වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




හැඩට වැඩට හරි හතර දෙනාම සූරයෝ

හැඩට වැඩට හරි හතර දෙනාම සූරයෝ

ගාමිණී ෆොන්සේකා ,විජය කුමාරණතුංග, සේනාධීර රූපසිංහ, ඇන්තනී සී පෙරේරා එකම රූප රාමුවක දක්නට ලැබීම මොන තරම්⁣⁣⁣⁣ ⁣⁣⁣⁣⁣⁣ආකර්ෂණීය සිදු වීමක්ද?. එලෙසම ඔවුන් හතර දෙනාම යහළුවන් ලෙස මුණ ගැසීම මොන තරම් සුන්දරද?

එය සමාජ ශාලාවකි. එහී තුළ තිබූ බිලියට් මේසයේ හතර දෙනෙක් බිලියට් සෙල්ලම් කරමින් සිටියි. පොඩ්ඩෙ,විජේ,ලින්ටන්,ජගරියා, ඔවුන් හතරදෙනාය. එතැනට, මදාවියෙකු වු රිචඩ් අයියා ඇතුළු වේ. ඔහු විජේට කථා කරන්නේ, 'කොක්කකට' 'ඉන්විටේෂන්' එකක් දී ගෙනමය. ප්‍රශ්නය වී ඇත්තේ විජේ, බබි අක්කගේ දුවට 'පල් පාට්' දැමීමය. රිචඩ් අයියා, වලියට ඇදෙන්නම බලයි.

"රිචඩ් අයියා වැරදි පාරක වගේ යන්න යන්නෙ" ජගිරියා කියන්නේ ඒ නිසාය.

"වැරදි පාරෙ ගියත් හරි පොට් එකට දාලා ඇති" පොඩ්ඩෙ බිලියට් බෝලයකින් කෙළවරම තිබෙන බෝලයකට ගසා පිටු පස වලට දමා කීය.

රිචඩ් අයියා විසින් බලෙන් ඇඟේ ඇලවෙන්න යන වලියට, මොවුන් හතර දෙනා වැඩි ප්‍රතිචාරයක් නොදක්වන්නේ, ඔවුන් සුළු ඇක්ෂන් එකක් හෝ ගත්තා නම්

රිචඩ් අයියාගේ කෑලිවත් හොයා ගන්න බැරි බව ඔවුන් දන්නා නිසාය.

නීල් රූපසිංහ තම සූරයන් හතර දෙනාව තිරයට ඉදිරිපත් කළේ එසේය. ලාංකේය සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම විනෝදාත්මක චිත්‍රපටය මෙය විය. තාරුණ්‍ය එළිපත්තේ සිටින තරුණයන් හතර දෙනෙකුගේ, සූර කම්, වීර කම්, මෙන්ම, ත්‍රාසය, කුතුහලය, සංගීතය, ගීතය, මෙන්ම ආදරය ද කැටි කොට ගත් මෙම අපූරුවු සිතුවම "හතර දෙනාම සූරයෝ" නමින් එළි දැක්වූයේ 1971 වර්ෂයේදීය. දැනට එය පෙන්වා අව්රුදු 47ක් ගතවුනිද, අදටත් එය වලංගු වනුයේ හොදම විනෝදාත්මක චිත්‍රපටය ලෙසය.

පොඩ්ඩෙ හැරෙන්නට , අන් තිදෙනාටම හරි හමං රැකියාවක් නැත. ජගරියන් එක එක 'ජගරි' වැඩ කරමින් ගානක් මරා ගනියි. ඔහු බොරු සාස්තර කියමින් , පික් පොකට් ගස්වමින් 'නසරානි' වැඩ කරමින් හොයා ගන්නා මුදලින් විජේටත් කීයක් හරි දෙයි.

විජේ කඩවසම්, ප්‍රිය මනාප, සුන්දර තරුණයෙකි. ඕනෑම තරුණියක් ඔහු දෙස දෙවරක් හෝ හැරී බලයි.

ලින්ටන් පේමන්ට් එකේ ඔට්ටු අල්ලයි. ලින්ටන්ද අංකූරෙකි.පොඩි ළමයෙකු පාන් ගේන්න යන සල්ලි හරි දම්මවා ගෙන ඔට්ටු අල්ලා, තමාගේ ගාන ෂේප් කර ගනියි.

පොඩ්ඩෙ පමණක් හැරීගේ ගරාජයේ මෝටර් කාර්මිකයෙකු ලෙස රැකියාව කරයි. එහෙත් ඒ ටික කලක් පමණී. එතන හැරී සමඟ 'වලියක්' දමාගෙන හැරීට උතුර, දකුණ මාරුවෙන සේ නෙළා දමා, එතැනින් අයින්වේ.

මොවුන් නැවතී සිටින්නේ බත් අම්මාගේ නිවසේය. බත් අම්මාට සුරූපි දියණියක් සිටී. ඇය සෝමාය. සෝමා සමග 'සෙට්' වෙන්නේ පොඩ්ඩේය.

විජේ අල්ලන්නේම හයිය අතුය. ඔහුගේ කඩවසම් පෙනුමට ඕනැම තරුණියක් වශී වන බව විජේ දනී. ඔහු 'නිල්මිණී' ව අල්ලා ගත්තේ එසේය.

"අහා අහා ආදරණීය සිනා ඔබේ
අහා අහා ආදරණීය සිනා ඔබේ
මගේ නෙත් තුරුල්ලේ , නිදැල්⁣සලේ සැතපෙනා
අහා අහා ආදරණීය සිනා ඔබේ
හදේ මල් ලතාවේ සුගන්ධේ විහිදෙනා."

රස්සාවල් නැතත්, විජේ, දැං නිල්මිණි සමඟ පෙම් ඕවිල්ලේය. ආදරයට රස්සාවල් බාධාවක් නැත යන්න විජේ හරහා නීල් රූපසිංහ ඔප්පු කරන්නට විය.

ලින්ටන් සෙට් වෙන්නෙ, දුප්පත් එහෙත් තරමක් සැර පරූෂ සුමනා සමඟය. ඇයට අවශ්‍ය ලින්ටන්ව යහමගට ගැනීමටය.

යහළු වූ සැනින්ම, පෙම්වතියගේ උපන් දිනය එන එක, මං හිතන්නේ ලංකා සිනමාවට බෝවුණේ ඉන්දීය සිනමාවෙනි. ඔන්න දැං නිල්මිණී ගේ උපන් දිනේය. විජේට ඉස්පෙෂල් ඉන්විටේන්ෂන් එකක්ය. ලොකු පවුලකින් ආ කෙනෙක් හැටියට ⁣නිල්මිණී ට මවා පෑ විජේට කෙළවෙන්නේ ඔතනදීය. දැං පාටියට යෑමට ඇඳුම් නැත. ජගිරියා පිහිටට එන්නේ ඔතනදීය. ජගිරියා හඳුනන ලොන්ඩරි කාරයෙකුගෙන් ඇඳුමක් ඉල්ලා විජේට දෙයි.

පිස්සු හැදෙන සද. විජේ ෆුල් සූට් එක දාගෙන පාටි එකට යන්නේ එඩින්බරෝ කුමාරයා වගේය. නිල්මිණීට විජේව දුටු පසු 'මොංගල්' විය. එතැන 'හැරිත්' සිටී. ඒ නිල්මිණී විවාහ විය යුතු පුද්ගලයාය. නිල්මිණී ඔහුට කැමති නැත. ඇය කැමති විජේටය. ඒ, සිංහල, හින්දි, දමිළ චිත්‍රපටවල සාමාන්‍ය සම්ප්‍රදායය.

දැං නිල්මිණී කේක් කපයි. හැරි කට ඇරගෙන බලා සිටින්නේ නිල්මිණී කේක් කෑල්ලක් කවන තෙක්ය. එහෙත් නිල්මිණී කේක් කැව්වේ විජේටය. ඔන්න මාමේ කෙල්ල පැනපි. හැරීට දැං ඌරු ජුවල්ය.

කොරේ පිට මරේ කිව්වා වගේ නිල්මිණී ගේ යාළුවෝ ටික විජේට සිංදුවක් කියන්න කියලා පොරේ. හැරීට දැන් මලපැනීමේ උපරිමය.

විජේ දැන් සුපර් ස්ටාර්ය.

"මේ දෑස මගේ පින්වන්තයි,තේරුණේ දැන් තමයි

රන් රූපේ ඔබේ පිනවන්තයි, තේරුණේ දැන් තමයි'

නිල්මිණී 'කොර'විය. නිල්මිණීගේ යාළුවෝ ටික මාර ෆන් එකේය.

'ළඟ දුණුකේ මලකී, දුර මානෙල් මලකි, උඩ වැඩියා මලකී, මල් මැද මල් ළඳකි.'

නීල් රූපසිංහ මෙම ජවනිකාව තුලට කඩවසම් බවත්, සුරූපි බවත් එක්කර, හින්දි ගී තනුවකට ජෝතිපාලයන්ගේ හඩ ඔබ්බවා,හරි අපූරුවූ චමත්කාරයක් මවා පෑවේය.

ජගිරියාටද පැණි කොමඩු ගෙඩියක් වැනි කෙල්ලෙක් සිටියේය. ඇය බාබ්‍රාය. ඒක නම් පැණිම පැණි ලව් එකකි.

"රත්තරනින් රන් කිරිල්ලියේ එන්න පියඹා
සේද වලාකුළු අතරින් එන්න පියඹා
යන්න එපා, යන්න එපා මා දාලා"

නීල් රූපසිංහ මෙම චරිත හතර හරි අපූරුවට 'බැලන්ස්' කළේය. ගාමිණී හා විජයට, දෙන බරම ඔහු සේනාධීරට හා ඇන්තනීටත් දුන්නේය. රංග කාල පරාසයන්ද එම හතර දෙනාට සම සමව බෙදා තිබුණි. ගාමිණී ,සේනාධීර,හා ඇන්තනී, ප්‍රවීණයන් වූවද, රූපසිංහ විසින් විජයට අඩුවක් කළේ නැත.

කිසිවෙකුට එකෙක් පරදා නැගී සිටීමට රූපසිංහ කෙළෙසකවත් ඉඩ දුන්නේ නැත. සාමාන්‍යයෙන් ගාමිණී රගපාන චිත්‍රපටවල ඔහු අනෙක් අය පරදවා නැගී සිටියි. ඒ ඔහුගේ රංගන ප්‍රභාවය නිසාය. මෙහිදී ඔහු කථාවේ තේමාවට අනුචිතව, තම රංගනය, අනෙක් තිදෙනා සමඟ 'බැලන්ස්' කර ගතී.

පී.එල්.ඒ.සෝමපාල විසින් බටහිර ගීතයක් වූ 'ඕ බලඩි, ඕ බලඩා' හී තනුව සොරා ගෙන, හතර දෙනාට සමව යන ලෙස, අපූරු ගීතයක් නිර්මාණය කළේය.

'කොඩි ගහයට මම උපන්නෙ
නම ගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නෙ
මුලු ලෝකයෙ හතර වටේ
හැඩට වැඩට හරි සූරයෝ
අපිත් කොළඹ කොල්ලෝ"

මෙයට ගාමිණී,විජය,සේනාධීර සහ ඇන්තනී නැටූ ආකාරය නම් මෙය නැරඹූ ප්‍රේක්ෂකයන් ට කිසිදිනෙක අමතක වන්නේ නම් නැත. එය එතෙක් මෙතෙක් සිංහල සිනමාවට ආ වඩාත්ම විනෝදාත්මක, සුන්දරම නැටුම් දර්ශනය විය.

විජය කුමාරණතුංග ගේ පෙම්වතිය වු 'නිල්මිණී' ලෙස මාලනී ෆොන්සේකාද, ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතිය වු 'සෝමා' ලෙස ශ්‍රියානි අමරසේනද, සේනාධීර රූපසිංහ ගේ පෙම්වතිය වූ සුමනා ලෙස අග්‍රා සජීවනීද, ඇන්තනී සී පෙරේරාගේ පෙම්වතිය වූ බාබ්‍ර ලෙස බාර්බරා ප්‍රනාන්දුද, සුන්දර රගපෑමක් ඉදිරිපත් කළෝය.

ලයනල් දැරිණියගල(හැරි), තලතා ගුණසේකර( කුඩම්මා,) පර්ල් වාසුදේව(බත් අම්මා), එම්.එස්.ප්‍රනාන්දු(රිචඩ් අයියා) සෙසු චරිත දක්ෂ ලෙස රඟපාමින් සිනමා පටය පිරිපුන් කළෝය.

විජය පසුපස, පොලීසියෙන් එලවන විට, ඔහු විශාල කුකුල් කොටුවක් මැදින් යෑම, ලයනල් කාරය වේගයෙන් එලවා යනවිට ,ගාමිණී කාරයේ එල්ලී සටන් කිරීම, ශ්‍රියාණි මඟුල් ඇඳුමක් ඇදගෙන ගීතයක් ගයමින් සිටින අතරේ වෙඩි පහරකින් මිය යෑම, චිත්‍රපටයේ උද්වේගකර අවස්ථාවන් ලෙස සැලකිය හැකිය.

"දැන් මතකද" චිත්‍රපටයට නිෂ්පාදනයෙන් පමණක් හවුල් වූ නීල් රූපසිංහ "හතර දෙනාම සූරයෝ", හරහා අධ්‍යක්ෂකයෙක් බවට පත් විය. ඔහුගේ ඒ ප්‍රථම අධ්‍යක්ෂණය එකල දින සියය පසු කර සාර්ථකව ප්‍රදර්ශනය කළ අතර, ලාංකේය විනෝදාත්මක සිනමාව තුළ ඔහුගේ මේ "හතර දෙනාම සූරයෝ" චිත්‍රපටය නිපදවා දැනට 45වසරකට වඩා ගියද, එය අබිබවන්නට, තවම කිසිදු විනෝදාත්මක චිත්‍රපටයකට නොහැකි විය.

"කෑවට බීවට විනෝදෙන්
සතුටින් නටා අපී
ඔබ සැම, අප සැම වගෙයි නේ
මේ කව්රුත් එකයි අපි"
හැඩට වැඩට හරි සූරයෝ
අපිත් කොළඹ කොල්ලෝ"

ශෝන් මැක්ස්මස් දිසානායක

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)