N. Cassim

එකක සරස වසන්තය 7 වැනිදා

මෙරට ගීත රචනා ක්ෂේත්‍රය තුල සුවිශේෂී නමක් දිනා ගත්තකු වශයෙන් නිලාර් එන්. කාසිම් හැඳින්විය හැකිය. සරල ගීත ක්ෂේත්‍රයේත්, කලකට ඉහත කැසට් ගීත ක්ෂේත්‍රයේත්, චිත්‍රපට පසුබිම් ගීත හා ටෙලි නාට්‍ය ගීත ක්ෂේත්‍රයේත් පුරා වසර ගණනාවක් ඔහු නිර්මාණකරුවකු වශයෙන් සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනඟා ගත්තේය. එපමණක් ද නොව මෙරට විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ද ඔහු තම ලකුණ සහතික කර ගත්තෙකි. ලේඛකයකු සාහිත්‍යකරුවකු වශයෙන් ග්‍රන්ථ රැසක් ද රචනා කළ ඔහු මෙරට කලා මාධ්‍යයේ හා සන්නිවේදන ක්ෂේත්‍ර්යේ වාර්ගික සංහිඳියාව සනිටුහන් කිරීමට ගත හැකි මාහැඟි උදාහරණයක් ද වන්නේය. එයට හේතුව උපතින් මුස්ලිම් වුව ද ඔහු සිය සන්නිවේදන මාධ්‍යය ලෙස භාවිත කරනුයේ සිංහල වීමය. ඔහු අමතන්නේ සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවට සිංහලෙනි. ඔහු ලියන්නේ සිංහලෙනි. ඔහු ගීත රචනා කරන්නේ සිංහලෙනි. ඔහුගේ ගීතයන් හි භාෂා භාවිතය දෙස බලන්නෙකුට කෙතරම් රමණීය ලෙස සිංහල භාෂාව භාවිතා කරන්නේ ද යත් විටෙක එය උපතින් සිංහලයෙකුගේ භාෂා භාවිතය ද ඉක්මවා යන්නේය. සිංහල භාෂාවට එතරම් පෙම් බැඳි ඔහු මා දන්නා තරමින් මෙරට සිංහල භාෂාව පිළිබඳ විශේෂ උපාධියක් හිමි එකම මුස්ලිම් ජාතිකයා ද වන්නේය.

නිලාර් පිළිබඳ මෙකී පූර්විකාවකට හේතු සාධක වූයේ සුවිශේෂී කරුණක් නිසාය. ඔහුගේ කලා දිවියට වසර විසි පහක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන මෙම මස 07 වැනි දින පදනම් ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙන එළිමහන් ප්‍රසංගය ඒ නිමිත්තය. ඒ පිළිබඳ පසුගිය දිනක ඔහු හමු වූ මොහොතක කළ කතාබහකි මෙය.

සරස වසන්තය’ රැගෙන ඔබ නිර්මාණ දිවියේ 25 වසර සමරන්න සූදානම් වෙනවා. ප්‍රසංගයේ විශේෂතා මොනවාද?

ගෙවුණු නිර්මාණ ජීවිතය සැමරීම වෙනුවෙන් කිසියම් නිර්මාණාත්මක දෙයක් කරමු කියලා මගේ මාධ්‍ය හිත මිතුරන් වෙතින් යෝජනාවක් ආවා. ඒ අනුව තමයි ‘සරස වසන්තය’ ප්‍රසංගයත්, ගීත 100 ක් අඩංගු පෙන් ඩ්‍රයිව් එකත්, සංගත තැටි තුනක් සහ ගීත පොතක් එළිදක්වන්න සුදානම් වුණේ. ප්‍රසංගයය පැවැත් වෙන්නේ සැප්තැම්බර් 07 වැනිදා සවස පදනම් ආයතන පරිශ්‍රයේ එළිමහන් ප්‍රසංගයක ආකාරයට.

මෙම ප්‍රසංගයේදී අපට ලැබෙන අළුත්ම ප්‍රවණතාවය තමයි ගීත 100 ක් අඩංගු පෙන් ඩ්‍රයිව් එක. ඒක අලුත් සංකල්පයක් නේද?

ඔව්. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ගීත 100 ක් අඩංගු පෙන් ඩ්‍රයිව් එකක් මේ විදියට ජනගත වෙන්නේ. මේ පෙන් ඩ්‍රයිව් එක ඉහළ ගණයේ එම්. පී. ත්‍රී තාක්ෂණයෙන් තමයි ගීත ඇතුළත් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සී. ඩී. එකකින් ඩී. වී. ඩී. එකකින් රස විඳින ගීතයක ප්‍රමිතියම මේකෙත් තිබෙනවා. මේක චීනයේ නිෂ්පාදිත එකක්. මේකෙ තිබෙන දත්ත මකන්න බෑ. වෙනත් දෙයක් ඇතුළත් කරන්න බෑ. මේ ගීත සියයේ ගීත රචකයා, සංගීතඥයා, ගායකයා යන ත්‍රිත්වය පිළිබඳ සඳහනකුත් මේකට ඇතුළත් වෙනවා. එදා මොදාතුර මම රචනා කරපු ගීත 600 කට ආසන්න ප්‍රමාණයකින් තෝරා ගත් ගීත 100 ක් තමයි මේකට ඇතුළත් වෙන්නේ. ඊට අමතරව මේ සිංදු 100 ම අනු පිළිවෙළින් පොතකට සංග්‍රහ වෙනවා. ඒකේ නමත් ‘සරස වසන්තය’. ඊට අමතරව සංයුක්ත තැටි 04 කුත් මෙදින ජනගත වෙනවා.

මේ ඔබ කරන්න හදන්නේ එක පැත්තකින් ගීත සංරක්ෂණයක්. එහෙම නේද?

අපේ ගීත ඉතිහාසය ගත්තොත් ගීත සංරක්ෂණය කරන්න තැටිගත කරන්න පටන් අරන් දල වශයෙන් ශත වර්ෂයක් ඉක්මවනවා. මේ කාල පරිච්ඡේදය තුළ අපි ඉස්සරලම එල්. පී. තැටිවල, ග්‍රැමෆෝන් තැටිවල ගීත සංරක්ෂණය කළා. ඊට පස්සේ ඊ. පී. තැටිවල. ඊටත් පස්සේ කැසට්වල සහ සී. ඩී.වල සංරක්ෂණය කරන්න පටන් ගත්තා. මේ පියවර ඉන් එහා ගිය නව තාක්ෂණයත් සමඟ එන ඊළඟ පියවර විදියට හඳුන්වන්න පුළුවන්.

ඔබ දන්න විදියට මින් ප්‍රථම මෙහෙම දෙයක් වෙලා නැත්ද?

මේ විදියට ජනගත කරල නෑ. ඒවගේම ගීත 100 ක් එකතු කරලත් නෑ. ඒනිසා මේක අලුත් වැඩක්.

මේ සංරක්ෂණය කොයි තරම් කාලයකට බලපැවැත් වෙනවද?

මේක ලයිෆ්ටයිම්. වර්තමානය වන විට අපේ ගීත ශ්‍රාවකයාත් ඉන්නේ පුදුම තරම් කාර්යබහුලව. ඔවුන් රාජකාරියට හෝ වෙනත් වැඩකට යන අතරමඟ කාලය ගිතයක් අහන්න යොදා ගන්න අවස්ථා තිබෙනවා. දැන් තිබෙන හැම වාහනයකම මේ විදියට පෙන් ඩ්‍රයිව් පාවිච්චි කිරීමේ පහසුකම් තිබෙනවා. අනිත් පැත්තෙන් කොම්පියුටර් තාක්ෂණයත් සමඟ බද්ධව රැකියා කරන්නෙකුට හෙඩ් ෆෝන් එකක් භාවිතා කරලා රැකියාව කරන අතරතුර වුණත් ගීයක රස විඳින්න පුළුවන්. ඒනිසා අලුත් වන ජන ජීවිතයත් එක්ක මේක හොඳට බද්ධ වෙයි කියලා විශ්වාස කරනවා.

කොහොමද මේ ගීත සීය ඔබ තේරා ගත්තේ?

මගේ නිර්මාණ ජීවිතේ විසිපස් වසරක් පුරා මම මෙරට ප්‍රවීණතම ගායක ගායිකාවන්ගේ සිට ආධුනික ගායක ගායිකාවන් දක්වා ගීත රචනා කර තිබෙනවා. ඒ අය අතරින් හැම පරම්පරාවක්ම නියෝජනය වන ගීත තෝර ගන්න මම ටිකක් වගබලා ගත්තා. ඒ අනුව අමරසිරි පීරිස්ගේ, අබේවර්ධන බාලසූරියගේ, නන්දා මාලිනීගේ ගීතත් ඇතුළත් වෙනවා. ඊයේ පෙරේදා ආපු නවක ගායන ශිල්පී ශිල්පිනියන්ගේ ගීතත් ඇතුළත් වෙනවා. මම ලියපු ජනප්‍රිය චිත්‍රපට ගීත සමූහයක්ම මේකට අන්තර්ගත වෙනවා. ටෙලි නාට්‍ය ගීතත් අන්තර්ගත වෙනවා.

මෙය ජනගත කිරීමේ උලෙළ පිළිබඳ සඳහන් කළොත්?

ප්‍රසංගයක ආකාරයෙන් පැවැත් වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කෙටි දේශන තුනක් පවත්වනවා. මහාචාර්ය ජේ බී. දිසානායකයන්, සමන් අතාවුදහෙට්ටි සහ නදීක ගුරුගේ විසින්. එදාට සංගීතය මෙහෙය වන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ගීත ගායනයෙන් රූකාන්ත - චන්ද්‍ර ලේඛා, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, භාතිය ජයකොඩි, සන්තුස් වීරමන්, උමාරියා සිංහවංශ, තීක්ෂණ අනුරාධ, රුවන් හෙට්ටිආරච්චි වැනි පිරිසකගේ දායකත්වය ලැබෙනවා. මේක සොඳුරු සැන්දෑවක් බවට පත් වේවි. මේ ගීතවලට පෙම් බඳින අය වෙනුවෙන් මේ ප්‍රසංගය නොමිලේ පැවැත් වෙන්නේ.

අවුරුදු 25 ක් ආපස්සට හැරෙද්දී මොනවාද හිතෙන්නේ?

මං ආපු කාල පරිච්ඡේදය තුළ විවිධ රැලි ආවා ගියා. ඒ සියල්ල හමුවේ අපේ ස්ථාවරය ප්‍රතිපත්තිය රැකගෙන නිර්භිතව පෙනී හිටින්න පුළුවන්කම ලැබුණා. ඒ මහෝඝයන්ට යට නොවී ඉන්න එක සාර්ථක ජයග්‍රහණයක්. අනිත් එක ඒ කාල පරිච්ඡේදය තුළ කරපු සියළුම නිර්මාණ හෘද සාක්ෂියට එකඟව කරන්න පුළුවන්කම ලැබුණා. ඒක ලොකු ජයග්‍රහණයක් වගේම වසර 25 ට පස්සෙත් ශිල්පියෙකුට අර ඉල්ලුමම තියෙනවා කියන එකත් ලොකු දෙයක්.

එහෙම ඉල්ලුමක රැඳෙන්න හේතු මෙනවාද?

මේ එන නව ප්‍රවණතාවන්ට සංවේදීව රැඳී ඉඳීම. පසුගිය කාලයේ ආපු රින්ගින් ටෝන් ප්‍රවණතාවය තුළ අපේ සමහර ජ්‍යෙෂ්ඨයෝ කලකිරිලා නිහඬ වුණා. නමුත් මම නම් හිතන්නේ අපි එහෙම වුණොත් නිර්මාණාත්මක කුසලතාවයක් නැති පිරිසක් උඩට මතු වන එක විතරයි වෙන්නේ කියලා. අපි මේ එන අභියෝගය සංවේදීව හඳුනා ගනිමින් ඒ අභියෝගයන්ට අභියෝග කරමින් ඒ තුළ රැඳී සිටිය යුතුයි. මම මේ එන ප්‍රවණතා එක්ක නව පරපුරත් සමඟ අඛණ්ඩව වැඩ කළා. සමහර තැන්වලදී අපි ජය ගත්තා. සමහර තැන්වලදී අපි බරපතළ ලෙස සූරාකෑමට ලක් වුණා. නමුත් එහෙම වුණා කියලා උකටලී වෙන්න හේතුවක් නෑ. මේ මොහොත වෙන කොටත් මම ලියපු ගීත සමූහයක් ඒකට කිසිම සම්බන්ධයක් නොමැති අය විසින් යු ටියුබ් අප්ලෝඩ් කරලා තිබෙනවා. මේක එතැන ලියාපදිංචි වෙන්නේ එහි හිමිකාරිත්වය ඔවුන්ට තිබෙනවා කියලයි. නැරඹුම් ප්‍රතිශතය ඉහළ යන්න යන්න ඔවුන්ට යම් කිසි ආදායමක් ලැබෙනවා. ඒ කියන්නේ අපේ නිර්මාණ අපිට හොරා මංකොල්ල කනවා. මෙබඳු ප්‍රවණතා තුළ උකටලී නොවී අප ඉන්නේ කොහොමද, අපි වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතන්න ඕන. අපි එක තැනක පල් වෙන්නේ නැතුව භාෂාව, ආකෘතිය පවා වෙනස් හැඩ තල ගනිමින් අපට යන්න සිද්ධ වෙනවා. මම මුල් කාලේ අමරසිරි පීරිස්ලට, මාලිනී බුලත්සිංහලට ලියූ ගීතවලට වඩා පසුකාලීනව භාතිය - සන්තුස්ලට ලියපු ගීතවල ආකෘතිය, භාෂාව පවා වෙනස් කර ගත්තා. හැබැයි ඒ ඒ නිර්මාණවලට අයිති සාහිත්‍ය ගුණ අහෝසි කර ගන්නේ නැතුව. උදාහරණයක් හැටියට මේ දිනවල විකාශය වන ‘වෙස්’ නාට්‍යයේ තේමා ගීතයට මම වෙනස් භාෂා භාවිතයක් යොදා ගත්තේ.