වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී ලංකාවේ රූ ගැන්වුණ විදෙස්  චිත්‍රපට

ශ්‍රී ලංකාවේ රූ ගැන්වුණ විදෙස්  චිත්‍රපට

ශ්‍රී ලංකාව කෙරෙහි විදේශිකයන්ගේ ආකර්ශනය ඇති වූයේ යටත්විජිත යුගයේ පටන්ය. ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය යොදා චිත්‍රපට නිර්මාණය කිරීමට බොහොමයක් විදෙස් සිනමා නිර්මාණකරුවන් උනන්දු වී තිබෙන්නේ ද ස්වභාවික පරිසරය, සුන්දර වෙරළ තීරයන් සේම පැරණි නටඹුන්වලින් යුතු හෙබි රටක් වීම හේතුවෙනි.

ලංකාවේ රූගත කළ ජාත්‍යන්තර චිත්‍රපට ගැන සිහිපත් කිරීමේදී පළමුවෙන් මතකයට නැඟෙන්නේ, ලෝක ඉතිහාසයේ බිහිවූ අනර්ගතම සිනමා කෘතියක් ලෙසින් සැලකෙන 1957 වසරේදී තිරගත වූ The Bridge on the River Kwai  චිත්‍රපටය යි.

දෙවැනි ලෝක යුධ සමයේ බුරුමය හා තායිලන්තය සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයක් තැනීමේ සත්‍ය සිදුවීම වටා පියේර් බූලේ නම් ප්‍රංශ ජාතික ලේඛකයා රචනා කළ, The Bridge on the River Kwai  නවකතාව පදනම් කරගත් එහි තිරරචනය කෙරුණේ කාල් ෆෝමන් සහ මයිකල් විල්සන් විසින්. මෙම චිත්‍රපටයේ පසුබිම තායිලන්තය වුවත් එය රූගත කෙරුණේ ශ්‍රී ලංකාවේදීයි. ක්වායි ගඟ හරහා තැනූ පාලම නිරූපණයට, චිත්‍රපටය වෙනුවෙන්ම කිතුල්ගල ප්‍රදේශයේදී කැලණි ගඟට ඉහළින් පාළමක් ඉදිකෙරුණි. ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ The Bridge on the River Kwai  චිත්‍රපටයට 30 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන 07ක් හිමි වුණා.

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සහ ප්‍රවීණ සිනමාවේදී චන්ද්‍රන් රත්නම් ද මෙම චිත්‍රපටයට සිය දායකත්වය සපයා තිබෙනවා. ගාමිණි එයට දායක වූයේ සහය කැමරා ශිල්පියකු ලෙසින්. කතාවට අනුව පාලම පුපුරවා හැරීම රූගත කිරීමේ අවස්ථාවට එවකට අග්‍රාමාත්‍යවරයා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ද සහභාගිත්වයත් විශේෂයි. ලීන්ට පෙර බ්‍රිතාන්‍ය සිනමාවේදී කැරොල් රීඩ් ලංකාවේදී මුළුමනින්ම රූපගත කළ The outcast of the islands  චිත්‍රපටය ද ලොවපුරා ආකර්ෂණයට ලක්විය. මෙරට රූපගත කළ මුල්ම ඉංගී‍්‍රසි වෘත්තාන්තය ලෙස ගැණනුයේ සෝල්ටන් කෝර්ඩා අධ්‍යක්ෂණය කළ The drum චිත්‍රපටයයි. ඒ 1938 වසෙර්ය.

ලොව ගවේශනාත්මක ක්‍රියාදාම චිත්‍රපට අතරේ Indiana Jones චිත්‍රපට මාලාවට සුවිශේෂි ස්ථානයක් හිමි වෙනවා. සුප්‍රකට සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ Indiana Jones චිත්‍රපට මාලාවේ Indiana Jones and the Temple of Doom චිත්‍රපටයේ රූගත කිරීම් මහනුවර ආශ්‍රිතව සිදු කෙරුණා. මෙහිදී ද චන්ද්‍රන් රත්නම් සහ අශෝක පෙරේරා නිෂ්පාදන කලමණාකරණයෙන් දායක වූ අතර ඩී. ආර් නානායක්කාර, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, ස්ටැනී ද සිල්වා, රූබි ද මැල්, දර්ශන පනංගල රංගනයෙන් දායක වුණා. ලොව වසඟයට ගත් සුප්‍රකට නිළි එළිසබෙත් ටේලර් රංගනයෙන් දායක වූ Elephant Walk(1954)රූගත කෙරුණේ ද මෙරට දී ය. 1954 වසරේදී තිරගත වී ඇති බ්‍රිතාන්‍ය හාස්‍යමය චිත්‍රපටයක් වන The Beachcomber රූගත කර තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේ දී ය.

රොබර්ට් පාරිශ් විසින් අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය යුද චිත්‍රපටයක් වන The Purple Plain  (1954) චිත්‍රපටය ද අලිමංකඩ සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවලදී රූගැන් වී තිබේ. බටහිර ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය සහ ඔස්ට්‍රියාවේ එකතුවෙන් නිමැවුණු ගවේශනාත්මක, ක්‍රියාදාම චිත්‍රපටයක් වන Kommissar X - Drei gelbe Katzen (Three yellow cats)(1966) රූගත කර තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේදීයි.

වින්ස්ටන් හිබ්ලර් විසින් අධ්‍යක්ෂණය කළ අමෙරිකානු චිත්‍රපටයක් වූ ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රමගේ රංගන දායකත්වය ලද Chandar,The Black Leopard of Ceylon  (1972) චිත්‍රපටය රූගතකර තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේදීයි. 1973 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු සීගිරි කාශ්‍යප පිළිබඳ කියවෙන The God King ඉංග්‍රීසි චිත්‍රපටය ද විශේෂ වේ. 1974 වසරේදී තිරගත කෙරුණු La Bonzesse ප්‍රංශ චිත්‍රපටයට ද කොළඹ ආශ්‍රිත ස්ථාන කිහිපයක් දර්ශන තල ලෙසින් යොදා ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මතක ගෙනෙන සිනමා නිර්මාණ රැසකට ශ්‍රී ලංකාව දර්ශනතල ලෙසින් යොදා ගන්නට බ්‍රිතාන්‍ය සිනමා නිර්මාණකරුවන් උනන්දු වී ඇති බව පෙනේ. එවැනි කතා තේමාවක් රැගත් ස්කොට්ලන්ත අධ්‍යක්ෂවරයකු වන ඩොන් බොයිඩ් විසින් අධ්‍යක්ෂණය කළ East of Elephant Rock (1978) චිත්‍රපටය ද ශ්‍රී ලංකාවේදී රූගත කර තිබේ.

සර්ජියෝ මාර්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කර 1978 වසරේදී තිරගත කළ ඉතාලි ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Mountain of the Cannibal God රූගත කර තිබෙන්නේ ද මධ්‍යම පළාතේදී ය. උම්බෙර්තෝ ලෙන්සි විසින් අධ්‍යක්ෂණය කර 1980 වසරේදී තිරගත ඉතාලි ත්‍රාසජනක චිත්‍රපටයක් වන Eaten Alive! රූගැන්වී තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේදී යි.

ජෝන් ඩෙරක් විසින් අධ්‍යක්ෂණය කර 1981 වසරේ තරගත කෙරුණු Tarzan, the Ape Man චිත්‍රපටයට මහනුවර බහිරව කන්ද දර්ශන තලය ලෙස යොදා ගෙන තිබේ. ජෝන් ඩෙරෙක්ගේ තවත් අධ්‍යක්ෂණයක් වුණු Ghosts Can’t Do It  (1989) චිත්‍රපටයට අමෙරිකාව, හොංකොං, චීනය, මාලදිවයින සමඟින් ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක් ද දර්ශනතල ලෙසින් යොදා ගෙන ඇති අතර චන්ද්‍රන් රත්නම්, එරල් කෙලී, ඩොනල්ඩ් කරුණාරත්න ඇතුලු ලාංකික ශිල්පීන් රැසකගේ දායකත්වය ඒ අතර වෙනවා. එකල රංගනය කෙරෙහි ඇල්මක් දැක්වූ වර්තමාන අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එහි රංගනයේ යෙදී සිටිනවා.

ඩේවිඩ් කීත් විසින් අධ්‍යක්ෂණය කෙරුණු The Further Adventures of Tennessee Buck  (1988) චිත්‍රපටයද ශ්‍රී ලංකාවේදී රූගැන්වුණු විදෙස් චිත්‍රපටයක්. පර්ල් වාසුදේවි, සුමිත් මුදන්නායක, සොමී රත්නායක, පියදාස විජේකෝන්, ලිලානි පෙරේරා යන ලාංකික රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගන දායකත්වය ද එයට හිමි වී තිබෙනවා.

දයාවේ දෙවඟන ලෙසින් නම් ලද ඉන්දියාවේ තෙරේසා මව්තුමියගේ ජීවිත කතාව අලළා නිමැවුණු Mother Teresa: In the Name of God’s Poor (1997) රූපාවාහිනි චිත්‍රපටය ද කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් දර්ශනතල ලෙස යොදා ගෙන තිබේ. කෙවින් කෝනර් විසින් අධ්‍යක්ෂණය කළ එහි රවීන්ද්‍ර රන්දෙණිය, වීණා ජයකොඩි, සුනිල් හෙට්ටිආරච්චි, ඩබ්ලිව් ජයසිරි, ලියෝනි කොතලාවල, හේමසිරි ලියනගේ, සෞම්‍ය ලියනගේ, නිම්මි හරස්ගම, සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම, රොජර් සෙනෙවිරත්න ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයත් හිමි වුණා. 1997 වසරේදී තිරගත කෙරුණු The Second Jungle Book:Mowgli & Baloo චිත්‍රපටයට මහනුවර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් දර්ශනතල බවට පත් වී ඇත.

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන දීපා මෙහෙතාගේ Water  චිත්‍රපටය (2005) සේම Midnight’s Children චිත්‍රපටයත් (2012) මෙරටදී රූගත කළ සිනමා නිර්මාණයන්. ඉන්දියාවෙන් පැමිණි යම් යම් අවහිරතා හේතුවෙන් Water  චිත්‍රපටය ලංකාවට ගෙන ආ අතර එහිදී ඉන්දියාවේ ගංගා නම් ගඟ මෙරටදී දැක්වීමට ප්‍රවීණ කලා අධ්‍යක්ෂ එරල් කෙලීගේ ප්‍රධානත්වයෙන් බොල්ගොඩ ගඟ ආශ්‍රිතව එම දර්ශන තල අපූරු ලෙස නිර්මාණය කෙරුණා. හොඳම විදෙස් චිත්‍රපටය ලෙසින් ඔස්කාර් සම්මානයකටද නිර්දේශ වූ Water  චිත්‍රපටයේ චුයියාගේ චරිතයට පණ දුන්නේ ළමා නිළි සරළා කාරියවසම් විසින්.

Midnight’s Children චිත්‍රපටය වෙනුවෙන් ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශයේ දර්ශන තල ලංකාවේ ඉදිකිරීමේ භාරදූර කාර්යය සම්පූර්ණ කරන ලද්දේ ද ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රධානත්වයෙන් යුතු ෆිල්ම් ටීම් ආයතනය විසිනි. එහි දර්ශන තල බවට පත් වූයේ, කොළඹ කොටුවේ පැරැණි ගොඩනැගිලි, පැරණි නව නගර ශාලාව, කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, මරදාන දුම්රිය ස්ථානය, වැලිකඩ බන්ධනාගාරය, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය වැනි ස්ථාන රැසකි.

වෝල්ට් ඩිස්නි සමාගම විසින් ඩිස්නිනේචර් නමින් ස්වභාවික පරිසරය අළලා වාර්තා නිර්මාණය කළ චිත්‍රපට අතරේ Monkey Kingdom චිත්‍රපටය (2015) වෙනුවෙන් තෝරා ගැනුණේ ශ්‍රී ලංකාවයි.

වාර්තා චිත්‍රපට පිළිබඳ සිහිපත් කිරීමේදී බැසිල් රයිට් විසින් අධ්‍යක්ෂණය කළ කෙටි වාර්තා චිත්‍රපටයක් වන The Song of Ceylon (1934) ද අමතක කළ යුතු නොවේ. එය ලාංකේය ජනයාගේ ජීවන රටාව නිරූපිත අපූරු නිර්මාණයකි.

ජර්මන් චිත්‍රපට වන Stars Over Colombo (1953), The Maharajah’s Blonde (1962), Scarlet Eye 1963), Wenn du bei mir bist (1970), Der Stein des Todes (1987),Die Männer der Emden (2012)  සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ දර්ශනතල ලෙසින් යොදා ගෙන තිබේ. ඉතාලි චිත්‍රපටයක් වන The Great Alligator  (1979) සේම අමෙරිකානු චිත්‍රපට වන aws of the Jungle(1936),Caught (1987), Fifty/Fifty (1992),Spies Inc. (1992) Solar Eclipse: Depth of Darkness(2018)  මෙරට රූගත කර තිබේ. Victory (2009) සහ ත්‍රාසජනක, ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Re-Entry: Grey Zone (2013) ද ශ්‍රී ලංකාවේ රූගත කළ තවත් විදෙස් සිනමා නිර්මාණ දෙකකි. කොරියානු චිත්‍රපටයක් වන Ceylon Serendipity (2015) රූගත කර තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේදී ය.

චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණයකර බෙන් කිංග්ස්ලි රංගනයෙන් දායක වූ ඒ Common Man (2013)  ලංකාවේ රූ ගත කළ අමෙරිකා - ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටයක්. රන්බීර් කපූර් සහ අනුෂ්කා ශර්මා රංගනයෙන් දායක වූ අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කළ Bombay Velvet(2015)  වෙනුවෙන් බොම්බේ වෙල්වට් සමාජ ශාලාව ඇතුලු අතීත බොම්බායේ දර්ශනතල නිමැවුණේ ද ශ්‍රී ලංකාවේදී යි.

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජිනිකාන්ත් රඟ පෑ Thee  (1981) මෙන්ම බොලිවුඩයේ අමිතාබ් බච්චන් රඟපෑ Sooryavansham (1999) චිත්‍රපට වෙන්වෙන් ද මෙරට සුන්දර ස්ථාන දර්ශනතල ලෙසින් යොදා ගැනුණා. මනිරත්නම් විසින් අධ්‍යක්ෂණය කළ Kannathil Muthamittal (2002) ඇතුලුව Boom (2003), Inteqam: The Perfect Game (2004),Poi (2006), Agyaat (2009), Ready(2011),Jism 2 (2012), Land of Cards (2012), Karva (2016)  වැනි ඉන්දීය චිත්‍රපටද ශ්‍රී ලංකාවේ දී රූගැන් වී තිබෙන සමහරක්.