වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනියේ ඉන්ද්‍රජාලය

මාලිනියේ ඉන්ද්‍රජාලය

ආචාර්ය ශෝමා ඒ. චැටර්ජි වසර 40 ක් පුරා ඉන්දියාවේ සිනමාව පිළිබඳ විචාරයේ නියුතු මාධ්‍යවේදිනියකි. ඇය ආචාර්ය උපාධිය ලබා ගත්තේ සිනමා අධ්‍යයනය සඳහාය. සිය සිනමා විචාර සඳහා 1991 වසරේ ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ඇය හොඳම සිනමා කෘතිය සඳහා 2002 වසරේදී ජාතික සම්මානයෙන් පුදනු ලැබීය. සිනමාව හා ජනමාධ්‍ය තුළ කාන්තාව පිළිබඳ කෘති 22 ක් ඇය විසින් රචනා කර ඇති අතර කෙටිකතා රැසක් ද නිර්මාණය කර ඇත. ජාතික හා අන්තර් ජාතික සිනමා ජූරි රැසක් නියෝජනය කර ඇති ඇය 2012 වසරේ කල්කටා රොටරි සමාජය මඟින් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන SAMMAN සම්මානයට ද හිමිකම් කියන්නීය

ගරුතර පූජ්‍ය පූජක උතුමනි, අද අපේ සම්භාවනාවට ලක් වන මාලිනී ෆොන්සේකා මැතිනියනි, මගේ සත්කාරකවරුනි, ප්‍රේක්ෂකාගාරයේ සිටින මා ප්‍රිය සහෘදයිනි,

මාලිනී ෆොන්සේකා පිළිබඳ කෘතිය එළි දැක්වීම සදහා ආරාධනා කර, ඉන්දියාවේ කොල්කටා නගරයේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය දක්වා මා කැදවා ගෙන විත් මට කරන ලද ගෞරවයට වෙනුවෙන් සංවිධායක මණ්ඩලයට සහ මගේ හෘදයාංගම මිතුරන් වන ඈෂ්ලි රත්නවිභූෂණටත් ඔහුගේ බිරිඳ රංජනීටත් ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම ලොව පුරා කාන්තාවන් අයත් සංස්කෘතිය, සමාජ තත්ත්වය, ආර්ථික පන්තිය හෝ වෙන ඕනෑම කරුණක් කුමක් වුවත් ඔවුන් එකට බැඳ තබන සරලම කාරණය ඔවුන් කාන්තාවන් වීමම බව මෙමඟින් හුවා දැක්වෙන බව කිව යුතුයි.

සිනමාකරුවන් සමරන ග්‍රන්ථ බොහෝ විට සුළු වශයෙන් හෝ වර්ණ ගැන්වෙන්නේ පුරුෂ මූලික සිතිවිලි රටාවකින් යුතුව එම වෘත්තියේ යෙදෙන පිරිමින් අරමුණු කරගෙනයි. කාන්තාවන් ඉතිහාසයට, පරිනාමයට සහ ජාතික සිනමාවේ උන්නතියට ලෝක සිතියම පුරා ලබා දෙන දායකත්වය මතක සිටින්නේ අතළොස්සකට පමණි. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ කියා එහි වෙනසක් නෑත. එනිසා අපි සමරන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ටතම නිළියන් අතරින් කෙනකු එනම් මාලනී ෆොන්සේකාගේ දායකත්වය පිළිබඳ විම ඉමහත් ප්‍රීතියට කරුණක්. මේ සැමරුම සංවිධානය කර ඇත්තේ මාලිනී ෆොන්සේකා සිය මව් බිමේදීම ඇගේ සිනමා දිවියට වසර 55ක් සැපිරීම වෙනුවෙන් කරන ගෞරවයක් ලෙසය. එය ඇතැම්විට දකුණු ආසියානු සිනමාවේ අද්විතීය වික්‍රමයක් විය හැකියි.

මාලිනීගේ උපත සමඟ බැඳුණු අපූර්ව අහම්බයන් තිබෙනවා. පළමුවැනි සිංහල කතානාද චිත්‍රපටය, කඩවුණු පොරොන්දුව තිරගත වූයේ 1947 ජනවාරි 21 වැනිදා. වන්නිආච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා, රජයේ මුද්‍රණාලයේ සේවය කළ වන්නිආච්චිගේ ගිල්බට් ෆොන්සේකාගේ සහ ඔහුගේ බිරිඳ සීලවතී ෆොන්සේකාගේ තුන්වැනි දරුවා ලෙස කැලණි ගඟට මුහුණලා තිබූ ඔවුන්ගේ සීයාගේ නිවෙසේදී උපදින්නේ 1947 අප්‍රේල් 30 මහා ගංවතුරක් තිබියදීයි. ඇගේ ජීවිතයත් ගලා ගියේ හරියට පළමුවෙන්ම ඇය දැරිවියක් ලෙස වේදිකාව වෙනුවෙන් අති සාර්ථක සටනක නියැලීමෙන් ආරම්භ වී පසුව චමත්කාරජනක හැඩයකින් යුතුව උතුරා ගලා ගිය බහුශ්‍රැතභාවයක් සහ දිගු වෘත්තිය ප්‍රගමනයක් සනිටුහන් කරමින් දකුණු ආසියානු සිනමා ඉතිහාසයේ මාහැඟි නිළියක් බවට පත් වුවාය.

ශ්‍රී ලාංකික සිනමාව රුක්මනී දේවියගේ මහාර්ඝ සම්ප්‍රාප්තිය සමඟ දිගු කලක් අලංකාරවත් වූ අතර ඇගෙන් පසු අනුප්‍රාප්තියක් සෙවීම දුෂ්කර බව දැනෙන්නට විය. එහෙත් ෆොන්සේකා ඒ බැරි දේ කර පෙන්නුවාය. ඇය දශක ගණනාවක් ශික්ෂණයෙන් ඉදිරියටම ගියාය, එමෙන්ම හුදෙක් මනබඳනා රූපශ්‍රීය ඉල්ලා සිටින භූමිකා වෙත පමණක් යොමු නොවීමෙන් සහ නිසඟ නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස අභියෝගයට ලක් කරන චරිත නිරූපණයෙන් ඇගේ රූපණය පරිනත කර ගත්තාය.

තරු යනු සමාජ සංසිද්ධීන්ය. ඔවුන් සමාජ හා සංස්කෘතික කෝව තුළ බහා දිදුලන සිනමා ලෝකයේත් එමඟින් සංකේතවත් කෙරෙන සියල්ලේත් සම්බන්ධතා ජාලය තුළ නිපදවන, ප්‍රතිනිෂ්පාදනය කරන සහ පරිභෝජනය කෙරෙන ප්‍රතිරූප වේ. කෙසේ වෙතත් ඒ තරු බහුතරයක් සැලකෙන්නේ මාධ්‍ය මඟින් නිර්මාණය කර නිෂ්පාදනය කෙරුණු විවිධ මාධ්‍ය බෙදාහරින්නන් ඔස්සේ ප්‍රචාරය, දැන්වීම්කරණය, ප්‍රවර්ධනය, පුවත්පත්, ආදී දේ මඟින් සංසරණය කරන ප්‍රතිරූප ලෙසය. මෙවැනි නිෂ්පාදන කෙරෙහි අවනත වන ලෝකයක, ප්‍රතිරූප නිර්මාණය නොකෙරුණු එහෙත් තමන් විසින්ම රංගනය ජනනය කර ගත යුතු කාලයක උපන් එක් තරුවක් ගැන යමෙකුට කිව හැක්කේ කුමක්ද, එක් තාරකාවක් රඟ පෑ අසීමිත චිත්‍රපට සංඛ්‍යාවක අපූර්ව, අමරණීය, ඉතා තියුණු රංගනයේ මතකයන්වලින් සිය රසවතුන් වශීකෘත කළාය කියාද?

මාලිනී ෆොන්සේකාගේ ජීවන වෘතාන්තය ඇය රඟපෑ සියලු සිනමා කෘති එක් කර තැනූ කතාන්තරයකට වඩා ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද විශාල වූ නාට්‍යයක් බඳුය. සහෝදර සහෝදරියන් එකොළොස් දෙනකුගෙන් යුතු දුප්පත් පවුලක ඉපදුණු මාලනීට ඇගේ හිස මත පැටවුණු දහසකුත් එකක් ආර්ථික අපහසුතා නිසා සිය පාසල් අධ්‍යාපනය පවා සම්පූර්ණ කර ගන්නට නොහැකි වූ අතර දෙමව්පියන් පත්ව ඇති අපහසුතාවලින් මුදවා ගැනීම සඳහා කුමක් හෝ රැකියාවක් සෙවීමට තිබුණු පීඩනයද දැඩි විය. පාසලේදී ඇගේ ගුරුවරිය මැයගේ රංගන කෞශල්‍යය හඳුනා ගත්තාය. මේ දැරිවියට හෝ ඇය දන්නා හඳුනන අයට හෝ හොර රහසේ මේ මහා වෘක්ෂයේ කුඩා බිජුවට වැපිරුණේ ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම රංගන ශිල්පිනියක් බවට වැඩෙමිනි.

රූප රාජිනී තරගයට සීයාගෙන් එල්ල වුණු විරෝධය වැනි බාධක අතර විසිරුණු ගමනක් නිසා හෝ විධිමත් අධ්‍යාපනයේ අඩුවක් නිසා හෝ ප්‍රධාන චරිතයට තෝරාගෙන පසුව සහාය චරිතය දීම නිසා හෝ වැදගත් අධ්‍යක්ෂවරයකු යටතේ වැදගත් චිත්‍රපටයක් ලියැවෙන විට වෙනත් නිළියක ඒ වෙනුවට ගැනීම ඇගේ අධ්‍යාපනය හේතු විය. ඇය දිගින් දිගටම ඇගේ අධ්‍යක්ෂවරුන්ගෙන් තම දිවියට දැනුමක් එකතු කර ගත්තාය. ඇයගේ චිත්‍රපට යසස සහ සමෘද්ධි සම්පත් මෙන්ම අන්තර්ජාතික වශයෙන් පිළිගත් සම්මාන ගෙන ආවද, වඩාත් වැදගත් වන්නේ ඇය අවුරදු 21ක යුවතියක සමයේ සිට වෘත්තාන්ත චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක රඟපෑ අනන්ත අප්‍රමාණ චරිත සංඛ්‍යාවය. ඇය ප්‍රධාන චරිතය රඟ පෑ පුංචි බබා ඇගේ පළමුවැනි චිත්‍රපටය වන අතර එයට ලැබුණේ රුපියල් 1250කි. ඒ මුදල එදා එතරම් සුළු නොවූවද, චිත්‍රපට කර්මාන්තයේ ප්‍රමිතීන් හා සසඳන විට අනිවාර්යයේම අඩු අගයක් විය.

මාලිනී ෆොන්සේකාගේ චිත්‍රපට අතරින් මගේ ආධ්‍යාය සඳහා තෝරාගන්නා ලද්දේ කෘති දහයකි. ඒවාද සිනමා පටවල ඩීවීඩී තැටි මට එවූ ඈෂ්ලිට පින්සිදු වන්නට මා හට ලබාගත හැකි වූ ඒවා පමණක් වන අතර එයද පුරුෂ මූලික, වීරයා ඉස්මතුවන කර්මාන්තයක කිසිම නිළියකට සිතන්නටවත් බැරි වසර 46ක දිගු කාලයක් ශ්‍රී ලංකා සිනමාවේ රජ කළ මහා නිළියගේ චිත්‍රපට පිළිබඳ හැඟීමක් දනවන විසිතුරු නිදර්ශන කීපයක් පමණි. ඇගේ චිත්‍රපට නරඹමින් වැඩුණු මිනිසුන් ශ්‍රී ලාංකේය සිනමාවේ මාලිනී වැනි දිගුකල් වැජඹිය හැකි නිළියක්, තරුවක් නොසිටි බවට මෙන්ම තවත් මාලිනී ෆොන්සේකා කෙනෙක් යළි පහළ නොවන බවටද එකඟ වනවා ඇත. සෙනෙහෙලතා මවට මුදල් ගෙන ගොස් දුන් ආකාරය සිහි කරන්නේ මහත් සෙනෙහසිනි. ඇගේ මව ඒ මුදල් පරෙස්සමින් තබා මාලනීට සිය මුල්ම අත් ඔරලෝසුව ගෙනැවිත් දුන්නාය. ඇය රඟ දැක්වූ භූමිකාවලින් ලද මුදලත්, පියාගේ විශ්‍රාම වැටුපත් එකතු කර ෆොන්සේකලාගේ නිවෙස අලුත්වැඩියා කර ගන්නටත් සහෝදර සහෝදරියන්ගේ ඕනෑ එපාකම් සපුරන්නටත් ඔවුනට හැකි විය.

මාලනී ෆොන්සේකාගේ රංගනය සිහිගන්වන්නේ මාක් ට්වේන් ඉදිරිපත් කළ”විශේෂයෙන් භාවය සහ ප්‍රකාශනය අතර සෘජු සම්බන්ධතාව ක්ෂණිකව නියෝජනය කිරීමේ ගුණය සම්බන්ධව විමසීමේ” වැදගත්කම අවධාරණය කරන “ඉඟි සපයන අභිනයත්, ලැජ්ජාවෙන් රතු වන වතත්, වැලපෙන සිරුරත්” උපක්‍රමයක් ලෙස භාවිත වන රූපණය පිළිබඳ සිද්ධාන්තයයි. Acting Naturally: Mark Twain and the Culture of Performance, Randall Knoper niversity of California Press)
 

මාලිනී ප්‍රධාන භූමිකා ඉදිරිපත් කළ විවිධ චිත්‍රපට අතරින් ගොන්නක් තෝරාගෙන යමෙකු ඇය හඳුනා ගන්නට වූ විට, ඒ පුද්ගලයා ක්ෂණිකව අවබෝධ කරගන්නේ ඇගේ රූපණය, සාමාන්‍ය ජීවිතයට රංගනයේ ඇති සබඳතාව කුමක්ද? කෙබඳු ලක්ෂණ ඒවා බෙදා හදා ගනීද? ඒවා එකිනෙක වෙනස් වන්නේ කුමන සාධකය මතද? යන ප්‍රශ්න නඟන ආකාරයයි. වේදිකාවෙන් ඇය ලද පන්නරය රිදී තිරයේ චරිත සඳහා ඇයට පිටිබලයක් වූවද, කිසි විටෙකත් වේදිකා රංග ශෛලිය සිනමාවේ රංගනය තුළ ඉස්මතු වීමට ඇය ඉඩ තැබුවේ නැත. ඇගේ අති සාර්ථක වේදිකා රංගනයෙදී මාලනීට ලාංකේය වේදිකාවේ සම්භාවනීය අධ්‍යක්ෂවරුන්ගෙන් ඉගෙනීමට අවස්ථාව ලැබුණා පමණක් නොව, එකල සුප්‍රකට නාට්‍යකරුවන් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. එය ඩබ්ලිව් බී මකුලොලුව, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, එස්. කරුණාරත්න, ගුණසේන ගලප්පත්ති මඟින් හෙන්රි ජයසේනගේ සිට සුමන ආලෝකබණ්ඩාර වපසරිය දක්වා වේ. ඇය මුල්ම සම්මානය ලැබුවේ අකල් වැස්ස සඳහා 1965 දීය. ඉර අවරට ගියාදෝ වේදිකා නාට්‍යයේ අවුරදු පනහක ගැහැනියකගේ චරිතය රඟ පෑ ආකාරය ඇය සිහි කරන්නේ මහත් අභිරුචියෙනි.

ඇය ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ටතම නිළියක් බවට පත් වන්නේ ඇයිද, කෙසේද යන්නට එක් හේතුවක් වන්නේ ඇය විසින් තමන්ටම ආවේණික වූ රංග ශෛලියක් පවත්වා ගනිමින්, පෝෂණය කරමින් එය අදාළ සිනමා පටයට, භූමිකාවට සහ අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි නම්‍යශීලී බවකින් යුතුව රුපනය වෙනස් කර ගැනීමට දැක්වූ හැකියාවයි. ඇය කිසි විටෙක රුක්මනී දේවී හෝ වෙනත් හින්දි, හෝ දෙමළ නිළියක් අනුකරණය නොකළ අතර ඇය නිරූපණය කරන චරිතය පූර්ණ වශයෙන් අන්තර්ග්‍රහණය කර ගැනීම ඇගේ සාර්ථකත්වයට හේතු විය. ඇගේ යුගයේ තිබූ චිත්‍රපට ධාරාත්‍රය වන වින්දනාත්මක, ජනප්‍රිය සහ වාණිජ යන සිනමා ප්‍රවාහ සියල්ලේ කටයුතු කළද ඇගේ ශෛලිය, ප්‍රවේශය හෝ සැලකිල්ල චිත්‍රපටය අයත්වන සිනමා කුලයට අදාළව වෙනස් කළේ නැත. නිළියක් ලෙස ඇයට සෑම සිනමා කෘතියක්ම කලා නිර්මාණයක් වූ අතර, සෑම නළුවකුම, ශිල්පියකු ලෙස ඇගේ ළගන්නා සුළු විශ්වසනීය ඉදිරිපත් කිරීම සමඟ සියලු ගණයේ ප්‍රේක්ෂකාගාර වෙත ළඟා විය යුතු විය. සිත්ගන්නාසුළු කරුණ නම් ප්‍රධාන ප්‍රවාහයට අයත් නොවූ ඇගේ ඇතැම් චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ කලාත්මක සිනමාව සහ ප්‍රධාන ධාරාවේ සිනමා අතර කඩඉම බොඳකර දැමීමට සමත් වෙමිනි.

නිධානයේ අයිරින් වූ මාලනී, එම සිනමා කෘතියේ හෝ කතාවේ ප්‍රමුඛ චරිතය නොවූවද, ඉතා ධනවත් පුද්ගලයකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත යුගදිවයේ සැපත පවා අහිමි ව විවාහ උගුලකට හසු වන අහිංසක තරුණියක ලෙස විශිෂ්ට රංගනයක යෙදෙන්නීය. ගාමිණී විලී ලෙස ප්‍රධාන චරිතයට පණ පොවන අතර අයිරින් මතු වන්නේ කෘතිය බොහෝ දුරක් ගිය පසුය. අයිරීන් යටහත් පහත්, ලජ්ජාශීලී, තියුණු නුවණින් ඉස්මතු නොවන, නිහඬ තරුණියකි. ඇය දුවක මෙන්ම බිරිඳක ලෙස කිසිවක් ප්‍රශ්න නොකරයි, ඉල්ලීම් ද නැත. මේ සිනමා පටය 1972 දී වෙනිස් අන්තර්ජාතික සම්මාන උලෙළේ ශාන්ත මාක් රිදී සිංහ සම්මානය දිනා ගත් අතර වසරේ විශිෂ්ටතම කෘති අතරට එක් වූයේ ලන්ඩන් සිනමා උලෙළේ සහතිකයද දිනා ගනිමිනි. එය පනස් වසරක ශ්‍රී ලාංකේය සිනමාවේ බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතිය ලෙසද නම් කෙරිණි. මේ චිත්‍රපයට අධ්‍යක්ෂණය කරන ලද්දේ ශ්‍රී ලංකා සිනමාවේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් වන අතර ධනවත් එහෙත් වයස්ගත පුරුෂයකුගේ චරිතය නිරූපණය කළේ මහා නළු ගාමිණී ෆොන්සේකාය.

ඕනෑම භූමිකාවකට සීරුවෙන් පිවිසීමට මාලනීට ඇති පූර්ණ කෞශල්‍යය පිළිබඳ කෙටියෙන් සිය ප්‍රණාමය පුද කරන ලෙස්ටර් පීරිස්, ලියා දක්වන්නේ බැද්දේගම චිත්‍රපටයේ ඇය ගැමි තරුණියකගේ සිට මරණය පතාගෙන සිටින මැහැල්ලක දක්වා සිය චරිතය මැනවින් ගොඩ නඟන ආකාරයයි. වෑකන්ද වලව්වේ ඇය රැලි ගැසුණු මුහුණින් යුතුව විෂද කරන්නේ දිගු වෘත්තීය ප්‍රගමනය සමඟ ක්‍රමක්‍රමයෙන් අහිමි වී යන ඇගේ පුතු, ඇගේ සැමියා, ඇගේ ප්‍රාසාදය සහ ඇගේ අභිමානය පිළිබඳ හුදෙකලාවේ ශෝකවන වියපත් වැන්දඹුවකගේ රූපණයයි.

මතු සම්බන්ධයි...