වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




දෑස පා සිනා කියන රහස අයිරින් ද අල්විස් සමුගනී

දෑස පා සිනා කියන රහස අයිරින් ද අල්විස් සමුගනී

දශක ගණනාවක් පුරා ස්වකීය කටහඬින් රටක් නැළ වූ ගායිකා අයිරින් ද අල්විස් පසුගිය 4 වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඇගේ වයස අවුරුදු 73 කි. දෑස පා සිනා කියන රහස තේරුණා අයිරින් ගැයූ ඉතාම ජනප්‍රිය ගීතය විය. එය සමඟ සීත වන විල් පෙතේ, ජීවිත මල් පිපුණා ඇතුළු ගීත දහසක් පමණ අයිරින් විසින් ගයා තිබේ. අයිරින් ජනප්‍රිය ගීත රචක හේම ශ්‍රී ද අල්විස්ගේ දයාබර බිරියයි. ඇගේ අවසන් කටයුතු ඊයේ තල්පිටිය, වේරගම පොදු සුසාන භූමියේදී සිදු විය.

ගුලි වෙන්ව අවුරුදු විස්සයි

ගත් කතුවරයකු, භාෂා පරිවර්තකයකු මෙන්ම මාධ්‍යවේදියකු ද ලෙසින් ඉමහත් මෙහෙවරක් කළ කලාසූරි ගුණදාස ලියනගේ (ගුලි) අභාවප්‍රාප්ත වී මෙම මස 12 වැනිදාට වසර 20 ක් සපිරෙයි. ඒ වෙනුවෙන් ගුණ සමරු උලෙළක් මෙම මස 11 වැනිදා එනම් එන ඉරිදා සවස කොළඹ සම්බෝධි විහාරස්ථානයේ පිහිටි බෞද්ධයා රූපවාහිනි නාලිකා පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත. ශාස්ත්‍රවේදී ගෝනදෙණියේ සීවලී මාහිමිපාණෝ මෙහිදී සුමධුර දම් දෙසුමක් පැවැත්වීමට නියමිතය. ගුණදාස ලියනගේ විසින් ලියූ දෙල්ගහ යට ගෙදර විප්ලවය, වල්පොල රාහුල හාමුදුරුවෝ, දෝන කමලාවතී, ගමන නොනිමෙයි, මල්ලිගෙ විත්ති සහ මට හමු වූ හිමිවරු යන කෘතීන් නව මුද්‍රණ ලෙසින් මෙදින එළිදක්වයි. මෙම ගුණ සමරු උලෙළ සඳහා සියලු සහෘද හිතවතුන්ට සහභාගි වනලෙස කලාසූරී ගුණදාස ලියනගේ සමරු පදනමේ සභාපති ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ විවෘත ආරාධනාවක් කරයි.

මල්දෙණියේ සිමියොන්, ස්ත්‍රී ලියූ ඇරැව්වල නන්දිමිත්‍ර සමුගනී

ප්‍රවීණ, සම්මානනීය සාහිත්‍යවේදී ඇරැව්වල නන්දිමිත්‍ර ඉකුත්දා එනම් 3 වැනිදා සමුගත්තේය. මිය යන විට එතුමාණන්ගේ වයස අවුරුදු හැත්තෑ අටකි. 1939 ජූනි මස 05 වැනිදා ඇරැව්වල උපන් නන්දිමිත්‍රයන් නවකතා කෙටිකතා රැසක් දැයට දායාද කළ සාහිත්‍යවේදියෙකි.

ගංතෙර තෙරණිය, ජීවිතය සුන්දරය, ගම්බද කල්‍යාණි, පුංචි තරුවක් පායලා, ගිනි නන්දිමිිත්‍රයන් ලියූ සාහිත්‍ය කෘති අතර වේ. කාලය මිස සිත නැති දනා (1965) නන්දිමිත්‍රයන් ලියූ පළමු කෘතිය වේ. ඔහුගේ මල්දෙණියේ සිමියොන්, ස්තී‍්‍ර යන නවකතාවන් ඇසුරෙන් සිනමාපටයන් නිර්මාණය කරන ලදී. ඒ අතරින් මල්දෙණියේ සිමියොන් අධ්‍යක්ෂණය කළේ ඩී. බී. නිහාල්සිංහයන් විසිනි. එහි රංගනයෙන් දායක වූ අනෝජා වීරසිංහ නවදිල්ලි සිනමා උලෙළේදී හොඳම නිළිය සම්මානය ලැබුවාය. සුදත් රෝහණයන් නන්දිමිත්‍රයන්ගේ පද්මාවතී කෘතිය ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට සූදානම් වුව ද එහෙත් එය තැනුණේ නැත. රාජ්‍ය සම්මානලාභී සාහිත්‍යකරුවකු වූ නන්දිමිත්‍රයන්ගේ අවසන් කටයුතු ඇරැව්වල පොදු සුසාන භූමියේදී සිදු විය.

උත්පලාගේ තරු නාද රටා

විශාරද උත්පලා සුමුදුමාලිගේ 'තරු නාද රටා' ප්‍රසංගය මාර්තු මස 10 වැනි දින ගම්පහ සුමේධ රංග ශාලාවේදී පස්වරු 7.30 ට පැවැත්වේ. එදින විශාරද උත්පලා සුමුදුමාලි, ප්‍රියා සූරියසේන, ඉසුරු ජයරත්න, සමන් ද සිල්වා ගීතවත් වේ. සංගීත නාද රටා මවන්නේ රූපවාහිනි වාද්‍ය වෘන්දයයි.

ඉක්මන් ගමන් ගීතය ජනගත කෙරේ

විශාරද රුවන්ති මධුෂිකාගේ ඉක්මන් ගමන් ගීතය පසුගිය ජනවාරි 29 වැනි දින බටුවන්දර ශ්‍රී තිලකරාම විහාරස්ථානයේදී ජනගත කෙරිණි. පදරචනය සජිත් වී චතුරංග, සංගීතය ප්‍රගීත් පෙරේරා, රූප රචනය කසුන් කාවින්දගෙනි.

ධවල භීෂණ සබරගමු සරසවියේ

ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ මෙම මස 14 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා සහ භාෂා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සංගීත ප්‍රසංගයක් 16

කාන්තා දායකත්වයෙන් පමණක් සමන්විත සී. එස්. ෆීමේල් සිම්ෆනි ඔකෙස්ට්‍රා සංගීත කණ්ඩායමේ කුලුඳුල් ප්‍රසංගය මෙම මස 16 වැනිදා සවස 7 ට බිෂොප් විදුහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදී ආරාධිත ශිල්පීන් වශයෙන් සනුක වික්‍රමසිංහ සහ රයිනි චාරුකා ගුණතිලක සහභාගි වෙති. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ලීඩ් ගිර් වාදක චානක සේනාධීර විසිනි. මෙම සංගීත කණ්ඩායමහි සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් වාද්‍ය භාණ්ඩ ලෙස වයලින් හතරක් සහ චෙලෝ එකක් ද භාවිත කිරිම විශේෂත්වයකි.

පෝරිසාදයා තිරයට...

දේශමාන්‍ය ඉන්දික විජේරත්නගේ නිෂ්පාදනයක් වන, සිරිතුංග පෙරේරා තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ 'පෝරිසාදයා' මංගල දර්ශනය පසුගිය දින පැවැත්විණි. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදීය. මංගල දර්ශනයේ විශේෂ අමුත්තන් ලෙස ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගිත්වය දක්නට ලැබිණි.

පෝරිසාදයාට පණ පොවන නළු නිළි කැල වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, උදාරි වර්ණකුලසූරිය, දර්ශන් ධර්මරාජ්, කමල් දේශප්‍රිය, සරත් දික්කුඹුර, උදාර රත්නායක, රාජසිංහ ලෝලුවාගොඩ, උදාරි පෙරේරා, හර්ෂ උඩකන්ද රංගනයෙන් දායක වෙති. මේ මංගල දර්ශනය පැවති දිනයේ සරසවිය කැමරා ඇස ගැටුණු අවස්ථා කිහිපයකි.