වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




කෝමාලි කිංග්ස් සමඟ තිරයට එන නෙකිටා රෙෂානි

කෝමාලි කිංග්ස් සමඟ තිරයට එන නෙකිටා රෙෂානි

කීප් නිසා මං ටැමිල් කියලා හිතෙන්න පුළුවන්

ඇය බාබත් බාබාගේ පෙම්වතියයි. කවුද මේ බාබත් බාබා? ඔහු ඉන්නේ මේ දිනවල තිරගත වන කෝමාලි කිංග්ස් සිනමාපටයේ. මේ අපේ කතා නායිකාවත් එහි රංගනයෙන් දායක වෙනවා. ඇගේ චරිතයේ නම කීප්. ඇත්ත නම නෙකිටා රෙෂානි. ටිකක් අමුතු නමක් ඇත්තියක් නේද? සිනමා රංගන චාරිකාව ඇගේ ඇරැඹෙන්නේ කෝමාලි කිංග්ස් චිත්‍රපටය හරහා. එතැනින්ම කතාව ආරම්භ කළොත් හොඳයි කියලා හිතුණා.

විශ්ව කියලා මේකප් ආර්ටිස් කෙනෙක් ඉන්නවා. දවසක් ඔහු මට කතා කරලා කිව්වා ලංකාවේ ටැමිල් ෆිල්ම් ප්‍රඩක්ෂන් එකක් කරන්න හදනවා එකේ ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා. වැල්ලවත්ත චර්ච් එකක තිබුණේ. මම එතනට ගියා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ කිංග් රත්නම් සහ වරුන් එතන හිටියා. මට ඔවුන් ටැමිල් ඩයලොග් වගයක් දුන්නා එතනදි කියන්න.

* ඔබට දමිළ පුළුවන්ද?

බැහැ. මං ඒ වග ඔවුනට කිව්ව. එතකොට මට ඒ ඩයලොග් ටික සිංහලෙන් ලියලා දුන්නා. මං පුළුවන් විදිහට ඒක මං කිව්වා. පස්සේ කෝල් කරන්නම් කියපු නිසා මං එදා ගෙදර ගියා. ගෙදරට පය තියන්න ලැබුණේ නැහැ කිංග් අයියා කතා කරලා කිව්වා මාව චිත්‍රපටයට තෝරා ගත්තා කියලා.

* ඔබට ගොඩක් සතුටු හිතෙන්නට ඇති?

ඔව්. හුඟක් සතුටු වුණා. යම් යම් අවස්ථාවලදී රංගනය සඳහා මට ආරාධනා ලැබුණත් මට ඒවාට යන්න බැරි වුණා. ඒ අතරතුරදී මට ලැබුණ මේ අවස්ථාව ගැන බෙහෙවින් සතුටු වෙන්න පුළුවන්.

* චිත්‍රපටයේ රඟපෑ පළමු දර්ශනය ඔබට මතකද?

දර්ශන් ධර්මරාජ් එක්ක සීන් එක තිබුණේ. ඔහු ඇවිත් බාබත් බාබාව හොයනවා. මං ඊට ප්‍රතිචාර දක්වනවා.

* චිත්‍රපටය නරඹපු අය හිතාගෙන ඉන්නේ ඔබත් ටැමිල් කෙනෙක් කියලා?

අනේ ඔව්. මං නිතර දකින කෙනෙක් නෙවෙයිනෙ. බොහෝ දෙනා මාව හඳුනා ගත්තේ මේ චිත්‍රපටය හරහා. ඉතින් මුලින්ම මාව දකින කෙනෙකුට හිතෙන්නට පුළුවන් මං ටැමිල් කෙනෙක් කියලා. ඒකේ මං වරදක් දකින්නේ නැහැ.

* කීප් චරිතයට ඔබ කොහොමද හැඩ ගැහුණේ?

මේ චිත්‍රපටයට එකතු වූ නළු නිළියන්ව හොඳ පුහුණුවකට ලක් කළා. ප්‍රියන්ත සිරිකුමාර මහත්මයාගේ අතින් එක් සිද්ධ වුණේ. මාව චිත්‍රපටයට තෝරා ගත්තේ අන්තිම මොහොතේදීයි. එතකොට පුහුණුව ඉවරයි. නමුත් මාව චරිතයට හදන්න ඕන නිසා කිංග් අයියා මට ටැමිල් චිත්‍රපට කිහිපයක දර්ශන කිහිපයක ලින්ක් මගේ ෆෝන් එකට එවලා තිබුණා. ඒවා නරඹලා ස්ටඩි කරලයි මේ චිත්‍රපටයේ රඟපෑවේ.

* නෙකිටා ක්ෂේත්‍රයට ආව අයුරු මතක් කළොත්?

මං මුලින්ම ක්ෂේත්‍රයට එනනේ මොඩ්ලර් කෙනෙකු විදිහට. රූපවාහියේ බටහිර අහස වැඩ සටහනටයි එලෙස එක් වුණේ. පසුව ඉස්සරහට යන්න නාට්‍ය හරහා රංගනයට එකතු වුණා.

* ඔබ රංගනයට එකතු වූ කාලයක් එක්ක මේවන විට ලබාගෙන ඇති ජනප්‍රියත්වය මදි කියලා හිතෙන්නේ නැද්ද?

ඒක වුණේ මං නිර්මාණ හඹා නොයෑම. මට ගැළපෙන නිර්මාණයක් ලැබුණොත් තමයි මං රඟපාන්නේ. ලැබෙන සෑම නිර්මාණයක්ම බාර ගත්තා නම් මමත් අද ජනප්‍රිය නිළියක්.

* ඔබ ඔබේ මිල ගැන ඕනෑවට වැඩිය හිතනවා වගෙයි?

කොහෙත්ම නැහැ. මිල සාමාන්‍යයි. මං කිව්වේ මට ලැබුණු සෑම අවස්ථාවක්ම බාර නොගත්තා කියලා විතරයි. ඒක එහෙම වෙන්න මිල බලපෑවේ නැහැ.

* කලා ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන් ද ඉන්නේ?

මං කලාවට ආදරෙයි. නමුත් යම් යම් මිනිස්සු නිසා සමස්ත කලාවම එපාවෙන අවස්ථා තියෙනවා. ඒත් ඒ වෙලාවට හිත හදා ගන්නවා.

* ඔබේ ගම් පළාත කොහේද?

මං වත්තල.

* ඉගෙන ගත් පාසල?

සෙවන්ත් ඩේ ඇඩ්වාන්ටිස්ට්ස් උසස් පාසල.

* උපන් දිනය?

ඔක්තෝබර් දොළහ.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

මං හරිම සීරියස් කෙනෙක්.