වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




හැට පැන්න සුපිරි තරුව

හැට පැන්න සුපිරි තරුව

ජී. ඩී. ප්‍රේමරත්න

මෙතුවක් කල් රියැලිටි තරග වෙන්ව තිබුණේ තරුණ තරුණියන් වෙනුවෙනි. ඒ තුළින් ජයග්‍රහණය කරමින් ක්ෂේත්‍රය වර්ණවත් කිරීමට තරු බිහිවන්නට ගතවූයේ එක රැයකි. ඒ වන විට හැට දෙහැවිරිදි වියෙහි පසුව සිටි ජී. ඩී. ප්‍රේමරත්නද මේ දෙස බලාගෙන සිටියේ සිතෙහි තිබුණු යම් සංතාපයක් සමඟිනි. එම තරගවලින් ජයගන්නා උදවිය ගැන කිසිදු කහටක් හෝ ඊර්ෂ්‍යාවක් ඔහු තුළ තිබුණේ නැත. තමන්ට මතුවන්නට මෙවන් වූ දෙයක් නොමැතිවීම ප්‍රේමරත්නගේ සංතාපයට හේතුවක් විය. දෙරණ 60+ ඇරැඹෙන්නේ මේ කාල වකවානුවේය. එහි පළමු දැන්වීම දුටු විගස ප්‍රේමරත්නගේ ඉහේ මලක් පිපුණා හා සමාන විය.

මේ කතාවේ ඉතිරිය ප්‍රේමරත්නට භාරය. ඔහු මේ වනවිට දෙරණ 60+ හරහා තරුවක්ව හමාරය. ඒ එහි දක්ෂතමයා වෙමින්ය.

තරගයට ඇප්ලයි කළේ මගෙ දුව. තරගය ගැන කිව්වෙ මිත්‍රයෙක්. දාපු පළමු ඇප්ලිකේෂන් එකට ප්‍රතිචාර තිබුණෙ නැහැ. ඊට පසුව දෙවැනි එක දැම්මා. ඒක රිටර්න් ආවා. මොකද කරන්නේ කියලා කල්පනා කරකර ඉද්දි තමයි පළමු ඇප්ලිකේෂන් එකට රිප්ලයි ආවේ.

පළමුව තරග භූමියට ගියදින මතකද?

මොකද අප්පේ මතක නැත්තෙ. විහාරමහාදේවි භූමියේ තමයි තිබුණෙ. කට කපලා සෙනඟ. ආපහු හැරිලා යන්නත් හිතුණා. ආව එක සහභාගි වුණා. මිල්ටන් මල්ලවාරච්චිගේ “ඔරුවක පාවෙන’ ගීතය තමයි මුලින්ම කිව්වෙ. මාව විනිශ්චය කළේ සෝමසිරි මැදගෙදර සර් සහ දයාරත්න පෙරේරා සර්.

පුංචි කාලයේ සිටම ගායනයේ නියැළෙනවාද?

ඔවු. ගායකයකු වන්නටයි සිහින මැව්වෙ.

ඒත් මතුවුණේ නැහැ?

ඒකාලෙ මා හරිම දුප්පත්. ඒත් හිතේ ශක්තිය තිබුණා. ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයට ගියා. බී ශ්‍රේණියේ සමර්ථයක් ලැබුණා. වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා. ඒත් මොකක්දෝ අභාග්‍යයකට මාව ඉස්මතු වුණේ නැහැ. පුළුවන්තරම් ඉදිරියට යන්න ට්‍රයි කළා. ඔය අතරෙ මට පෙනුණා මං එක්ක ගිය ඇතැම් දෙනා ටික ටික ඉදිරියට යනවා. ඒත් මං එකතැන. දෛවය මාව ඔවුන් වගේ ඉදිරියට යැව්වේ නෑ. පහුකාලීනව මං ණයක් අරගෙන ගීත දහහතරක සංයුක්ත තැටියක් කළා. ගුවන් විදුලි නාළිකාවලටත් බාර දුන්නා. එකක්වත් ප්‍රචාරය වුණේ නැහැ. කොලිටි මදි කිව්වා. මගෙ හැකියාව පෙන්නන්න මට පුළුවන් වුණේ පැදුරු සාජ්ජවලදී පමණයි. කට්ටිය වටකරගෙන එහෙම තැන්වල සිංදු කියන්න පටන් ගත්තම නැගිටලා යන්න දෙන්නෙ නැහැ. මොනවා වුණත් අර කලකිරීම හිතේ තිබුණා.

ඒත් අද ඔබ තරුවක්?

අන්න ඒකයි. මට හිතෙනවා ඒක මගෙ වාසනාව. දෙරණ නාලිකාවට මං හිසනමා ආචාර කරනවා. ඔවුන් මේ වගේ තරගයක් පැවැත්වූයේ නැත්නම් අපි කලකිරීමෙන්ම මැරිලා යනවා. අපි වගෙ කී දෙනෙක් මෙමගින් කලඑළියට ආවද. දැන් මට ෂෝස්වලටත් එන්න කියනවා.

කොහොමද මේ ලැබුණ අහඹු ජයග්‍රහණය ඔබට දැනෙන්නේ?

මගෙ ගම මහරගම. ඉස්සර මං මහරගම ටවුන් එකට ගිහින් විනාඩි පහකින් ගෙදර එනවා. දැන් පැය භාගයක්වත් එතැන රැඳෙන්න වෙනවා. කට්ටිය ඇවිත් කතා කරනවා. ෆොටෝ ගන්නවා. පුදුමාකාර වෙනසක්. මං ඒ හැමෝටම ගරු කරනවා. ඒ අයටත් තුති පුදනවා. මට වාහනයක් නැහැ. පයින් තමයි එහෙ මෙහෙ යන්නෙ. එතකොටයි ඉහළම ප්‍රතිචාර ලැබෙන්නෙ.

තරගාවලිය අතරතුර ඔබව වඩාත් සංවේගයට පත් කළ සිදුවීමක් ගැන මතක් කළොත්?

එහෙම දෙයක් වුණේ නැහැ. මං බොහොම සතුටින්මයි හිටියේ. ඒ සතුට තුළ දුකක් ගැන හිතන්නවත් මට වෙලාවක් තිබුණේ නැහැ.

මොනවද අනාගත බලාපොරොත්තු?

ගායකයකු හැටියට තව තවත් ඉදිරියට යාමයි එකම අපේක්ෂාව.