වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සිනමාවේ කූඩාරම් වගතුග

අපේ සිනමාවේ කූඩාරම් වගතුග

මෙම කූඩාරම ඉදි කර චිත්‍රපට පෙන්විම ආරම්භ කළ දින පටන්ම, වයස 65 පමණ වන එක් පුද්ගලයෙන් දිනපතාම චිත්‍රපට නැරඹීම පුරුද්දක් කරගෙන තිබුණි. ඔහු ජීවිතේට චිත්‍රපට නරඹා නැති අයෙක් බව කියා තිබුණි. ගොවි මහතෙකු වූ ඔහු සවස 4 පමණ ටෙන්ට් එක අසලට පැමිණ තමා ගෙන එන රාත්‍රියට දල්වන හුළු අත්ත පොල් ගසකට හේත්තු කර තබා කුඩය ද කිහිල්ලේ රඳවාගෙන කළු සුරුට්ටු 4 ක් පමණ පෝලිම අසලට විත් උරමින් සිටී. පෝලිමේ මුලින්ම ටිකට් එක ගන්නා ඔහු ඉඳ ගන්නේ තිරය ළඟම ඉදිරි බංකුවේය. දිනපතාම එසේය. මා ඇසූ විට ඔහු කීවේ චිත්‍රපටය හොඳින් බලා ගැනීමට කියාය. නමුත් අපගේ මිතුරුකම වැඩි වූ පසු රහස හෙළි විය.

බොහෝ ඈත අතීතයේ සිනමාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිතවීමට ප්‍රථම ජනතාවගේ විනෝදාංශය වූයේ නාඩගම් හා නාට්‍ය රංගන කලාවය. ටවර් හෝල් යුගයටත් පෙර නාට්‍ය කලාව තිබූ අතර ඒවා එකල මුදල් අයකර පෙන් වූයේ බොහෝ විට පොල් අතු සෙවිලි කළ මඩුවලය. එකල ඒවා ටීටර් මඩු වශයෙන් ජනතාව හැඳින් වූහ. ඒවා ජනප්‍රිය වී ආදායම සරුවන විට ටීටර් මඩු රංග ශාලා බවට පත් විය. අප දන්නා ටවර් රඟහල ද මුලින් නාට්‍ය ශාලාවකි. නාට්‍ය යුගයෙන් පසු එය නවීකරණය වෙන තෙක්ම සිනමා ශාලාවක්ව පැවතිණි. (කොච්චිකඩේ) ජින්තුපිටියේ මුරුගන් නාට්‍ය ශාලාව ද ඉතා ප්‍රසිද්ධ රඟහලක්ව පැවතුණ එකකි. පසුව මුරුගන් ශාලාව සිනමා ශාලාවක් බවට පරිවර්තනය කර 2004 දක්වාම චිත්‍රපට පෙන්වනු ලැබීය. එසේම මරදානේ තිබුණ ගාමිණී සිනමාහල ද මුලින් නැෂනල් නමින් නාට්‍ය පෙන් වූ එකකි. 83 ජූලි කලබල සමයේදී එය ගිනි තබා විනාශ වනතුරුම චිත්‍රපට පෙන්වීය. එකල ස්ථිර සිනමාහල් නොමැති නගරවල ගම්වල කූඩාරම් සිනමාහල් ඉදි වුණි. ඒවාට ව්‍යවහාරයේදී ඊඡ්ව්ඊ නම කියනු ලැබීය. ටුවර්ස් සංචාරක සිනමා යනුවෙන් ද ඒවා හැඳින්විය. මෙම කූඩාරම් සිනමාහල් ලංකාවේ සෑම ජනාකීර්ණ නගරයකම ඉදි වූ අතර ආදායම් හොඳ නගරවල ඒවා ස්ථිර ශාලා බවට පත් කර ඇත. එසේම මා දන්නා තරමට අන්තිම කූඩාරම් සිනමාහල් දෙක වූයේ බේරුවල ඉම්පීරියල් හා රක්වාන ඊස්වරි යන කූඩාරම් සිනමාහල්ය. එයිනුත් රක්වාන ඊස්වරී කුඩාරම 1973 වසර දක්වා තිබුණ.

මේවායින් ප්‍රසිද්ධම කූඩාරම් සමාගම් දෙකක් විය. ඉම්පීරියල් හා ජෙමිණි නම් එම සමාගම් 2 කරට කර මෙම ව්‍යාපාරය හොඳින් කරගෙන යනු ලැබීය. නිහඬ චිත්‍රපට යුගයේ සිටම කූඩාරම් ශ්‍රී ලංකාවේ පැවතුණ අතර කථානාද චිත්‍රපට ආ සමය වන විට මේවා අගට ටෝකීස් යන නම එකතු විය. ඉම්පීරියල් ටෝකීස්, ජෙමිණි ටෝකීස් යනුවෙන් නම් වූ මෙම සමාගම් දෙකින් අදටත් ඉම්පීරියල් සමාගම සිනමාවේ නියුතුව සිටී. කොළඹ හුණුපිටිය එම්පයර් සිනමාහල අසල තිබූ ඉම්පීරියල් ටෝකීස් සමාගම අංග සම්පූර්ණව තිබුණි. එය පොස්ටර් මුද්‍රණය සිනමා ප්‍රොජෙක්ටර් අලුත්වැඩියාව ශබ්ද උපකරණ නඩත්තුව හොඳින්ම කළේය. මෙම ඉම්පීරියල් ටෝකීස් හැම සිනමාහලකම තිබුණේ ඉධ්ර්ර්‍ථඹ්ඡ්ඔ නම් ප්‍රොජෙක්ටර් වර්ගයයි. ඉතා හොඳ ඇමරිකන් වර්ගයේ සිනමා ප්‍රොජෙක්ටරයක් වන මේවායේ ශබ්ද උපකරණ පවා හොඳින්ම තිබුණි.

ජෙමිනි ටෝකිස් නම් සමාගමේ ප්‍රධාන කාර්යාලය පැවතුණ ගොඩනැගිල්ල අදටත් කොස්ගස් හංදියේ ඇත. එදා ප්‍රොජෙක්ටර් ටෙන්ට් චිත්‍රපට යනාදී තිබුණ එම ගොඩනැගිල්ල අද පදිංචි නිවාස වශයෙන් භාවිත වේ. එකල ජෙමිනි ටෝකීස් ආයතනයේ සේවය කළ ප්‍රධාන ප්‍රොජෙක්ටර් ඉංජිනේරු ජේසුදාසන් මහතා මෑතකදී මිය යන තුරුම එම ගොඩනැගිල්ලේ වාසය කළේය. ඔහු තුළ ප්‍රොජෙක්ටර් හා ශබ්ද උපකරණ පිළිබඳව තිබූ දැනුම අති විශාලය. ඈත ගමක සිනමාහලක ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක ආපදාවක් වූ විට ඔහුට දැනුම් දුන් පසු ගෙදර සිටම එහි වරද හඳුනා ගැනීමේ ශක්තියක් ඔහුට තිබුණි.

එකල ටෙන්ට් එකක් ගමට එනවා යැයි දැනගත් විට ගමට සිංහල අලුත් අවුරුද්ද එනවා වැනිය. ප්‍රථමයෙන් ටෙන්ට් කළමනාකරු පැමිණ ගම් සභාවට දැනුම් දී ඉඩමක් වෙන් කරගෙන ළඟදීම එම ඉඩමේ ටෙන්ට් එකක් ඉදිවන බවට කුඩා දැන්වීම් පුවරුවක් එල්ලනු ලබයි. ඉන් පසු ඒ අවට හා අසල ගම්වල අයට ඉස්පාසුවක් නැත. තරුණයින් කෙසේ හෝ මුදල් සොයා ගනී. තරුණියන් ගෙවල්වල කැට එකතු කරයි. එසේම රාත්‍රියට කෙසෙල් කැල් හොරුන් ද වැඩි වෙයි. ඒ සෑම දෙනාම මුදල් එකතු කරන්නේ චිත්‍රපට බැලීමටය. ගමට ටෙන්ට් එකක් එනවිට අඩු තරමින් ලොරි 3 කටවත් බඩු ගෙන එයි. මුලින්ම ටෙන්ට් එකේ ප්‍රධනියා ටෙන්ට් මාස්ටර් යකඩ කණු සිටුවා ශක්තිමත්ව බැඳ ටෙන්ට් එක ඉදි කරයි. ඉන් පසු රාජකාරිය පොජෙක්ටර් ඔපරේටර්වරුන් අතය. රීප්ප වටකර ටකරන් ගසා තාවකාලික ප්‍රොජෙක්ටර් කාමරය තුළ ප්‍රොජෙක්ටර් සවි කර තිරය සවි කර ශබ්ද උපකරණ සැකසීම ඔවුන් සතු රාජකාරියයි. විදුලිජනක යන්ත්‍ර ක්‍රියාකරු හට පැවරී ඇත්තේ ජෙනරේටරය සවිකර විදුලිය ලබාදීමය. අනිකුත් සේවකයින් පුටු ක්‍රමානුකූලව සාදා ශාලාව පිළියෙළ කරයි. පොල් කොට සිටුවා, ඊට උඩින් ලෑලි ගසා, ගැලරිය පන්තිය සවි කළ පසු සියලු වැඩ නිම වෙයි. එකල ගැලරිය හේත්තුවීමට නැත. අඩු තරමින් 200 වත් ගැලරි ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි. 2 පන්තියට ඇත්තේ අකුලන පුටුය. සිනමාහලට පිටින් කටුකම්බි ගසා පෝලිම් ඉදි කරයි. සියලු සේවා නිම වී ප්‍රචාරක කටයුතු කර දර්ශන පෙන්වීම ආරම්භ කළ පසු එන ප්‍රේක්ෂක ජනතාව අති විශාලය. පොල් පටවන්නාක් මෙන් එක දර්ශනයකට 500 විතර ටෙන්ට් එක තුළට ඇතුල් වේ. ප්‍රදර්ශනය වන්නේ රාත්‍රී දර්ශන පමණක් බැවින් එතරම් රශ්නයක් ද නැත. විවේක කාලයෙන් පසු රස්නය අඩුවීම පිණිස දෙපස දොර රෙදි විවෘත කර තබයි. දිනපතා දර්ශන පුවරුවේ 6.30 - 9.30 වශයෙන් ප්‍රසිද්ධ කර තිබුණත් මුල් දර්ශනය ආරම්භ වන්නේ 7.35 ට පමණය. ගම්වල ජනතාව තම දවසේ සේවාව නිම කර පවුල් පිටින් එන්නේ ඒ වේලාවටය. කෙටින්ම කරුවල වන විටය. එය ජනතාවට ොහාඳට හුරු පුරුදුය. 2 දර්ශනය 10.30 පමණ ආරම්භ වී රාත්‍රී 2 පමණ වනතුරු පැවැත් වෙයි. එම වේලාවට දර්ශනය නිම වී බොහෝ පිරිස් හුළු අතු දල්වාගෙන නිවෙස්වලට යයි. අද මෙන් පාතාලයන්, මංකොල්ලකරුවන් නොමැති නිසා චිත්‍රපටය නරඹා කාන්තා පිරිස් සැහැල්ලුවෙන් නිවෙස්වලට පියමං කරයි.

මේ සිනමාහල්වල මුලාරම්භ කතාවයි. එසේම සිනමාහල් තුළ සිදු වුණ රසවත් කතා අතර හරිම ප්‍රියජනක ඒවා ඇත. ඉන් මගේ මතකයේ තිබූ කිහිපයක් මෙහිලා සටහන් කරමි. මා මුලින් කී ජෙමිනි ටෝකීස් කුඩාරම්වල යාන්ත්‍රික ඉංජිනේරු ජේසුදාසන් මහතා මගේ මාමා කෙනෙකුගේ හිතවතෙකි. ඔහුගේ මාර්ගයෙන් සිනමාහලක සේවය කිරීමේ මා තුළ තිබූ ආශාව ඉටු කර ගතිමි. මගේ වයස අවුරුදු 16 නිසා ඔහු අකමැති වුව ද පසුව මගේ පෙරැත්ත කිරීම මත ජෙමිනි සර්කිට් අංක 12 කූඩාරමේ මට රැකියාවක් ලැබුණි. මට ලැබුණ මාසික පඩිය කීයදැයි මම මෙහි නොලියමි. එම පඩියේ වටිනාකම බැලුවොත් අද කඩේකින් එක කෑම වේලක්වත් කෑමට බැරිය. නමුත් එදා එය ලොකුම පඩියකි.

මුලින්ම මා එම ජෙමිනි 12 ටෙන්ට් සිනමාහල සමඟ ගියේ ආනමඩුව නගර ආසන්නයටය. අප එහි ගොස් සතියක් පමණ වන විට කූඩාරම ඉදි කර චිත්‍රපට පෙන්විම ආරම්භ කළෙමු. මගේ රැකියාව වූයේ පොජෙක්ටර් යන්ත්‍ර පරිසුදු කිරීම හා යන්ත්‍ර සහායක ක්‍රියාකරුය. එම රැකියාව ඇමතිකමක් ලැබුණාට වඩා සතුටින් භාර ගතිමි. එම යන්ත්‍ර ප්‍රධාන කි‍්‍රයාකරු පියසේන අයියා නම් විය. මට රැකියාවට වඩා ඔහුගේ ආවතේව කිරීමට සිදු වුව ද ඔහුගෙන් ඉගෙන ගත් දේ අද ද මට පිහිට වනබව සිහිපත් කරමි.

මෙම කූඩාරම් ඉදිවන ස්ථානය ඉදිරිපිට භුමිතෙල් පන්දමක් සහිත කුඩා කඩයක් නම් අනිවාර්යෙන් ඉදි වනු ඇත. එහි විශේෂයෙන්ම බීඩි, කඩල පැකට් අනිවාර්යයෙන්ම ඇත. තවත් තැනක බුලත්විට විකුණන අයෙකි. එසේම මා දන්නා කරුණක් නම් මෙම කූඩාරම ඉදිවන සෑම ගමකම කුඩාරම ඉදි වූ පසු අහිගුණ්ඨක ජනපදයක් නම් අනිවාර්යයෙන්ම පැමිණේ. නිවාස 7 හෝ 8 කින් සමන්විත මේවායේ වෙසෙන එම අහිගුණ්ඨක ජනතාවද දවස පුරා ගමින් ගමට ගොස් බොරු සාස්තර කියමින් රිලවුන් හා නයින් නටවමින් සොයා ගන්නා මුදල් රුගෙන සවස චිත්‍රපට නැරඹීම අනිවාර්ය කර ගනී.

ඔවුන්ගේ පැමිණීම ලාබයක් වුව ද ගැහැනු පිරිමි දෙගොල්ලන්ම අධික ලෙස බීමත්ව පැමිණෙන අතර එය එකම ගාලගෝට්ටියකි. වෙනම භාෂාවක් කතා කරන ඔවුන්ගේ ශබ්දය නිසා චිත්‍රපට නරඹන අනිත් අයට එය බාධාවකි. එවැනි අවස්ථාවලදී අපේ මුරකරුගෙන් ඔවුනට වේවැල් පාර තැලීමට ද සිදු වේ. ඔවුන් බැන ගන්නේ ද ගහ ගන්නේ ද ඔවුන්ගේම අය සමඟය. මෙසේ ගහ බැන ගන්නා අතර එක් අයකුගේ නයි පෙට්ටයික් බිමට වැටී ඇතත් බීමත්කම නිසා ඔහුට එය දැනී නැත. එදින පෙන් වූයේ මහාදේවී නම් එම්. ජී රාමචන්ද්‍රන් රඟපෑ චිත්‍රපටයකි. එම චිත්‍රපටයේ එම්. ජී. ආර්. නයි නලාවක් පිඹින දර්ශනයක් ඇත. එම හඬට නයා තිරය ඉදිරිපසටම ගොස් පෙනේ පුප්පමින් තිරය දෙස බලාගෙන සිටී. මේ දුටු ගැලරියේ නරඹන්නන් බිය වී කෑගසන්නට වූ නිසා චිත්‍රපටය නවතා ලයිට් දැමීමට සිදු විය. පසුව නයා හිමිකරු පැමිණ ඔහුගේ නලාව පිඹමින් නයා අල්ලා පෙට්ටිය තුළට දමා ගැනීමට වූ වෙහෙස හරිම බියජනක මෙන්ම විනෝදජනක විය. ඉන් පසු ඔවුනට නයි පෙට්ටි හෝ කිසිවක් රැගෙන ඒම තහනම් කරන ලදී.

මෙම කූඩාරම ඉදි කර චිත්‍රපට පෙන්විම ආරම්භ කළ දින පටන්ම, වයස 65 පමණ වන එක් පුද්ගලයෙන් දිනපතාම චිත්‍රපට නැරඹීම පුරුද්දක් කරගෙන තිබුණි. ඔහු ජීවිතේට චිත්‍රපට නරඹා නැති අයෙක් බව කියා තිබුණි. ගොවි මහතෙකු වූ ඔහු සවස 4 පමණ ටෙන්ට් එක අසලට පැමිණ තමා ගෙන එන රාත්‍රියට දල්වන හුළු අත්ත පොල් ගසකට හේත්තු කර තබා කුඩය ද කිහිල්ලේ රඳවාගෙන කළු සුරුට්ටු 4 ක් පමණ පෝලිම අසලට විත් උරමින් සිටී. පෝලිමේ මුලින්ම ටිකට් එක ගන්නා ඔහු ඉඳ ගන්නේ තිරය ළඟම ඉදිරි බංකුවේය. දිනපතාම එසේය. මා ඇසූ විට ඔහු කීවේ චිත්‍රපටය හොඳින් බලා ගැනීමට කියාය. නමුත් අපගේ මිතුරුකම වැඩි වූ පසු රහස හෙළි විය. දෙමළ චිත්‍රපටවල පද්මිණී, වෛජයන්ති මාලාගේ නැටුම්වලට ඔවුන් කිටි කිටියේ ඇඟට හිරවෙන ඇඳුම් ඇඳ සිටින බැවින් ඒවා නැරඹීමට ආසා කරන බවකි. අපට පෙන්වීමට නියමිත තිබූ චිත්‍රපටයක් නොලැබීම නිසා හදිසියේ 'වනමෝහිනී' චිත්‍රපටය එවා තිබුණි. එම චිත්‍රපටය මුල් දිනයේ බැලූ ඔහු ඉන් පසු දිනපතාම බත් මුලක් ද බැඳගෙන පැමිණ දර්ශන දෙකම නරඹා රත්‍රිය ගැලරි බංකුවක නිදා සිට උදේ ගෙදර යයි. ඒ කාන්ති ගුණතුංගට වශී වීම නිසාය.

ඉන්පසු දිනක 'පුනර් ජන්මම්' නම් දෙමළ චිත්‍රපටයත් අප පෙන්වීය. මෙම චිත්‍රපටය ඔහු දින 4 ක්ම පිට පිට නැරඹීය. නමුත් චිත්‍රපටය ආරම්භ වී පැය භාගයකට පසුව ඔහු පිට වී යයි. මෙය අපට ප්‍රශ්නයක් වී ඔහුගෙන් ඇසූ විට ඔහු කීවේ අමුතුම වචනයකි. අපට සිනාව නවතා ගැනීමට ද නොහැකි විය. බලන්නකෝ මල්ලි හරියටම අර කාලකන්නි කෝච්චිය හැමදාම වෙලාවටම එනවනේ කියා ඔහු තරහින් පිට වී ගියේය. පසුව එම හේතුව අපට වැටහිණි. එම චිත්‍රපටය අරම්භ වී පැය කාලකට පමණ පසුව චිත්‍රපටයේ එක් නිළියක් වෙලක් ළඟ ළිඳක දියනෑමට පැමිණ සිය ඇඳුම් ගැලවීමට සූදානම් වී වට පිට බලා උඩු කය නිරාවරණය කිරීමට සූදානම් වෙයි. එවිටම චිත්‍රපටයේ දුම්රියක් යන අතර එම දර්ශනය වැසී යයි. මෙය චිත්‍රපටයේ දර්ශනයක් බව තේරුම් ගැනීමට ඔහුට ශක්තියක් නැත. ඔහු දිනපතාම පැමිණියේ අදවත් මේ කෝච්චිය නාවොත් හොඳ යයි යන සිතිවිල්ලෙනි. ඔහුම දිනක් 'සුජාගේ රහස' බැලීමට පැමිණ සිටියේය. එම චිත්‍රපටයේ රෝයි හා විජිත මල්ලිකා 'ජීවනයේ ආදරයේ' ගීතය ගයමින් රඟන විට එම දර්ශනයේ අතර මැද විශාල වැස්සක් කඩා වැටේ. මොහු වහාම ඔහු අත තිබු විශාලතම කුඩය ඉහළා ගත් අතර පසුපස සිටි නරඹන්නන්ගේ දෝෂාරෝපණයට හා හාස්‍යයට ලක් විය.

මෙම ටෙන්ට් එකක අඩු කරමින් 16 ක් වත් සේවක පිරිසක් සේවය කරයි. විනෝදජනක රැකියාවක් වුව ද ලොකු වගකීමක් සහිත සේවයක් ඔවුන් අතින් සිදුවේ. බොහෝ අවස්ථාවල ගමේ චණ්ඩින්ගේ තාඩන පීඩන එල්ල වන අවස්ථා තිබුණ ද ඒවාට සාර්ථකව මුහුණදීමට මෙම සේවක පිරිසම එකා මෙන් සිටී. මෙම ටෙන්ට්වල සේවයට ගන්නා විට සේවකයන්ගේ උගත්කමට වඩා උස මහතකම කෙරෙහි සමාගම සැලකිල්ලක් දක්වයි. ඇත්ත වශයෙන්ම ඔවුන් අපේ සිනමාව ගම්බද ජනතාව අතරට ගෙන යාමට ලොකු සේවාවක් කළ අයය. රැකියාවක් වුව ද ඔවුන් කර ඇත්තේ සේවයකි. ඉතා අඩු පහසුකම් මධ්‍යයේ වුව ද ඔවුන් සතුටින් සේවය කළ අයය. එකල අද මෙන් ප්‍රධාන විදුලිය නැත. 9.30 දර්ශනය හමාර වී ජෙනරේටරය නැවැත් වූ පසු කට්ට කරුවලේ රැය පහන් කරයි. බිමට සිමෙන්ති ටෙන්ට්වල නැත. නමුත් සියල්ලන්ටම අකුලන බූරු ඇඳන් ලැබේ. ඒ බිම නිදා ගැනීමේදී ඇතැම් විට සර්ප ප්‍රහාරවලට ලක්වීමට ඉඩ ඇති බැවිනි. රාත්‍රී 9.30 දර්ශනය හමාර වන විට රාත්‍රී 2 පමණ වේ. එවිට සියල්ලන්ම නිදා ගන්නේ එක තැනකය. ඇතැම් විට ප්‍රොජෙක්ටර් කාමරයට යාබදවය. නමුත් නින්ද යනතුරු කරුවලේ එළිවන යාමය වනතුරු ඔවුන් සියල්ල එකතු වී කියන රස කතා චිත්‍රපටයකට වඩා රසවත්ය. එසේ කතාබස් අතරේම නින්ද ගියපසු නැවත අවදි වන්නේ දහවල් එකත් පසු වීය. ඇතැම් විට චිත්‍රපටයක් මාරුවන විට පෝස්ටර් ඇලවීමට ගම වටා ගොන් බැඳි කරත්තයෙන් බෙරයක් වාදනය කරමින් යන ගමන ද හරිම විනෝදයක් ගෙන දෙයි. අත් පත්‍රිකා බෙදන විට ඒවා ඇහිලීමට කොල්ලෝ කුරුට්ටෝ පසුපස දිව එයි. ඇතැම් අත් පත්‍රිකා නම ලිපිනය ලියා තරුණියන්ට බෙදපු අවස්ථා ද නැතිවම නොවේ. එවන් ලිපින ලබා ගත් තරුණියන් හාද වී විවාහ වූ අවස්ථා ද ඇත. සිනමාහලක සේවය කරන අය සමඟ මිතුරුවීමට එදා බොහෝ අය කැමතිය. ඒ නොමිලේ චිත්‍රපට බැලීමට නොවේ. පෝලිමෙන් පිට ටිකට් එකක් ලබා ගැනීමටය. මෙම ටෙන්ට් එකක් ගමක තිබෙන කාලය මාස 6 කි. ඊළඟට යන්නේ වෙනත් ගමකටය. මා සේවය කළ ජෙමිනි අංක 12 ටෙන්ට් එක ඊළඟට ගියේ මහියංගනයටය.

මෙම ටෙන්ට් හා සමාන සිනමාහල් තුනක් කොළඹ අවට තිබුණි. පැරැණි ප්‍රේක්ෂකයින් නම් ඒවා හොඳට දනී. ඉන් එකක් දෙහිවල පුෂ්පා නම් විය. එහි ගැලරිය ශත 25 ක් වූ අතර එකල කාන්තාවන්ට ද ගැලරිය තිබුණි. එහි ද ඉදිරිපස භුමිතෙල් පදනම් කඩය හා නිල් දියකර අඳින බෝඩ් ආදිය ද ටෙන්ට් ක්‍රමයට තිබුණි. දෙවැනි එක ආනන්ද රාජගිරිය සිනමාහලයි. දැනට සමුද්‍රදේවි උත්සව ශාලාව ඇති තැන වසා දමා තිබූ පැරැණි පොදු වෙළඳපොළ (මාර්කට් එක) සිනමාහලක් බවට පරිවර්තනය කර චිත්‍රපට පෙන්වීය. මා අසා ඇති පරිදි 1955 වසරේ සුරංගනී චිත්‍රපටයෙන් එය ආරම්භ වී ඇත. මා කුඩා කල සිටම චිත්‍රපට නැරඹූ එම සිනමාහල හොඳම ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් තිබුණි. එහි ශබ්දය හා රූපය ඉතා ඉහළ මට්ටමක තිබුණ අතර සවස 6.30 - 9.30 දර්ශනය සඳහා අති විශාල ජනකායක් චිත්‍රපට නැරැඹූහ.

අනිත් සිනමාහල නම් තොටළඟ 'මිනර්වා' නම් විය. නාගලගම් වීදිය කෙළවර කුඩා පාලම පසු කර කොහිලවත්ත පාරේ ඇල අයිනේ තිබූ මෙම සිනමාහල ද අර්ධ ගොඩනැගිල්ලක් වුව ද ටෙන්ට් එකක් මෙන් පරිපාලනය විය. නිල් දියකර අඳින ලද පෝස්ටර් ඉදිරිපස භූමිතෙල් පන්දම් කඩය එසේම තිබුණි. සවසට අති විශාල ජනකායක් එකතු වන මෙම සිනමා ශාලාව තොටළඟ රා කඩේ සාමාජිකයන්ගෙන් පිරී පැවතුණි. ගැලරිය හේත්තු නොවන බංකු තිබූ අතර නිතරම ගෝරිවලින් නම් අඩුවක් නැත. මෙම සිනමාහලේ කළමනාකරු කුමාර් නම් අයකු වූ අතර ඔහුට මෙම රණ්ඩුසරුවල් බේරීමට මනා හැකියාවක් තිබුණි. මා කියූ එම කුමාර් නම් කළමනාකරු සිනමාවට බොහෝ ඇලුම් කළ අයෙකි. පසු කලෙක 'හාරත හතර' නම් චිත්‍රපටය නිපද වූ එම්. එස්. කුමාර් ඔහුය.

ස්ථිර ගොඩනැගිලි නොවූව ද ලංකාව පුරාම ලෑලි ආවරණය කරන ලද පැරැණි සිනමා ශාලා රැසක්ම එකල පැවතුණි. ඒ සෑම එකකම විස්තර මා විසින් සොයා බලා එකතු කර ඇත. ලැබෙන හැකි දිනක එම විස්තර ඔබට ගෙන එමි.