වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




කැලෑ හඳේ ඩේසි අත්තනායක මෙන්න

කැලෑ හඳේ ඩේසි අත්තනායක මෙන්න

'කැලෑ හඳෙන්' පසු රීටා රඟපෑවේ අහිංසක පෙම්වතියගේ චරිතයයි. 'වරද කාගේද?' චිත්‍රපටයේ ඈ විනීතාය. ඇගේ පෙම්වතා රෝහිත ලෙස රඟපෑවේ ප්‍රේම් ජයන්ත්ය. 'දලුලා ප්‍රේම ගසේ - පොඩි අතු රිකිලි හැදේ' ගීතය ඔවුන් දෙදෙනා චිත්‍රපටයේ ගැයූ ප්‍රකට ගීතයකි. 'රදළ පිළිරුව' චිත්‍රපටයේ ඇය නන්දා ලෙස ගිල්බට්ට (හර්බි සෙෙවිරත්න) ආදරය කරයි. 'මිහිර පෙන්නා දී ආලේ පෑ මා හදේ' නම් ප්‍රේම ගීතය ගයමින් ඔවුන් රැඟූ හැටි ද, 'රම්‍යලතා' චිත්‍රපටයේ ප්‍රභාවතී ලෙස අරුණ ශාන්ති (ප්‍රේමසිරි) සමඟ රඟපාමින් ගැයූ 'ඕ ප්‍රේමසිරි ඕ ප්‍රභාවතී' ගීතයත්, 'සුකුමලී' චිත්‍රපටයේ ලීලා ලෙසත් විජේ ආනන්ද වීරකෝන් සමඟ ආදරය කරමින් ගැයූ 'සිහිල් සුළං වැද සැන්දෑ වෙලාවේ' ගීතය එකල ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වූහ.

'විශ්න බායි, ඔබ කවුද කියා, මට දැනගන්න ලැබුණේ දැනුයි - මේ දැනුයි. ඔබට කළ හානිය ගැන මට ඉතාම කනගාටුයි. ඊට පාඩුව ගහන්නේ මේ ගැන කිසිවක් නොදත් අසරණ මටයි - මටයි මෙයින් නම් මගේ ජීවිතය රැකෙන්නේ නැහැ. මගේ පමණක් නෙවෙයි හතර අවුරුදු හය මාසයකට පසු මට ලැබෙන්න යන දරුවාගේ ද ජීවිතය රැකෙන්නේ නැහැ' ඩේසි අත්තනායක විශ්න බායිට කීවාය.

ඩබ්ලිව්. ඒ. සිල්වා සූරින්ගේ 'කැලෑ හඳ' නවකතාව ඇසුරින් 1953 වසරේ නිෂ්පාදනය කළ ඒ නම් චිත්‍රපටයේ ඩේසි අත්තනායක ලෙස රඟපෑවේ රීටා රත්නායක නම් නවක නිළියයි. මේ ඇය චිත්‍රපටයේ විශ්න බායි ලෙස රඟපෑ රුක්මණී දේවිය සමඟ හාපුරා කියා කැමරාවට මුහුණ දුන් දර්ශනයේ කී දෙබස් ඛණ්ඩයයි.

එබසට විශ්න බායි මෙසේ පිළිතුරු දුන්නාය.

'ඩේසි, ඔබේ ස්වාමියාට මා බොහොම ආදරෙයි. ඒ නිසා ඔබටත් ආදරෙයි - ඔබට ලැබෙන්නට යන දරුවාටත් ආදරෙයි. ඩේසි ඔහුට ඉතින් මා පසු පස්සේ එන්නට දෙන්නේ නැහැ. ඉතින් නිදුකින් සැප සේ වෙසෙමින් ඔහු රැක ගන්න.'

'කැලෑ හඳ' චිත්‍රපටයේ ඩේසි අත්තනායක ලෙස රඟපෑවේ රීටා රත්නායකය.

තමාගේ ජනප්‍රියම නිළිය වූ රුක්මණී දේවි රඟපෑ කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, පෙරළෙන ඉරණම, සැඟවුණු පිළිතුර චිත්‍රපට නැරඹූ ඇය හැම විටම ඒ චිත්‍රපට බලා ගෙදර පැමිණ කාමරයේ දොර වසාගෙන කණ්ණාඩිය ඉදිරියේ සිට ඒ චරිත රඟපෑවාය. 'මම කවදා හරි රුක්මණී දේවි මෙන් රඟපානවාමයි' සිතූ ඇය සැබවින්ම දෑසින් තම ප්‍රියතම නිළිය දැක ගැනීමට පෙරුම් පිරුවාය.

වසර 1952 ය. ඇය තම වැඩිහිටියන් නෑ පිරිසක් සමඟ මඩු වන්දනාවේ ගියාය. ඒ ගමන තම ජීිවිතයේ වාසනාවන්ත දිනය විය. එනම් තමා කැමැති රජ තුන් කට්ටුව වූ රුක්මණී, එඩී හා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ජීවමානව දැකීමය. රුක්මණී වට කර ගත් බැතිමතුන් අල්ලාලප සල්ලාපයේ යෙදුණි. සෙනඟ පීරා ඔවුන් වෙත ළඟාවීමට තරුණ ළඳක් දැඩි උත්සාහයක යෙදී සිටිනු බී. ඒ. ඩබ්ලිව්ගේ උකුසු ඇසට ලක් විය. මේ අතර සුරූපී තරුණිය රුක්මණී ද දුටුවාය. රුක්මණී අත දී සෙනඟ අතරින් ඇය තමා වෙත ඇද ගත්තාය.

'හුඟක් තෙරපුණා නේද?'

'මම අක්කව බලන්න ආසාවකින් හිටියේ. දෙවියන් වහන්සේ මේ මඩු මංගල්‍යය දවසේ මගේ දිහා බැලුවා. දෙවියන්ට ස්තුති වේවා!' එසේ කියන විටත් රුක්මණී ඇගේ අත අල්ලාගෙනය.

'නංගිගේ නම මොකක්ද?'

'රීටා'

'ගම'

මාතලේ. මම අක්ක ඉන්න හැම ෆිල්ම් එකක්ම බැලුවා. අම්මා මට කියන්නේ උඹ බයිස්කෝප් පිස්සි කියලා.'

'නංගි චිත්‍රපටයක රඟපාන්න ආසද?'

'සත්තකින්ම, මම හරි කැමැතියි. හැබැයි අක්ක එක්ක. එහෙම කිව්වොත් අම්මත් කැමති වෙයි.'

'ඇලෝ අයියා . . .' රුක්මණී බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට කතා කළාය.

'මාත් මේ කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටියේ. ඩේසි අපි ඇඩ්රස් එක ඉල්ල ගනිමු'

රිටාට මීගමුවට එන ලෙස දින කිහිපයකින් පසු ලිපියක් ලැබුණි. 'කැලෑ හඳේ' ඩේසි අත්තනායකගේ චරිතයට ඇය තෝරා ගනු ලැබිණ. පසුව නවකතා කතුවර ඩබ්ලිව්. ඒ. සිල්වා සූරින්ගෙන් ද උපදෙස් ලැබුණි.

'මට එතකොට වයස අවුරුදු 16 විතර ඇති. ඉස්කෝලයෙන් අස් වෙලා මාස තුනක් විතර. 'කැලෑ හඳ' චිත්‍රපටය් වැඩ කටයුතු සඳහා අපි ඉන්දියාවට ගියා. ඩේසි අක්කා, ස්ටැන්ලි පෙරේරා, මිලී කහඳවල කට්ටිය එක්ක ගිහින් අපි ඉන්දියාවේ අවුරුද්දක් විතර හිටියා. මට අමතක නොවන දර්ශනය තමයි ඩේසි (මම) ජෝන් ජයපාල (ස්ටැන්ලි පෙරේරා) කොළ පාට විලූ ද ඇතිරිල්ලකට බඳු තණ බිම සුව පහස විඳ හෙමින් හෙමින් ගමන් කළේ ලෙසෙියෙන් තරණය කළ නොහැකි දිය මඩ පිරුණු අගලක් අසළින්. දුරින් බලන අපිට පහත් බිමක් හැටියට පෙනුණ එතැන එගොඩ වන්නට නොහැකි තරම් ගැඹුරු මඩිත්තක්. මට පෙර ස්ටැන්ලි මඩ අගල අපහසුවක් නැතිව එක පිම්මට එගොඩ වුණා.

'මහත්මා නම් සංසාරෙන් එගොඩ වෙච්චි - ඉතින් මා' කියා මා කියන විට ස්ටැන්ලි මට අත දිගු කළා. එසේ ළං වූ මා ඔහුගේ මෘදු ස්පර්ශයෙන් යුතු අත ගෙන එගොඩ තබන්නට සැරසෙනවාත් සමඟම මේ අමුතුව ලත් බරෙන් පය පස් බුරුල්ව ගිය නිසා ස්ටැන්ලි මාත් රැගෙන ඒ මහ මඩ කඩිත්තට පර්වතයක් මෙන් ඇදගෙන වැටුණා. ස්ටැන්ලි මා වඩා හිඳුවා තමා ගෙන ගිය සූට්කේසයෙන් උණු තේ වතුර සහිත ෆ්ලාස්ක් එකෙන් තේ ටිකක් දුන්නා. මගේ සාරියේ මඩ. මාව ඇත්තටම ක්ලාන්ත වුණා. මේ දර්ශනය ගන්න දවස් තුන හතරක්ම ගියා. දවස් හතරක් අර වලෙන් පැන්නා. මට මේ අවස්ථාව අමතක වෙන්නේ නෑ. ඇලෝ අයියා මේ ජවනිකාව ගන්න හුඟක් මහන්සි වුුණා' රීටා මට ලේක්හවුසියට ආ දිනක මට විස්තර කළාය.

1934 පෙබරවාරි 18 වෙනිදා උපත ලැබූ රීටා ෆ්ලොමිනා රත්නායක තම මවගේ ගම වූ මාතලේ හැදී වැඩී මාතලේ ශාන්ත ඇග්නස් විද්‍යාලයේ ඉගෙනීම ලබන කාලේ 'දස්කොන්' වේදිකා නාට්‍යයේ අවාසනාවන්ත පෙම්වතියක් වූ ප්‍රමිලා බිසව ලෙස රඟපෑවාය. පාසල් ගායිකාවක් ලෙස ද ප්‍රකට වූ ඇය 'කෝ මාමා නැන්දගේ මාලේ' ගීත ගැයීම නිසා මාතලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ප්‍රකටව සිටියාය.

'කැලෑ හඳෙන්' පසු රීටා රඟපෑවේ අහිංසක පෙම්වතියගේ චරිතයයි. 'වරද කාගේද?' චිත්‍රපටයේ ඈ විනීතාය. ඇගේ පෙම්වතා රෝහිත ලෙස රඟපෑවේ ප්‍රේම් ජයන්ත්ය. 'දලුලා ප්‍රේම ගසේ - පොඩි අතු රිකිලි හැදේ' ගීතය ඔවුන් දෙදෙනා චිත්‍රපටයේ ගැයූ ප්‍රකට ගීතයකි. 'රදළ පිළිරුව' චිත්‍රපටයේ ඇය නන්දා ලෙස ගිල්බට්ට (හර්බි සෙෙවිරත්න) ආදරය කරයි. 'මිහිර පෙන්නා දී ආලේ පෑ මා හදේ' නම් ප්‍රේම ගීතය ගයමින් ඔවුන් රැඟූ හැටි ද, 'රම්‍යලතා' චිත්‍රපටයේ ප්‍රභාවතී ලෙස අරුණ ශාන්ති (ප්‍රේමසිරි) සමඟ රඟපාමින් ගැයූ 'ඕ ප්‍රේමසිරි ඕ ප්‍රභාවතී' ගීතයත්, 'සුකුමලී' චිත්‍රපටයේ ලීලා ලෙසත් විජේ ආනන්ද වීරකෝන් සමඟ ආදරය කරමින් ගැයූ 'සිහිල් සුළං වැද සැන්දෑ වෙලාවේ' ගීතය එකල ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වූහ.

රීටා රගපෑ චිත්‍රපට අතර සුනීතා - සේපාලි - සුන්දර බිරිඳ - දරුවා කාගේද? - සිතක මහිම චිත්‍රපට විශේෂයෙන් කැපී පෙනෙයි.

'මම හුඟක් රඟ පා ඇත්තේ අසෝක පොන්නම්පෙරුම සමඟයි. වැඩියෙන්ම බිරිඳ හැටියට. අසෝක දක්ෂ නළුවෙක්. රඟපාන්න හරිම පහසුයි. ඔහු සිංහල තිරයේ තාත්විකව රඟපාන්න හොඳ හැකියාවක් තියෙන නළුවෙක් බව කිසිම පැකිළීමකින් තොරව කියන්න පුළුවන්. ඔහු සමඟ රඟපාන හැම නිළියකටම උපදෙස් දෙනවා. ඒ නිසා මා මෙන්ම අනිත් නිළියන්ටත් ඔහු සමඟ රඟපාන්න ලෙහෙසියි. මම අසෝක සමඟ සිතක මහිම චිත්‍රපටයේ රඟපෑමට කැමතියි. මට හොඳම නිළිය ලෙස සම්මාන ලැබුණෙත් මේ චිත්‍රපටයේ චරිතය සඳහා.

මම හුඟක් රඟපාලා තියෙන්නේ අහිංසක දුක්මුසු චරිත. 'රම්‍යලතා' චිත්‍රපටය මතක් වෙන කොට අදත් මගේ ඇහෙන් කඳුළු වැටෙනවා. මට ජීවිතයේ ලැබුණු ලොකුම කම්මුල් පහර ලැබුණේ ලැඩී රණසිංහගෙන්. 'වරද කාගේද?' චිත්‍රපටයේ ලැඩී ගහපු කම්මුල් පහර අමතක නෑ. මම හිතුවා එදා මගේ කන් අඩිය පැළුණා කියා. වේදනාව කොච්චර ද කීවොත් මම පැය ගණනක් ඇඬුවා. ඒ වගේම ඔහුගේ කස පහරකින් මා තුවාල ලැබුවා. තවත් වරෙක ලැඩී මට කස පහර දෙනවා පරණ පෙම්වතා හා කතා කිරීම නිසා.

මම කැමතිම චිත්‍රපට ගීතය තියෙන්නේ 'සිතක මහිම' චිත්‍රපටයේ.

මධුර යාමේ
සුහද සාමේ
සිනහ වීලා එන්න රෑ මේ
ප්‍රේම නදියේ පිහින පිහිනා එන්න රෑ මේ
හො . . . හො . . . හෝ

මේ ගීතය අසෝකයි මමයි වෙනුවෙන් ගැයුවේ සුජාතා අත්තනායක හා ආර්. මුත්තුසාමි. මම කඩු සටන් ඉගෙන ගත්තා ඒ 'සේපාලි' චිත්‍රපටයේ මගේ චරිතය සඳහා' රීටා කීවාය.

1960 වසරේ පෙබරවාරි 18 වෙනිදා රීටා, විල්ප්‍රඩ් සිල්වා සමඟ විවාහ විය. ගීත රචකයකු, කතා රචකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ජනප්‍රියය. මේ දෙදෙනාට සධානා හා බන්දුල නමින් දුවක හා පුතෙකු විය.

'මගේ සැමියා ලොකු පොහොසතෙකු නෙවේ. ඔහු කලාකරුවකේ නිසා අපට ස්ථිර ආදායමක් ලැබුණේ නෑ. මගේ සැඳෑ කාලය හොඳින් ගත කිරීමටත් දරු දෙදෙනාගේ අනාගතය සරු කිරීමට සිතා මා ප්‍රංශයට ගියා රැකියාවකට. දුව සධානා ඉන්නේ ප්‍රංශයේ. පුතා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මට මුනුපුරු මිනිබිරියන් සිටීම වාසනාවක් කොට හිතන්නේය' රීටා අවසන් වරට හමු වූ විට මට කීවාය.

'මම තවත් රහසක් කියන්නම් යයි රීටා තවත් අවස්ථාවක කීවාය.

'ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා රේඛාවේ පෙම්වතා ආනන්ද වීරකෝන්ගේ පෙම්වතීට තෝර ගෙන තිබුණේ මාව. ඒ අවස්ථාවේ (1955) මම 'රදළ පිළිරුව' චිත්‍රපටයේ රඟපෑමට ඉන්දියාවේ හිටියේ. ලෙස්ටර් මහත්තයාගේ ඒ චිත්‍රපටයේ රඟපෑවා නම් මගේ රඟපෑමේ ශෛලියේ වෙනසක් අනිවාර්යෙන්ම සිදු වෙනවා.'

කලක් රීටා ශ්‍රී ලංකා හෝටල් සංස්ථාවේ ද සේවය කළාය. නිහතමානී ගති ගුණවලින් පිරිපුන් කලාකාරියක් වූ ඇයට නිසි අගය කිරීමක් නොලැබිණි. 1966 පැවති එක්සත් ලංකා රසික සංගමයේ තෙවැනි සම්මාන උලෙළේදී රීටා ට හොඳම නිළිය ලෙස 'සිතක මහිම' චිත්‍රපටය සඳහා සම්මානය හිමි විය. හොඳම නළුවා වූවේ 'ගැටවරයෝ' චිත්‍රපටයේ රඟ පෑ ජෝ අබේවික්‍රමය. 1965 සරසවිය සම්මාන උලෙළේදී 'සිතක මහිම' වෙනුවෙන් ඇය කුසලතා සම්මානයක් හිමි විය. 2006 වසරේ සිළුමිණේ 'රසඳුන' පුවත්පතින් උපහාර තිළිණයක් ලබා තිබූ දිනයේම එය ලබා ගැනීමට ප්‍රථම ඇය ජයවර්ධනපුර රෝහලේදී අවසන් හුස්ම හෙළීම අභාග්‍යයකි. ඇගේ අවසන් ඉල්ලීම පරිදි තම මව මිහිදන් කොට තිබූ මාතලේ සුසාන භූමියේදී ඇය ද සමාදානයේ සැතපුණාය.