වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




සුළි සුළං මැද කොල්ලයක්

සුළි සුළං මැද කොල්ලයක්

රොබ් කොහෙන් අධ්‍යක්ෂණයක්

මාර්තු 09 සිට ලොවපුරා

අතිශය දරුණු සුළි කුණාටුවක් සමඟින් හොලිවුඩයේ දැවැන්ත සොරකමක් සිදු වීමට යන බවත් ආරංචියි. කෙසේ නමුත් මේ සොරකම සිදුවීමට නියමිත රිදී තිරයේ බවත් සිහි තබාගත යුතුයි. එය වෙනත් කිසිවක් නොව හෙට (මාර්තු 09) සිට ලොවපුරා තිරගත කෙරෙන The Hurricane Heist චිත්‍රපටය යි.

The Mummy: Tomb of the Dragon Emperor (2008), XXX (2002),The Fast and the Furious (2001),The Skulls (2000) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රොබ් කොහෙන් විසින් අධ්‍යක්ෂණය කළ The Hurricane Heist චිත්‍රපටය අපරාධ ක්‍රියාදාම ගණයට අයත් වන චිත්‍රපටයකි. දරුණු සුළි කුණාටුවක් අතරතුරදී සිදු වන දැවැන්ත සොරකමක් පිළිබඳ කතාවක් එහිදී දිගහැරේ.

සුළි කුණාටු වර්ග කිරීමට අනුව එහි පස්වැන්න වන අතිශය දරුණුතම සුළි කුණාටුවක් හමා එන මොහොතක එක්තරා සොර කණ්ඩායමක් සූදානම් වන්නේ බැංකුවකින් අමෙරිකානු ඩොලර් මිලියන 600ක මුදල් මංකොල්ලයක් සිදු කිරීමයි. අති නවීන තාක්ෂණය ද උපයෝගි කර ගනිමින් මෙම සොර කණ්ඩායම සුළි කුණාටුව හමන මොහොදීම මෙම මංකොල්ලකෑමට සූදානම් වන අතර කාලගුණ විද්‍යාඥයෙක්, ඔහුගේ සොයුරු, හිටපු නාවික හමුදා නිලධාරියකු සහ රාජ්‍ය භාණ්ඩාගාරයේ නියෝජිතවරියක ද ඒ වන විට එම පළාතේ කොටු වී සිටියි.

සුළි කුණාටුව පැමිණෙන අවස්ථාවේදී එයින් බේරිමට පමණක් නොව මෙම බැංකු මංකොල්ලය නැවත්වීමේ අභියෝගයට ද මෙම කාලගුණ විද්‍යාඥයා ඇතුළු පිරිස මුහුණ දෙන අයුරු The Hurricane Heist චිත්‍රපටයෙන් දිග හැරේ.

එහි ටෝබි කිබෙල්, මැගී ග්‍රේස්, රයන් වෝන්ටෙන්, රැලිෆ් ඉන්සෙන්, රැන්ඩි කෝචර් ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. මිනිත්තු 103ක් පුරා දිවෙන The Hurricane Heist අමෙරිකානු ඩොලර් මිලියන 35ක වියදමෙන් නිර්මාණය වී ඇත.

අපරාධමය කතාපුවත් ගෙන එන චිත්‍රපටවල තවත් උපකුලකයකට අයත් වන මෙවැනි චිත්‍රපටවල අවසානය බොහෝවිට වෙනස්ම ස්වරූපයක් ගන්නා අතර ඇතැම් චිත්‍රපටවල සොරුන් වීරයන් බවට ද පත්වන අවස්ථා දකින්නට ලැබේ. The Italian Job (1969), Ocean's Eleven(2001) එයට උදාහරණ ලෙස ගත හැකි වන

අතර මේ අනුව The Hurricane Heist චිත්‍රපටයේ ද අවසානය කෙසේ වේවිද යන්න දැකීම පිණිස හෙට දිනය උදාවන තෙක් සිටිය යුතු වේ.