වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




දැකලා පුරුදු මුහුණු

දැකලා පුරුදු මුහුණු

අලුත් නළුවෙක් සිසිර

ශාන්ත සොයිසාගේ රිතු නාට්‍යයෙන් රංගන ගමන ඇරැඹූ ඔහු සිසිර බණ්ඩාර. වසර හතලිස් පහකට අධික කාලයක් පරිපාලන කෂේත්‍රයේ රැකියාවක නියැලුණු හෙතෙම රංගනයට පිවිසෙන්නේ වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුවය. රිතු නාට්‍යයේ සුළු චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට ආ සිසිර පසුව රිදී හුය, මේඝ, සසර සේයා, නෙතු, සිහින විමන්, බැද්දෙ කුලවමිය, සීරජ, සල්සපුනා, බටහිර අහස, රතු පිච්ච, පිණි ආදි නාට්‍ය රැසක චරිත මැව්වේය. දෙවැනි වරම සිනමාපටය ඔහු රඟපෑ එකම සිනමා නිර්මාණයයි. වසර හතරක් පුරාවට රංගන චාරිකාවේ නියැලුණු සිසිර ඒ කාලය පුරවටම කළ චරිත ගැන කතා කරන්නේ මහත් වු තෘප්තියකිනි. නුගේගොඩ පදිංචි ඔහු ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. සිසිරගේ පියා කලාවිඳු ඒ. වී ගුණපාලය. ඔහු මුණිදාස කුමාරතුංගයන්ගේ හෙළ හවුලේ සාමාජිකයෙකි.

මේ සිසිරගේ දුරකතන අංකයයි 0779602215.


රැඟුමට වඩාත් කැමැති ඉරාන් ධනුෂ්ක

ඉරාන් ධනුෂ්ක කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ කලා අධ්‍යක්ෂවරයකු ලෙසිනි. එහෙත් ඔහු වඩාත් කැමැති වූයේ රංගනයටය. එබැවින් ඉරාන් රංගනය හැදෑරීමට පටන් ගත්තේය. අනුරුද්ධ ගාම්භීරආරච්චි ඉරාන්ව කලා ලොවට හඳුන්වා දුන් තැනැත්තාය. කලා අධ්‍යක්ෂවරයකු ලෙසට මුතු වැස්සක් නාට්‍යයට එකතු වූ ඉරාන් ක්‍රම ක්‍රමයෙන් රංගනයට අවතීර්ණ වි ඉන් නමක් හදා ගත්තේය. බ්‍රහ්ම මූර්ථිය, ටී ටුවෙන්ටි, හාරකෝටිය, කළු කුරුල්ලා, සිදු, අපි කඳුළු ඔහු රඟපෑ නාට්‍ය කිහිපයකි. ඉන් හාරකෝටියේ පොලිස් චරිතය සහ සිදු නාට්‍යයේ කළුවාට ඉහළ ප්‍රතිචාර ලැබූ බව ඉරාන් පවසයි. කිරිඳිවැල පදිංචි ඔහු මේ වන විට ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ඉඩ ලැබෙන පරිදි රංගනයේ යෙදෙයි. එහෙත් වඩා මුල්තැන රංගනයටය. මේ වනවිට චරිත සඳහා කතා කළ ද මුල් යුගයේදී රංගනයට ඔහුට බොහෝ දෙනකු අවස්ථාව ලබා දී නැත. එහෙත් අධෛර්යට පත් නොවූ ඉරාන් කලා ක්ෂේත්‍රයේම රැඳී සිටියේය. අද වන විට තමන්ව ප්‍රතික්ෂේප කළ අය පවා රංගනයට ආරාධනා කරන බව ඉරාන් පවසන්නේ ඉතාමත් සතුටිනි.


විවිධ චරිතවලින් ඔබ හමුවට එන රණසිංහ සිල්වා

රණසිංහ සිල්වාගේ රුව ඔබට නුහුරුවන්නට බැරිය. ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍ය රැසක විවිධ චරිත ඔස්්සේ ඔබට ඔහුව හමු වී ඇති බවට කිසිදු සැකයක් නැත. මේ දිනවල ඔබට රණසිංහව දැකගත හැකි වන්නේ පැහැසරා ටෙලි සිතුවමෙනි. එහි ඔහු ඡන්දදායකයකු ලෙස චරිතයක් මවමින් සිටියි. එමෙන්ම සූරිය නෑයෝ හි මඟුල් කපුකමේ යෙදෙන්නෙත් මේ රණසිංහය. රැජිනියෝ හි රෙස්ටුුරන්ට් එකක අයිතිකරුවා වන්නේ ද රණසිංහය. මේවාට අමතරව ඔහු ඉකුත් දිනවලදී ඩොනල්ඩ් ජයන්තගේ ආරාධනයෙන් ඉන්දියානු සිනමාපටයක ද චරිත මැව්වේය. කෙසේ නමුත් තමන්ට මේ වනතෙක් ප්‍රධාන චරිතයකට ඇරැයුම් නොලැබූ බව රණසිංහ පවසන්නේ කනගාටුවෙනි. එමෙන්ම රංගනය වෙනුවෙන් කළ කැප කිරීමක් ගැන ද රණසිංහ කතා කළේය.

මට දවසක් දෙහිවල රේල් පාරක දුවගෙන යන දර්ශනයක් තිබුණා. මාව වැටුණා රේල් පාරේ. තුවාලයි හොඳටම. ඒත් දර්ශනය අවශ්‍ය නිසා තුවාල පිටින්ම රඟපෑවා.

රණසිංහට නිතර ලැබෙන්නේ නීතිඥයන්, කළමනාකරුවන් වැනි චරිතය. හාමුදුරු නමකගේ චරිතයක් රඟපාන්න කැමැත්තෙන් ඉන්න වගත් එවන් වූ චරිතයක් ලැබුණොත් දෙවතාවක් නොසිතා කොණ්ඩය සහ රැවුල කපන බවත් ඔහු කිවේය.


එක දිගට මං පැය 6 ක් සින්දු කිව්වා - රාවන් ලංකා

රාවන් ලංකා ගායකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකි. ඔහු හුදු සම්ප්‍රදායික ගායකයකු නොව වාර්තා තබන ගායකයෙකි. එක දිගට ගීත හැටක් ගයමින් රාවන් මෙසේ වාර්තාවක් තබා තිබේ. සංගීත ක්ෂේත්‍රය තුළ විප්ලවීය ගමනක යෙදෙන ඔහු දැක් වූ අදහස් කිහිපයකි මේ.

මං ගීත ගයන්න පටන් ගත්තේ හත වසරේදී. පුංචි කාලයේ සිටම එකම හීනය වුණේ සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න. එහෙම ගමනක පළමු පියවර තබන්නේ 2002 වසරේ මව් ගුණ ගීයක් ගයමින්. 2008 වසරේ මං හා හා පුරා කියලා මියුසික් වීඩියෝවක් එළි දක්වනවා. ඉන් පසුව එක දිගට මං මියුසික් වීඩියෝ පහක් රසිකයන්ට තිළිණ කළා. පසුකාලීනව මට හිතුණා සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන නමක් තබන්න. එහෙම හිතලා තමයි මං ඔය වාර්තාව තබන්න හිතුවේ. එක දිගට පැය හයක් මං සිං කළා. ටවර්හෝල් රංග ශාලාවේදී ඉදිරිපත් කළ ඒ මගේ ගැයුම් හරියාකාරව එම කාලයටම කෙරෙනවද බලන්න සෝමසිරි මැදගෙදර මහ ප්‍රසන්න කූරගම යන මහත්වරුන් එකතු වුණෘ. සිංහල සහ හින්දි ගීත මාරුවෙන් මාරුවට ගීත හැටක් පැය හය පුරාවටම මං කිව්වා. එම ගී එකිනෙකට වෙනස් ඒවා. නොනවත්වාම මං එම පැය හය පුරාවටම ගී ගැයුවා. මගේ ඊළඟ වාර්තාවට මේ දිනවල සූදානම් වෙනවා. පැය හයක් සිංග් කරලා ඉවර වුණාම මට හිතුණේ එකම දෙයයි. ඒ මට තව සිංග් කරන්න පුළුවන් කියන කාරණ්‍ය. ඉතින් මං ඊළඟ වාර්තාව තියන්නේ ගීත දෙසීයක් ගයලා. ගෙදර සිට මං එයට සූදානම් වෙනවා. ළඟදීම එය පැවැත්වීමට නියමිතයි. මේ දිනවල එයට අමතරව මගේ අලුත් ගීතයට සූදානම් වෙනවා. ගායකයකු විදියට මං නාට්‍යකට තේමා ගීතයකුත් ගැයුවා. ඒ අරුන්දති නාට්‍ය වෙනුවෙන්. මේ වන විට මං රැඩිකල් නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ෂෝස්වලටත් සහභාගි වෙනවා. ඒ අතරතුරදී ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්නයි අදහස. මං වෘත්තීය සංගීත ශිල්පියෙක්. ඒක මගේ හිතේ තිබුණු සිහිනයක් කියලා කිව්වොත් වැරැදි නැහැ. මං ඉගෙන ගත්තේ තර්ස්ටන් සහ පානදුර ශාන්ත ජෝන් කියන විදුහල්වලින්. ගම පානදුර වුණාට වර්තමාන පදිංචිය මහරගම. රංගනයට පිවිසෙන්නත් ඉදිරියේදී මං අපේක්ෂා කරගෙන සිටිනවා.