වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




වතුරෙහි හැඩයට ඔස්කාර් සම්මාන

වතුරෙහි හැඩයට ඔස්කාර් සම්මාන

හොඳම චිත්‍රපටය -The Shape of Water
හොඳම නිළිය - ෆ්‍රාන්සස් මැක්ඩොමාන්ඩ්

ඇල්බේරියානු ජාතික ගායිකාවක වන බිලෝනා මෙවර ඇකඩමි සම්මාන උලෙළට පැමිණ තිබුණේ උඩුකය නිරුවත් ඇඳමකින් සැරසීගෙනයි.ජෙනිෆර් ලෝරන්ස්, සැනුඩ්‍රා බ්ලොක්, නිකොලේ කිඩ්මෑන්, සොෆියා කාර්සන්, ලුපිතා නියොන්ගො,ඇඩම් රිපන් වැනි නළු නිළියන්ගේ ඇඳුම් මෝස්තර කැපී පෙනුණා.

හොලිවුඩයේ මහා සිනමා මංගල්‍යය, ඇඩකමි සම්මාන උලෙළ හෙවත් ඔස්කාර් සම්මාන විණි. මෙවර පැවැති 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළ ඉදිරිපත් කළේ අමෙරිකානු ජාතික හාස්‍ය නළුවකු මෙන්ම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ජිමී කිමෙල් විසින්.

එහිදී හොඳම චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ මෙක්සිකානු අධ්‍යක්ෂ ගිජෙර්මෝ ඩෙල් ටෝරෝ විසින් අධ්‍යක්ෂණය කළ The Shape of Water චිත්‍රපටය යි. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද ඩෙල් ටෝරෝට හිමි විය. Darkest Hour චිත්‍රපටයේ රංගන වෙනුවෙන් ගැරී ඕල්ඩ්මන් හොඳම නළුවාට හිමි සම්මානයත් Three Billboards Outside Ebbing, Missouri චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ෆ්‍රාන්සස් මැක්ඩොමාන්ඩ් හොඳම නිළියට හිමි සම්මානයත් දිනා ගන්නා ලදී. මෙවර 75 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය සහ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද ෆ්‍රාන්සස් මැක්ඩොමාන්ඩ් සහ ගිජෙර්මෝ ඩෙල් ටෝරෝ හට හිමි විය. මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම අනුවර්තිත තිර රචනයට හිමි සම්මානය ලද 89 හැවිරිදි ජේම්ස් අයිවරි ඔස්කාර් සම්මාන ඉතිහාසයේ සම්මානයක් ලද වයස්ගතම පුද්ගලයා ලෙසින් වාර්තා අතරට එක් විය.

90 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන වෙනුවෙන් වැඩිම නිර්දේශ නාම සංඛ්‍යාව ලෙසින් සම්මාන 13ක් සඳහා නිර්දේශ නාම අතරට ඇතුළත්ව සිටි The Shape of Water චිත්‍රපටයට හිමි වූයේ සම්මාන 4කි. දෙවැන්නට වැඩිම නාමයෝජනා සංඛ්‍යාව ලෙසින් සම්මාන 8ට නිරේදේශ නාම ලබා සිටි ච්භදඬඪපඬ චිත්‍රපටයට සම්මාන 3ක් පිරිනැමිණි.

මෙවර සම්මාන උලෙළේදී ඇග්නස් වර්දා (ප්‍රංශ ජාතික් අධ්‍යක්ෂිකා), චාර්ල්ස් බර්නෙට් (අමෙරිකානු අධ්‍යක්ෂ), ඩෙනල්ඩ් සදර්ලන්ඩ් (කැනේඩියානු අධ්‍යක්ෂ), ඕවන් රොයිස්මන් (අමෙරිකානු කැමරා ශිල්පී) වෙත මෙවර ඔස්කාර් ගෞරව සම්මාන පිරිනැමීය. සිනමාව වෙනුවෙන් වූ දායකත්වය වෙනුවෙන් මෙක්සිකානු සිනමාකරු ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාලේස් ඉනාරිතු වෙත ද විශේෂ ඇකඩමි සම්මානයක් පිරිනමන ලදී.

ඇකඩම් සම්මාන රතු පලසේ වෙනදා මෙන් කැපී පෙනෙන ඇඳුම් මෝස්තර ද කාගේත් අවධානයට ලක්වුණා. ඇල්බේරියානු ජාතික ගායිකාවක වන බිලෝනා මෙවර ඇකඩමි සම්මාන උලෙළට පැමිණ තිබුණේ උඩුකය නිරුවත් ඇඳමකින් සැරසීගෙනයි.ජෙනිෆර් ලෝරන්ස්, සැනුඩ්‍රා බ්ලොක්, නිකොලේ කිඩ්මෑන්, සොෆියා කාර්සන්, ලුපිතා නියොන්ගො,ඇඩම් රිපන් වැනි නළු නිළියන්ගේ ඇඳුම් මෝස්තර කැපී පෙනුණා. නිළි රීටා මොරෙනෝ මෙවර 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළෙට පැමිණියේ 1962 වසරේදී ඇය හොඳම නිළිය ලෙසින් සම්මාන ලද අවස්ථාවේ ඇඳී ඇඳුමෙන් සැරසි ගෙනය.