වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




'හඳයා' වෙලාවකට කියන දේ අහන්නෙම නෑ

'හඳයා' වෙලාවකට කියන දේ අහන්නෙම නෑ

'හඳයා' හි සේන මෙතින් ජයසූරිය

'හඳයා' නිසා 'සේනත්' 'සේන' නිසා 'මෙතිනු'ත් ප්‍රේක්ෂකයා අතර බෙහෙවින් ජනප්‍රියය. මේ දිනවල විකාශනය වන 'හඳයා' ටෙලි නාට්‍යයේ 'සේන'ගේ චරිතයට පණ පොවන මෙතින් ජයසූරිය දැන් මා අභිමුවයි. මෙතින් 'හඳයා' හි 'සේන' ගැන වගේම ඔහුගේ නවතම කලා තොරතුරු අප සමඟ බෙදා හදා ගත්තේ මෙලෙසයි.

ඔබ කවුරුත් හොඳින් හඳුනනවා?

ඔව්. ඒ 'හඳයා' නිසා. අද හැමදෙනාම අතර හඳයා ටෙලි නාට්‍යය ජනප්‍රිය වී තිබෙනවා. මම එහි 'සේන' ලෙස රඟපානවා.

මොනවද ඔබේ නවතම තොරතුරු?

මේ දවස්වල අධ්‍යාපන කටයුතු වගේම කලා කටයුතුවලත් නිරතව ඉන්නවා. විශේෂයෙන්ම 'හඳයා' රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා.

මෙතින් කලා ලොවට එකතු වන්නේ කොහොමද?

මම දෙරණ 'ලිට්ල් ස්ටාර්ස්' සීසන් 7 තරඟාවලියට එක් වුණා. ඒ 2015 වසරේදියි. එහිදී නර්තන අංශයෙන් ජනප්‍රිය තරුව බවට පත් වුණේ මමයි. ඉන් පසුව සෝමවීර සේනානායකයන් තිර රචනය ලියූ 'අඳුරට එළියක්' ටෙලි නාට්‍යයේත්, තිස්ස විජේකෝන්ගේ නාට්‍යයකටත් රංගනයෙන් දායක වුණා. ඉන් පසුව චිත්‍රපටවලටත් මට දායක වෙන්නට හැකි වුණා. ඒ 'මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමි' චිත්‍රපටය. එහි මිගෙට්ටුවත්තේ හිමියන්ගේ කුඩා කාලය නිරූපණය කළේ මම. චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ 'එකයි දෙකයි තුනයි' චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වුණා.

'එකයි දෙකයි තුනයි' චිත්‍රපටයේ ඔබ රගපාන්නේ කුමන චරිතයක්ද?

එහි ප්‍රධාන චරිතයක් මම නිරූපණය කරනවා. එයින් කියවෙන්නේ ළමා වීරයන් තිදෙනෙකු ගැන කතාවක්. එය ඉතාම ලස්සන කතාවක්. ඒ වගේම අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ 'සමනලුන්ට එන්න කියන්න' ටෙලි නාට්‍යයටත් මම දායක වුණා.

ඔබ 'හඳයා'ට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2017 මැයි මාසෙදි. අද දක්වාම හඳයා ටෙලි නාට්‍යයේ මම චරිත නිරූපණය කරනවා.

ඔබ ප්‍රේක්ෂකයන් අතරට එන්නේ?

'සේන' චරිතයෙන් තමයි.

ඔබට හැඟෙන ලෙස 'සේන' කියන්නේ මොන වගේ චරිතයක්ද?

'සේන' නිර්භීත කෙනෙක්. එයා අම්මා මිය ගියාට පසුව මල්ලිලව බලාගන්නවා ඉතාම හොඳින්. මාශල් මාමාගෙන් පෝනියා සල්ලිවලට ගන්නවා. ඉන් පස්සේ හඳයත් එක්ක දිගටම පෝනි පොයින්ට් එකේ බිස්නස් එක කරගෙන යනවා.

පෝනියට හුඟක් ආදරේ ඇති?

ඔව්. හුඟක් ආදරෙයි. එයාගෙ ඇත්ත නම 'කමාන්ඩර්'. දැන් හඳයා කිව්වම තමයි බලන්නේ.

කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර?

ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ගොඩක් අය සේනට කැමැතියි. සමාජයට ආදර්ශවත් ලෙස සේන කටයුතු කරනවා.

ඔබ අධ්‍යාපනය ලබන පාසල ගැනත් දැනගන්න කැමැතියි?

මිගමුව දකුණ ජාත්‍යන්තර පාසලේ තමයි මම ඉගෙන ගන්නේ. ඒ 10 ශ්‍රේණියේ. මේ මොහොතේ මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා විදුහල්පති පෝල් පෙරේරා මහතාට. විදුහල්පතිතුමා මගේ කලා ජීවිතයට ලොකු සහායක් මට දෙනවා. විශේෂයෙන්ම මට එතුමන් මේ චරිතයට අවශ්‍ය විදියට කොණ්ඩය වවන්නට අවසර ලබා දුන්නා.

ඔබයි පාසලෙන්ම කොණ්ඩය වවන එකම පිරිමි ළමයා?

ඔව්. පාසලේ කොණ්ඩය වවාගෙන ඉන්න එකම ළමයා මම. ඒ විශේෂ අවසරයක් මතයි.

පෝනියාගේ පිටේ යන්න බය හිතුණේ නැද්ද?

මම අශ්වයා පිටේ යන්න ඉගෙන ගත්තේ 'මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි' චිත්‍රපටයේ රඟපාන විටයි. දැන් නම් පෝනියාගේ පිටේ යන එක හරිම පහසුයි. ඒත් වැටෙන්න ගිය අවස්ථාත් තියෙනවා. ඒත් හඳයා අපිට කීකරුයි. වෙලාවකට එයාට තරහ ගියාම කියන දේ අහන්නෙත් නැහැ.

හඳයා රූගත කිරීම් සිදු කළේ කොහේද?

කොළඹ, රාජගිරිය අවට.

ඔබත් එක්ක මෙහි රඟන අනෙක් ළමා නළු නිළියන් කවුරුද?

නිම්න, වර්ෂන, අංශුපති, මෞලී මල්ලිලා මාත් එක්ක රඟපානවා.

කොහොමද ඔවුන් සමඟ ගෙවන කාලය?

හරිම විනෝදයි. ඒ වගේම හරි සතුටුයි. අපිව ආන්බාන් කරන්න අධ්‍යක්ෂතුමාටත් අමාරුයි. මොකද ඒ තරමට මල්ලිලා ටික දඟයි. වෙලාවකට අපි කට්ටිය ගහ ගන්නවා. සෙල්ලම් කරත්දී මෞලි මල්ලි තමයි වැඩිපුරම අඬන්නේ.

රංගනය ගැන ඔබට ගුරුහරුකම් ලැබෙනවා ඇති?

ඔව්. රඟපාන්න ගිය විට මාත් සමඟ රඟපාන ප්‍රවීණ මාමලා නැන්දලාගෙන් ලොකු සහයක් වගේම ඒ අයගේ අවවාදත් ලැබෙනවා. ඒවා රංගනයට ලොකු උපකාරයක්.

කලා කටයුතු නිසා අධ්‍යාපන කටයුතු මඟ හැරෙන්නේ නැතිද?

මේ අංශ දෙකම සමබර කරගෙන යනවා. සමහර වේලවට රූගත කිරීම් කටයුතු කරගෙන යනවිට එය අමාරු වෙනවා. ඒත් උත්සාහයෙන් අතපසු වන අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

ඔබට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?

අම්මයි තාත්තයි වගේම අයියල දෙන්නත් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඔවුනට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම 'හඳයා' ටෙලි නාට්‍යයේ ප්‍රභාත් රෝෂන් මාමාට සහ නිමන්ති පෝරගේ නැන්දට ස්තුතිවන්ත වෙනවා.

නර්තනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැත්ද?

පුංචි කාලෙ නම් එහෙම ලොකු අදහසක් තිබුණේ නැහැ. ලොකු දැනුමක් තිබුණේ නැහැ. දැන් තමයි ඒ ගැන දැනුම තිබෙන්නේ. නර්තනය ගැන ඉදිරියටත් හදාරන්න තමයි හිතාගෙන ඉන්නේ