වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර

‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර

ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප සිනමාපටය මේ වන විට බොහෝ දෙනකුගේ අවධානයට පාත්‍ර වී තිබේ. එය ඉහළ ප්‍රතිචාර මැද තිරගත වන බව නිෂ්පාදක අර්ජුන කමලනාත් සරසවියට දැන්වීය.

ජැක්සන් ඇන්තනී, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න, කුසුම් රේණු, අමීශා කාවින්දි, වසන්ත විට්ටච්චි, ජයනාත් බෝදිහන්දි, මියුරි සමරසිංහ, අනුර ධර්මසිරිවර්ධන, අයිශාරා අතුකෝරල, රජිත හිරාන් ඇතුළු පිරිස ඝරසරප රංගනයෙන් හැඩ කරයි.


ජෝති වෙනුවෙන් රිදී හඬ

අසහාය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල කලාකරුවාගේ 31 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ඔහුට උපහාර පිණිස පළාත් මට්ටමින් රිදීහඬ නවක තරු ගායන තරගයක් පැවැත්වීමිට සංස්කෘතික හා සුභසාධන පදනම කටයුතු යොදා ඇත.

මෙහි ප්‍රථම වටය කෑගල්ල තැපැල් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙයි. මෙම බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති අවුරුදු 18 ත් 55 ත් අතර ගායන කුසලතා ඇති අයවලුන්ට මෙම තරගය සඳහා ඉදිරිපත් විය හැකි අතර ඔවුන් මෙම මස 8 වැනි දින කෑගල්ල මිරිහැල්ල පාර, වලගම්බා විද්‍යාලය අසල පිහිටි ශාන්ත ජෝන් අධ්‍යාපන ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මුලික පරීක්ෂණයට සහභාගි විය යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0716831112 යන අංකයෙන් ලබා ගත හැකිය.


ගුණසිරි සිල්වාගේ පොත් 4 ක් 10 දා එයි

ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම සිනමා විචරකයකු වන ගුණසිරි සිල්වා විසින් රචිත 'තාරකා මේඝයෙන් ඔබ්බට, තරු විනිවිද දුටු අදියුරු සහ ලාංකීය සිනමාවේ හා වේදිකාවේ සමාජ දේශපාලන කථිකාව' ග්‍රන්ථ ත්‍රිත්වය සහ ඔහුගේ විචාර පිළිබඳ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාරිණී චින්තා පවිත්‍රාණි විසින් සම්පාදිත 'ගුණසිරි සිල්වා නිර්මාණ විචාර විමංසා' කෘතිය එළි දැක්වීම මේ මස 10 වැනිදා සවස 4.00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වේ.

මෙහි ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් සිදු කෙරෙන අතර ඉන් පසු සංවාද මණ්ඩපය ධර්මසිරි බණ්ඩාරනායක, අනෝජා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රසන්න විතානගේ යන සිනමා ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.


Band the Band  ඉරිදා නුවරින් ඇරඹෙයි

කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අවසරය මත, අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යයන අංශයේ මඟපෙන්වීම යටතේ ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් පාඨශාලීය බටහිර තූර්යවාදක කණ්ඩායම් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ කූටප්‍රාප්තිය Band the Band  ලබන ඉරිදා උදෑසන නුවර පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතන පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය. දිවයිනේ බටහිර තූර්යවාදක කණ්ඩායම් ( බ්‍රාස් බෑන්ඩ්) පවත්වාගෙන යන පාසල් කරට කර තරගවදින මෙම තරගාවලිය ශ්‍රී ලාංකේය රියැලිටි තරග අතර නවමු අත්දැකීමකි. දිවයිනේ සියලු පළාත් සහ දිස්ත්‍රික්ක ආවරණයෙන් පසුව මෙම තරගාවලියේ අවසන් ජාතික තරගය පැවැත්වීමට නියමිත අතර එහි ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග පිරිනැමීමට සැලසුම්කොට තිබේ.

ශ්‍රී ලාංකේය පාසල් බටහිර තූර්යවාදක කණ්ඩායම් ජාත්‍යන්තර තලයට ගෙනයාම සහ තරගකාරීත්වය හරහා ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම තරගාවලියේ අරමුණයි. මෙම තරගාවලිය ස්වාධීන රූපවාහිනී සේවාව ඔස්සේ වැඩසටහන් විසි එකක් මඟින් විකාශය වේ. ශ්‍රී ලංකාවේ තූර්යවාදක කණ්ඩායම් රියැලිටියේ මියැසි අරුමැසිය විඳගැනීමට එක්වන ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය සංගීතප්‍රේමීනට ආරාධනා කරසිටී. මේ පිළිබඳ වැඩිදුර විස්තර ඹඹඹ.ඡචදඤබඩඥඡචදඤ.තඬ වෙබ් අඩවිය මඟින් ලබාගත හැකිය.