වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මම යශෝධරා කළොත් පිළිගන්න එකක් නැහැ

මම යශෝධරා කළොත් පිළිගන්න එකක් නැහැ

Ashoka Handagama

මම විශ්වාස කරනවා තරුණ නිර්මාණකරුවන් ඉදිරියට ඒම සහ සැබෑ වටිනාකම් සහිතව ඔවුන් ඉදිරිපත් වීම සතුටු විය යුතු කාරණයක්. එය ප්‍රමාණවත්ව නොතිබීම ගැන තමයි අපි කලබල විය යුත්තේ. හැබැයි ඒ දෙන සම්මානවලට ඇත්ත වටිනාකමක් තිබිය යුතුයි. හැමදාම අරයා මෙයා සම්මාන ගන්නවා එය වෙනස් කළ යුතුයි කියලා වෙන කෙනකුට දීම තේරුමක් නෑ.

අශෝක හඳගම සිනමාවේදියා පිළිබඳ අටුවා ටීකා කීම අවශ්‍ය නැත. ඔහු මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයා වශයෙන් 2016 සඳහා සම්මානය හිමි කර ගත්තේ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙනි. වත්මන් සිනමාව හා ඔහුගේ දර්ශනය පිළිබඳ අපි මෙසේ ඔහුගෙන් විමසුවෙමු.

දෙස් විදෙස් සම්මාන රැසක් හිමි කරගත්තකු ලෙස ඔබට දැන් සම්මාන ගැන හැඟෙන්නේ කෙසේද?

මට මුලින්ම යෞවන සම්මාන උලෙළේ හොඳම තිර රචකයාට හිමි සම්මානය 1983 ලැබෙන විට සම්මාන ගැන විශේෂ හැඟීමක් තිබුණා. මම විශාල වටිනාකමකින් යුතු දෙයක් කළා කියා හිතුණා. ඊට පස්සේ දිගටම සම්මාන ලැබෙද්දී උපයෝගීතාවේ යම් දුරකට ගියාම එයින් ලොකු බලපෑම ඇති වන්නේ නෑ. මම කිසිම සම්මාන උලෙළක් අවතක්සේරු කරනවා නොවේ. ඒත් සම්මාන සඳහා විනිශ්චයන් ලබා දෙන ජූරිවල සාමාජිකයෙකු ලෙස කටයුතු කළාම අපේ මතය කුමක් වුවත් පොදු මතයකට එකඟ වන්න සිදු වන බව අපි දන්නවා. සම්මාන විනිශ්චය සාපේක්ෂයි. එය බහුවරණ උත්තර වගේ නිරපේක්ෂව ලැබෙන්නේ නෑ. කලා කෘතියක වටිනාකම සාපේක්ෂයි. විෂයය නැත්නම් පුද්ගල බද්ධයි. ඒ අනුව ජූරිය සාපේක්ෂව යමෙක් හොඳයි කියා තීරණය කරනවා. එය අවබෝධ වුණු පසු සම්මානයක බලපෑම වෙනස් වෙනවා.

'ඇගේ ඇස අග' ප්‍රේක්ෂකයන් රැඳුණේ කොහොමද?

එය ප්‍රේක්ෂකයන්ට විශේෂ අපූර්ව අත්දැකීමක් වුණා. මෙය ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක් නොවේ. ඒ නිසා අහම්බෙන් එන පිරිසක් නොවේ කැමැත්තෙන් එන තෝරාගත් පිරිසක් පමණයි නරඹන්නේ. ඔවුන්ගෙන් ලැබුණු සුබවාදී ප්‍රතිචාර රැසක් තිබුණා. රීගල් සිනමා හල කීවා වෙනදා එන 'සාම්පල් ඕඩියන්ස්' එකට වඩා වෙනස් වැඩිහිටි පිරිස් වැඩිපුර සහභාගී වූ බවක් පෙනුණා කියලා. පූර්ණ අන්තර්ගතයට නොගියා වුණත් සෞන්දර්යාත්මක සහ සිනමාත්මක වගේම ගැඹුරු කියවීමකට ගිය පිරිසකුත් හිටියා. ඒ වගේම සාම්ප්‍රදායික මිනුම්දඬුවලින් කළ විචාරත් තිබුණා. ඊට අමතරව ඇගේ ඇස අග කිසිත් නැත කියූ අයත් හිටියා. ඒවාත් එක එක නිරීක්ෂණ පමණයි.

ස්වර්ණා මල්ලවආරච්චි ප්‍රවීණ නිළිය මෙන්ම රිතිකා කොඩිතුවක්කු ආධුනික නිළිය එකම සම්මානයට නිර්දේශ වුණා?

ස්වර්ණා ඉදිරිපත් කළේ ඇය මෙතෙක් අප දැක ඇති ශෛලියට වඩා වෙනස් රංගනයක්. එය ඇඟ ඇතුළෙන්ම ආ යුතු ප්‍රබල ප්‍රකාශනයක්. රිතිකා අනෙක් උලෙළවල සලකා තිබුණේ සහාය නිළිය ලෙස වුවත් සරසවිය ජූරිය ඇය ප්‍රධාන භූමිකාවක් ලෙස සලකා තිබුණා. එය ජූරියේ තීරණය. ඉනි අවන් චිත්‍රපටයේත් නිරංජනී ඉදිරිපත් කළ චරිතය සමහර විනිශ්චය මණ්ඩල ප්‍රධාන භූමිකාවක් ලෙස සැලකුවා. ඉතින් රිතිකා කළ චරිතය ලංකාවේ සැලකෙන්නේ අභියෝගාත්මක එකක් ලෙස. මොකද පළමු වතාවට රඟපාන කෙනකු ලෙස ඇය සියුම් අභිනයන් ඉදිරිපත් කළ ආකාරය අනුව ඒ චරිතය තුළ ජීවත් වුණා. ආධුනික නිළියක් ලෙස ඇය චරිතයට සාධාරණයක් ඉටු කළා ඇයටත් සාධාරණයක් ඉටු වුණා. ඇයට එවැනි තවත් චරිත සඳහා ආරාධනා ලැබුණත් ඒවා බාරගෙන තිබුණේ නෑ. නිළියක් ලෙස එකම චරිතයකට කොටු නොවී සිටීමට සහ නිළියක් වීම සඳහා ඕන දෙයක් කරන්න සූදානම් අය අතර ඇයගේ හික්මීම අනාගතය හොඳයි කියා මම සිතනවා.

මෙවර තරුණ සිනමාකරුවන්ට ඇගයීම් රැසක් වෙන් වුණා?

මම විශ්වාස කරනවා තරුණ නිර්මාණකරුවන් ඉදිරියට ඒම සහ සැබෑ වටිනාකම් සහිතව ඔවුන් ඉදිරිපත් වීම සතුටු විය යුතු කාරණයක්. එය ප්‍රමාණවත්ව නොතිබීම ගැන තමයි අපි කලබල විය යුත්තේ. හැබැයි ඒ දෙන සම්මානවලට ඇත්ත වටිනාකමක් තිබිය යුතුයි. හැමදාම අරයා මෙයා සම්මාන ගන්නවා එය වෙනස් කළ යුතුයි කියලා වෙන කෙනකුට දීම තේරුමක් නෑ. ඒත් සරසවිය ජූරියෙත් මම ඒ අඩුපාඩුව දැක්කා. උදාහරණයක් ලෙස ඔවුන් සංස්කරණය කියා හිතන්නේ දර්ශන ගොඩාක් එක ළඟ ඡේදනය කරලා තිබීමයි. ඒත් ඊට වඩා අමාරුයි විනාඩි පහක විතර තනි දර්ශනයක් තවත් විනාඩි ගාණක දර්ශනයට ඡේදනය විය යුතු හරිම අවස්ථාව තීරණය කරන එක. එය වෙන විෂයක්. ඒ විෂය දන්න අයද සංස්කරණය බලන්නේ කියන දේ තිබෙනවා. ශිල්පීය දක්ෂතා අගයද්දි අමාරු වන්නේ එවැනි දේයි. ඒවා හරියට ඇගයීමට ලක් වුණාද යන්නත් එක්ක හැදෙන ප්‍රමිතිය වැරැදි ආදර්ශයක් වන්න පුළුවන්. මෙය සියලු සම්මාන උලෙළවලට පොදුයි. ඒ නිසා හරි දේට ඇත්ත ප්‍රමිතිය ලැබිය යුතුයි.

ඔබ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා වූ විනිශ්චය මණ්ඩලයේ සභාපති. කොහොමද එයට නවකයන් ඉදිරිපත් කර තිබූ නිර්මාණ?

අපි ඒ සම්මානය සඳහා ඉදිරිපත් කර තිබූ චිත්‍රපට 18ක් බැලුවා. ඒ අතරින් අපට කතා කරන්නවත් තරම් දෙයක් ඉතුරු වුණේ කෘති තුනක පමණයි. අපි එතැනදි බැලුවේ නැහැ මේ චිත්‍රපට 'අපේ ජාතියේ' චිත්‍රපටද කියලා. තමන් තෝරාගත් විෂයය කොතරම් පරිසමාප්ත අයුරින් ඉදිරිපත් කර තිබුණාද යන්න පමණයි සැලකුවේ. එහිදී ජනතා ආකර්ෂණය ලැබෙන වාණිජ වටිනාකමක් ඇති වට්ටෝරු ගණයේ චිත්‍රපටයක් හැටියටවත් තරගකාරී මට්ටමේ නිර්මාණයක් තිබුණේ නෑ. අනෙක ලෙස්ටර් පීරිස් සම්මානය කීවාම ඔහු මේ රටේ කළ දේ සමඟ ඒ සම්මානයට ලැබෙන වටිනාකමක් තිබෙන නිසා එයට ගැළපෙන්නත් ඕනා. සම්මාන ලැබුණු ඒවායේත් අඩුපාඩු නැතිවා නෙවෙයි. ඒත් ජාති දෙකේ චිත්‍රපටවලින් තරගකාරීත්වයක්වත් තිබුණා නම් අපේ ජාතියේ එකකට දෙන්න තිබුණා, අපි කැමති ක්‍රමය නිසා කියලා. එහෙමවත් නැතිවයි මේ චිත්‍රපට ආවේ. ඉතිරි පහළොවම සැලකිය යුතු මට්ටමේත් නෑ.

ඔබ අපේ ජාතියේ කී ගමන් වර්ගීකරණයකට ලක්වෙනවා?

ඔව්. ජූරියේ උදයකාන්ත වර්ණසූරිය හැරුණාම අනෙක් සාමාජිකයන් කිසි කෙනෙක් වට්ටෝරු මට්ටමේ චිත්‍රපට කරන අය නොවෙයි. අපේ සිනමාව අයිති වන්නේ වර්ගීකරණයේ පහසුව සඳහා කමර්ෂල් මූවී, ආර්ට් හවුස් මූවී කියලා සලකන වර්ග දෙකෙන් ආර්ට් හවුස් ගණයටනේ. බහුචිතවාදියා, දැකලා පුරුදු කෙනෙක් සහ රතු සමනල හීනයයි කෘති තුනම විශාල වශයෙන් ජනතා ආකර්ශනයක් ලබලා වාණිජ වශයෙන් උඩ පැනගෙන දුවන චිත්‍රපට වන්නේ නෑ. ඒත් කිසියම් ආකාරයක මානුෂික දේශපාලනික යථාර්ථයක් පිළිබඳව කියවා ගන්න සිනමාත්මකව පිවිසෙන ප්‍රයත්නයක් පමණයි.

පොදු මතය තමයි සිනමා කර්මාන්තය පවතින්න නම් වාණිජ හා කලාත්මක සිනමා කෘති දෙවර්ගයම අවශ්‍ය බව. ඒත් නව පරපුරත් දිගින් දිගටම කලාත්මක කෘති පමණක් නිෂ්පාදනය කළොත් අපේ සිනමා කර්මාන්තයට කුමක් වෙයිද?

ශ්‍රී ලංකාවේ තවම පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. උදාහරණයක් ලෙස කිං රත්නම් කළ කෝමාලි කිං චිත්‍රපටය ගමු. ජූඩ් රත්නම් කියන්නේ ගැඹුරු වාර්තා සිනමා ශෛලියක් අනුගමනය කරන ජාත්‍යන්තරය පවා පිළිගත් සිනමාකරුවෙක්. ඒ අතර ඔවුන් යම් උත්සාහයක් ගත්තා ලංකාවේ දෙමළ සිනමාවට ඉන්න ප්‍රේක්ෂකාගාරය මේ රටේ නිෂ්පාදනය කරන දෙමළ කෘතියකට ආකර්ෂණය කර ගන්න පුළුවන්ද බලන්න. එය හොඳ උත්සාහයක්. ඒත් සිංහල පිරිස තරම් දෙමළ ප්‍රේක්ෂකයා මෙයට ආකර්ෂණය වුණේ නෑ. එයට හේතුව තමිල්නාඩු වට්ටෝරුව තිබුණේ නැතිකම හෝ තරු වටිනාකම තිබුණේ නෑ. එයින් මම කියන්න උත්සාහ කරන්නේ මේ සිනමාවේ නිලය අල්ලා ගැනීම හරි ලේසි දෙයක් නෙවෙයි කියන එකයි. උදාහරණයක් ලෙස මහින්දාගමනය වගේ චිත්‍රපටයක් ගත්තොත් එයට ප්‍රේක්ෂකයන් ආවේ චිත්‍රපටයක් බලනවා නොවේ පන්සල් යනවා කියලා හිතාගෙන. ඒ නිසා ඒ සාමාන්‍ය චිත්‍රපට ප්‍රේක්ෂකයන් නෙවෙයි. හැබැයි ධර්ම යුද්ධය බලන්න ආවේ සිනමා ප්‍රේක්ෂක පිරිසක්. මොකද එය ඉන්දියානු වට්ටෝරු ගණයට අයිති එකක්.

කඩවුණු පොරොන්දුවේ සිටම ඉන්දියානු වට්ටෝරුවක් අපි ගෙනාවාම හරියන්නත්, අපේ වට්ටෝරුව වරදින්නත් හේතුව මොකක්ද?

වාණිජ චිත්‍රපට ආකෘතිය ගොඩ නඟනවා කියන දේ සින්දු තිබුණට, කට්ටියක් නැටුවට හරියන්නේ නෑ. ඒක වෙන වැඩක් එයට වෙනම දක්ෂතාවක් තිබෙන්න ඕනා. සල්ලි හොයනවා කියන තැන ඉඳන් ඒක කරන්න බෑ.

ඔබේ විදු කෘතිය ඔබේ සුපුරුදු ආකෘතියෙන් වෙනස්? විචාරකයන් දොස් කීවා. හැබැයි එය ප්‍රේක්ෂකයන් වැලඳගත්තා. ඉතින් අශෝක හඳගම කියන සිනමාකරුවාටත් හොඳ වාණිජ කෘතියක් කළ හැකියිනේ?

ලංකාවේ තිබෙනවා අශෝක හඳගම කළ යුත්තේ එක්තරා විදිහක චිත්‍රපට පමණයි කියලා මතයක්. ඒ නිසා මම යශෝධරා වගේ එකක් කළත් කවුරුත් පිළිගන්නේ නෑ. හැබැයි මම දන්නවා මට ඕනෙ නම් වාණිජ චිත්‍රපටයක් කරන්නත් පුළුවන් කියලා. හැබැයි මම එහෙම කරනවා නම් මගේ විනෝදය සඳහා කරන එකක් වන්නේ. ඒ ආකර්ෂණයට මමත් කැමතියි. ඒ නිසා අත්හදා බලන්න ආසාවක් තිබෙනවා. හැබැයි ඒකට ලොකු වියදමක් සමඟ අවදානමක් ගන්න වනවා. අවස්ථාවක් ආවොත් කරනවා.

අද විශාල ප්‍රශ්නයක් ලෙස අධ්‍යක්ෂවරුන් කියන්නේ චිත්‍රපට තැනූවට ප්‍රදර්ශනය කරන්න වන්නේ කල් ගත වී බවයි.?

මටත් ඔය ප්‍රශ්නය තිබුණා චිත්‍රපට සංස්ථාවේ පෝලිමේ ඉන්න කාලේ. චන්ද කින්නරී හැදුවේ 93 එළියට ආවේ 98 වසරේ. ඒත් ඇගේ ඇස අග මම එළි දැක්වූයේ අතරමැද දින 21ක හිස් ඉඩක. එතකොට චිත්‍රපටය දාද්දිම දන්නවා ගැලවෙන දවස. එයිනුත් සති දෙකක් මහා ගංවතුරට ගියා. එය හැබැයි වියදම සොයා ගැනීමෙ අභියෝගයට මුහුණ දෙන්න වනවා. එයට දැන් විකල්ප තිබෙනවා. ඒ නිසා චිත්‍රපටයක් තියාගෙන පල් කරකර ඉන්නවාට වඩා ඒ ක්‍රමයත් හොඳයි.

ඒ විකල්පවලට අයත් වන්නේ විදෙස් සම්මාන උලෙළද?

ඔව්. ඒකත් එකක්. ඉන්දියාවේ සමහර චිත්‍රපට ප්‍රදර්ශනයට දාන්නේ විචාරයක් දෙකක් ලියා ගන්න පමණයි. ඒවා මුදල් හම්බ කරන්නේ විදෙස් උලෙළ නියෝජනය කරලා. චිත්‍රපට උලෙළ කියන්නේ ස්වාධීන සංවිධාන. ඒවා ඇති වුණේම ඔය 'බ්ලොක්බස්ටර්' චිත්‍රපටවලින් කතා නොවන සිනමා කෘති පිළිබඳ ඇගයීමක් සහ ඒවා නරඹන්න ආසාකරන ප්‍රේක්ෂකයින්ට අවස්ථාව දෙන්න. ඒවායේ විවිධ වසරවල විවිධ ප්‍රමිතීන් තිබෙන්න පුළුවන්. අන්තර්ජාතික උලෙළක ප්‍රදර්ශනය වන හැම එකක්ම හොඳ චිත්‍රපටයක් කියන්නත් බෑ. හැබැයි ඒ උලෙළට ගැලපෙන කුමක් හෝ වටිනාකමක් තිබෙනවා. ලෝකේ පිළිගන්න ප්‍රධාන උලෙළ කීපයක් තිබෙනවා. ආසියාවේ නම් භූසාන්, ටෝකියෝ, ගෝවා, යුරෝපයේ නම් කෑන්ස්, වෙනිස් බර්ලින් ලොකානෝ සෙන් සෙබස්තියන්. ඒවා ශ්‍රේණිගත වෙලාත් තිබෙනවා. ඒවායේ සාමාන්‍ය වට්ටෝරු නොවේ නිර්ණායක. උදාහරණයක් ලෙස පැය හය හතක චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය වන්නේ නෑ. ඒත් උලෙළවල තිබෙනවා. ඒවාට යෑමත් ලොකු තරගයකින් තමයි කරන්නේ.

විදෙස් සම්මාන ලාභී චිත්‍රපටවලට අපේ ප්‍රේක්ෂක ආකර්ෂණය කොහොමද?

ජනතාවට කිසියම් විදිහක ප්‍රමිතියක් ලබා දෙන්න එය එක්තරා කාලයක විශාල වශයෙන් බලපෑවා. ඒත් දැන් එය එතරම් වලංගුද කියන්න අමාරුයි. ලවුඩියස් වැනි අයගේ සිනමා කෘති බලා ඉන්න අමාරු තරම් දිගයි ඒත් ඒක බලන්න උලෙළට එන පිරිස් ඉන්නවා.

අපේ ප්‍රේක්ෂකයන් ක්‍රමයෙන් සිනමා ශාලාවෙන් ඈත් වෙලා?

අපේ රටේ ජනතාව 88-89 වගේ කාලෙන් පස්සේ ශාලාවලට යන්න බය වුණා. ඒ කොටු වුණු අයට ටෙලි නාට්‍ය ආදේශකයක් බවට පත් වුණා. පස්සේ ජනතාවට විවේකයක් නැතුව ගියා. එයට ජනතාව හැඩ ගැහුණා. දෙමව්පියන්ගේ ලෝකය ළමයින්. ළමයින් බලන චිත්‍රපට තමයි අම්ම තාත්තලාත් බලන්නේ. එහෙම තනි වෙන්න අවශ්‍ය පිරිසට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ටිකකුත් හැදිලා තිබෙනවා. ජංගම දුරකථනය, මුහුණු පොත තමන්ට තමන්ම වීරයෙක් වෙලා ඉන්න පුළුවන් ලෝක ඇති වෙලා. අද ගාමිණි ෆොන්සේකලා වැඩක් නෑ. මිනිසුන් එන්න එන්න හුදෙකලා වෙනවා. ප්‍රංශය හෝ යුරෝපිය රටවල දවල්ට තරුණයන්ට එන්න බැරි නිසා දවල්ට චිත්‍රපට බලන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඔවුන්ට මඟ හැරුණු ජීවිතය ඔවුන් ලබන්නේ එතැනින්. හැබැයි අපේ අයට ඒකට තිබෙන්නේ පන්සල. සමහරුන්ට ඒකත් නෑ. දරු මුණුපුරන්ගේ වැඩ ඒ නිසා අපට කොයි වෙලාවක වත් ජීවිතේ අහු වෙන්නේ නෑ. ලොකු අර්බුදයක පැටලිලා.

අධ්‍යක්ෂවරයකු හැටියට ඔබ අත්දකින අභියෝග මොනවාද?

මූලික ප්‍රශ්නය කාලය. ඒ හැර මම අනෙක් සියලු අභියෝග ජය ගත්තා. මම පිටපතක් ලියන්නේ එය කරනවාම නම් පමණයි. ඒ නිසා ඒවා ගැන මට අභියෝගයක් නෑ.

වෙන රටවල නම් තිර රචනා ආදියට විශේෂිත පිරිස් ඉන්නවා?

ඒ රටවල සිනමාකරණය උගන්වන පාසල්වල ඒ ඒ විෂයන් සඳහා විශේෂිත පුහුණුව ලබන අය ඉන්නවා. ඒ නිසා අධ්‍යක්ෂණය පුහුණු කෙනා තිර රචනය ගැන වැඩිය උනන්දු නෑ. අපේ ලෙස්ටර් මහත්තයා වගේ. ඔහු හොඳ අධ්‍යක්ෂවරයෙක් හොඳ තිරපිටපතක් අහු වුණොත්. ඔහුගේ මුල් කාලේ පිටපත් තිස්ස අබේසේකර, රෙජී සිරිවර්ධන වගේ අය ලියූ දියුණු ඒවා නිසා දියුණු සිනමාවක් ඔහු අතින් බිහි වුණා. පසු කාලිනව ඔවුන් නැති වී යද්දි ලෙස්ටර් මහත්තයාට ලැබුණු පිටපත් සාර්ථක වුණේ නෑ. ඒත් මම හිතන්නේම මගේ රූප රචනයත් සමඟ නිසා තිරපිටපත ලියා ඉවර වෙද්දි චිත්‍රපටයෙන් සියයට 75ක් අවසන්.

සිනමාවේ ඇතැයි කියන අර්බුදය පිළිබඳ මොකද හිතන්නේ?

ලංකාවේ සිනමා අර්බුදයක් තිබෙනවා නම් විසඳන්න පුවවන් එකම විදිහ මෙය කලාවක් සහ කර්මාන්තයක් බව හිතලා, දැනට තිබෙන හිඩැස පුරවන්න වෙනවා. සිනමාවේ 70 සිට 2000 පමණ දක්වා චිත්‍රපට සංස්ථාව යටතේ බෙදා හැරීම තිබුණේ. ඒ තුළ ශාලා දියුණු කරන්න එහෙම හැඟීමක් තිබුණේ නෑ. සිනමාව ආරක්ෂිතයි කියන මිථ්‍යාවක හිටියේ. එය තවදුරටත් දරාගන්න බැරිව පුපුරා ගියාම අපි ඇත්ත සිනමාවට විවෘත වුණා. එතකොට අපි ගොඩාක් පිටිපස්සේ ඉන්නේ. ඩීසීපී ප්‍රක්ෂේපණ පටන් ගන්නෙත් දැන්නේ... විවිධ අයට විවිධ කෘති නරඹන්න පුළුවන් ක්‍රමයක් තිබුණෙ නෑ. දැන් තිබෙන සංක්‍රමණයට පොඩි තල්ලුවක් ආණ්ඩුවෙන් දිය යුතුයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘති යටතේ, අඩු ගානේ කුඩා ශාලා තුනක්වත් තිබෙන. අපි සිනමාවේ එක කොටසක් අතහැරලා තිබෙනවා. අද මට විවේකයක් තිබෙනවා. චිත්‍රපටයක් බලන්න හිතෙනවා. මම බලන්න කැමති චිත්‍රපටයක් නැත්නම් අවස්ථාව ගිලිහී යනවා. අපේ සිනමාව සමස්තයට සේවාව සපයන්නේ නෑ. ඒ නිසා බොරුවට ආණ්ඩුවට පවරාගෙන 70 සමාජය වගේ කරන්න පුළුවන් කියන දේ විහිළුවක්.

වාරණය ගැන මොකක්ද ඔබේ අදහස?

වාරණය ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. පසුගිය වසර තුන ඇතුළත සිනමාව හා වේදිකාව සඳහා නිදහසක් ලැබුණා. එය ඇත්ත. මම සිනමාකරුවකු හැටියට කියන්නේ වාරණයක් එපා කියලා. එයට සමහරු කියන්නේ ළමයින් යොදාගෙන කරන ලිංගික චිත්‍රපට වාරණය කරන්න කියලා. මම කියන්නේ එහෙම වාරණය කරන එක නෙවේ ළමයි දාලා ෆොනොග්‍රැෆි කරන්න බෑ. එය ළමා අපචාරයක්. මම අක්ෂරය කරන කාලේ මේ පිළිබඳ හැදෑරුවා. ඒ නිසා කලා කෘති වාරණය කුමක්ද අපරාධය කුමක්ද කියලා තේරුම් ගත යුතුයි.

කොළඹ සිනමා උලෙළ ?

එය අපට දිගටම කරගෙන යන්න බෑ. චිත්‍රපට කරන අයට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට වෙලාවක් නෑ. ඒ නිසා එය කවුරුන් හෝ අරගෙන කරනවා නම් අපෙ පූර්ණ සහාය දෙනවා. අපට ඕනෑ වුණේ ලංකාවේ සිනමා උලෙළක් කළ හැක්කක් බව පෙන්වීම පමණයි.