වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




චමීර සුට්ටා වෙයි

චමීර සුට්ටා වෙයි

ජීවිතය යනු ගෙත්තමකි. අපි කවුරුත් සිදු කරන්නේ ගෙත්තමක් විවීමයි. මේ ගෙත්තමේ සාර්ථක අසාර්ථක බව රැඳී ඇත්තේ තම තමන්ගේ දැනුම් තේරුම් මත ගොඩනැඟුණු හා ගොඩනඟාගත් වපසරිය මතය. ඒ අනුව බැලූ කල්හි සියලු දෙනාටම අභිමානවත් උරුමයකට හිමිකම් කියන්නෙමු. එබැවින් කෙනෙකුගේ උරුමයක ඇති කථාවක එක් චරිතයකට හෝ රංගනයෙන් දායක වීම ඔහු හෝ ඇය ලබන භාග්‍යයකි. මේ දිනවල හිරු ඊඍ හි විකාශනය වන උරුමයක අරගලයේ 'සුට්ටාගේ' චරිතයට පණ දෙන චමීර සිල්වා ගැනයි මේ සටහන.

චමීර මේ දවස්වල සතුටින් වගේ?

ඔව් ඇත්තටම ඔව්. ගොඩක් සතුටින් මම ඉන්නේ. මගේ සිහිනයක් තිබුණා රංගනයට එන්න. ඒක මට ලැබුණු එක නිසා.

ඔබ මීට පෙර රංගනයේ නිරත වී තිබේද?

මම 1999 වර්ෂයේ හංවැල්ල ඕවිටිගම ප්‍රාථමික විදුහලේ ඉගෙන ගන්න කාලේ මුලින්ම වේදිකා නාට්‍යයක රඟපාන්න ලැබුණා. ඒ ඉඳිකටු පැංචා කියන නාට්‍යයේ. ඒ වගේම මට හොඳට ඒ දවස්වල අභිරූපණ රංගන චරිත නිරූපණය ද පුළුවන්. එතැනින් ආපු ගමන මට පිටුවහලක් වුණා මේ ගමනට.

උරුමයක අරගලයට සම්බන්ධ වෙන්නේ කෙහොමද?

දවසක් මට කොටිකාවත්ත ප්‍රදේශයේදී සනත් අබේසේකර අහම්බෙන් හමු වෙනවා. ඒ හමුවීමේදී තමා අපේ උරුමයක අරගලය කියන මේ කතාවට සම්බන්ධ කර ගන්නේ.

උරුමයක අරගලේ ඔබ හමු වන්නේ?

කඩේ මුදලාලිගේ ගෝලයා ලෙසටයි. ඔහු නමින් සුට්ටා කියන චරිතයයි. හරි සංවේදී චරිතයක් මෙන්ම හොඳ ඔත්තුකරුවකු ලෙස රට ජාතිය වෙනුවෙන් සටනේ නියැළෙන වීරයන්ට තොරතුරු සපයනවා.

මේ චරිතයත් සමඟ ඔබට වෙනත් චරිතවලට ආරාධනා ලැබෙන්න ඇති?

ඔව්. කිහිපයකටම ආරාධනා ලැබුණා. එයින් මුලින්ම කතා කළේ දේදුනු වැස්ස ටෙලි නාට්‍යයට අනුරුද්ධ ගම්බීරආරච්චිගේ. චිත්‍රපට කිහිපයකට ද කතා කළා. සාරිගප්පි, සිංගා යන චිත්‍රපට දෙකට කතා කරලා රූගත කිරිම් අවසන් දැන්. ඒවා ඉදිරියේදී පේ‍්‍රක්ෂකයන්ට බලා ගන්නට පුළුවන්.

ඔබ වැඩියෙන්ම රඟපාන්න කැමති මොන වගේ චරිතවලටද?

මගේ දේහ ලක්ෂණ තේරුම් ගන්න ඕනෑම අධ්‍යක්ෂවරයකු යටතේ හොඳ චරිතයක් නිරූපණයට මම කැමැතියි. විශේෂ චරිතයක් කියලා රංගන ශිල්පියකුට නැහැ. ඕනෑම චරිතයක් පණ පෙවීමට හැකි නම් ඔහු නළුවකු වෙනවා.

ඔබේ රංගනය පිටුපස සිටින්නේ?

පළමුව මගේ අම්මා සහ මා ඉගෙන ගත් පාසලේ ගුරුවරු හා ගමේ සියලුම දෙනා හා සනත් අබේසේකර අධ්‍යක්ෂවරයායි.

ඉදිරි ගමන් මඟේ ඔබේ බලාපොරොත්තු මොනවාද?

ලොකු බලාපොරොත්තු මම පොදි බැඳගෙන නැහැ. හොඳ රංගන ශිල්පියකු වීම තමා මගේ ලොකු බලාපොරොත්තුව. තමා නිවැරැදි ගමනක යනවා නම් ඕනෑම කෙනෙකුට ජීවිතය ජයගන්න පුළුවන්.